
රජයේ රැකියාවක නිරතව හෝ කුලී වැඩක් කර හරිහම්බ කරගන්නා වැටුපෙන් අඹු දරුවන් පෝෂණය කිරීම නිවසක ප්‍රධානියාගේ පූර්ණ වගකීමකි. මාසික වැටුපක් ලබන පුද්ගලයා ඊළඟ වැටුප ලබාගන්නා තෙක් අරපිරිමැස්මෙන් මුදල් වියපැහැදම් කරයි. කුලී වැඩක් ලෙස ගම්වල ගස් ගෙඩි කඩා කපා මුදල් උපයාගෙන අඹුදරුවන් ඇතිදැඩි කරගෙන ලෝකයාට බරක් නොවී ජීවත්වන පවුල් ද ඕනෑතරම් අප රටේ සිටිති.
දැදිගම නෙළුන්දෙණිය පහළගම හෙට්ටිආරච්චිගේ නිරෝෂන් හෙට්ටිආරච්චිගේ වයස අවුරුදු 42 කි. නිරෝෂන් උපන් ගම දැදිගම පොලිස් වසමේ මහ පල්ලේගමය. නිරෝෂන්ට සිටින්නේ එකම බාල සහෝදරයා පමණය. ඔහුගේ මව්පියන් මේ දරු දෙදෙනා තරමක් කුඩා කාලයේ දී මිත්තණියට බාර දී රජරට ප්‍රදේශයේ ගමක පදිංචියට ගියහ.
මහ පල්ලේගම ප්‍රදේශයේ පාසලකින් අධ්‍යාපන ලැබු නිරෝෂන් පසුව බර වාහන රියදුරු බලපත්‍රයක් ලබා ගත්තේය. ප්‍රදේශයේ රථ වාහන කිහිපයකම රියදුරු රැකියාවේ නිරතව සිටින අවස්ථාවේදී නෙළුන්දෙණිය පහළගම ප්‍රදේශයේ තරුණියක්ව සිටි දිල්රුක්ෂිව හඳුනා ගත්තේය. පසුව දෙදෙනා 2011 ජුනි මස 11 වැනිදා විවාහ ගිවිසගෙන නිරෝෂන් උපන් මහ පල්ලේගම සිට දිල්රුක්ෂිගේ නෙළුන්දෙණිය පල්ලේගම නිවසට පදිංචියට පැමිණියෝය. නිරෝෂන්ට බර වාහන රැකියාවට අමතරව ගස් කපා බීම හෙළීමට ද ප්‍රදේශයේ නමක් දිනා සිටි අයෙකි. ගම් ප්‍රදේශයේ නිරෝෂන් කිව්වොත් කිසිවෙකුත් හඳුනන්නේ නැත. නෙළුන්දෙණිය පහලගම ‘ගස් කපන ජොනී’ කිව්වොත් සියලුම දෙනා ඔහු හඳුනති.
නිරෝෂන්ට ගැහැනු දරුවන්ම දෙදෙනෙකි. වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 9 කි. ඇය දැදිගම ප්‍රාථමික විද්‍යාලයේ 4 පංතියේ ඉගනුම ලබන්නීය. දෙවැනි දියණියගේ වයස යාන්තම් මාස තුනයි දින ගාණකි. නෙළුන්දෙණියේ පදිංචිව සිටින ‘කුමාරසිංහ’ ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මුරකරුවෙකි. තවමත් රාජකාරියේ යෙදී සිටින කුමාරසිංහ රැකියාවට අමතරව වැඩිමහල් සහෝදරයා සමඟ ප්‍රදේශයේ ගස් මිලට ගෙන කපා අලෙවිකර අමතර මුදලක් ද උපයන්නෙකි.
“ජොනී මගේ ලුනුමිදෙල්ල ගස් හතරක් තියෙනවා බෙලිගල ඈගල්ල මල්ගහමුල තැන්න වත්තේ ඉඩමේ. ඒ ගස් හතර කපලා දෙනවාදැ“යි ඉකුත් 24 වැනිදා කුමාරසිංහ, ජොනීගේ නිවසට සවස ගොස් මිදුලේ සිට අසන්නේ ජොනීගෙන් පිළිතුරක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.
“කුමාරසිංහ අයියා දැන්නම් ගස් කපන්න බෑ. සවස් වෙලා හොඳටම. මම හෙට උදේ අට වෙද්දී එන්නම්. ඇවිල්ලා ගස් ටික කපලා දෙන්නම්. බයවෙන්න එපා අනිවාර්යයෙන් මම ඇවිල්ලා කපලා දෙනවා“ යැයි ජොනී පැවසීය.
ආපසු හැරී ගිය කුමාරසිංහ පසුව දා 25 වැනිදා පෙරවරු 8 වෙද්දී ජොනීගේ නිවසට යළි පැමිණියේය. ඒ වන විට ජොනී සිටියේ උදෑසන ආහාර ගනිමිනි.
“කුමාරසිංහ අයියා ඔයා වත්තට යන්න. මම බත් ටික කාලා අනිවාර්යයෙන් එන්නම් බයික් එකෙන්. බය වෙන්න එපා... මම ඇවිල්ලා කරලා දෙනවා“ යැයි ජොනී, කුමාරසිංහ හමුවේ පැවසීය.
‘බෙලිගල ඈගල්ල’ මල්ගහමුල තැන්න වත්තට ගිය කුමාරසිංහ සහ ගෝලයා වු ‘ලාල්’ විනාඩි කිහිපයකට පසුව ජොනී ද චේන්ෂෝ එකක් යතුරුපැදියේ පිටුපස බැඳගෙන කුමාරසිංහගේ ඉඩමට පැමිණෙන්නේ ගස් කපා බිම හෙළීම සඳහාය.
පළමු ලුනුමිදෙල්ල ගස හා දෙවැනි ලුනුමිදෙල්ල ගස්වල අතු කපා ඉවත්කර කඳ කොටස් ද බිම හෙළිනි. ඔහු ඊළගට ගියේ තෙවැනි ගසේ ඇති අතු දෙක බිම හෙළීමටය. එම ලුනුමිදෙල්ල ගසේ කඳ තනි කෙළින්ය. ගහේ මුල සිට ඇති අතු දෙක කැපීමට දෙබල ගාවට අඩි 60ක් පමණ උසය. එක් අත්තක් කපා බිම දැමු ජොනී ඊළඟ අත්ත බිම හෙළීමට අත්තටම ආරක්ෂක බඳ පටියද දමා තද කර ගැට ගැසීමට සුදානම් වූයේය.
“ජොනී කපන අත්තටම දාලා පටිය බැඳගන්න එපා. මොකද අනතුරක් වෙයි. ඒ හින්දා කපලා තියෙන අත්තට දාලා බැඳගන්න.“
“කෑගහන්නේ නැතිව හිටපන් කුමාරසිංහ අයියා. මට ගස් කපන්න කියලා දෙන්න ඕනෑ නෑ. ගස් කපන්න. මම අවුරුදු ගාණක ඉඳලා ගස් කපලා හොදට හුරුයි. උඹ ඉඳපන් කෑගහන්නේ නැතිව මම වැඩේ කරලා දෙනකම්.“ කුමාරසිංහගේ කීම පසෙකලා ජොනී ආරක්ෂක බඳ පටිය කපන අත්තට දමා තද කර බැඳගෙන දෙබලට අඩි 3 කට උඩින් චෙන්ෂෝ පාරවල් කිහිපයක් ඇල්ලීය. චරබරාස් ගා ලුනුමිදෙල්ල අත්ත බිමට වැටෙන විට කපාපු තැනින් පහළට අත්ත පුපුරා ගොස් ජොනී එක පාරටම ඉතිරි වූ අත්තේ කොටසට තදින්ම හිර විණි.
“මම කීවා නේද මොකක් හරි වෙයි කියලා. මොකද අමාරුද? බඩ රිදෙනවා කුමාරසිංහ අයියා. එහෙනම් ඔහොම අල්ලාගෙන ඉන්න පුළුවන්ද මම කීප දෙනෙක් හොයාගෙන ඉක්මනට එනකල්.“ කුමාරසිංහ එසේ අසන්නේ ආරක්ෂක පටියට හිරවී සිටින ජොනීගෙනි.
කුමාරසිංහ විදුලි වේගයෙන් දිව ගොස් අසල්වැසි තරුණයින් කිහිප දෙනෙක් සොයාගෙන එක් තරුණයෙක් ගසට නග්ගවා ජොනීගේ ඉල ප්‍රදේශයෙන් කඹයක් ගැට ගසා ජොනී හීන්සැරේ බිමට ගැනීමට වැඩි වේලාවක් ගත වූයේ නැත.
“ජොනී මොනවාද තියෙන අමාරු?“ ගස් හිමිකාර කුමාරසිංහ ජොනිගෙන් විමසීමක් කළේය.
“මගේ බඩ රිදෙනවා වෙන කියන්න තරම් අමාරුවක් නෑ“ ජොනී පැවැසීය.
පසුව කුමාරසිංහ වහාම අසල්වැසි ත්‍රීරෝද රථයකින් ජොනීව බෙලිගල ග්‍රාමීය රෝහලට රැගෙන ගියේය. බෙලිගල ග්‍රාමීය රෝහලේ වෛද්‍යවරයා ඔහු පරීක්ෂා කර බලා ජොනී ගිලන් රථයෙන් වහාම කුමාරසිංහ සමඟ වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට ජොනී පිටත් කර යැවීය. පසුව ජොනීගේ අසනීප තත්ත්වය පිළිබඳ ගස් කැපීමට සහාය ලබා දෙමින් සිටි ලාල් දුරකථනයෙන් ජොනී බිරියට දැන්විය.
“නංගි ජොනී අයියා ගහක් කපන්න යනකොට අත්තක් වැදිලා තියෙනවා. එයාට අමාරු නෑ. කලබල වෙන්න එපා. බෙලිගල ඉස්පිරිතාලේට ඇතුළු කළාට පස්සේ කෑගල්ල ඉස්පිරිතාලෙට මාරු කළා.“
මාස තුනයි දවස් තුනයි වයසැති අතදරුවා සමඟ ජොනීගේ බිරිය හනික හාල් ටිකක් ළිපේ තබා පරිප්පු ව්‍යාංජනයක් උයා ගැනීමට සුදානම් වුවාය. උයාපිහා ගත් දෙයින් බත් එකක්ද බැඳගත් ජොනීගේ බිරිය අසල්වැසි ත්‍රීරෝද රථයකින් සැමියා බැලීමට කෑගල්ල මහ රෝහලට යාමට නිවසින් පිටත් වුවාය. කෑගල්ල මහ රෝහලට සවස 4.30 ට පමණ පැමිණි ජොනීගේ බිරියට හදිසි ප්‍රතිකාර ඒකකය ආසන්නයේ ඇති කාමරයන තිබුණු ජොනීගේ දේහය දැක ගැනීමට හැකිවිය. ඇය මාස තුනක් වයසැති අතදරුවා වඩාගෙන විලාප දුන්නාය.
පසු දා 26 වැනිදා පෙරවරුවේ සැමියාගේ දේහය හඳුනාගෙන ජොනීගේ බිරිය හදිසි මරණ පරීක්ෂණයට පෙනී සිටියාය.
එහිදී දැදිගම පොලිසියේ පොලිස් සැරයන් සුමනදාස (21498) සිද්ධිය වු ස්ථානයට ගොස් මූලික විමර්ශනයක් සිදු කොට හදිසි මරණ පරීක්ෂණය තොරතුරු ඉදිරිපත් කළේය. එහිදී මියගිය දෙදරු පියාගේ බිරිය කියා සිටියේ තමාට දියණියන් දෙදෙනෙක් සිටින බවත් සැමියාත් නැති නිසා ජීවිකාව ගෙන යාම අසීරු බවත්ය. ජොනී වචනයක්වත් අවසන් වතාවට තමන්ට කතා කර ගියා නම් දුකක් නැතැයි බිරිය වන 37 හැවිරිදි දිල්රුක්ෂි පතිරණ කෑගල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක කිත්සිරි රණසිංහ ඉදිරියේ හැඬු කඳුළින් පැවසුවාය.