ගල්කිස්සේදී ඇල්ලූ යූ ටියුබ් බෝම්බකාරයා | සිළුමිණ

ගල්කිස්සේදී ඇල්ලූ යූ ටියුබ් බෝම්බකාරයා

 

ෆේස්බුක්, යූ ටියුබ් වත්මන් මිනිසුන්ගේ දෛනික ජීවන චර්යාවට අත්‍යවශ්‍යම සාධකයක්ව හමාරය.අතීතයේ දූ දරුවන්ට ජංගම දුරකතනයක් අතපත ගෑමට හෝ ලැබෙන්නේ උසස් අධ්‍යාපනයත් නිමවී රැකියාවකට යෑමෙන් පසුව වුවද, අද කාලයේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක දරුවෙකුගෙන් ඇසුවද ෆේස්බුක්, යූ ටියුබ් යනු කුමක්දැයි පවසන තරමට මෙම ‘යෙදුම්‘ සමාජයේ ජනප්‍රියව ඇත.

නමුත් ඛේදවාචකය වන්නේ හොඳට මෙන්ම නරකටද කිසිම බාධාවකින් තොරව යොදාගත හැකි මෙම ‘දුරකතන යෙදුම්‘ හොඳට වඩා යොදාගන්නේ නරකටම වීමය. පසුගියදා ගල්කිස්ස පොලිස් වසමින් ඇසුණු කතාවද ඊට කදිම සාක්ෂියකි.

යූ ටියුබ් පරිශීලනය ඇසුරින් බෝම්බයක් සෑදූ තරුණයෙකු වටා ගෙතුණු මෙම කතාංගය කෙළවර වන්නේ බෝම්බයද සමඟ ඔහු පොලිසියට කොටුවීමෙන් පසු වුවත්, එම සිදුවීම් අතරවාරයේ සිදුවූ සිදුවීම් පෙළ ඇඟ ලොමු ඩැහැගැන්වීමට සමත්ය. මෙකී සිදුවීමට ප්‍රධාන භූමිකාව සැපයූ ස්ථානය පිහිටියේ ගල්කිස්ස පොලිස් වසමෙහි බොරුපන ප්‍රදේශයේය. සුවිසල් නිවසක් වූ එහි පදිංචිව සිටියේ වයස්ගත යුවළකි.

83 හැවිරිදි නිවැසියාත්, 80 හැවිරිදි ඔහුගේ බිරියත් හැරුණුකොට නිවසේ පදිංචිව සිටියේ 70 විය ඉක්මවා ගිය සේවිකාවක් පමණි. මෙම නිවස පිහිටි පෙදෙසෙහිම විසූ මෙහි කතානායකයා වන "යූටියුබ් බෝම්බකරු" 27 හැවිරිදි ‘නාහෙට නාහන‘ තරුණයෙකි.

නිතර දෙවේලේ යන එන මාවතේ නෙත ගැටෙන මෙකී නිවස පිළිබඳ මනා වූ අවබෝධයකින් සිටි මෙම තරුණයාගේ සිතට එම නිවස ‘කොල්ලකන‘ හැඟීමක් ඇතිවන්නේ අතේ සතේ නොමැතිව කළ යුත්තක් සිතා ගැනීමට අපහසුව සිටින වේලාවකය.

තනිව කල්පනා කළ සැකකරු ඉන්පසු හොඳින් සෝදිසි කර බැලුවේ නිවස සහ අවට සීසීටීවී කැමරා ස්ථාපනය කර ඇද්දැයි යන්නය.

ඔහුගේ සිතට මහත් සැනසිලිදායක හැඟුමක් ඇතිකරමින් එවන් කැමරාවක් නෙත නොගැටෙද්දී ඊළඟ පියවර තැබෙනුයේ සැලසුම්සහගත මංකොල්ලය කරාය.

"මුන්ව බය කරන්න මොකක්හරි ගෙනියන්න ඕනෑ..." යැයි කල්පනා කරන මොහුගේ සිතට නැඟෙන්නේ අපූරු අදහසකි.

"හදන්න ඕනි බෝම්බයක්...."

නමුත් ඊළඟ ගැටලුව වූයේ බෝම්බයක් නිපදවන ආකාරයයි. සුළු වේලාවක් කල්පනා කරද්දී ඊටද විසඳුමක් ලැබෙන්නේ ඔහුගේ මුවට සිහින් සිනාරැල්ලක්ද කැන්දමිනි.

"යූ ටියුබ් එකෙන් බැලුවා නම් වැඩේ සිම්පල්...."

සිතූ ලෙසටම බෝම්බයක් නිපදවා ගැනීමට ප්‍රමාණවත් තරම් කරුණු අන්තර්ජාලය ඇසුරින් ඔහුට ලබාගැනීමට හැකිවද්දී දින කිහිපයක් ඇතුළත එම කාර්යයද සාර්ථකව අවසන් කරන සැකකරු තම ඉලක්කය වෙත යාමට අවශ්‍ය සියලු මූලික කාරණා සම්පූර්ණ කරගන්නේ මදිපාඩුවට විශාල කඩුවක් ආකාරයේ දිගු මන්නයක්ද සූදානම් කරගනිමිනි.

මුන් මොනවා කරනවද මන්දා නිදාගන්නෙ නැතුව..." යැයි මදුරුවන් තලමින් අඳුරේ සැඟව සිටින ඔහු සෑහෙන වේලාවකින් පසු නැවත තම නිවස බලා ගමන් ගන්නේ නිවැසියන්ට සිතින් ශාප කරමිනි.

නමුත් උත්සාහය කිසි ලෙසකින්වත් අතහැරීමට අකමැති වන තරුණයා නැවත දිනකදී නිවස වෙත ගොස් ඒ අසල සැඟව සිටින්නේ එදින කෙලෙස හෝ ඊට ඇතුළුවීමේ අදිටනිනි. ඔහුගේ සිතැඟි සඵල කරමින් ටික වේලාවකින් එහි විදුලි පහන්ද නිවී යද්දී හිමින් සීරුවේ ගෙඋයනට ඇතුළු වන සැකකරු ඉදිරිපස දොර බිම හෙළන්නේ සිය පයින් පහර පිට පහර එල්ල කරමිනි. මහ හඬින් නැඟෙන ශබ්දයෙන් අවදිවන වයස්ගත යුවළ සාලයට පැමිණෙන විට ඔවුන්ගේ නිවසේ ඉදිරිපස දොරටුව බිම පතිතව අවසන්ය.

දිගු මන්නයක් සහ බෝම්බයක් දෑතේ දරා ඉදිරියට පැමිණෙන සොරදෙටුවා දුටු නිවැසි කාන්තාව බියෙන් වෙව්ලන්නට වුවද වයස්ගත ගෙහිමියා අඩියක් හෝ පස්සට ගැනීමට අකමැතිව කොල්ලකරුට අභියෝග කරන්නේ සිය වයසගැනද අමතක කරමිනි. ක්ෂණිකව ක්‍රියාත්මක වන සැකකරු මන්නය ගෙහිමියාගේ ගෙලට තබා ඔහු තල්ලු කර දමන්නේ කාන්තාවගේ විලාපය මැදය.

මේ කලබගෑනිය මැද සාලයට දිව එන නිවසේ මෙහෙකාරිය සහ වයස්ගත කාන්තාව ඉතා පහසුවෙන් මෙල්ල කරගන්නා කොල්ලකරු ඔවුන් දෙදෙනා අසල කාමරයකට තල්ලුකර දමා කොටුකළද නිවසේ හිමිකරු කිසි ලෙසකින් හෝ සැකකරුට යටත්වීමට අකමැතිව දිගින් දිගටම ඔහු සමඟින් දබර කරන්නේ සැකකරුගේ ඉවසීමේ සීමාව පන්නා දමමිනි.

යළිත් ඉදිරියට පැමිණෙන වයස්ගත පුද්ගලයාව තල්ලුකර දැමුවද නැවතත් පැමිණ ඔහු සැකකරුගේ ඇඟේම එල්ලෙද්දී රතු කට්ට පනින තරුණයා නිවැසියාගේ අතට මන්නා පහරක් එල්ල කරන්නේ ඔහුගේ විලාපය මැදය.

අතෙන් රුධිරය විදිද්දී තවදුරටත් කොල්ලකරු සමඟ පොර බැඳීමට අපොහොසත් වන ගෙහිමියා පරාජය බාර ගනිද්දී කාන්තාවන් දෙදෙනා සිටින කාමරයට ඇතුළුවන සැකකරු බියෙන් ගැහෙමින් මුළුගැන්වී සිටින ඔවුන් දෙදෙනා ඉදිරියට පැමිණ තමන් විසින් නිපදවූ බෝම්බය ඉදිරියට දිගුකර හොඳින් දර්ශනය වන සේ අල්ලා, ඔවුනට තර්ජනය කළේය.

බෝම්බයක් සැබැවින් දකිනවා තියා බෝම්බය යන වචනයටද බියක් දක්වන කාන්තාවන් දෙදෙනා සැකකරුගේ තර්ජනයට අනුව යමින් ඔහුට අල්මාරිය හැර එතුළ වූ මුදල් ගැනීමට ඉඩ ලබා දෙන්නේ කිසිම බාධාවක් නොකරමිනි. මුදලින් රුපියල් පනස්දහසක් එතුළින් සොයාගන්නා තරුණයාගේ නෙත යොමු වන්නේ සේවිකාවගේ දෙකන සැරසූ විශාල ප්‍රමාණයේ කරාබු යුවළ වෙතය.

"ගළවපිය කරාබු දෙක..."

කිසිම විරෝධයකින් තොරව ගැහෙන සුරතින් තම කරාබු යුවළ ඇය ගලවද්දී ගෙහිමි කාන්තාව හීන්සීරුවේ සිය අතෙහි වූ රන්මුදු දෙක ගලවා කබඩ් එකක් යටට විසි කරන්නේ කොල්ලකරුගේ දෑසට වහන්ව වුවද, ඇයගේ අවාසනාවට එම ක්‍රියාව ඔහු නෙත ගැටෙන්නේ තරුණයා යක්ෂාරූඩ කරමිනි. පරුෂ වචනයෙන් ඇයට බැණවදින ඔහු එම මුදු යුගළයද ගෙන වහා නිවසින් පිටවයන්නේ විනාඩි ගණනක් තුළ සැළකිය යුතු දේපළ ප්‍රමාණයක් තමන් සතු කරගැනීමේ ප්‍රීතියෙනි.

නැවතත් තමන් පදිංචි නිවසට යෑම නුවණට හුරු නොවන බව සිතින් තර්ක කරමින් ස්වයං නිගමනයකට එළඹෙන තරුණයා ඒ අසල පිහිටි සිය සොහොයුරියකගේ නිවසක සැඟවී සිටින්නේ ටික කලක් ගත වනතුරු පොලිස් ඇසට වසන්ව සිටීමේ අරමුණ ඇතුවය.

මේ අතරතුර සොරකම් කළ රන් භාණ්ඩ වැඩි මුදලකට විකුණා අතමිට සරුකර ගැනීමේ බලාපොරොත්තුවෙන් මාර්ගයේ විදුලි පහන් කණුවක අලවා තිබුණු දුරකතන අංකයකට ඇමතුමක් ගන්නා ඔහු ඉන් ලද තොරතුරුවලට අනුව මුදල් ලබාගැනීමේ අරමුණින් ගමන් ගනිද්දී ගල්කිස්ස පොලිස් ග්‍රහණයට හසුවන්නේ කිසි ලෙසකින්වත් නොසිතූ විරූ අයුරිනි.

ගල්කිස්ස මුලස්ථාන පොලිස් පරීක්ෂක දීලිප සී.පෙරේරාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නාලක අලහකෝන්, උප පොලිස් පරීක්ෂකවරුන් වන සමුදිත්, සංජීව, සැරයන්වරුන් වන 47033 අජිත්, 61189 රත්නායක, කොස්තාපල්වරුන් වන 78800 සිවන්ත, 51508 උදයංග, 82423 වීරතුංග, 88381 සංජීව, 29265 ප්‍රියංකර, 71341 ඉසංක සහ 25426 සංජීව යන පිරිසෙන් සැදුම්ලත් පොලිස් කණ්ඩායම විසින් ඒ වනවිටත් මෙම සැලසුම්සහගත කොල්ලය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් දියත්කර තිබූ බව දැන සිටියද තමන් මෙලෙසින් හඳුනාගැනීමේ ඉව ඔවුන් සතුවේයැයි සිහිනෙන්වත් සැකකරු නොසිතීමේ අවාසිය පොලිසියට වාසියක් කරදෙමින් ඔහුගේ දෑතට විලංගු වැටිණි.

සොරාගත් කරාබු යුගලය ඉමිටේෂන් එකක් බව පසුව තහවුරු වෙද්දී තරුණයාගේ මුවින් සුසුමක් ගිලීහී යන්නේ වයස්ගත සේවිකාවගේ ගැටයට තමා හසුවූ බවට දැනුනු ලැජ්ජාවද සමඟිනි.

පසුව කළ සෝදිසි කිරීම් වලදී ඔහු හැඳ සිටි ටීෂර්ටයත්, කොට කලිසමත්, බෝම්බය සහ විශාල මන්නයත් පොහොර බෑගයක බහා සැඟව සිටි සොයුරියගේ නිවසේ කාමරයක ඇඳක් යට සඟවා තිබියදී පොලිසියට සොයාගැනීමට ලැබෙන අතර, අන්තර්ජාලය ඇසුරින් නිපදවූ බෝම්බය මනා ක්‍රියාකාරීත්වයකින් යුත් වෙඩි බෙහෙත්වලින් සිදුකළ සාර්ථක නිර්මාණයක් බවද විර්ශන වලදී තහවුරු වේ.

බෝම්බය නිශ්ක්‍රීය කිරීම සඳහා අදාළ අංශ වෙත මේ වනවිට යොමුකර ඇති අතර, සැකකරුද සිපිරිගෙයි යකඩ කූරු අතර සිරවන්නේ අසාධාරණයෙන් උපයාගන්නා මුදලට වැඩි ආයුෂ නොමැති බව පසක් කරමිනි.

Comments