උතුරේ සිදු වූ පළමු දේශපාලන ඝාතනය දොරේඅප්පා ඝාතනය වී වසර 47 යි | සිළුමිණ

උතුරේ සිදු වූ පළමු දේශපාලන ඝාතනය දොරේඅප්පා ඝාතනය වී වසර 47 යි

 

යම් සමාජ-ආර්ථික හෝ ජනවාර්ගික ප්‍රශ්නයක් හේතුවෙන් පැනනගින ඕනෑම ජනතා විරෝධතාවක් අදූරදර්ශි අන්තවාදීන් පිරිසක් අතට පත්වුවහොත් එය ඉමහත් විනාශකාරී ත්‍රස්ත බලවේගයක් බවට පත්වෙයි. මේ තත්ත්වය අපට පසුගිය දශක කිහිපයේ සිට මේ දක්වාම වරින්වර අත්විඳින්නට සිදුවී ඇත.

ගාලු මුවදොර පැවතෙමින් ආ උද්ඝෝෂණවල දී අපේ ආරක්ෂක හමුදා මිනීමරු අපරාධකරුවන් ලෙස හෙළා දකිමින් කොටි සංවිධානයට ආවැඩූ එක් 'අරගලකරුවෙකු' කෑගසන කෙටි වීඩියෝවක් අපට දක්නට ලැබිණ. ඔහුට අනුව ප්‍රභාකරන් යුක්තිය සාධාරණය වෙනුවෙන් පෙනී සිටි සටන්කාමියෙකි.

වසර 2009 දී කොටි සංවිධානය ප්‍රභාකරන්ගේ මරණයත් සමඟ යුදමය වශයෙන් පරාජයට පත්වන විට කුඩා දරුවන්ව සිටි වත්මන් තරුණ පරපුර මෙවන් දේශද්‍රෝහි ප්‍රකාශවලින් නොමඟ යනවා පමණක් නොව එතෙර සිටින කොටි ඩයස්පෝරාවට ‘පනින රිලවුන්ට ඉනිමං දීම‘ක් ද වනු නොඅනුමානය.

ප්‍රභාකරන් සිය පළමු දේශපාලන බිල්ලගෙන පසුගිය ජූලි 27 දාට වසර හතළිස් හතක් සපිරුණි. ඒ මෙරට දෙමළ දේශපාලන නායකයකුගේ පළමු ඝාතනයයි. ඊට ගොදුරු වූයේ යාපනයේ පුරපති ඇල්ෆ්‍රඩ් තංගරාජා දොරේයිඅප්පාය. කොටින්ගේ තිස් වසරක සාපරාධී බෙදුම්වාදී යුද්ධයේ මුල් පියවර වූයේද එයයි.

වසර 1972 වසරේ ජූලි මාසයේදී - දොරෙයිඅප්පා ඝාතනයට හරියටම වසර තුනකට පෙර - සිවකුමාරන් නම් දෙමළ තරුණයෙක් යාපනය නගරයේ ප්‍රසංග ශාලාවක පිටත නවතා තිබූ පුරපතිගේ මෝටර් රියේ රෝදයට යටින් බෝම්බයක් තබා ඔහු මරා දැමීමට තැත් කළ නමුත් සිය ජීවිතය බේරා ගැනීමට දොරේඅප්පා සමත් විය. එහෙත් බෝම්බය පිපිරීමෙන් ඔහුගේ මෝටර් රිය ගින්නෙන් දැවී විනාශ විය.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු වූ දොරේඅප්පා ජනප්‍රිය, කාරුණික නායකයෙකු වූ අතර ඔහුගේ පුරපති නිල කාලය තුළ යාපනයේ තරුණයන්ට රැකියා ලබා දුන් අතර මංමාවත්, ක්‍රීඩාංගණ යනාදිය තැනුවා පමණක් නොව ආනයන සීමා කළ එවකට පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයේ සංවෘත ආර්ථික ප්‍රතිපත්තියට අනුගතව ලූනු, මිරිස් යනාදිය වගා කළ යාපනයේ දෙමළ ගොවීන්ට සමෘද්ධිමත්කලක් උදා කර දුන්නේය.

එහෙත් දෙමළ බෙදුම්වාදීන්ට මේ කිසිවක් වැදගත් නොවීය. ඔව්හු ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් 1972 දී දෙමළ නව කොටි සංවිධානය (Tamil New Tigers) පිහිටුවා ගත්හ. (පසුව දෙමළ විමුක්ති කොටි බවට පත්වුයේ මෙකී ත්‍රස්තවාදී කල්ලියයි).

පුරපති ඝාතනයට දින පහකට පෙර, එනම් ජූලි 22 වන දා, එවකට කොළඹ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (අපරාධ) රාමචන්ද්‍ර සුන්දරලිංගම් යාපනයට පැමිණියේය. ඒ හොර බඩු ජාවාරම්කරුවෙකුගෙන් අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පොලිස් පරීක්ෂකවරයකුට විරුද්ධව යාපනයේ දිස්ත්‍රික් උසාවියේ පැවති නඩුවකට පෙනී සිටීම සඳහාය. (කොළඹට මාරුවක් ලැබීමට කලින් සුන්දරලිංගම් උතුරු පළාතේ පොලිස් අධිකාරිවරයා විය - 1966-72).

නඩු විභාගය නිම වනතුරු සුන්දරලිංගම් නතර වූයේ යාපනයේ නල්ලූර්හි ටෙම්පල් පාරේ පිහිටි ඔහුගේ නෑනාගේ නිවසේය. ජුලි 26 සෙනසුරාදා උදෑසන ඔහුට පුරපති දොරෙයිඅප්පාගෙන් ඇමතුමක් ලැබුණේ ඔහු බෲනායි රටේ සිට ආපසු පැමිණි බව දැන්වීමටය. එරට ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියව සිටියේ ඔහුගේ බිරිය වූ පරමේශ්වරීය. පසුදා යාපනේ පොන්මාලෙයිහි පිහිටි වරදරාජා පෙරුමාල් විෂ්ණු කෝවිලට ගොස් ඉන්පසු සුන්දරලිංගම් හමුවීමට පුරපතිවරයා පොරොන්දු විය. ඔහු සෑම ඉරු දිනකම සිය සුදු පැහැති 404 පර්ජෝ රියෙන් මෙම කෝවිලට පැමිණීම සිරිතක් විය. පාපැදිවලින් එහි පැමිණි සිටි ප්‍රභාකරන් ඇතුළු ඝාතකයින් මෙය පැහැදිලිවම දැන සිටියහ.

එම දෛවෝපගත දිනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුන්දරලිංගම් කරෙයිනගර් නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා හමුවී ඉන්දු-ලංකා හොර ජාවාරම් ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව දිවා ආහාරය සඳහා ආපසු යාපනයට පැමිණියේය. ඛේදජනක පුවත ඔහුට සැල වූයේ ඒ අවස්ථාවේය. දොරේඅප්පා සිය මෝටර් රථයෙන් බැස විෂ්ණු කෝවිලට ඇතුළුවීමට සූදානම් වෙද්දී ඒ අසලම සැඟවී සිටි ඝාතකයෝ ඔහුට වෙඩි තැබූහ. එක් රිවෝල්වර උණ්ඩයකින් ඔහුගේ හදවත පසාරු වී මරණය ක්ෂණිකව සිදු විය.

ඝාතනයට පසු දින (28 සඳුදා) ඒ ගැන වාර්තා කිරීම සඳහා ලේක්හවුසියෙන් යාපනයට ගියේ මා සමඟ ස්ටැන්ලි ප්‍රේමරත්න (ජනතා), පැට්රික් කෲස් (ඩේලි නිවුස්), පී. බාලසුන්දරම් (තිනකරන්) සහ වර්නන් ෆොන්සේකා (ඡායාරූප ශිල්පී) යන මාධ්‍යවේදීන්ය.

අඟහරුවාදා ඝාතනය සිදු වූ ස්ථානයට ගිය අපට කෝවිල් බිත්තියේ වෙඩි උණ්ඩ සලකුණු දක්නට ලැබිණ. ඒ වනවිට යාපනයේ චුන්ඩිකුලිහි පිහිටි පුරපති නිවසේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සූදානම් වෙමින් තිබිණි. දේහය බැලීමට විශාල පිරිසක් පැමිණ සිටියහ. දොරෙයිඅප්පාගේ රියැදුරු ඝාතනයේ වැදගත්ම සාක්ෂිකරු පොලිසියේ හෝ මාධ්යවේදීන්ගේ ප්‍රශ්නවලට සෘජුව පිළිතුරු දීමට ඉතා මැළි වූ බවක් පෙනුණි. ඔහු පැහැදිලිවම දුටු මිනීමරුවන් ගැන කම්පනයට මෙන්ම බියටද පත්වී සිටියේය. ඝාතකයින්ගෙන් සමහරක් පැමිණ සිටි පිරිස අතර සිටිමින් අන් අයගේ ප්‍රතිචාර දෙස බලා සිටි බවට පසුව හෙළි විය.

දොරෙයිඅප්පාගේ අවමංගල්‍යය යාපනයේ ඉතා ඉහළින් පැවැත්විණ. යාපන නගරය පුරාම කළු කොඩි ඔසවා තිබිණ. අවමඟුල පැවැත්වුණේ යාපන පුරහලේය. ඊට සහභාගී වුවන් අතර මුළු කැබිනට් මණ්ඩලයද විය. ඔවුනතුරෙන් කැපී පෙනුණේ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඇමතිවරුන් වූ මෛත්‍රිපාල සේනානායක, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, ටී.බී. ඉලංගරත්න සහ පී.බී.ජී. කළුගල්ලය. එහෙත් ප්‍රභාකරන් කල්ලිය ගැන හොඳින් දැන සිටි ෆෙඩරල් පක්ෂය ඔවුන්ට බියෙන් අවමගුලට සහභාගී නොවූ අතර එම පක්ෂයෙන් සභාගි වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී. එක්ස්. මාටින් පමණි. ඒ පොලිස් අධිකාරි සුන්දරලිංගම් සමඟය.

එහෙත් පුදුමය වුයේ මෙම ඝාතනය පසුපස ත්‍රස්තවාදී කල්ලියක් සිටි බවට එදා වැඩි දෙනෙකුට අවබෝධ නොවීමයි. අපරාධයට වගකිව යුත්තේ ආණ්ඩු පක්ෂයට සම්බන්ධ අයකු හෝ පිරිසක් යයි බොහෝ දෙන විශ්වාස කළහ. මේ අදහස එක් දෙමළ මාධ්‍යවේදියකු පවසනු මට අද මෙන් මතකය.

මෙයට හේතු වූයේ එකල තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය චෙල්ලයියා කුමාරසුරියර් සහ පුරපති දොරෙයිඅප්පා එකම පක්ෂයේ එනම් ශ්‍රී.ල.නි.ප. සාමාජිකයන් වුවද දෙමළ දේශපාලනයේ ආධිපත්‍යය සඳහා දෙදෙනා අතර පැවති තියුණු තරඟයයි. ඇතැමුන් කීවේ ඝාතනය පිටුපස කුමාරසූරියර්ගේ කණ්ඩායම සිටින බවයි!

වෙනෙකක් තබා දොරෙයිඅප්පාගේ ගේ එවකට 14 වැනි වියේ සිටි දියණිය ඊශා, ඇගේ ආතම්මා (ආච්චි) එනම් මියගිය පුරපතිගේ නැන්දම්මා, කුමාරස්වාමි මහත්මිය පවා මේ කතාව විශ්වාස කළ බව සුන්දරලිංගම් මා සමග පැවසීය. එපමණක් නොව අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක ඇතුළු රජයේ ඇමතිවරු ද කුමාරසුරියර් මීට සම්බන්ධ යයි සැක කළහ. එහෙත් සුන්දරලිංගම් ඇයට සැබෑ තත්ත්වය පැහැදිලි කළේය.

මේ අතර කොටි ත්‍රස්තවාදීහු නැසීගිය පුරපතිවරයා දෙමළ ජාතියේ ද්‍රෝහියකු ලෙස හඳුන්වමින් මඩ ව්‍යාපාරයක් නිර්නාමිකව දියත් කර ඔහුට මරණීය දණ්ඩනය ලැබිය යුතු වූ බව යාපනයේ ජනතාවට ඒත්තු ගැන්වීමට තත් කළහ. මෙය පැහැදිලිවම ජනතාව නොමග යැවීමට බොහෝ ත්‍රස්තවාදී කල්ලි යොදාගන්නා ප්‍රචාරක උපක්‍රමයකි.

එහෙත් රටටත් ලෝකයටත් ඇත්ත හෙළි වන්නට වැඩි කලක් ගියේ නැත.

යාපනේ හිටපු දිසාපති තිස්ස දේවේන්ද්‍ර මියගිය පුරපති දොරෙයිඅප්පා සිය ඝාතනයට දින කිහිපයකට පෙර මෙසේ පැවසූ බව කියයි.

"දෙමළ සහ සිංහල ජනතාව අතර සමගිය විශ්වාස කරන දේශපාලකයකු ලෙස අන්තවාදීන් මට වෛර කරනවා."

Comments