රට නැංවීමේ වග­කීම කා අතේද? | Page 2 | සිළුමිණ

රට නැංවීමේ වග­කීම කා අතේද?

 

ට ඇත්තේ බිහිසුණු විනිමය අර්බුදයකය. රටේ බැංකු පද්ධතිය හරහා විධිමත් විදේශ විනිමය හුවමාරුවක් සිදුනොවන ආකාරය යළි යළිත් ප්‍රකට වෙමින් තිබිය දී, පවතින අර්බුදය හමුවේ මහජනතාව සතු විදේශ ව්‍යවහාර මුදල් බැංකු පද්ධතිය තුළ තැන්පත් කිරීමට හෝ විකිණීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. ජනාධිපති හා මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ විසින් අගෝස්තු 15 දා ඒ බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ප්‍රකාශිත සමා කාලය මාසයකි.

 

මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කළ එම අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් විනිමය පනතේ 8 වැනි වගන්තිය යටතේ නිකුත් කරන ලද නියමය සංශෝධනය කරනු ලැබිණි. එම සංශෝධිත ගැසට් නිවේදනය මඟින් කාල සීමාව සහ ව්‍යවහාර මුදල්වල සීමාව නොතකා, ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික තැනැත්තකු නීත්‍යානුකූලව අත්පත් කරගෙන තම සන්තකයේ රඳවා තබාගත් විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු එම පුද්ගලයාගේ නමින් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක තැන්පත් කළ හැකිය. එසේත් නැතිනම් ව්‍යාපාර ව්‍යවහාර විදේශ මුදල් ගිණුමකට තැන්පත් කළ හැකිය. නොඑසේනම් බලය ලත් වෙළෙන්දෙකුට අලෙවි කළ හැකිය.

මේ ප්‍රකාශිත සමා කාලය කුමක් ද?. මින් රටට අත්විය හැකි ප්‍රතිලාභ කවරේ ද? මේ සම්බන්ධයෙන් අප සමඟ මුලින්ම සංවාදයට ප්‍රවේශ වන්නේ වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරාය.

“රජය බදු මුදල් භාවිත කරන්නේ කොපමණ විනිවිදභාවකින් ද කියන ගැටලුව ජනතාව තුළ තියනවා. මේ තත්ත්වය තුළ ඍණාත්මක ආකල්පයක් ඇවිත් තියනවා තමන්ගෙ වත්කම් සහ මුදල් ඉපයීම් සම්බන්ධ තොරතුරු ප්‍රකාශ කරන්න. එවකට සමාජයේ බදු ගෙවීම බදු වගකීමක් ලෙස බැඳිලා තිබුණා. එහෙත් දූෂණ වංචා සිද්ධවීම් සහ බදු මුදල් පරිහරණයේ විනිවිද භාවයක් නොමැති බවට ආකල්පයක් සමාජය තුළ වැඩෙන්නට පටන් ගත්තට පස්සේ ජනතාව බදු පැහැර හැරියා. ආදායම් හැංගුවා. බදු වගකීම කියන සංකල්පය බදු බරක් වුණා. මේක ලංකාවට විතරක් පොදු දෙයක් නෙමෙයි. ආසියානු කලාපයේ රටවල් බොහොමයකට පොදු සිද්ධියක්. එවැනි පරිසරයක දී රජය සැරින් සැරේ අවසර දෙනවා, රජයේ මූල්‍ය සංචිත වැඩි කරගැනීමේ අභිලාෂයෙන් තමන්ගේ කළු සල්ලි සුදු කරන්න. දැන් ලංකාවෙ අපට ප්‍රශ්නයක් තියනවා විදේශ විනිමය සම්බන්ධව. අපි ඩොලර් උපයනවා. නමුත් ඩොලර් ටික බැංකුවට එන්නෙ නෑ. රටේ නීතියෙන් ගත්තොත් ඩොලර් යම් ප්‍රමාණයකට වඩා තමන් ලඟ තියාගන්න තහනම්. නමුත් අපි දකිනවා තහනම් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රට තුළ සංසරණය වෙනවා. ඒ මුදල් නැවත රජයට ගන්න නම් දැඩි නීතිමය ක්‍රියාමාර්ගවලට යනවට වඩා හොඳම දේ තමයි සහන කාලයක් දෙන එක. ජනතාවට වටිනා අවස්ථාවක් ලැබී තියනවා, තමන් ළඟ තියාගත්තු ඩොලර් ටික බැංකුවලට දීලා රටේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න.“

ඇත්ත වශයෙන්ම රට තුළ සැඟවුණු විදේශ සංචිත තිබේ ද?. ඒවා සම්බන්ධව රටේ තක්සේරුව කුමක් ද?

“පහුගිය කාලෙ අපනයන කටයුතු, විදේශ ප්‍රේෂණ වගේ අවස්ථාවලදි අපි දැක්කා කියන සංඛ්‍යාලේඛන නෙමෙයි ඩොලර් සම්බන්ධව බැංකුවලට ආවෙ. බෙහෙවින්ම අඩුවෙලා. ඒ වගේම අපි දැක්කා විශේෂයෙන්ම බැංකු පද්ධතියේ අස්ථාවර තත්ත්වය නිසා විදේශ ප්‍රේෂණ උණ­්ඩියල් ක්‍රමයට එනවා . ඒ මුදල් බැංකු පද්ධතිය මගහැර ජනතාව අතරට ගියා. නීතිමය ක්‍රමවලට පිටින් පැමිණි මෙම විදේශ විනිමය ගැන අපට දත්ත වාර්තා නෑ. අපි පැවති දත්ත මත කතා කරනවා නම් රටේ අපනයන ආදායම තියනවා ඩොලර් මිලියන එක්දාස් දෙසීය තිහකට ආසන්නව. නමුත් ඩොලර් මිලියන 200ක් තමයි බැංකු පද්ධතිය හරහා රටට ආවේ. එක්කො උපයපු ඩොලර් ලංකාවට ආවෙ නෑ. ඔවුන් ඩොලර් වෙන රටවල තිබ්බා. එහෙම නැතිනම් වෙන මාර්ගයකින් ලංකාවට ඇවිත් තියනවා.

ඒ වගේම තමයි විදේශ ප්‍රේෂණ. අපි ඩොලර් බිලියන හතක් විතර බලාපො­‍ෙරාත්තු වුණා විදේශ ප්‍රේෂණ. ඒත් මේ අවුරුද්දෙ ලැබුණෙ ඩොලර් බිලියන තුනයි දශම පහයි. රට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල එක්ක මේ තරම් දඟලන්නේ ඩොලර් බිලියන 2ක 3ක ණයක් ගන්න. නමුත් අපි විදේශ ප්‍රේෂණ අඩු කරගෙන තියනව ඩොලර් බිලියන 3.5.ක්. මේ සැඟවූ ප්‍රේෂණ රට තුළට නිශ්චිත ක්‍රමවේදකට ආව නම් අපට IMF යන්න අවශ්‍ය නෑ. මෙහෙම අර්බුදකාරී අවස්ථාවල මේ ආකාරයෙන් ජනතාවගේ සහාය ගත්ත රටවල් විශාල ප්‍රමාණයක් තියනවා.“. මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා අපට කීවේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්නට අනුව කෙටි කාලීන පරමාර්ථයකින් විනිමය සංචිත වැඩි කරගැනීම සඳහා මේ දියත් කර ඇත්තේ ප්‍රායෝගික වැඩපිළිවෙළකි.

“ විදේශ විනිමය හිඟවෙනකොට ඕන රටක් විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. මේ අරන් තිබෙන්නෙත් එහෙම ක්‍රියාමාර්ගයක්. නමුත් මේක සාර්ථක වීම හෝ අසාර්ථක වීම සම්බන්ධව පූර්ව තක්සේරු කරන්න බෑ. වඩා වැදගත් වන දේ මේ වගේ විකල්ප ක්‍රියාමාර්ග හඳුන්වා දීමේ දී මෙම මුදල් භාවිතය සම්බන්ධව මෙන්ම රටේ ආර්ථික ස්ථාවරත්වය සාධනය කරන බවට රජය ජනතාව තුළ විශ්වාසය ඇති කරගැනීම. ඒ කියන්නෙ අප කරන්න යන දේ ගැන සේම අනාගතයේ විදේශ විනිමය විශාල වශයෙන් උච්ඡාවචනය නොවනු ඇතැයි තියන විශ්වාසය විදේශ විනිමය හිමියන්ට දෙන්න ඕන. ඊළඟට අයථා ක්‍රමවලින් විදේශ විනිමය එවන විධි සඳහා නිශ්චිත දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕන. මේ අවස්ථාවේදී අවශ්‍ය එවැනි ඒකාබද්ධ වැඩපිළිවෙළක්.“ මහාචාර්යවරයා කීවේය.

එහෙත් මේ ප්‍රවේශය නීත්‍යානුකූල නොවන විනිමය සංචිතවලට වලංගුභාවයක් ලබා දෙන්නේය. එය රටක් ලෙස කොපමණ යහපත් ද?. මහාචාර්යවරයා විමසීමි. “ඔව්... වලංගු භාවයක් ලැබෙනවා. වලංගුභාවයෙන් ඒ අයට කරන්න පුලුවන් එකම දෙයයි. විදේශ විනිමය රුපියල් බවට පරිවර්තනය කරලා ඉහළ පොලී අනුපාතයට බැංකුවෙ දාන්න පුලුවන්. “

“නමුත් මේ වෙලාවෙ ආර්ථිකය සම්බන්ධව ගැටලු ගොඩක් තියනවා. උද්ධමනය වැඩි වෙලා. බැංකුවල මුදල් ලෙස සල්ලි එකතු කරන්න තියන පෙළඹීම අඩු වෙලා. අනික් පැත්තෙන් රුපියල්වලට මාරු කරලා බැංකුවක ඩොලර් සංචිත තියන්න මිනිස්සුන්ට බයයි. ඒ තත්ත්වය තුළ මේ ප්‍රවේශය හොඳයි. නමුත් ඉන් විතරක් සාර්ථක වේවි කියාලා අපට කියන්න බෑ.“

“ ඩොලර් මිල ඉහළ යයි කියන අවබෝධයෙන් ඩොලර් එකතු කරපු අයට බැංකුවට මුදල් දාන්න මුලින් කී ලෙසම විශ්වාසය ඇතිවෙලා තියනවද කියන එක ගැන සැකයි. කොහොම වුණත් ඒ විශ්වාසනීයභාවය ඇතිකරන්න යම්යම් ක්‍රමවේද අරන් තියනවා. මහබැංකු අධිපතිතුමා කියනවා රටේ ආර්ථිකය යම් මට්ටමකට වෙනස් වෙලා තියනවා කියලා. යම් මට්ටමක ධනාත්මක අදහස් මූල්‍ය ක්ෂේත්‍රයේ උඩ ඉන්න අය දරන්න ඕන. ඒ අය ඍණාත්මක අදහස් දැරුවොත් මේ ආර්ථිකය කරගෙන යන්න බෑ.“

දීප්ති ළමාහේවාට අනුව මේ ඩොලර් සංචිත හිඟවීමෙන් ඇති වූ මෙම විකල්භාවය පසුපස ඇත්තේ දේශපාලන ආරාජිකවාදයයි.

“ මම පෞද්ගලිකව හිතනවා අපි හැමෝටම යම් යුතුකමක් තියනවා මේ අර්බුදය තේරුම් අරගෙන තමන්ගේ මට්ටමින් ඊට යම් සහායක් දෙන එක. පසුගිය කාලෙ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් ගෙන්වා ගැනීම වෙනුවෙන් ප්‍රචාරණ දියත් කළා. ආයාචනා කළා. නමුත් ඒ එක් අවස්ථාවක්වත් සාර්ථක වුණේ නෑ. අපේ මිනිස්සු තුළ ද්විත්ව ස්වරූපයක් තියනවා. රටට ආදරය කරනබව කරන ප්‍රකාශනයට වඩා තමන්ගේ පෞද්ගලික ලාභය වෙනුවෙන් ඇති ආකර්ෂණය වැඩියි. ඔවුන් ඩොලර් සංචිත පෞද්ගලිකව තබා ගන්නෙ ඒ අභිලාෂයෙන්. මේ තත්ත්වය උඩ තමයි මේ අලුත් උත්සාහය එළියට එන්නේ. “

“මේ විකෘති ප්‍රවාහය නවත්වන්න රජයට ක්‍රමයක් නැද්ද. අනෙක් පැත්තෙන් මෙවැනි කරුණු අරභයා නීතියට ක්‍රියාත්මක විය හැකි උපක්‍රමශීලී වැඩපිළිවෙළ නැද්ද?. රජයක් ලෙස ඒ ගැන කල්පනා කළ යුතුයි.“ ඔහු කියන්නේය.

කැලණීය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය අජිත් දිසානායකට අනුව නම් මෙම සමා කාලය පය බරවායට පටිකර බෙහෙත් බැඳීමකි.

“ මේ වගේ තත්ත්වයකට අපට මුහුණ දෙන්න සිද්ධ වුණේ ඇයි. අපේ ආර්ථිය මේ තරම් බිඳ වැටෙන්න හේතු වෙච්චි කාරණා මොනව ද?. ඒවා හොයන්නෙ නැතිව මේ කරන්නෙ පය බරවායට පිිටිකර බෙහෙත් බඳිනවා වාගෙ වැඩක්. මේ කරන දේ මොනතරම් ප්‍රතිඵලදායීද කියලා මට තේරෙන්නෙ නෑ. අපි තවමත් මේ අර්බුදයට පිළිතුරු හොයන්නේ අප බටහිරින් ඉගෙන ගත්ත න්‍යාය භාවිත කරලා. මේ පොළොවෙ සෑබෑ ප්‍රශ්නය දැකලා නෙමෙයි. මේක කාගෙ රාජකාරියද?. ශ්‍රී ලංකා මහ බැංකුවෙ තියනවා ආර්ථික පරීක්ෂණ ඒකකය කියලා එකක්. මෙහි කාර්ය භාරය ආර්ථිකය පිළිබඳ පරීක්ෂණ කිරීම. ආර්ථික පර්යේෂණ ඒකකයට වාර්ෂිකව රුපියල් කෝටි ගණනක් මහජන මුදල් වැය කරනවා. විදෙස් දැනුම ගන්න විදෙස් විනිම‍ෙයන් කෝටි ගණන් වැය කරලා තියනවා. නමුත් ඔවුන් ඔවුන්ගෙ කොටස සිදුකරලා නෑ. විෂයභාර ඇමතිවරයාට නිසි මගපෙන්වීම කරන්න ඕන. අපේ ඩොලර් සංචිත හායතනය වෙන විදිහ ගැන හොයන්න කවුරුත් නැ.

අපි හිතනවා සංචාරක ව්‍යාපාරයෙන් එන මුදලින් මැදපෙරදිග ගෘහසේවයේ යෙදෙන අම්මලා තාත්තලා එවන මුදලින් මේ ප්‍රශ්නය විසඳන්න පුලුවන් කියලා. එහෙම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි මේක. උදාහරණයක් කියන්නම්.

අපේ එක් වෛද්‍යවරයෙක් හදන්න ජනතා බදු මුදල් කෝටි ගණනින් වැය කරනවා. එක් විද්වතෙක් විශ්විද්‍යාල පද්ධතියෙන් බිහි කරන්න අති විශාල පිරිවැයක් රට දරනවා. කිසිම වගකීමකින් තොරව උසස් අධ්‍යාපනය හමාරවෙලා වෘත්තිය පුරුද්ද ගත්තු වහාම ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් රට හැර යනවා. මේ පුද්ගලයින් වෙනුවෙන් රට දැරූ පිරිවැය අය කරගැනීම සඳහා ක්‍රමවේදයක් නෑ. රටේ විනිමය සංචිත වැඩිකරගැනීම සඳහා මීට අපේ ඉලක්ක ප්‍රශ්න හඳුනාගෙන මීට වඩා ස්ථාවර විධිමත් ක්‍රමවේදයක් රට තුළ ක්‍රියාත්මක විය යුතුයි.“මහාචාර්යවරයා කියන්නේය.

මේ විද්වතුන් අපට පෙන්වා දෙන ආකාරයට අප ඉන්නේ අපටම විසඳාගත හැකි ප්‍රශ්නයකය. අවශ්‍ය වන්නේ ගැටලුවේ පාර්ශ්වකරුවෙක් නොවී විසඳුමේ පාර්ශවකරුවෙක් වීමය. ඒ සඳහා ඉදිරිපත් නොවනතාක් කල් අපේ බිහිසුණුම ප්‍රශ්න සියල්ල අප ළඟය.

 

Comments