
පවුල් ආරවුල් නිසා දිනෙන් දින වාර්තා වන ඝාතනද ඉහළ යමින් ඇති අයුරු දක්නට ඇත. ඉකුත් දා වැලිගමදී කාන්තාවක සිය සැමියා ඝාතනය කළ පුවතක් ද වාර්තා විය. පසුගිය 4 වැනිදා රාත්‍රියේ සැමියා විසින් පිහියකින් ඇන බිරිය ඝාතනය කළ අනුවේදනීය සිද්ධියක් වාර්තා වූයේ දඹුල්ල පොලිස් වසමෙනි. බිරිය ඝාතනයෙන් නොනැවතුණු සැමියා ද ඝාතනය සිදුවු නිවෙසට තරමක් දුරින් පිහිටි ළඳු කැලෑවක අඹ ගසක අඩි 30ක පමණ උසක පිහිටි අත්තක එල්ලී සියදිවි හානි කරගෙන තිබිණි.
ඉකුත් 5 වැනිදා දඹුල්ල ප්‍රදේශයම කම්පා කළ එකී ශෝචනීය සිද්ධිය දිග හැරෙන්නේ මෙලෙසිනි. ගීතා කුමාරි කරුණාතිලක 42 හැවිරිදිය. ඇය විවාහ වන්නේ මීට අවුරුදු 23කට පමණ පෙරදීය. ඒ ඇයට වඩා අවුරුදු 13ක් පමණ වැඩිමල් උඩහ සපුරාලලාගේ අනුරලාල් දසනායක සමඟිනි. අනුරගේ වයස මේ වන විට අවුරුදු 55කි. මේ දෙපළ පදිංචිව සිටියේ දඹුල්ල, කපුවත්ත, කොට්ටවෙල, අංක 100/10 ලිපිනයේ පිහිටි නිවෙසේය. ඊට යාබද නිවෙසේ ගීතාගේ වයෝවෘද්ධ මවුපියන් විසූහ. ඇගේ පියා එම නිවෙසේ ඔත්පළව එක්තැන්ව සිටී. ගීතා සහ අනුර අඹුසැමියන්ට දූ දරුවන් තිදෙනෙකි. වැඩිමල් දියණියගේ වයස අවුරුදු 22කි. ඇය විවාහ දිවියට පත්ව සිටිති. බාල පුතු 15 හැවිරිදිය.
අනුරලාල් මුල් කාලයේ යුද හමුදාවේ සේවයේ නිරතව සිටි අයෙකි. වසර පහක පමණ යුද හමුදා දිවියෙන් ඉවත්වීමෙන් පසු ඔහු ඒ හැටි රැකියාවක් කළේ නැත. දරුවන් තිදෙනෙකුගේ මවක වුවද ගීතා තවමත් රූමතියකි. මේ අඹු සැමියන් මුල් කාලයේ සමගි සම්පන්නව පවුල් ජීවිතය ගත කළත් කලක් යද්දී දෙදෙනා අතර නොයෙක් ආරවුල් හටගැනිණි. ණයතුරුස් වීමෙන් ඇතිවූ ආර්ථික අපහසුතා මෙන්ම අනුරගේ සහ ගීතාගේ වයස් පරතරයන් නිසා ඇතිවු නොගැළපීම් ද ඊට බලපෑවේය.
ඒ 2019 වර්ෂයයි. ගීතා තම සැමියා වන අනුරට හොර රහසේ විදෙස්ගත වූවාය. ඒ ඩුබායි රාජ්‍යයේ සෞඛය ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහාය. ඇතිවූ ගැටුම් මත ගීතා අනුරට තමාට නොකියා හොර රහසේ විදෙස්ගත වීම නිසා අනුර දැඩි වෛරයකින් පසු විය. ඔහු නිතර කියන්නට වූයේ අවුරුදු ගාණක් පවුල් කෑවත් නිකමට බිරිය තමාට නොකියා රට රස්සාවකට ගියානේ කියාය. ඕකි කවදහරි ලංකාවට ඒවිනේ... එතකොට මං බලාගන්නම්කෝ කියමින් පාරම්බාන්නට පටන්ගෙන තිබිණි. මව සිය පියාට නොකියා විදෙස්ගත වීම නිසා පියා දැඩි වෛරයකින් පසුවූ බව දරුවන් ද දැන සිටියත් ඔවුන්ට කළ හැකි දෙයක් නොවීය.
ඒ ඉකුත් අගෝස්තු 31 වැනිදායි. 2019 වසරේ රට ගිය ගීතා තුන් වසරකට පසු මෙරටට එදින පැමිණියාය. ඇය ඒ සමඟම දඹුල්ලේ සිය නිවෙසට පැමිණියාය. ගීතා සහ අනුර විසූ නිවෙසේ පසුගිය කාලයේ ජීවත් වූයේ අනුර සහ පුතුන් දෙදෙනා පමණි. ගීතා එම නිවෙසට පැමිණිය ද ඉකුත් දින කීපයේදී ද ඇය වැඩිපුර කාලයක් ගත කර තිබුණේ යාබද සිය මවුපියන් විසූ නිවෙසේය. විශේෂයෙන්ම රාත්‍රියට නිදා ගැනීම සඳහා ඇය බාල පුතු ද කැටිව සිය මව්පියන් වෙසෙන එම නිවෙසට ගියාය. ගීතා රට සිට පැමිණි හෙයින් ඒ දිනවල ඇගේ වැඩිමල් දියණිය ද නිවෙසට පැමිණ සිටියාය. කෙසේ හෝ ඇය සතියක පමණ කාලයකින් පසු නැවත විදෙස්ගත වීමට සිතාගෙන සිටියාය. ඒ ගමන යෙදී තිබුණේ පසුගිය පස්වැනිදාටයි. ඇය හොර රහසේ නැවත විදෙස්ගත වීමට යන වග සැමියා අනුරලාල්ට දැනගන්නට ලැබුණේ ඔය අතරය.
එසේ තිබියදී ඉකුත් 4 වැනිදාද රාත්‍රියේ ද ඇය සුපුරුදු පරිදි බාල පුතු සමඟ සිය මවුපියන්ගේ නිවෙසට ගොස් නිදා ගත්තාය. ඇය පුතු සමඟ එකම ඇඳක නිදාගෙන සිටියාය.
ඊට යාබද ඇදේ ගීතාගේ මව නිදා සිටියාය. පුතු සහ ගීතා නිදාගෙන සිටි ඇඳ අසලට එදින රාත්‍රියේ 11.30ට පමණ එක්වරම පැමිණියේ අනුරලාල්ය. ඒ පිහියක් ද රැගෙනය. ඒ සමඟම අනුරගේ අත තිබු පිහියෙන් ගීතාට පහර කීපයක් එල්ල විය. ගීතාගේ පපුව පසාරු කරගෙන යන්නට පිහි පහරවල් කීපයක්ම වැදී තිබිණි. සිය මවට පියා විසින් පිහියෙන් කොටන ආකාරය පුතු ද දුටුවේය. ඒ සමඟම අනුර නිවෙසින් පැන ගොස් තිබුණේ ඉදිරිපස දොර විවර කරගෙනය. ඔහු බිරිය සිටි නිවෙසට ඇතුළු වී තිබුණේ නිවෙස අසල තිබූ ලීයක් ආධාරයෙන් උළු වහලට නැඟ උළු කැට කීපයක් ඉවත් කරමිනි. ගීතාට පිහියෙන් ඇන නිවෙසට ගිය අනුර නිවෙසේ තිබූ නයිලෝන් ලණුවක් අතට ගත්තේය. ඔහු එම ලණුවද රැගෙන යන අතරේ ගීතාගේ අක්කාට දුරකථන ඇමැතුමක් ද ගෙන තිබිණි.
“අන්න මං වැඩේ කළා... දැන් ඔක්කොම ඉවරයිනේ...“ ඔහු එලෙස කීවේය. එම දුරකථන ඇමැතුමෙන් පසු ඒ වන විට ගීතලාගේ නිවෙසට පැමිණ සිටි ඇගේ වැඩිමල් දියණියගේ සැමියාටද අනුර දුරකථන ඇමැතුමක් දුන්නේය. “මං අරකිව ඉවර කළා... මාත් බෙල්ලේ වැල දාගන්නවා...“ යැයි කියමින් අනුර දුරකථනය විසන්ධි කළේය.
එල්ල වූ පිහි පහරින් ගීතා නිදි පැදුරේම මිය යද්දී මේ බව 1990 සුවසැරිය ගිලන් රථයට දැන්වීමත් සමඟ එහි නිලධාරීන් පැමිණ ගීතා පරීක්ෂා කර බැලූහ. එම නිලධාරින්ගේ නිගමනය වී තිබුණේ ගීතා ඒ වන විට මියගොස් ඇති බවයි. 119 පොලිස් හදිසි ඇමැතුම් අංකය ඔස්සේ මේ සිද්ධිය දඹුල්ල මූලස්ථාන පොලිසියට ද සැලවිය. ඒ වන විට එදින මධ්‍යම රාත්‍රිය ද පසුවෙමින් තිබිණි.
දඹුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුෂාන්ත පෙරේරා මාතලේ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක ද මේ සිද්ධිය පිළිබඳව දැනුවත් කළේය. අනතුරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත දඹුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දඹුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහිත ඇතුළු කණ්ඩායමක් සමඟ ගීතා මියගොස් සිටි නිවෙස සොයා ගියේය. ඒ වන විට ගීතා කාමරය තුළ මුනින් අතට වැටී මිය ගොස් සිටියේ ලේ විලක් මැදය.
පොලිස් කණ්ඩායම සහ ප්‍රදේශවාසින් එක්ව ගීතාගේ සැමියා අනුරලාල් සොයා මෙහෙයුමක් සිදු කළත් මහ රාත්‍රියේ ඔහුව සොයා ගැනීම අසීරු විය. අලුයම අනුරලාල් සොයා ගම්වාසීන් ඇතුළු පොලිස් නිලධාරීන් මෙහෙයුම් සිදු කළහ. එහිදී ගම්වාසීන් පෙරවරු 9ට පමණ දුටුවේ අනුරලාල් නිවෙසට මීටර් දෙසීයක් පමණ වන්නට පිහිටි කුඩා කැලෑබද පෙදෙසක පිහිටි අඹ ගසක අඩි 30ක පමණ උසකින් පිහිටි අත්තක රැගෙන ගිය නයිලෝන් ලණුව ගැට ගසා ගෙල වැළලාගෙන මියගොස් සිටි ආකාරයයි. ඔහු එල්ලී සිටි ගස අසලම ගීතාට කොටන ලද පිහිය ද වැටි තිබිණි.
මේ ඝාතනය ගැන විමර්ශනය කළ දඹුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අපට කීවේ, මෙය අවුරුදු දෙක තුනක කලෙක සිටම තිබූ පවුල් ආරවුලක ප්‍රතිඵලයක් බවය
ගීතා හැඩකාර කතකි. ඇයගේ රූපයත් අනුරලාල්ගේ වයසත් අතර ඇති වූ පරතරය නිසා නොයෙක් කයිකතන්දර එළියට ඒමත් සමඟ දෙදෙනා අතර තිබූ විරසකය තවත් ඉහළ ගොස් තිබිණි. කෙසේ හෝ වසර 23ක පමණ කාලයක් දරුවන් තිදෙනෙකු ද උස්මහත් කර එම දරුවන් ද දීග තලා දුන් අඹුසැමියන් පවුල් ආරවුලක් නිසා නිරපරාදේ ජීවිතවලින් වන්දි ගෙවීම ඛේදවාචකයකි.