
අගස්ති පුනාන්දු
දෙවියන් උදෙසා පුද පූජාවන් සිදුකර තමන්ට සෙත් ශාන්තියක්, අපල උපද්‍රවවලින් ආරක්ෂා වීමටත් පිහිට ඉල්ලා සිටීම බොහෝ අය විසින් සිදු කරනු ලබන දෙයක් වන අතර ඉන් බොහෝ අය පිහිට ලබාගත් අයුරුද සමාජයේ ප්‍රචලිතය. ලංකාවේ ප්‍රධාන දේවාල අතරින් මුලින්ම වාගේ දහස් ගණන් බැතිමතුන් විසින් මහත් භක්තියෙන් විශ්වාසයෙන් යුතුව පුද පූජාවන් සිදු කරන කතරගම මහා දේවාලය ඉන් ප්‍රධානම තැනක් ගනී.
මෙම දේවාලයේ මෙන්ම වෙනත් ස්ථානවල ඇති කතරගම දෙවියන් සඳහා කැප කර ඇති දේවාලවලදී සිදු කරනු ලබන පූජාවන් අතර පලතුරු පූජාව බොහෝ අය ප්‍රධාන වශයෙන් සලකනු ලබන දෙයකි.
මීට ඉහත දැක්වු ආකාරයට සුදු හඳුන් මල්, සුදු සමන් පිච්ච, කපුරු සුවඳ හඳුන් කූරු ආදී පූජාව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඔබ විසින් ඉතා පිරිසුදුව භක්තියෙන් යුතුව සූදානම් කරගත යුතුය. එසේ කිරීමෙන් ඔබගේ ප්‍රාර්ථනාව එක සිතින් සපල කර ගත හැකි බව සිතේ තබා ගන්න. මේ සඳහා අවශ්‍ය පලතුරු ලෙස කෙසෙල්, අඹ, පේර, නෙල්ලි, දොඩම්, නාරං, බෙලි, වරකා මෙන්ම ජම්බු ද ඔබට ඔබගේ වත්තේ පිටියේ ඇත්නම් තෝරා ගන්න. එසේ නැත්නම් ඔබ මිලදී ගන්නා විට ඒවා හොඳින් පරීක්ෂාකර බලා ගන්න. තැලුණු පරණ වුන, වියළුණු පලතුරු පුජාව සඳහා නොගන්න. යම් යම් අවස්ථාවලදී වෙනත් පූජාවන් සඳහා වෙනත් පලතුරු සහ කෙසෙල් වර්ග යොදාගෙන සිදු කරන අවස්ථා ද ඇත. විශේෂයෙන් අන්නාසි (නොපැසුණු) රඹුටන්, දිවුල් ආදිය මෙම පූජාවට තැබීමෙන් වළකින්න.
ඔබට නිවසේදීම සාදා ගැනීමට හැකියාවක් ඇත්නම් කැවුම්, කොකිස්, ආස්මි, අතිරස ආදී රසකැවිලි සමඟ තල හකුරු සමඟ මිශ්‍රකර තල කැරලි ආදිය ද මේ පුජාව සඳහා කැපකළ හැකිය. වෙළෙඳසැල්වලින් මිලදී ගන්නා බිස්කට්, පොල් කේක්, මාෂ්මෙලෝ ආදිය පූජාව සඳහා නොතබන්න.
කතරගම දෙවියන් ගේ කටයුතුවලදී භාවිතා වන අරලිය, සපු, කනේරු, රත්මල්, බෙලිමල් සමග රත්නෙළුම් මල්, අසෝක මල්, සමන් පිච්ච මල් ආදිය සූදානම් කර ගන්න. හැකියාවක් ඇත්නම් පස්ගෝ රස එනම්, එළකිරි,මෝරු, ගිතෙල්, වෙඩරු, කේජු වැනි දේද වංගෙඩියක දමා කොටා මී පැණි සමඟ මිශ්‍රකර ගුලි වශයෙන් සාදා ගත් වී පොරිද, ගිතෙල්, උක් හකුරු, වෙඬරු, මී පැණි යන දේ එක්කර සාදාගත් චතුමදුර සුදානම් කර ගන්න. මීට අමතරව ළිඳකින් ගන්නා ලද ජලය සහිත පිරිසුදු දිය දෝතක්, මුං ඇට තම්බා ලබාගත් ජලය පෙරා එයට හකුරු, මී පැණි, වියළි ඉඟුරු, උක් පැණි සමඟ සූදුරු ස්වල්පයක් ද මිශ්‍රකර සාදාගන්නා විශේෂ පානයට දෙවියන් ඉතා ප්‍රිය කරයි.
මෙයට අමතරව තැඹිලි ගෙඩියක්, ඇස් තුන වැසෙන ලෙස පුච්චා සුද්ධ කරන ලද පොල් ගෙඩියක්, බුලත් කොළ 18ක්, 21ක්, කපුරු, සුවඳ හඳුන්කූරු, පිනි දියර ස්වල්පයක් ද සූදානම් කර ගන්න.
මේ සියල්ල තැන්පත් කිරීමට අලුත් බට පොතු වට්ටියක් හෝ පිරිසුදු වට්ටියක් සූදානම් කරගෙන නැවිලි සහ මල් හැර අනෙක් ද්‍රව්‍ය සියල්ල කහ දියරයෙන් සෝදාගෙන බුලත් එම වට්ටියේ පතුලේ අසුරා (නටුව පැත්ත පිටට සිටින ලෙසට) ඒ මත පිළිවෙළකට මේ සියල්ල තැන්පත් කරන්න. ඉන් පසු පිනි දියර ස්වල්පයක්ද ඉස රතු මල් මාලාවක් (ස්වාභාවික මල්) ඒ මත තබා රතු පැහැති සේලයකින් ආවරණය කර ඉතාමත් භක්තියෙන් විශ්වාසයෙන් යුතුව පූජා කරන ස්ථානය වෙත රැගෙන යන්න.
එහිදී ඔබගේ ප්‍රාර්ථනාව සිතින් මෙනෙහි කරන්න. එසේම එම කටයුතු ඉෂ්ට සිද්ධ වු පසුව මේ අසිරිමත් පූජාව සිදු කොට එම භාරය ඔප්පු කරන බවත් සිත්හී තබාගෙන පූජාව දේවාලයේ දේවගැති හෝ කපු මහතාට බාර දෙන්න.
ඔබ නිවෙසක් සෑදීමට බාර වන්නේ නම් එම බාරය ඔප්පු කරන දවසට රිදියෙන් සෑදු නිවෙසක් ද වගා කටයුතු සඳහා නම් පොල් පැළයක් ද ලෙඩදුක් සඳහා නම් රූපෙට රූපයක් ද පූජා කිරීමට සිත්හි තබාගන්න. මේ අයුරින් පිරිසුදු සිතින් භක්තියෙන් විශ්වාසයෙන් යුතුව මෙම පූජාව සිදු කොට ඔබගේ සිතට සහනයක් ලබා ගන්න.
*******************
දෛව අංකයෙන් හෙළිවන ඔබේ ජීවිතය
දෛව අංක 02 හිමි ඔබ ගැනයි මේ
වැරදි කරන්නට බියවීම සහ සමාජ සාධාරණත්වය ඇගයීම විශේෂ ලක්ෂණයක්
දෛව අංකය සොයාගන්නා අයුරු
උපන් අවුරුද්ද, මාසය, දිනය තනි අංකයක් වන ලෙස එකට එකතු කිරීමෙන් දෛව අංකය සොයාගත හැකි අතර, මෙම උදාහරණයේ ආකාරයට ඔබටත් ඔබගේ දෛව අංකය පහසුවෙන්ම සොයාගත හැකිය.
උදාහරණයක් ලෙස ඔබේ උපන්දිනය 1985. 03. 12 නම්,
1+9+8+5+3+1+2 = 29
2+9 = 11
1+1 = 2
මේ අනුව ඔබගේ දෛව අංකය වන්නේ අංක 2 යි.
ඒ. ජේ. දීපාලෝක
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී
පාඨශාලාචාර්ය
ඉසිවර සහන ජ්‍යොතිෂ්‍යය සේවය
අංක විද්‍යාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බොහෝ අය තම දෛව අංකය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු දක්නට ලැබේ. සමාජයේ බොහෝ දෙනෙක් වාසනා අංකය නමින් ද මෙය හඳුන්වයි. පුද්ගලයකුගේ ජීවිතය හා සම්බන්ධ වැදගත් කාරණා සම්බන්ධයෙන් දෛව අංකය සුවිශේෂී තැනක් හිමිකර ගනියි. තමන්ගේ උපන්දිනය දන්නා ඕනෑම අයකුට දෛව අංකය ඉතා පහසුවෙන් සොයාගත හැකිය. එය සොයාගනු ලබන්නේ උපන් අවුරුද්ද, මාසය, දිනය තනි අංකයක් වන ලෙස එකට එකතු කිරීමෙනි.
ඒ අනුව දෛව අංක 2 හිමි ඔබගේ ජීවන තොරතුරු විමසා බලමු. චන්ද්‍රයා හෙවත් සඳු ග්‍රහයා දෛව අංක 2 ට බලපෑම් කරන ග්‍රහයා බවට පත්වෙයි. චන්ද්‍රයා යනු බොහෝ සියුමැලි සංවේදී සිතට අධිපතිත්වය නියෝජනය කරන ග්‍රහයෙකි. සඳුගේ එළියට සියලු දෙනා ප්‍රිය කරන්නා සේ සඳුගේ කිරණෙහි සිසිලස විඳීමට කවුරුත් ප්‍රිය කරති. චන්ද්‍රයා ස්ත්‍රී ග්‍රහයකු ලෙස හඳුන්වන හෙයින් එවැනි සෞම්‍ය ගති ලක්ෂණ ද මොවුන් කෙරෙහි පිහිටයි.
දෛව අංක දෙක හිමි අය කලබලකාරී අය නොවන අතර, රණ්ඩු සරුවල්වලට කැමති අය නොවේ. ඉතා සාමකාමී නිවුණු පරිසරයකට මොවුන් ආසා කරයි. හොඳ කල්පනා ශක්තියකින් ද යුක්ත වුවද ඉතා ඉක්මනින් ඔවුන්ගේ සිතිවිලි වෙනස් වෙන ස්වභාවයක් පෙන්නුම් කරයි. එක සිතිවිල්ලක බොහෝ කාලයක් රැඳී සිටීමට නොහැකිය.
ඉක්මන් වෙනසක් අපේක්ෂා කරයි. ඉතා සංවේදී පුද්ගලයන් නිසාම බොහෝ ඉක්මනින් කම්පාවට පත්වෙන අවස්ථා ද ඇත. ජීවිතයේ බැරෑරුම් අපහසු අවස්ථා දරා ගැනීමට තරමක් අපොහොසත් වුවත් මොවුන්ට හොඳ දාර්ශනික සිතුවිලි ඇත. අනිත් අය සමග සහයෝගයෙන් එකමුතුව කටයුතු කිරීමට කැමැත්තක් දක්වන අතර උපක්රමශීලීව තම කටයුතු කර ගැනීමට ද මොවුන් දක්ෂ වෙයි.
කිසිම දිනෙක දෛව අංක දෙකෙන් උපන් අය වැරදි කරන්නට කැමති නැත. ඔවුන් වැරදි වලට බියක් දක්වයි. සමාජ සාධාරණත්වය අගය කරන මොවුන් හැමවිටම නීතිගරුකව ජීවත් වීමට උත්සාහ ගනී. අන් අයගේ අවධානය පහසුවෙන් දිනා ගත හැකි වචන හෙවත් කතා විලාසයක් මොවුන්ට සහජයෙන් ලැබී ඇත. මිනිසුන් සමග සහයෝගයෙන් වැඩ කිරීමේ දක්ෂතාව ඇති මොවුන් කාටත් ප්‍රියමනාප පුද්ගලයන් ලෙස සමාජය තුළ හැසිරෙයි.
මොවුන් බොහෝවිට සෑම දෙයක්ම පිළිවෙළට කිරීමට උත්සාහ ගනී. අන් අයගේ සිත් ඇදගන්නා ආකාරයට ප්‍රියමනාප ලෙස ලස්සනට අඳින්න පලඳින්නට කැමති වෙයි. එමෙන්ම මොවුන් නිතරම සතුටින් සිටීමට උත්සාහ කරන අතර දුකෙන් කාලය ගත කිරීමට කැමැති නැත. මොවුන් බොහෝවිට තම විනෝදාංශයක් ලෙස ගායනය, චිත්‍ර ආදී සෞන්දර්ය අංශවලට වඩාත් ලැදියාවක් දක්වයි.
බොහෝවිට ලේඛන කලාවට ද මොවුන් දක්ෂතාවක් දක්වයි. ජීවිතය විඳවීමට වඩා විඳින්නට කැමති මොවුන්ට හොඳ රසවින්දනයක් වගේම සාහිත්‍ය ලැදියාවක් ද ඇත. හොඳ කාල්පනික හැකියාවක් ඇති මොවුන් තම දක්ෂතාවයන් සහ හැකියාවන් කුඩා කල සිටම හදුනාගෙන ඒ පිළිබඳ වඩාත් උනන්දුවෙන් කටයුතු කළහොත් ජීවිතයේ ඉහළ සාර්ථකත්වයක් ලැබිය හැකි පුද්ගලයන්ය. මොවුන්ට හොඳ මතක ශක්තියක් ද පිහිටා ඇති අතර බුද්ධිමත් මිනිසුන් බොහෝ ප්‍රමාණයක් දෛව අංක දෙකෙන් උපත ලබා ඇත. අනවශ්‍ය ලෙස කම්පා වීම හා අධික සංවේදී බව මොවුන්ගේ දුර්වලතා ලෙස දැකිය හැකිය. මුදල් ඉපයීමට දක්ෂ අතර ආර්ථිකමය වශයෙන් ශක්තිමත් විය හැකිය.
දෛව අංක දෙකෙන් උපන් ඔබ තීරණ ගැනීමේදී ඉක්මන් නොවිය යුතුය. කල්පනාකාරීව දුර දිග සිතා බලා තීන්දු තීරණ ගැනීම නුවණට හුරුය. ආවේගශීලී භාවය ද පාලනය කර ගැනීමට උනන්දු වන්න. මානසික වශයෙන් ඇති අලස භාවය හෙවත් උදාසීන භාවය ද ඔබගේ දියුණුව පහත හෙළන දුර්වලතා බව මතක තබා ගන්න. නිසි සැලැස්මකට අනුව කටයුතු කිරීම තුළ ඉහළ සාර්ථකත්වයක් උදාකරගත හැකිය.
දෛව අංක තුන හිමි
අයගේ පලාපල ලබන කලාපයෙන්...
***********************
රැකියාවේ වෙනසක් බලාපොරොත්තු වන ඔබට මේ සුදුසුම කාලය විය හැකියි
ඔක්තෝබර් 16- නොවැම්බර් 13 වැනිදා අතර ලග්න රැසකට රැකියාවේ වෙනස්වීම් රැසක්
ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී
පාරින්ද්‍ර සුගතදාස
ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල විශාල පිරිසක් වර්තමානයේදී රැකියා විරහිත භාවය හේතුවෙන් පීඩා විඳින බව පෙනේ. ඇතැම් අය රැකියාව බන්දේසියක තබා තමන්ට පිළිගන්වන තුරු බලා සිටින බවක් ද පෙනේ. ඇතමකු රජයේ රැකියාවක්ම සොයන අතර රැකියා ලබාදීම රජයේ වගකීමක් ලෙස ද සිතති.
ඇතැම් බුද්ධිමතුන්ගේ මතය වන්නේ රැකියාවක් සොයා ගන්නට උත්සාහ කරනවාට වඩා රැකියාවක් මවා ගැනීමට උත්සාහ කිරීම ඵලදායක බවය. උත්පත්ති ලග්නයට අනුව, යම් අයකුට රැකියාවක් ලැබෙන කාල වකවානුව පිළිබඳ අදහසක් ලබා දීමට අදහස් කළෙමි.
2022 වසරෙහි ඔක්තෝබර් 16 වැනිදා පෙ.ව. 6.32 ට කුජ ග්‍රහයා මිථුන රාශියට පිවිසෙයි. මෙසේ මිථුන රාශියට පිවිසෙන කුජ ග්‍රහයා, 2022 වසරෙහි නොවැම්බර් 13 වැනිදා දක්වාම මිථුන රාශිය තුළ හැසිරෙයි. කුජ ග්‍රහයා නැවත වතාවක් 2023 වසරෙහි මාර්තු 13 වැනිදා මිථුන රාශියට පිවිසෙන අතර 2022 වසරෙහි ඔක්තෝබර් 16 වනදාත් 2022 වසරෙහි නොවැම්බර් 13 වනදාත් අතර කාලසීමාව තුළ සහ 2023 වසරෙහි මාර්තු 13 වනදාත් 2023 වසරෙහි මැයි 10 වනදාත් අතර කාල සීමාව තුළ රැකියාවේ රාජකාරි ලැයිස්තු වෙනස් වීමට හෝ ස්ථාන මාරු වීම් ලැබීමට ඉඩකඩ ඇති අතර, අලුත් රැකියාවක් සොයන්නේ නම්, ඒවා සාර්ථක කර ගැනීමට වෙනදාට වඩා භාග්‍යය උදා වනු ඇත.
එමෙන්ම සමස්ත ග්‍රහ ගෝචරයන් සලකද්දී මිථුන ලග්න හිමියන්ට සහ මකර ලග්න හිමියන්ට විවිධ බාධා ඇති වුවද 2023 වසරෙහි ජනවාරි 17 වැනිදා දක්වා ඉදිරියට පවතින මාස කිහිපය තුළ රැකියාවේ වෙනස්කම්වලට සහ රැකියාවේ උසස්වීම්වලට ඉඩකඩ ඇති අතර අලුත් රැකියාවක් සොයන්නේ නම් ඒවා සාර්ථක කර ගැනීමට වෙනදාට වඩා ඉඩ කඩ ඇති වනු ඇත. ධනු ලග්න හිමියන්ට 2023 වසරෙහි මැයි 10 වැනිදාත් 2023 වසරෙහි ජුලි 1 වැනිදාත් අතර කාල සීමාව තුළ දැනට කරගෙන යන රැකියාවන්වල රාජකාරි ලැයිස්තු වෙනස් වීමට ඉඩකඩ ඇති අතර, නමුත් රැකියාවක් සොයන්නේ නම් ඒවා සාර්ථක කර ගැනීමට භාග්‍යය උදා වනු ඇත. සමස්ත ග්‍රහ ගෝචරයන්ට අනුව කුම්භ ලග්න හිමියන්ට මෙම දිනවල ද රැකියාවේ වෙනස්කම්වලට ඉඩකඩ ඇත. 2023 වසරෙහි ජනවාරි 17 වැනිදාත්, 2025 වසරෙහි අප්‍රේල් 1 වැනිදාත් අතර කාල සීමාව තුළ බාධක මාධ්‍යයේ වුවද රැකියාවේ උසස්වීම්වලට සහ අලුත් රැකියා ලබන්නට වෙනදාට වඩා භාග්‍යයක් උදා වනු ඇත. එමෙන්ම කටක ලග්න හිමියන්ට ද 2023 වසරෙහි ජනවාරි 17 වැනිදාත් 2025 වසරෙහි අප්‍රේල් 1 වැනිදාත් අතර කාල සීමාව තුළ දැඩි බාධා මාධ්‍යයේ වුවද රැකියාවේ වෙනස්කම්වලට රැකියාවේ උසස්වීම්වලට සහ අලුත් රැකියාවක් සොයා ගැනීමට වෙනදාට වඩා ඉඩකඩ ඇති වනු ඇත. තවද සමස්ත ග්‍රහ ගෝචරවලට අනුව මෙම කාල සීමාව තුළ තුලා ලග්න හිමියන්ට රැකියාවේ රාජකාරි ලැයිස්තු වෙනස් වීමට, රැකියාවේ ස්ථාන මාරුවීම් ලැබීමට සහ අලුතින් රැකියා ලැබීමට වෙනදාට වඩා ඉඩකඩ ඇති අතර, 2022 වසරේ ඔක්තෝබර් 16 දක්වාම ඒ පිළිබඳ වඩාත් බලාපොරොත්තු තැබිය හැකි වනු ඇත. මීට අමතර ලෙස තුලා ලග්න හිමියන්ට 2022 වසරෙහි නොවැම්බර් 13 වැනිදාත් 2023 වසරෙහි මාර්තු 13 වැනිදාත් අතර කාල සීමාව තුළද රැකියාවේ රාජකාරි ලැයිස්තු වෙනස් වීමට, රැකියාවේ ස්ථාන මාරුවීම් ලැබීමට සහ අලුත් රැකියාවක් සොයන්නන්ගේ බලාපොරොත්තු ඉටු වීමට වෙනදාට වඩ ඉඩකඩ ඇත. සමස්ත ග්‍රහ පිහිටීම්වලට අනුව මීන ලග්න හිමියන් 2023 වසරෙහි ඔක්තෝබර් 3 වැනිදාත්, 2023 වසරෙහි නොවැම්බර් 16 වැනිදාත් අතර කාල සීමාව තුළද මේෂ ලග්න හිමියන්ට 2023 වසරෙහි නොවැම්බර් 16 වැනිදාත් 2023 වසරෙහි දෙසැම්බර් 28 වැනිදාත් අතර කාල සීමාව තුළද වෘෂභ ලග්න හිමියන්ට 2022 වසරෙහි දෙසැම්බර් 28 වැනිදාත්, 2024 වසරෙහි පෙබරවාරි 5 වැනිදාත් අතර කාලය තුළද සිංහ ලග්න හිමියන්ට 2023 වසරෙහි අප්‍රේල් 24 වැනිදාත්, 2024 වසරෙහි ජුනි 2 වැනිදාත් කාල සීමාව තුළද රාජකාරි ලැයිස්තු, වෙනස් රැකියාවක ස්ථාන මාරු වීම් ලැබීමට සහ අලුත් රැකියා සොයා ගැනීමට වෙනදාට වඩා ඉඩකඩ ඇති වනු ඇත.
******************
විවාහය ඉක්මන් කරගන්න වයඹ දිශාවේ කාමරයක නිදාගන්න
විදෙස්ගත වෙන්න ඉන්න පිරිමි දරුවන්ට ගැළපෙන්නේත් වයඹ දිශාවේ නිදන කාමරයක්
නිෙවසේ ගිනිකොන දිශාවේ දෝෂ තිබුණොත් විවාහයක් සිදුවුවත් අසුබ ප්‍රතිඵල ලැබිය හැකියි
ජනක ප්‍රියන්ත දයාරත්න
සිවිල් ඉංජිනේරු
විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ
ආයතනයේ ප්‍රධාන පර්යේෂක
වාස්තු ශාස්ත්‍රය පිළිබඳ අධ්‍යයනය කරන්නෙකුට අතිශයින් වැදගත් වන කරුණක් වන්නේ ඒ ඒ දිශාවන්හි පවත්නා ධාතු තත්ත්වයන් බව මීට පෙරත් අප සාකච්ඡා කොට ඇත. මෙහිදී අප විසින් සාකච්ඡාවට ගත යුතු ප්‍රධාන දිශාවක් වන්නේ වයඹ දිශාවයි. එයට හේතුව වන්නේ වයඹ දිශාව, වායෝ ධාතුව අනුව සකස් වූවක් බැවිනි.
වායෝ ධාතුවේ ඇති ගුණය වන්නේ චලනය වන, හමායන ගුණය බව සිද්ධාන්ත අනුව පැහැදිලි වේ. අප විසින් කරනු ලබන විවිධ පර්යේෂණ හා සමාජ සමීක්ෂණවල ප්‍රතිඵල වශයෙන් පෙනෙන්නට තිබෙන්නේ නිවෙසක වයඹ දිසාව බොහෝ සෙයින් ස්ථාවර නොවන ස්ථානයක් බවයි. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාවක් වන්නේ නිවසෙන් බැහැර කළ යුතු කුණු කසළ පමණක් නොව තවත් බොහෝ ඵලදායී දේ පිහිටුවීම කෙරෙහි වායෝ ධාතුවට හිමි වයඹ දිශාව කෙරෙහි අපගේ අවධානය යොමුවීම අතිශයින් ඵලදායි බවයි.
නිවෙසක වෙසෙන විවාහ අපේක්ෂිත හෝ විවාහය ප්‍රමාද වී ඇති කාන්තාවන් සඳහා උචිතම දිශාව ලෙස වයඹ දිශාව හඳුන්වා දෙන්නේ වයඹේ පිහිටි පෙර කී චලනය වන අස්ථාවර ගුණය හේතු කොටගෙනයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන්නේ වයඹ දිශාවේ වූ කාමරයේ පෙර කී ආකාරයේ විවාහ අපේක්ෂිත කාන්තාවක් වාසය කළේ නම් නිසැක වශයෙන් නිවසෙන් බැහැරට යෑමට ඇයට සිදුවන අවස්ථාවන් බොහෝ වන බවයි. ඒ අනුව රැකියාවක් ජීවිකාවක් මෙන්ම විවාහයක් සඳහා ද නිවසෙන් බැහැර වීම සඳහා අවකාශ ඇයට ඉඩ සැලසීම නොඅනුමානයි. මේ තත්ත්වය අවබෝධයකින් යුතුව භාවිත කිරීමෙන් පෙර කී ආකාරයේ ගැටලු සහගත තත්ත්වයකට පත්ව සිටින කාන්තාවකට විවාහ අවස්ථාවක් උදා කර ගැනීමට අවකාශ සැලසීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බව අප මෙහිදී වටහා ගත යුතුව ඇත.
පිරිමි දරුවකු සඳහා වයඹ දිශාව බලපාන ආකාරය පිළිබඳ දැන ගැනීම ද මෙහිදී විස්මය දනවන සුළු දෙයක් බව කිව යුතුය. යම් අයකුට එවැනි අවස්ථාවක් උදා කර ගැනීම සඳහා අවශ්‍යව ඇත්තේ නම් එවැනි අය තම නිදන කාමරය ලෙස යොදාගත යුත්තේද නිවෙසේ වයඹ දිශාව බව මෙහිදී අවධාරණය කළ යුතුය. කෙසේ වුවත් මෙවැනි තත්ත්ව යටතේ විවාහයත් විදෙස්ගත වීම යනු එකී නිවසෙන් බැහැර වීමක් ලෙස තේරුම් ගැනීමෙන් අදාළ සිද්ධාන්තය හා ධාතු තත්ත්වයන්ගේ බලපෑමේ ස්වරූපය වටහා ගැනීම අසීරු නොවනු ඇත.
ඒ කෙසේ වුවත් මෙහිදී අදාළ නිවසේ පවත්නා වාස්තුමය දෝෂ තත්ත්වයන් තිබේද යන්න ගැන වැඩි අවධානයක් යොමු කළ යුත්තේ අප විසින් බැහැරට යවනු ලබන දරුවා හෝ දැරියගේ යහපත් අනාගතයක් සහ යහපත් පැවැත්මක් උදෙසා බැහැරට යෑමේදී ලබන අත්දැකීම සුබවාදී කරගැනීම අත්‍යවශ්‍ය වන බැවිනි. ගිනිකොන දිශාවේ යම් දෝෂ තත්ත්වයක් වර්ධනය වෙමින් පැවැති අවස්ථාවකදී වයඹ දිශාවේ ගැහැනු දරුවකු පිහිටුවීම විසින් විවාහ අපේක්ෂාව සාර්ථක වුවද ඊටපසු ලබන අත්දැකීම සුබවාදී එකක් නොවීමට ඉඩකඩ තිබේ.
මෙහිදී විවාහයක් සිදු වුවත් විවාහයේ ප්‍රතිඵල වියවුල් සහගත වීමට ඉඩ ඇති බැවින් ගිනිකොන දිශාවේ සුබවාදී තත්ත්වයක් ඇත්තේ දැයි විමසීම වැදගත් වන බව මෙහිදී වටහා ගත යුතුව ඇත.
විදෙස් ගතවීමේදී අපේක්ෂා කරනුයේ ජීවිකාවක් රැකියාවක් බරපතළ සුබවාදී ප්‍රතිඵලයක් නම් යම් පුද්ගලයකු විසින් වයඹ දිශාව යොදා යොදා ගැනීමෙන් පමණක් සෑහීමකට පත් නොවී වැඩිදුර ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් අන් වාස්තු දෝෂ හා ඒවා නිවාරණයට ක්‍රියා කිරීම අතිශයින් වැදගත් බව අවධාරණය කළ යුතු වේ. මේ සඳහා ඉදිකිරීම්හි කැඩීම් බිඳීම් සිදු කිරීම හෝ පිරමීඩ ආදී මෙවලම් යොදා ගැනීම මඟින් කළ හැකි බව ද කිව යුතුය.
**********************
බිලිඳු නමට අකුරු
සැප්තැම්බර් 04 සිට සැප්තැම්බර් 10 දක්වා
සැප්තැම්බර් 04 ඉරිදා
සැප්තැම්බර් 04 ඉරිදා 21.42 තෙක් දෙට නැකැතයි.
සුදුසු අකුරු නො, ය, යි, යු
සැප්තැම්බර් 05 සඳුදා
සැප්තැම්බර් 04 ඉරිදා 21.42 සිට සැප්තැම්බර් 05 සඳුදා 20.05 තෙක් මුල නැකැතයි. සුදුසු අකුරු යෙ, යො, බ, බි
සැප්තැම්බර් 06 අඟහරුවාදා
සැප්තැම්බර් 05 සඳුදා 20.05 සිට සැප්තැම්බර් 06 අඟහරුවාදා 18.09 තෙක් පුවසල නැකැතයි. සුදුසු අකුර බු
සැප්තැම්බර් 07 බදාදා
සැප්තැම්බර් 06 අඟහරුවාදා 18.09 සිට සැප්තැම්බර් 07 බදාදා 16.00 තෙක් උත්‍රසල නැකැතයි. සුදුසු අකුරු බෙ, බො, ජ, ජි
සැප්තැම්බර් 08 බ්‍රහස්පතින්දා
සැප්තැම්බර් 07 බදාදා 16.00 සිට සැප්තැම්බර් 08 බ්‍රහස්පතින්දා 13.45 තෙක් සුවන නැකැතයි. සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ
සැප්තැම්බර් 09 සිකුරාදා
සැප්තැම්බර් 08 බ්‍රහස්පතින්දා 13.45 සිට සැප්තැම්බර් 09 සිකුරාදා 11.34 තෙක් දෙනට නැකැතයි. සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ
සැප්තැම්බර් 10 සෙනසුරාදා
සැප්තැම්බර් 09 සිකුරාදා 11.34 සිට
සැප්තැම්බර් 10 සෙනසුරාදා 09.36 තෙක් සියාවස නැකැතයි. සුදුසු අකුරු ගො, ස, සි, සු. ඉන් පසු ඉරිදා 08.01 දක්වා පුවපුටුව නැකැතයි. සුදුසු අකුරු සෙ, සො, ද, දි
මෙහි වේලාව දක්වා ඇත්තේ
පැය 24 ඔරලෝසුව අනුවයි.
සමන්ති අහුබුදු
**************