සැප්තැම්බර් මාසය ඔබට කොහොමද? | Page 2 | සිළුමිණ

සැප්තැම්බර් මාසය ඔබට කොහොමද?

ප්‍රවීණ ජ්‍යොති­ර්වේ­දිනි ශ්‍රියා ගනේ­ගොඩ

සුබ පල වැඩිවන අසුබ පල අඩුවන මාසයක්

සාහිත්‍ය මාසය යනුවෙන් ද හඳුන්වනු ලබන එළඹෙන සැප්තැම්බර් මස අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ දැනුම බුද්ධිය වර්ධනය වෙන, උසස් විභාගවලින් ජයග්‍රහණ හිමිවන දක්ෂ කලාකරුවන් බිහිවෙන ග්‍රහ රටාවක් නිර්මාණය වී ඇත. අගෝස්තු 31 වැනි දින සවස සිකුරු, එනම් ග්‍රහලොව සුරතලිය සිංහ රාශියට පිවිසීමත් සැප්තැම්බර් 17 ග්‍රහලොව රජු වන රවි කන්‍යා රාශියට පිවිසීමත් සැප්තැම්බර් 24 වෙනි දින නැවත සිකුරු කන්‍යා රාශියට පිවිසීමත් සිදුවේ. සැප්තැම්බර් මාසය තුළ මෙම ග්‍රහ මාරු ග්‍රහ ගෝචරවීම් සහ ග්‍රහයන්ගේ වක්‍රවීම් අනුව සුබ ප්‍රතිඵල වැඩියෙන් ද අසුබ ඵල අඩුවෙන් ද පෙන්වයි. ලග්න කීපයකටම භද්‍රා යෝගය, බුධ ආදිත්‍ය යෝගය, විදුර යෝගය යන ප්‍රබල ග්‍රහයෝග යෙදෙනු ඇත. ඒ අතර බුධගෙන් සහ සිකුරුගෙන් යෙදෙන නීච භංග යෝගය ද වෙයි. දරුවනට අකුරු කියවීම සඳහා සරස්වතී යෝගය ද මේ මාසය තුළ යොදාගත හැකියි. මාසයේ මුල කොටසේදී සිදුවන බුධ ග්‍රහයාගේ වක්‍රවීම දරුවන්ට අපල උපද්‍රව පෙන්වන බැවින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්ය.

මේෂ ලග්නය - ධනෝපායන මාර්ග සැකසෙයි

ගෘහ ජීවිතය:- ගෘහ ජීවිතය තුළ තරමක් ගැටලුකාරී බවක් පෙන්නුම් කළත් සුළු වෙලාවකින් ඒවා මගහැරී යනු මිස කල් පවත්වන ඒවා නොවේ. වචනය පාලනය කර ගැනීමෙන් සාමකාමී බව ගෙන දේ.

රැකියා කටයුතු:-ශනි 10 වැන්නේ ස්වක්ෂේත්‍රව සිටීමත් බුධගේ බලපෑමත් අනුව ආදායම් තත්ත්වය පහත නොවැටේ. දැනුම බුද්ධිමත්ව යොදා ගැනීමෙන් නවතා තිබූ ව්‍යාපාරික කටයුතු පවා යළි නඟාසිටුවා ගැනීමට කම්කරු ශ්‍රමය තුළින් ඔබට හැකිවනු ඇත.

අධ්‍යාපනය :- අධ්‍යාපනය ලබන දුවා දරුවනට ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩියෙන් ඉගෙනීමට අවස්ථා සැලසේ. කලා කටයුතුවල යෙදෙන දරුවනට උසස් ජයග්‍රහණ හිමිවේ. පාසල් යෑමට නැවත ලැබුණු අවස්ථාව නිසා දරුවන්ට එක්ව කරන ක්‍රියාකාරකම්වලට ඇල්ම වැඩිවේ.

සෞඛ්‍යය :- දත්රෝග, ඇස් රෝග, ස්නායු දුබලතා ඇතිවීමට පුළුවන. වචනය පරෙස්සමෙන් පාවිච්චි කිරීමෙන් අපල උපද්‍රව අඩු කර ගැනීමට හැකිවේ. වස් කාලසීමාවේ ස්වාමීන් වහන්සේලාට ගිලන්පස පිළිගන්වා අපල අඩු කරගන්න. මේ මාසයේදී ඔබගේ දියුණුව සැලසේ.

සුබ අංක - 2, 7 සුබ වර්ණ - රතු, නිල් සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා

වෘෂභ ලග්නය - ගෞරවාන්විත සැලකිලි

ගෘහ ජීවිතය :- අන්‍යයන් තමාගේ අණසකට අවනත කර ගැනීම ඔබට පහසුවෙන් කළ හැකි නිසා පදිංචි නිවහනෙහි ගැටලු ඇති නොවේ. එහෙත් ඉන් පිටත ගැටලු මතුවිය හැකිය. සාමකාමී බවක් ගොඩ නැඟෙයි. පවුලේ සාමාජිකයන්ට හරි වැරදි අවබෝධ කර දී එදිනෙදා දියුණුව සලසා ගනී. නිවෙස් අලංකරණයට යොමුවේ.

රැකියාව :- රුචක යෝග බලය ගොඩ නැඟී ඇති බැවින් රැකියා අංශ තුළ හරියාකාරව සිය වගකීම් ඉටුකරයි. ගෞරවාන්විත සැලකිලි හිමිවේ. ආදායම් ලාභ ප්‍රයෝජන ලැබීමට හේතුයි. ආර්ථිකය ශක්තිමත් වේ.

අධ්‍යාපනය :- විද්‍යා, කලා, පරිගණක ක්ෂේත්‍රවල ඉගෙනුම ලබන දරුවනට බුද්ධි වර්ධනය ඇතිවේ. ඒ ඒ අංශවල ජයග්‍රහණ ලබයි. ඉංග්‍රීසි පාඨමාලා හැදෑරීම්වලට යොමුවෙයි.

සෞඛ්‍යය :- ස්නායු රෝග, උදරාබාධ වලට ඉඩ ඇත. හෘදය සම්බන්ධව සෙම්රෝග බල පවත්වයි. නොයෙක් වර්ණයෙන් යුතු මල් ටිකක් චෛත්‍යයක් අබියස පූජාකර කරණීය මෙත්ත සූත්‍රය කියා දෙවියනට පින් දෙන්න.

සුබ අංකය - 06 සුබ වර්ණය - ක්‍රීම් පාට සුබ දවස් - බදාදා, සිකුරාදා

මිථුන ලග්නය - උසස්වීම් සහ නව රැකියා අවස්ථා

ගෘහ ජීවිතය :- ජයග්‍රාහී මාසයක් වන ඉදිරි මාසය තුළ සතුට සැනසුම ලැබෙන ඔබගේ ජීවිතයට අගනා පොත්පත් තිළිණ වශයෙන් ලැබෙයි. ඒවායේ සාරය උකහා ගෙන බුද්ධිමත්ව කටයුතු කරන්නට ඉඩ හසර වෙන්වෙයි. දරුවන් හා ප්‍රීතිමත් කල දසාවකට ඉඩ ඇති බව පෙන්වයි.

රැකියාව :- රැකියා අංශවල මෙන්ම ව්‍යාපාරික අංශයන්හිද ආදායම් සුබ අතට හැරෙයි. සියලු ලැබීම් පෙන්නුම් කරන බැවින් ඔබ ඉදිරි මාසය තුළ භාග්‍යවන්තයෙකු සේ පැවසිය හැකිය. උසස්වීම් මෙන්ම නව රැකියා ද හිමිවෙයි. ලියන කියන අංශවල රැකියා බොහෝ දුරට හිමිවෙයි.

අධ්‍යාපනය :- පාසල් මට්ටමේ පමණක් නොව වෙනත් උසස් පාඨමාලා හදාරන සියලුම දරුවන්ගේ නැණ නුවණ වර්ධනය කෙරෙන කාලයකි. ජයග්‍රහණ හිමිවේ.

සෞඛ්‍යය :- ස්නායු ආබාධ, පාදවල වේදනා, හිසරදය ඇතිවීමට පුළුවන. එක්තැන් වී සිටින රෝගියකුට ආහාර වේලක් දිය හැකි නම් අපල අවම වේ.

සුබ අංක - 3, 5; සුබ වර්ණ - කොළ, කහ සුබ දවස් - බදාදා, සිකුරාදා

කටක ලග්නය - ලොතරැයි ජයග්‍රහණ

ගෘහ ජීවිතය :- සැප්තැම්බර් මාසය පුරාවට ඔබගේ ග්‍රහ චලිතයන් විමසා බැලීමේදී ලැබීම් අතින් සුබවාදී බවක් පෙන්වයි. ස්ත්‍රී පක්ෂයෙන් මවු පාර්ශ්වයෙන් උදවු උපකාර හිමිවේ. සාමයෙන් සමගියෙන් කල්ගත වෙන අතර අවිවාහක අයට මංගල යෝග උදාවෙනු ඇත.

රැකියාව :- රැකියා හා වෙනත් ව්‍යාපාරික අංශවලින් මිල මුදල් ලාභ ප්‍රයෝජන අත්වේ. කම්කරු ශ්‍රමය යොදවා ඔබ කරන ඉහළ පරිමාණ ව්‍යාපාරවලට සුබ කාලයක් වනු ඇත. කලා අංශවල නිරත අයට මෙන්ම නීතිඥ අංශවල අයට ද ඉහළ ප්‍රතිලාභ හිමිවේ.

අධ්‍යාපනය :- බුධගේ බලවත්කම අනුව බුධ වික්‍රමස්ථාන ගත වී උසස් දැනුම් සම්භාරයක් දරුවනට ලබා දෙයි. ඔවුන්ට විභාගවලට මුහුණ දීමේ ශක්තිය නිරතුරුවම ලැබේ.

සෞඛ්‍යය :- උෂ්ණාධික රෝග මෙන්ම දත් හා මුඛ රෝග සෑදීමට ඉඩ ඇත. වස් පිංකම් සඳහා දායකත්වය මෙන්ම උදව් උපකාර, බෝධි පූජාවලට සහභාගි වන්න.

සුබ අංක - 2, 7; සුබ වර්ණය සුදු;

සුබ දවස - සඳුදා

සිංහ ලග්නය - ප්‍රධානීන්ගෙන් උදවු උපකාර

ගෘහ ජීවිතය :- ලග්නාධිපති ලග්නයේම බලවත්ව සිටී. කිසිවකුටත් අත නොපා වැඩ කටයුතු කරගන්නා ආකාරයක් දිස්වෙයි. සමහරවිට ස්ත්‍රී පාර්ශ්වයේ කෙනෙකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසෙන්නට සිදුවේ. නොබියව ජීවිතය මුහුණ දීමේ ශක්තිය ඔබට ආශිර්වාදයකි. දෙවැන්නේ බුධගේ බලවත් වීම හොඳට නරකට දෙකටම බලපෑම් ඇති කරයි. වචනය ගැන සැලකිලිමත් වන්න.

රැකියාව :- ඔබ කුමන අංශයේ රැකියාවක නිරත වුවද එය ඉතා කැමැත්තෙන් කරයි. ලාභ ප්‍රයෝජන සහ ප්‍රධානීන්ගෙන් උදවු උපකාර ද ලබයි.

අධ්‍යාපනය :- විද්‍යා, කලා යන දෙඅංශයේම දරුවනට විභාගයන් ඉලක්ක කරගෙන ප්‍රශ්න ගැටලු විසඳීමේ ශක්තිය පෙන්වයි. පොතපත පරිශීලනයට යොමුවෙයි. පාසල් මිතුරු පිරිස සමඟ උනන්දුවෙන් ඉගෙනුම් කටයුතු කරගෙන යයි.

සෞඛ්‍යය :- උණ රෝග, තුනටියේ වේදනා, සෙම් රෝග දක්නට ඇත. වස් කාලයේ ධර්ම දේශනාවලට සවන් දීමෙන් අපල අඩුවේ.

සුබ අංකය - 4 සුබ වර්ණය - රතු

සුබ දවස - ඉරිදා

කන්‍යා ලග්නය - නව ව්‍යාපාර ආරම්භයට සුබ කාලයක්

ගෘහ ජීවිතය :- කරන කියන සෑම කටයුත්තක්ම බුද්ධිමත්ව ඉටු කිරීම නිසා ගැටලු මගහරවා ගැනීමටත් සැහැල්ලුවෙන් දරුවන් සහ පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගත කිරීමටත් හැකිවේ.

රැකියාව :- නව ව්‍යාපාර ආරම්භයට සුබ කාලයකි. වැඩිහිටි අයගේ උපදෙස් මත කටයුතු කිරීමෙන් ඒවා සඵලතාවයට පත්කර ගැනීමට හැකිවේ. ලිපි ලේඛන කටයුතු, මුද්‍රණාල ආදී රැකියා ක්ෂේත්‍රවල දියුණුවක් ඇතිකරගත හැකිය.

අධ්‍යාපනය :- කන්‍යා ලග්නයෙන් උපත ලද දුවා දරුවන්ට ජයග්‍රාහී දොරටු විවර වන ඉදිරි සැප්තැම්බර් මාසයේ දැනුම් සම්භාරයක් ළඟා වනු ඇත. ඉන් ඵල නෙළා ගැනීමට උනන්දු වීමට දරුවන්ට අවබෝධ කරදීම වැදගත් වේ. මේ කාලයේ පැමිණෙන විභාග ප්‍රතිඵල පිළිබඳව ද සතුටුදායක තත්ත්වයක් පවතී.

සෞඛ්‍යය :- ස්නායු ආබාධ, කොඳු ඇට පෙළේ වේදනා මතු කරයි. කොහොඹ පැළයක් සිටුවා එයට සත්කාර කළ හැකි නම් අපල අඩුවේ.

සුබ අංකය 3 සුබ වර්ණය - කොළ සුබ දවස - සිකුරාදා

තුලා ලග්නය - ආදායම් තත්ත්වය ඉහළට

ගෘහ ජීවිතය :- ගේදොර අලංකරණයට යොමුවන කාල වකවානුවකි. විවාහ දිවියේ හැලහැප්පීම් මතුවිය හැකි අතර එක් අයකු සංවාදය මගහැරීමෙන් දුරදිග නොයයි.

රැකියාව :- විදෙස් ගමන් ඉල්ලුම් කළ අයට ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන ලැබීමට ඉඩ තිබේ. ව්‍යාපාර කටයුතුවලට තරමක බාධා පැන නැඟුණත් අතමිට හිඟ නොවී පවතී. හෝටල් ක්ෂේත්‍රය, රෙදිපිළි ආදි කර්මාන්තවල නියැළෙන අයට වැඩි වාසි අත්වේ.

අධ්‍යාපනය : විදෙස් රටවලට අධ්‍යාපනය සඳහා ලිපි යොමු කළ දරුවනට ඒ සඳහා සුබ ප්‍රතිඵල ලැබෙන්නට ඉඩ ඇත. මෙරට අධ්‍යාපනය ලබන තුලා ලග්න හිමි දුවා දරුවනට ද උසස් අධ්‍යාපනය ඉංග්‍රීසි අධ්‍යාපනය ඉතා සාර්ථක වීමේ ප්‍රවණතාව ඇත.

සෞඛ්‍යය :- උණ රෝග වැනි ආසාදන, සෙම්රෝග, සමේ රෝග ඇතිවීමට පුළුවන. තිරිසන් සතුනට ආහාර හා ජලය දීමෙන් අපල අඩුකර ගැනීමට පුළුවන.

සුබ අංකය - 06 සුබ වර්ණය - ක්‍රීම් පාට සුබ දවස් - බදාදා, සිකුරාදා

වෘශ්චික ලග්නය - අතමිට සරුවෙයි

ගෘහ ජීවිතය :- ගෙදරදොර නිවෙස් හා ගෙමිදුල අලංකරණයට කාලය වැය වේ. කාමභෝගී දිවියකට අවතීර්ණ වන බැවින් අනවශ්‍ය බැඳීම් ඇති නොකර ගැනීම වැදගත් වේ. අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වෙයි. දරුඵල ප්‍රමාද අයට ද සුබකාල වකවානුවකි.

රැකියාව :- කෘෂිකාර්මික අංශවල දියුණුවක් ඇති කර ගැනීමට හැකි කාල වකවානුවකි. වාහන කොටස් අලෙවිකරණය වැනි ව්‍යාපාර නඟා සිටුවීමට ද හැකියාව පවතී. කුමන අංශයක රැකියාවකට යොමු වුවද ඔබට එයින් පාඩුවක් නොවනු ඇත. අතමිට සරුවේ.

අධ්‍යාපනය :- පරිගණක තාක්ෂණය, විද්‍යා, ගණිත යන අංශවල දරුවනට උසස් දැනුමක් ඇති කර ගත හැකි කාලයකි. දරුවනට වියපැහැදම් කිරීමේ ප්‍රතිඵල භුක්ති විඳීමට අනාගතයේ හැකිවනු ඇත.

සෞඛ්‍යය :- උරහිස් හා පාදවල වේදනා, සෙම්රෝග මතුවිය හැකිය. රතුමල් වට්ටියක් චෛත්‍යයක් අබියස පූජා කිරීමෙන් අපල අඩුවේ. රාත්‍රි කාලයේ ගමන් බිමන් නොයන්න.

සුබ අංක 1, 4 සුබ වර්ණය - රතු සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා

ධනු ලග්නය - අවිවාහකයන්ට මංගල යෝග

ගෘහ ජීවිතය :- සිවු වැන්නේ ගුරු ග්‍රහයාගේ ගෝචරය මෙන්ම කර්මස්ථානයේ බුධ බලවත්ව සිටීම ඔබට ඉදිරි මාසය සුබඵල දායකය. අනාගත වැඩපිළිවෙළකට යොමුවීම එයට තිබූ යම්කිසි බාධක ඉවත් කර ගැනීමට ද හැකිවේ. වැඩිහිටි කෙනකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන අතර ගෘහ ජීවිතය සාමකාමීව ගතවේ.

රැකියාව :- කර්මස්ථානය බලවත්ව ප්‍රධානීන්ගේ උදවු උපකාර ඇති කටයුතු කර ගැනීමට හැකිවේ. ආදායම්, වැටුප් වැඩිවීම්, තනතුරු නිලතල ලැබීම් සිදුවේ.

අධ්‍යාපනය :- අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ දක්ෂතා මතුකර දෙන උසස් විභාගවලින් ජයග්‍රහණ ලබන කාලයකි.

සෞඛ්‍යය :- දත්වල ආබාධ, මුහුණ ආශ්‍රිත ඉන්ද්‍රියයන්ගේ හා අම්ල පිත්ත රෝගයකට හේතුයි. වස් කාලයේ සිල්වත් ස්වාමීන් වහන්සේ නමකට බෙලිමල්, රණවරා වැනි කහපාට ඖෂධීය පානයක් පිළිගන්වන්න. අපල අඩුවේ.

සුබ අංකය - 5 සුබ වර්ණය - කහ සුබ දවස - ඉරිදා

මකර ලග්නය - චිත්ත ධෛර්යය වැඩිවේ

ගෘහ ජීවිතය :- ඒරාෂ්ටක අපල තත්ත්වයන් තවමත් ගෙවී නොමැති හෙයින් කරන කියන වැඩකටයුතුවල සුබ ඵලයක් නොලබයි. පවුල් ඒකකය තුළ තම මූලිකත්වය නොනැසී පවත්වා ගැනීමට උනන්දු වෙයි. දරුවන්ගේ ඕනෑ එපාකම් ගැන නිතර සිතයි. ඒ ගැන වෙහෙසෙයි.

රැකියාව :- රැකියා අංශවලින් ලාභයක් අත් නොවුණද ඒ ගැන කනගාටු නොවී නිතර තවත් අලුත් යමක් කරන්නට උනන්දු වෙයි. ඉවසීම ජීවිතයට ශක්තියක් කරගෙන සිටී.

අධ්‍යාපනය :- දුවා දරුවන්ගේ අධ්‍යාපන තත්වයන් සුබ අතට හැරෙයි. උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ගේ ජයග්‍රහණ හේතුවෙන් මවුපියන්ගේ කැපවීම් පිළිබඳවත් ගුරු භවතුන්ගේ දක්ෂතා පිළිබඳවත් සතුටක් ගෙනදෙයි.

සෞඛ්‍යය : හෘද රෝග, සෙම් රෝග වැලඳීමේ අවදානමක් ඇත. උදේ හෝ සවස මල් පහන් පුදා කරණීය මෙත්ත සූත්‍රය කීමෙන් අපල තත්ත්වයන් මගහැරේ.

සුබ අංකය - 9 සුබ වර්ණය - නිල් සුබ දවස - අඟහරුවාදා

කුම්භ ලග්නය - විදෙස් ගමන් සඵල වේ

ගෘහ ජීවිතය :- ගෘහ ජීවිතය සාමකාමීව පවත්වාගෙන යෑමට හැකියාව ඇත. වචනයේ ප්‍රියමනාප බව නිසා එකිනෙකා අතර බැඳීම් වැඩිවේ. විවාහ ජීවිතයේ හැල හැප්පීම් පෙන්නුම් කළත් ඒවා ටික කලකට පමණි.

රැකියාව :- විදෙස් රැකියා සම්බන්ධයෙන් ඉල්ලුම් කර තිබූ අයට සුබඵල උදා කරයි. දැනට කරගෙන යන්නාවූ කුමන ක්ෂේත්‍රයක රැකියාවකින් වුවද ලාභ ප්‍රයෝජන ඇත. නිවෙසේ සිටම කරගෙන යාමට හැකි පරිගණක ක්ෂේත්‍රයේ වෘත්තීන් ලැබීමට ඉඩ ඇත.

අධ්‍යාපනය :- අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට ඉතා සුබ කාලවකවානුවකි. ප්‍රාථමික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, ඉංග්‍රීසි භාෂාව ආදියේ වටිනාකම් අවබෝධ කරගෙන මහත් උනන්දුවකින් කටයුතු කරන දක්ෂ දරුවන් බිහිවනු ඇත.

සෙඛ්‍යය :- සෙම් රෝග, මුත්‍රා ආසාදන, පා ඇඟිලිවල වේදනා මතු කරයි. තිරිසන් සතුනට ආහාර හා ජලය දෙන්න.

සුබ අංකය - 3 සුබ වර්ණය - නිල් සුබ දවස - සිකුරාදා

මීන ලග්නය - අමතර ආදායම් වැඩිවෙයි

ගෘහ ජීවිතය :- අය පක්ෂය හොඳින් තිබුණත් ඒ හා සමාන වියදම් ද යෙදෙන බැවින් ගෘහ ජීවිතය තුළ ගැටලු මතුවීමට ඉඩ ඇත. ලග්නයේ ස්වක්ෂේත්‍රව ගුරු ගෝචරව සිටීම එම ගැටලු අවම කිරීමට හේතුවෙයි. සාධාරණ ලෙස සෑම දෙයක්ම විසඳෙයි.

රැකියාව :- කරගෙන යන ව්‍යාපාර හා රැකී රක්ෂා කටයුතුවලින් මහන්සියට සරිලන වැටුපක් ලැබෙනු ඇත. අමතර ආදායම් ලැබීමට ලිපි ලේඛන, පොතපත සම්බන්ධ කටයුතුවලට යොමුවීමෙන් හැකියාව ඇති අතර ඒ සම්බන්ධ රැකියා වෘත්තීන්වලට ඔබට කථා කරනු ඇත.

අධ්‍යාපනය :- ඉගෙනුම් කටයුතු කරන දුවා දරුවන්ගේ විද්‍යාත්මක දැනුම, කලා කටයුතු මෙන්ම, ගුණ දහම් වර්ධනය වනු ඇත. උසස් විභාගවලින් ජයග්‍රහණ හිමිවේ.

සෞඛ්‍යය :- දත් සහ මුඛ රෝග, කොඳුඇට පෙළේ ආබාධ ඇතිවිය හැකි බැවින් බර ඉසිලීම් ආදියට නොයන්න. වචනවලින් අන්‍යයන්ගේ සිත් රිදීම් ඇතිවීමට පුළුවන. භාවනාවක යෙදිය හැකි නම් අපල අඩුවේ.

සුබ අංකය - 9 සුබ වර්ණය - කහ සුබ දවස - බ්‍රහස්පතින්දා

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි ශ්‍රියා ගනේගොඩ

Comments