මරණ දණ්ඩනයට නියම වූ මැතිව් පීරිස්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් | සිළුමිණ

මරණ දණ්ඩනයට නියම වූ මැතිව් පීරිස්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්

 

 

රටම කැලඹූ  මැතිව් පීරිස් නඩුව

මීට දශක හතරකට පෙර මෙරට තුළ ඉමහත් ආන්දෝලනයක් ඇතිකළ නඩුවක් ලෙස මැතිව් පීරිස් නඩුව හැඳින්විය හැකිය. මෙම නඩුවට දේවගැතිවරයකු සම්බන්ධ වීම, එතෙක් අසන්නට නොලැබුණු ආකාරයේ අමුතුම සිද්ධියක් වූ බැවින් බොහෝ දෙනකුගේ අවධානය මේ කෙරෙහි යොමු වී තිබිණි. මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටියේ මැතිව් පීරිස් දේවගැතිවරයා සහ ඩැල්රින් ඉන්ග්‍රම් යන දෙදෙනාය. ඔවුන්ට විරුද්ධව එල්ල වූ චෝදනා වූයේ දේවගැති මැතිව් පීරිස්ගේ බිරිය සහ ඩැල්රින් ඉන්ග්‍රම්ගේ සැමියා ඝාතනය කිරීමයි. 1983 මාර්තු 14 වැනිදා සිට 1983 දෙසැම්බර් 06 වැනිදා දක්වා මාස 9ක් පුරා නඩු වාර 165ක් පැවැත්වූ මෙම ඝාතන නඩුව එදා සමාජය කැලඹු නඩුවක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. මෙම නඩු විභාගයේ සහ ඒ ආශ්‍රිතව ලියැවුණු අනෙකුත් ලිපි ඇසුරෙන් ලියැවෙන ලිපි පෙළෙහි අවසන් කොටසයි.

 හර්ෂා සුගතදාස

රසල් ඉන්ග්‍රෑම් සහ ඉයුනිස් පීරිස් යන දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් සිදු කළ පොලිස් විමර්ශන කටයුතු අවසාන විය. කොළඹ අපරාධ විමර්ශන අංශයේ පොලිස් අධිකාරි ටිරල් ගුණතිලක, සහකාර පොලිස් අධිකාරිවරුන් වන හේමා වීරසිංහ, ගාමිණි වීරසිංහ පොලිස් පරීක්ෂකවරුන් වන මැල්කම් කෲස්, ටෙරන්ස් පෙරේරා, සී.සී. සෙල්වරත්නම්, ලැම්බට් පෙරේරා, හිලරි ඔර්ල්ඕෆ්, උප පොලිස් පරීක්ෂකවරුන් වන ඇන්ටන් ප්‍රනාන්දු, ජේ.එස්. ජයතිලක යන කණ්ඩායම මෙම අපරාධ විමර්ශනය කළ පිරිස වූහ.

මැතිව් පීරිස් දේවගැතිවරයාට සහ ඩැල්රින්ට විරුද්ධව පවරා තිබුණු නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයක් ලෙස පැවැත්විණි. එහිදි මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යන ලෙසටය. ඒ අනුව ‘ට්‍රයල් ඇට් බාර්‘ හෙවත් විශේෂ අධිකරණය හමුවේ නඩුව විභාගයට ගැනිණි. මෙම නඩු විභාගයෙන් දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ සාමාන්‍ය ආකාරයට ජුරි සභාවක් යටතේ විභාගයට නොගෙන විශේෂ ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් ඉදිරියේ විභාගයට ගැනීමය. සභාවේ සභාපතිත්වය දැරුවේ කොළඹ මහාධිකරණ විනිසුරු තිස්ස බණ්ඩාරනායක වන අතර කුරුණෑගල මහාධිකරණයේ පී.රාමනාදන්, ගම්පහ මහාධිකරණයේ ඩී.සී. ඩබ්ලිව්. වික්‍රමසේකර යන විනිසුරුවරයන් දෙදෙනා සෙසු සාමාජිකයෝ වූහ.

මෙම නඩුවට පියාට එරෙහිව සාක්ෂි දීම සඳහා මැතිව් පීරිස් දේවගැතිවරයාගේ දියණිය මල්රාණි සහ පුතු මුනිලාල් එංගලන්තයේ සිට ලංකාවට පැමිණීම විශේෂත්වයකි. ඉයුනිස් පීරිස් එංගලන්තයේ සිටින කාලයේ පූජක නිල නිවසේ සිදුවන විෂමාචාර පිළිබඳව විවිධ අය එංගලන්තයට දැනුම් දුන් බවත් ඒ අසා මව හැඬු කඳුළින් පසු වූ බවත් දියණිය අධිකරණය ඉදිරියේ පවසන විට මැතිව් පීරිස් දේවගැතිවරයා දියණිය දෙස ඇසි පිය නොසලා බලා සිටි බව එදවස පුවත්පත්වල පළ වී තිබිණි.

1983 මාර්තු 14 වැනි දා ආරම්භ වූ මැතිව් පීරිස් නඩුව අවසාන වූයේ 1983 දෙසැම්බර් 6 වැනිදාය. මාස 9 ක් පුරා විභාග වූ මෙම නඩුවේ නඩු වාර 165 ක් පවත්වා තිබේ. පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තිලක් මාරපන, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සී.ආර්.ද සිල්වා සහ රජයේ අධිනීතිඥ ගාමිණි අමරතුංග යන අය පෙනී සිටියහ.

විත්ති පාර්ශ්වයේ මැතිව් පීරිස් දේවගැතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ආර්.අයි. ඔබේසේකර සහ ඔහුගේ සහයට අනිල් ඔබේසේකර, කේ.වයි. පෙරේරා, ජයන්ත වීරසිංහ, උපාලි සේනාරත්න සහ මානෙල් ගුණතිලක යන නීතිඥවරු ඉදිරිපත් වුහ. ඩැල්රින් ඉන්ග්‍රම් වෙනුවෙන් පෙනී සිටියේ සිසිල් ගුණවර්ධන, පානි ඉලංගකෝන්, ආනන්ද මලගොඩ, චම්පානි රත්නසේකර සහ විජිත් ද අල්විස් යන නීතිඥවරු පිරිසයි. මෙම නඩුව පැමිණිලි පාර්ශ්වයෙන් සාක්ෂිකරුවන් 149 දෙනකු නම් කර තිබූ නමුත් සාක්ෂි දී තිබෙන්නේ 68 දෙනකු පමණි. විත්තිය වෙනුවෙන් සාක්ෂිකරුවන් තිදෙනකු කැඳවා තිබිණි. මැතිව් පීරිස් නඩුවේ අධිකරණ තීන්දුව 1984 පෙබරවාරි පෙබරවාරි 15 වැනි දින ලබා දුන් අතර, නඩු තීන්දුව පිටු 612 කින් සමන්විත විය.

එකී අධිකරණ තීන්දුවට අනුව මැතිව් පීරිස් දේවගැතිවරයාටත් ඩැල්රින් ඉන්ග්‍රම්ටත් මරණීය දණ්ඩනය ලබා දී තිබෙන්නේ ඔවුන් දෙදෙනා වරදකරුවන් බවට තීන්දු කරමිනි. පසුව මැතිව් පීරිස් සහ ඩැල්රින් ඉන්ග්‍රම් දෙදෙනා විසින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර එයින් ඩැල්රනි ඉන්ග්‍රම්ට පමණක් නිදහස ලැබුණේ ඇය මිනී මැරීම හෝ මිනී මැරීමට අනුබල දීමට සම්බන්ධ වු බව සාක්ෂි අනුව ඔප්පු කර ගත නොහැකි වු නිසාය. එහෙත් මැතිව් පීරිස් දේවගැතිවරයාට නිදහස ලැබුණේ නැත.

එහෙත් එවකට විසු ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් මැතිව් පීරිස් දේවගැතිවරයාට දී තිබු මරණීය දණ්ඩනය, ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කර ඇත. ඒ අනුව මරණීය දණ්ඩනය හිමි වු සිරකරුවන් රඳවා තැබු විශේෂ කුටියෙන් ඔහුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබන සිරකරුවන් රඳවා තැබෙන සිර මැදිරිවලට මාරු කෙරිණි.

රිමාන්ඩ් සිරකරුවකු ලෙස වසර දෙකකුත් වරදකරුවකු ලෙස සිරගත වී වසර 13 කුත් බන්ධනාගාරයේ සිටි මැතිව් පීරිස් දේවගැතිවරයා 1997 ඔක්තෝබර් 25 වැනි දින නිදහස ලැබීය. ඊට ටික කලකට පසුව ඔහු ජීවිතක්ෂයට පත් විය.

(සමාප්තයි)

Comments