
පසුගියදා විශිෂ්ටයෝ රැසකට උසස් අධ්‍යාපන දොරගුළු විවර කරමින් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් විය. 2021 වසරේ පැවැත්වීමට නියමිත වුවද මාස 10 ක පමණ ප්‍රමාදයකින් අනතුරුව 2022 වසරේ මැයි මස පැවැති උසස් පෙළ විභාගයට පාසල් අපේක්ෂකයන් 272,682 ක් උසස් පෙළ විභාගයට මුහුණ දුන්හ. ඒ කොවිඩ් අවදානමින් පමණක් නොව රටේ පැවැති ආර්ථික අර්බුධය මැදය. අපේක්ෂිත දින ගණනක් පාසල් යන්නට නොහැකි වුවද මාර්ගගත අධ්‍යාපනය හරහා විභාගයට සූදානම් වූ අපේක්ෂකයෝ අතරින් මෙවර සරසවි ප්‍රවේශය සඳහා අයැදුම් කිරීමට සුදුසුකම් ලත් සිසුන් සංඛ්‍යාව 171,497 ක් එනම් 62.9 % ක ඉහළ ප්‍රතිශතයක් වාර්තා කළේය. එයින් පාසල් අයැදුම්කරුවන් 149,946 දෙනෙක්ද, පෞද්ගලික අයැදුම්කරුවන් 21,551 දෙනෙක්ද විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම් කිරීමට සුදුසුකම් ලැබුහ.
උසස් පෙළ විභාගයෙන් ඉහළම සාමාර්ථ ලැබුවෝ මෙවර නගරයෙන් හා කොළඹින් පිටත වාර්තා වීම විශේෂ ලක්ෂණයක් විය. මෙවර ජීව විද්‍යා අංශයෙන් ඉහළම සාමාර්ථය වාර්තා කළේ මඩකලපුව සාන්ත මයිකල් විදුහලේ තමිල්වානන් තුවාල්ගේෂ් ය. ඉංජිනේරු තාක්ෂණයෙන් ප්‍රථමයා වූයේ නාරම්මල මයුරපාද විදුහලේ නෙරන්ද දිල්හාර කුමාරසිංහ ය. වාණිජ අංශයෙන් ප්‍රථම ස්ථානයට පත්වූයේ ගම්පහ රත්නාවලි බාලිකා විදුහලේ ඉෂිණි නේහා අමරරත්න ය. කලා අංශයෙන් මෙවර විශිෂ්ට සාමාර්ථ වාර්තා කළේ බදුල්ල කැන්දගොල්ල මහ විදුහලේ ඉෂාර ලක්මාල් ය. කොළඹ රාජකීය විදුහලෙන් ගණිත අංශයෙන් ප්‍රථමයා වාර්ථා වූ අතර ඔහු සහන් සමරකෝන් ය.
“මෙවර කොවිඩ් අවදානම මැද වුවත් උසස් පෙළ ඉහළ සාධන මට්ටමක් වාර්තා වුණා. එය සිසුන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක්.
මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වැඩිම සාධන මට්ටමක් පෙන්වා ඇත්තේ පළමුවර විභාගයට පෙනි සිටි සිසුන්ගෙන් වීම විශේෂත්වයක්. A සාමාර්ථ තුනම ගත් සිසුන් ප්‍රමාණය 10,000 ක්. එයින් 9,313 දෙනෙක් පාසල් අයැදුම්කරුවන්. සියලු විෂයන් සමත් ප්‍රමාණය 60% කටත් වඩා වැඩියි. ජීව විද්‍යා විෂය ධාරාව යටතේ පළමු වතාවට විභාගයට පෙනි සිටි අපේක්ෂකයන්ගෙන් 52.4% ක් පළමු දස දෙනාට ඇතුළත්. දෙවැනි තුන්වැනි වර පෙනී සිටි ප්‍රතිශතය 47.6% ක්. මේ අතර විභාගයට පෙනී සිටි සමස්ත සිසු සංඛ්‍යාවෙන් 10.03% ක්, එනම් 27,352 ක් ප්‍රධාන විෂයයන් තුනම අසමත්. මෙයින් 9.71% ක් පාසල් අයැදුම්කරුවන්. 2021 වසරේ පැවැත්වීමට තිබූ උසස් පෙළ විභාගය පැවැත්වූයේ මාස 10 ක් පමණ ප්‍රමාද වී 2022 මැයි මාසයේ. නමුත් අපිට මාස තුනක් වැනි කෙටි කාලයකින් ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවුණා. නැවත සමීක්ෂණ කටයුතු මේ සතිය තුළ ආරම්භ කරනවා. දෙවැනි, තුන්වැනි අවස්ථා සඳහා යළි විභාගයට පෙනීසිටීමට බලාපොරොත්තු වන අයට මාර්ගගත ක්‍රමවේදය හරහා ඉල්ලුම් කිරීමට ඉදිරියේදි හැකියි...” ඒ විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන ය.
කෙසේ වෙතත් මෙවර සිසුන් 49 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට සිදුවූ බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය. එයින් 37 දෙනකු පාසල් අයැදුම්කරුවන් වන අතර, 12 දෙනෙක් පෞද්ගලික අයැදුම්කරුවන් ය.