9 පන්තියේ දෙව්ම් උසස්පෙළ ඉහළින් සමත් | Page 2 | සිළුමිණ

9 පන්තියේ දෙව්ම් උසස්පෙළ ඉහළින් සමත්

- පුතාගේ එකම ආසාව වුණේ අඩුම වයසකින් උසස්පෙළ විභාගය ලියා ඉතුරු කාලය ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කිරීමයි

2021 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට සාර්ථකව ‘බී’සාමාර්ථ තුනක් ලබාගත් කඩවත නැණමල් රාජකිය විදුහලේ අධ්‍යාපනය ලැබූ 14 හැවිරිදි දෙව්ම් සනහස් රණසිංහ සරසවි ප්‍රවේශ වරම් හිමිකරගත් ළාබාල අපේක්ෂකයෙකි. අඩු වයස් සීමාවකදී වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි දෙව්ම් උසස් පෙළ විභාගයට මුහුණ දී ‘බී’ සාමාර්ථ තුනක් ලබා ගත්තේ 9 ශ්‍රේණියේ සිටියදීය. ඒ මාස 05ක් වැනි කෙටි කාලයකදී විභාගයට මුහුණ දීමෙනි.

දෙව්ම් සනහස් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේ 08 ශ්‍රේණියේදිය. ‘ඒ’ සාමාර්ථ පහක්, ‘බී’ සාමාර්ථ දෙකක් සහ ‘සී’ සාමාර්ථයක් ලබා ගත් ඔහු ඒ සඳහා සූදානම් වී ඇත්තේ මාස 07ක කාලයකදීය.

දෙව්ම්ගේ මව මල්කා රණසිංහ හා පියා අනුර රණසිංහ ගුරුවරුන්ය. දෙව්ම්ට 6 වසරේ ඉගෙන ගන්නා සහෝදරියක් හා 8 වසරේ ඉගෙනුම ලබන සහෝදරයෙක් වෙයි.

“පුතාගේ එකම ආසාව වුණේ අඩුම වයසකින් උසස් පෙළ විභාගය ලියා එයාගේ ඉතුරු කාලය ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරන්න. කොවිඩ් කාලයේ එයාගේ ජිවිතයේ ගොඩාක් තින්දු තීරණ ගත්තා. එයා අපෙන් ඉල්ලීමක් කළා, සාමාන්‍ය පෙළ විභාගය 8 පන්තියේදි කරන්න. මමයි, මහත්තයයි ගුරුවරු නිසා එයාට අවශ්‍ය සහයෝගය දුන්නා. නමුත් ටියුෂන් ගියේ නැහැ. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවට පස්සේ පුතා අපෙන් ඉල්ලීමක් කළා, උසස් පෙළ විභාගය කරන්න. මාස 5 ක කාලයකුයි එයාට සූදානම් වීමට තිබුණේ. එයාට මිහින්, සරත්, සඳරුවන්, ගයාන් හා අමල් සර්ලා උදව් කළා. සාමාන්‍ය පෙළ ලියූ නිසා එයාට උසස් පෙළ පංතියේ වාඩි වී උසස් පෙළ ඉගෙනීමට අවස්ථාව උදාවුණා.....“ දෙව්ම්ගේ මව පැවසුවාය.

දෙව්ම් කුඩා කළ ඉගෙන ගත්තේ කැලණිය ගුරුකුලයේය. අනතුරුව ශිෂ්‍යත්ව විභාගයෙන් පසු ඔහු කොළඹ තර්ස්ටන් විදුහලට ගියේය. එහෙත් කොළඹ ගමනේ ඇති අධික වෙහෙස නිසාම යළිත් දෙව්ම් කඩවත නැණමල් රාජකීය පෞද්ගලික පාසලට ඇතුළු විය. ඒ අතර ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩා කටයුතු අතපසු කළේ නැත.

“පුතා හොඳ බෝලර් කෙනෙක්. එයාගේ ආසාව තිබුණේ ක්‍රිකට්වලින් ජාතික කණ්ඩායමට තේරි පත්වෙන්න. ඒ ආසාව නිසයි, පුතා කලින් විභාග ඉවර කරන්නට තීරණය කළේ. නමුත් අපිට තියෙන ප්‍රශ්නය තමයි, රජයේ විශ්වවිද්‍යාලයකට යෑමට නම් අවුරුදු 18 ක් සම්පූර්ණ විය යුතුයි කියන නීතිය. තවමත් අපේ පුතාට අවුරුදු 15 යි. ඒත් එයා පාසල් ගොස් අවසන්. එයාගේ බලාපොරොත්තුව නීතීඥයකු වීමයි. මේ වන විට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අවුරුදු 17 න් ඇතුළත් විය හැකියි. අපි ඒ විශ්වවිද්‍යාලයෙන් විශේෂ ඉල්ලීමක් කළා, පුතාට ඇතුළත් විමට අවස්ථාවක් සලසා දෙන මෙන්. ....“ මව වැඩිදුරටත් එසේද කීවාය. දැනට පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු ලෙස කටයුතු කරන දෙව්ම් ගේ අපේක්ෂාව පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් නීති උපාධියක් හදාරා නීතීඥයකු විමය.

Comments