අවුරුද්දක් ඇතුළත A3 දෙකක් ගෙන ඉංජිනේරු පීඨයට තේරුණ වෛද්‍ය සිසුවිය | සිළුමිණ

අවුරුද්දක් ඇතුළත A3 දෙකක් ගෙන ඉංජිනේරු පීඨයට තේරුණ වෛද්‍ය සිසුවිය

- ජාතික මට්ටමේ ජයග්‍රහණ වාර්තාකර ඇති හොකී ක්‍රීඩිකාවගෙන් නව වාර්තාවක්
- ඉංජිනේරු පීඨයට තේරුණත් අරමුණ වෛද්‍යවරියක් වීමයි 
- මාස 10න් ගණිතය විෂය ඉගෙන ගත්තේ යූ ටියුබ් හරහා
- දෙවැනි වතාවේ විභාගයට මුහුණ දෙද්දි භාවනාවට හුරුවුණා

කොළඹ විශාකා විදුහලේ අධ්‍යාපනය ලැබූ නිල්ෂි ජීවන්දර අපූරු හැකියාවක් පෙන්නුම් කළ සිසුවියකි. විටක ඇය වෛද්‍යවරියක් වීමේ සුදුසුකම් ලැබුවාය. තවත් විටක ඇය ඉංජිනේරුවරියක් වීමේ සුදුසුකම් ලැබුවාය. තවත් විටක ක්‍රීඩාවෙන් දස්කම් දැක්වීමට ද සමත් වූවාය. වරෙක එක් අරමුණක් වෙනුවෙන් උසස් පෙළ වැනි අතිශය තරගකාරී විභාගයකට පෙනී සිටි ඇය, දෙවැනි වතාවේද විභාගයට පෙනී සිටියේ කලින් උසස් පෙළ අසමත් වීම නිසා නොවේ. 2020 වසරේ ඇය උසස් පෙළට මුහුණ දුන්නේ ජීව විද්‍යා විෂය ධාරාවෙනි. එවර ඇය ‘ඒ ’සාමාර්ථ දෙකක් හා ‘බි’ සාමාර්ථයක් ලබා ගනිමින් මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරන්නට සුදුසුකම් ලබා ගත්තාය. ඇය මේ වන විට මොරටුව විශ්වවිද්‍යාලයේ පළමු වසර වෛද්‍ය සිසුවියකි. 2021 වසරේදී ඇය නැවතත් උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේ ගණිත අංශයෙනි. බොහෝ දෙනා ඒ පිළිබඳ විවිධ විමසීම් කරද්දී ඇය නැවතත් විභාගයට සූදානම් වූයේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සූම් තාක්ෂණය මඟිනි. 2021 වසරට නියමිත උසස්පෙළ විභාගය 2022 මැයි මාසය දක්වා කල්යෑම ඇයට පහසුවක් විය. එහෙත් විභාගයට මුහුණ දෙන්නට ඇයට ලැබුණේ මාස 10ක් වැනි කෙටි කාලයකි. ඒ කාලය පාඩම් කරන්නට නොව අලුත්ම විෂයක් හදාරන්නට ඉඩකඩ වෙන්විය. ඇය පාසලකින් නොහැදැරූ ගණිත විෂය ආවරණය කළේ අන්තර්ජාලයෙන් හා යු- ටියුබ් හරහා තනිවම ඉගෙනීමෙනි. පසුගියදා ඇය ගණිත අංශයෙන් ‘ඒ ’සාමාර්ථ තුනක් හා 2.036 ක z අගයක් ලබා ගනිමින් මොරටුව විශ්වවිද්‍යාලයට ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට ද සුදුසුකම් ලබා ගත්තාය.

උසස් පෙළ විභාග අපේක්ෂකයන්ගේ අරමුණ වන්නේ අඩුම තරමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය හෝ ලබා ගැනීමය. දෙවැනි අවස්ථාවේ විභාගයට පෙනී සිටින විට නිල්ෂි වෛද්‍ය සිසුවියකි. උසස් පෙළ දෙවසරක අධ්‍යයන කාල සීමාවේ ඇය විභාගය අරමුණු කරගනිමින්ම වෙහෙසුණාය. දෙවැනි අවස්ථාවේ ඇයගේ අරමුණ මෙහෙවූයේ අධිෂ්ඨානය පමණි. ඇගේ අරමුණ සඵල කරමින් දෙවැනි වර විභාගයට මුහුණ දුන් නිල්ෂි ගණිත අංශයේ ඉහළම සන්ධිස්ථානය වූ ඉංජිනේරු විද්‍යාව හැදෑරීමේ අවස්ථාව හිමිකර ගත්තාය.

“මගේ එකම ආසාව තිබුණේ මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම හා දක්ෂ වෛද්‍යවරියක් වීමයි. මුල් ප්‍රතිඵල අනුව මම වෛද්‍ය විද්‍යාව හදාරන්න තේරු‍ණෙත් මොරටුව විශ්වවිද්‍යාලයට. ගණිත අංශයෙන් ඉංජිනේරු පීඨයට තේරුණත් මම ගියේ නැහැ. පාසල් කාලයේ සිටම මම ගණිතයට දැක්වූයේ ලොකු ආසාවක්. මම වෛද්‍ය විද්‍යාව හදාරන්න තේරුණත් මට අවශ්‍ය වුණා මගේ ගණිතය හැකියාව මැන ගන්න. මගේ මවුපියන්ට තවත් වියදමක බර දෙන්න මට අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා මම යූ- ටියුබ් හරහා ගණිත පාඩම් තනිවම ඉගෙන ගත්තා. මාස 10කින් විභාගයට සුදානම් වුණා. ඒත් මම ගත් මේ තීරණය සම්බන්ධයෙන් විවිධ අය මගෙන් ප්‍රශ්න කිරීම් කළා. “ඔයා දෙපාරක් විභාගයට ලියන එකේ තේරුම මොකක්ද” කියලා ප්‍රශ්න කළා. එය මට විශාල අභියෝගයක්, ගැටලුවක් වුණා. වෙලාවකට මේ ප්‍රශ්න කිරීම් නිසා විභාගය යළිත් නොලියන්න හිතුණු අවස්ථාත් තිබුණා. මට තිබුණේ ආත්ම විශ්වාස පමණයි. මගේ මවුපියන්ගෙ ආශිර්වාදය නිරන්තරයෙන් මට හිමිවුණා. මගේ ක්‍රීඩා කටයුතු, අලුත්ම ගමනක් යන්න මට අවශ්‍ය ශක්තිය, සැහැල්ලු බව මෙන්ම මනස ගොඩ නඟාගන්න හේතුවක් වුණා. මුල් වතාවේ මම විභාගයට මුහුණ දුන්නේ විභාග මානසිකත්වයෙන් වුවත් දෙවැනි වතාවේ මගේ උවමනාව ජයග්‍රහණයේ සලකුණක් වුණා....”ඒ නිල්ෂිය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම බොහෝ දෙනකුට සිහිනයක් පමණක් වන යුගයක නිල්ෂි අවස්ථා දෙකකදී වෛද්‍ය විද්‍යාව හැදෑරීමට හා ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට සුදුසුකම් ලබන්නේ ඇය තුළ පැවැති අධිෂ්ඨානය පමණි. දක්ෂ හොකී ක්‍රීඩිකාවක වන ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ ද ක්‍රීඩාවය. රදාවානේ පදිංචි නිල්ෂිගේ පියා ලයනල් ගුණතිලක ලංගම විග්‍රාමිකයකු වන අතර, මව සුදන්ති රත්නකාර පෞද්ගලික උපකාරක පංති ගුරුවරියකි. නිල්ෂිගේ වැඩිමහල් සහෝදරිය, මධූෂි ජීවන්දර උපාධිධාරිනියක් වන අතර දිනුම් ජීවන්දර බාල සහෝදරයාය. නිල්ෂි ශ්‍රී ජිනානන්ද ප්‍රාථමික විද්‍යාලයෙන් ශිෂ්‍යත්වයට මුහුණ දී ලකුණු 188 ලබා ගනිමින් කොළඹ ජනප්‍රිය පාසලක් වූ කොළඹ විශාකා විදුහලට ඇතුළත් වන්නීය. සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘ඒ’ සාමාර්ථ 9 ක් ගන්නා ඇය උසස් පෙළ විභාගයට මුල් වටයේ ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටින්නේ 2020 වසරේදිය. ඒ අවස්ථාවේදි ඇය ‘ඒ’ සාමාර්ථ දෙකක් හා ‘බී’ සාමර්ථයක් ලබා ගනිමින් 2.306 ක z අගයක් ලබා ගන්නීය. නිල්ෂිගේ ගම්පහ රත්නාවලියේ ඉගෙනුම ලබමින් සිටි හොඳම මිතුරිය බුද්ධිනි මේ වන විට උසස් පෙළට මුහුණ දුන්නේ ගණිත අංශයෙනි.

“මම ගණිත විෂය ගොඩාක් ආසාවෙන් කළ නිසා සාමාන්‍ය පෙළ ගණිත විෂයයට මම ලකුණු 100 ම බලාපොරොත්තු වුණා. ඒත් බලාපොරොත්තු විදියට ප්‍රශ්න පත්‍රය කරගන්න ලැබුණේ නැහැ. ඒ නිසා මට අවශ්‍ය වුණා කොහොම හරි උසස් පෙළට ගණිතය විෂයන්ගෙන් මුහුණ දෙන්න. බුද්ධිනී මගේ හොඳම යාහළුවා. එයා උසස් පෙළට කළේ ගණිතය. එයා ගණිතයට උසස් පෙළ කරන හැටි මම ආසාවෙන් බලාගෙන හිටියා. මේ වන විට මම ඔලිම්පියාඩ් තරගවලට වගේම අනිකුත් සෑම ක්‍රීඩාවක්ම කරනවා. සමහර දාට ක්‍රීඩා කරලා ගෙදර යන්නේ රෑ වෙලා. ආපසු පාන්දර පුහුණුවිම් සඳහා එනවා. ඒ වගේ අවිවේකයෙන් තමයි පාඩම් වැඩ කටයුතු කළේ . මේ අතර මට කොවිඩ් වැලඳිලා ගොඩාක් අමාරුවුණා. ඒ සියල්ලම අභියෝගයක් වුණා.....”නිල්ෂි පවසන්නීය.

නිල්ෂි පවසන්නේ හොඳ හොකී පවුලක් හිමිවීම ඇය ලද භාග්‍යක් බවය. විටක ඇය ඔලිම්පියාඩ් සංචිතයට ද තේරුණි. හොකී ජාතික මට්ටමේ තරඟවලටද සහභාගි විය. පිහිණුම්, මලල ක්‍රීඩා මෙන්ම නෙට්බෝල් ආදී ක්‍රීඩා රැසකින්ම වාර්තා පිට වාර්තා තැබුවාය.

“මම දෙවැනි වතාවේ විභාගයට මුහුණ දෙද්දි භාවනාවට හුරුවුණා. විභාග මානසිකත්වය නැති කර ගත්තා. ක්‍රීඩාවෙන් ලද පන්නරයෙන් සැහැල්ලු මානසිකත්වයෙන් විභාගයට මුහුණ දුන්නා. දැන් මට තියෙන්නේ එක් අරමුණක් විතරයි. ඒ වෛද්‍යවරියක් වී රටට සේවය කිරීමයි..” නිල්ෂි පැවසුවේ රටට සේවයක් කිරීමේ උදාර බලාපොරාත්තුවෙනි.

Comments