අඳුරේ සැඟවුණු ශෂීගේ මාරයෝ | සිළුමිණ

අඳුරේ සැඟවුණු ශෂීගේ මාරයෝ

 

අගෝස්තු මාසයේ තුන්වන දින වත්තල, ඇටැම්පල වත්ත, ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගබඩා බාරකරුවකු ලෙස සේවය කළ පුද්ගලයකුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිදුවීමක් වත්තල පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙන් වාර්තා විය.

මෙසේ ඝාතනය කැර තිබුණේ ගලහදුව, හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන හතළිස් එක් හැවිරිදි එරන් ශෂි කුමාර් නමැති පුද්ගලයෙකි.

මෙම සිද්ධිය සිදුවු දින වත්තල, ඇටැම්පල වත්ත, ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටදි පුද්ගලයකුට පිහියකින් ඇන ඔහුගේ මුදල් පසුම්බිය පැහැරගෙන ගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව වත්තල පොලිසියේ නිලධාරින් මූලික විමර්ශන කටයුතු ආරම්භ කළේය.

පිහි පහරින් බරපතළ තුවාල ලැබු ශෂි කුමාර් ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් විය. පසුව පොලිස් නිලධාරින් විසින් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වන්නේ ශෂි කුමාර් එම කර්මාන්ත ශාලාවේ වසර 15 ක පමණ කාලයක් සේවය කර ඇති බවය. මෙම සිද්ධිය වු දින ශෂි කුමාර් බාහිර සේවයෙහි නිරතව ඔහුගේ නිවසට ගොස් රාත්‍රි ආහාරය ගෙන නැවත කර්මාන්ත ශාලාව වෙත පැමිණෙමින් සිටියදි ඝාතනය කැරිණි.

පසුව වත්තල පොලිසියේ නිලධාරින් සිදු කළ විමර්ශනවලදී ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා දර්ශන පරික්ෂා කැරිණි. ස්කූටි වර්ගයේ මෝටර් බයිසිකලයකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු ශෂි කුමාර්ට පිහියෙන් ඇන පලා යන දර්ශන එ්වායේ සටහන් වී තිබී සොයා ගැනිණි.

මෙම පිහි ඇනුමෙන් ශෂි කුමාර්ගේ සිරුරෙන් දැඩි ලෙස රුධිරය වහනය වු බව ප්‍රදේශවාසින් පවසති. ශෂි කුමාර්ගේ බිරිය රාගම ශික්ෂණ රෝහලට පැමිණි අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය ශෂි කුමාර්ගේ මුදල් පසුම්බිය බිරියට බාරදී තිබේ. එහෙත් ඔහුගේ ජංගම දුරකතනය මෙතෙක් අස්ථානගත වී ඇත.

මෙම සිද්ධිය වු ස්ථානයට පැමිණි වැලිසර මහේස්ත්‍රාත්වරයා එම ස්ථානය පරීක්ෂා කර බලා ශෂි කුමාර්ගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු කර එහි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියම කළේය. පසුව රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වන්නේ තියුණු ආයුධයකින් පහර දීම නිසා ශෂි කුමාර්ගේ හදවතට සිදු වු බරපතළ තුවාල හේතුවෙන් ඔහු මියගොස් ඇති බවය.

මෙම ඝාතනය පුද්ගලික අමනාපයක් නිසා සිදු වූවාද එසේ නොමැතිව මුදල් කොල්ල කෑම සඳහා සිදු කළ ඝාතනයක් ද යන්න පිළිබඳව සෙවීම සඳහා පොලිසිය පැති කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර තිබේ. මේ වන විට ඔහු සේවය කළ ආයතනයේ කාර්ය මණ්ඩලයෙන්ද පොලිස් ප්‍රකාශ ලබාගෙන ඇත. ශෂි කුමාර් අනුන්ට කරදරයක් නොවන පරිදි සාධාරණව ජීවිතයක් ගෙන ගිය පුද්ගලයකු බවට හෙළිවී තිබේ. මෙම ඝාතනය සිදු වන අයුරු දැක්වෙන සී.සී.ටී.වී. කැමරා දර්ශන පරික්ෂා කිරීමේදි ඝාතකයන් පැමිණි 'ස්කුටි' වර්ගයේ මෝටර් බයිසිකලයේ අංක තහඩුව රාත්‍රි කාලය නිසා සී.සී.ටී.වී. දර්ශනවල පැහැදිලිව සටහන් වී නොමැති බව පොලිසිය පවසයි. ශෂි කුමාර්ගේ බිරිය තම සැමියාගේ ඝාතනය ගැන කම්පාවට පත්ව සිටින්නිය. පොලීසිය බිරියගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය කියා ඇත්තේ මෙවැනි කතාවකි.

“මේ සිද්ධිය වු දා රාත්‍රියේ සැමියා නිවසට පැමිණ පවුලේ සාමාජිකයන් සිවුදෙනා සමඟ එකට රාත්‍රි ආහාරය ගැනීමෙන් පසුව නැවත සේවා ස්ථානය බලා පිටව ගියා. සැමියාට දන්නා තරමින් තරහකාරයකු නැහැ. මේ සිද්ධිය ගැන විමර්ශන සිදු කර සැකකරුවන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලා සිටිනවා.“

මේ වන විට වත්තල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පැති කිහිපයක් ඔස්සේ පුළුල් විමර්ශන කටයුතු සිදු කර සැකකරුවන් කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීමේ කටයුතුවල නිරතව සිටිති.

කැලණිය කොට්ඨාස බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජේ.වයි.බී. ක්‍රිශාන්තගේ උපදෙස් මත කැලණිය දිස්ත්‍රික් අංක 02 සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න සිල්වාගේ මෙහෙයවීම මත වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලලිත් සීලෝගම, එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්ලිව්. එම්. ඒ. සඳනුවන් ඇතුළු නිලධාරින් විමර්ශන සිදු කරති.

Comments