
තංගල්ල ඩිපෝවේ බස් කොන්දොස්තර ටී.ජේ. බන්දුසේනගේ සද්ක්රියාවක්
සල්ලි ඇහිඳගත්තේ තිස්සමහාරාම බස්පොළේදී
මුදල් පසුපසම හඹායන සමාජයක දිනපතා සිදුවන සොරකම්, මංකොල්ලකෑම් සහ මිනීමැරුම් වැනි අපරාධ දිනෙන් දින ඉහළ යමින් පවති. එවැනි සමාජයක රටේ සාරදධර්ම සෝදා පාළුවකට ලක්ව තිබේ. අද සිදුවන ඇතැම් සොරකම් කුසගිනි නිවාගන්නට සිදුකළ දෙයක් බවට සමාජයේ ඇතැම් අය සාධාරණය කරන්න අවස්ථාද නැතිවා නොවේ.
එහෙත් අනුන් සතු දේ නොගෙන තම දුක් මහන්සියෙන් හරිහම්බ කරගෙන දරු පවුල් ජිවත් කරවන්නට වෙර වීරිය දරන අයද අප සමාජයේ නැතිවාම නොවේ. මනුස්සකම උතුරා යන එවැනි පුද්ගලයින්ට රුපියල් ලක්ෂ ගණනක මුදලක් දෙපා පාමුල වැටී තිබුණත් තම සන්තකයට ගන්නට තරම් සිතක් පහළ නොවේ. එවැනි පුද්ගලයන් ඉඳහිට අප සමාජයේ ඉස්මතු වන අවස්ථාද නැතිවාම නොවේ. මේ එවැනි සත්පුරුෂ අයෙකු පිළිබඳව කථාවකි.
නමින් ටී.ජී. බන්දුසේන වන ඔහු තංගල්ල ඩිපෝවේ බස්රථ කොන්දොස්තරවරයෙකි. අම්බලන්තොට බරවකුඹුක ප්රදේශයේ පදිංචිකරුවකු වන ඔහු පිළිබඳව කීමට පෙර ඔබට යමක් කිව යුතුමය.
දිනය 2022.09.03 ය. වෙලාව පෙරවරු 9. 45 ට පමණය. කලබලයෙන් තිස්සමහාරාම පොලිසියට පුද්ගලයෙකු දිව ආවේය. ඔහු කිරින්ද දියදහර සංචාරක හෝටලයෙහි කළමනාකරු අමිල සම්පත්ය. ඔහු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක නිමල් ලොකු ගමගේ හමු වීය. ඔහු කියා සිටියේ තමන් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන එන ලද රුපියල් පන්ලක්ෂ පනස් දහසක මුදලකින් යුත් මුදල් නැති වී ඇති බවය. එම අවස්ථාවේ ඔහු මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක ඒ.ඩී. කාරියවසම් වෙත යොමු කිරීමට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ක්රියා කළේය.
එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ හෝටල් කළමනාකරු කියා සිටියේ මෙවැනි කතාවකි. “සර් මම වැඩකරන හෝටලයේ අයිති ඩිශාන්ත මහත්තයත් එක්ක උදේ 9.30 ට විතර තිස්ස බස් ස්ටෑන්ඩ් එකට ආවා. ඊට පස්සේ බැංකුවේ දාන්න කියලා මහත්තයා මට රුපියල් පන්ලක්ෂ පනස්දහසක් මගේ අතට දීලා ඒ මහත්තයා මාතර බස් එකක නැගල ගියා. ඊට පස්සේ මම එම සල්ලිත් අරගෙන මෝටර් බයික් එකෙන් බැංකුවට ගියා. මම ගිහිල්ලා බලනකොට මගේ අතේ තිබුණු සල්ලි මඟ වැටිලා මම ආපහු ගිහිල්ලා බැලුවත් ඒ සල්ලි මට හමුවුණේ නැහැ සර්"
හෝටල් කළමනාකරුගේ එම කථාවට සාවධානව සවන්දී සිටි තංගල්ල මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂකවරයාට හෝටල් කළමනාකරු විසින් එම මුදල් වංචාකර පොලිසිය නොමඟ යවන්නට හදනවාද එහෙම නැත්තම් ඔහු කියන්නේ ඇත්තක්ද යන්න ඇති වූයේ සැකයකි. එහෙත් හෝටල් කළමනාකරු කියන්නේ ඇත්තක් නම් එම මුදල ඇහිඳගත් පුද්ගලයා කවුරුන්ද යන්න සොයා ගැනීම පොලිසියේ වගකීමක් නොවේදැයි කල්පනා කළ මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂකවරයාට ඇති වූයේ මහත් ගැටලුවකි. කල්පනා කරන්නට තරම් කාලයක් නැත. ඔහු ක්ෂණිකව ක්රියාත්මක වී පරීක්ෂණ ආරම්භ කළේය.
එම පරීක්ෂණ මෙහෙයවීම අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වෙත පැවැරිණි. ඒ අනුව බස් නැවැතම් පොළේ සිට සංචාරක හෝටල් හිමිකරු යතුරුපැදියෙන් බැංකුවට පැමිණියා යැයි කියන මාර්ගයේ පිහිටි වෙළදසැල්වල සවිකර තිබු සීසිටිවි කැමරා පොලිසියේ පරික්ෂාවට ලක්විය.
එහිදී හොටල් කළමනාකරු බැංකුව වෙත යතුරුපැදියෙන් එන දර්ශන සටහන් වි ඇතත්, මුදල් පසුම්බිය ඇහිඳ ගන්නා පුද්ගලයෙකු පිළිබඳව කිසිම තොරතුරක් එහි සඳහන් නොවීය. මේ නිසා මුදල් පසුම්බිය ඇහිඳගත් පුද්ගලයා කවුරුන්ද යන්න හඳුනා ගැනීමට පොලීසියට නොහැකි විය. මෙවැනි පසුබිමක් තුළ නැතිවූවා යැයි කියන ජංගම දුර කථනයට පොලීසිය දුරකථන ඇමැතුමක් ලබා ගත්තත් එය විසන්ධි වී තිබුණි.
උභතෝකෝටියකට මුහුණ දුන් පොලිසිය විමර්ශනවල යෙදෙමින් ගත වූයේ හෝරා දෙකකි. හෝටල් කළමනාකරුට ලැබුණු දුරකථන ඇමැතුමෙන් ලැබුවේ මහත් අස්වැසිල්ලකි. එසේ ලැබුණු එම දුරකථන ඇමැතුම දී තිබුණේ මුදල් පසුම්බිය අහුළාගත් අයෙකි. එම මුදල් පසුම්බිය ඇහිඳගෙන තිබුණේ අන් කවුරුවත් නොව බන්දුසේන නමැති බස් කොන්දොස්තරවරයාය.
බන්දුසේන පොලිසියට කීවේ මෙවැනි කතාවකි. "අපි හක්මණ ඉඳන් තිස්සට ආවා ඒ ඇවිල්ලා බලද්දි ටිකට් නිකුත් කරන මැෂිමේ බැටරිය බැහැලයි තිබුණේ. මම බස් එකෙන් බැහැල බැටරිය චාජ් කරන්න යන්න හදනකොට මම දැක්කා මුදල් පසුම්බියක් බස් එකක් අසල බිම වැටිලා තියනවා. මම ඒ පසුම්බියට පයින් ගැහැව්වා. ඒකෙ යමක් තිබෙනව වගේ මට දැණුනා. මම ඒ පසුම්බිය ඇහිඳගෙන බලද්දි තමයි දැක්කේ ඒකේ සල්ලි වගයක් තිබෙනවා කියලා. ඒකේ තිබුණු මුදල කොපමණද කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඒ ගැන අපේ බස් එකේ රියදුරු මල්ලිටත් කියල එම මුදල ආරක්ෂිතව තංගල්ල ඩිපෝවට රැගෙන ආවා. මොකද එම මුදලේ අයිතිකරු සොයා දෙන්න හෝ පොලිසියට බාර දෙන්නට තරම් වෙලාවක් මට තිබුණේ නැහැ. අපේ බස් එක නැවත තිස්ස බස් නැවැතුමෙන් පිටත්ව යන්න නියමිත වෙලාව ඇවිල්ලයි තිබුණේ.
අපි තංගල්ල ඩිපෝවට පැමිණියාට පසු මම අපේ බස් එකේ රියදුරු මල්ලිත් එක්ක එකතු වෙලා පාර්සලයේ තිබු මුදල් ගණන් කළා. ඒකේ රුපියල් පන්ලක්ෂ පනස් දහසක සල්ලි තිබුණා. ඒ වෙලාවේ මම තීරණය කළා අයිතිකරු සොයලා එම මුදල් පසුම්බිය බාර දෙන්න. කවුරුහරි දුක් මහන්සියෙන් හරිහම්බ කරපු සල්ලිවලින් මට වැඩක් නැහැ. අනුන්ට ගින්දර දීල මම මගේ දරු පවුලට කන්න දෙන්නේ නැහැ. ඒ නිසා මම ඇහින්ද මුදල් පසුම්බියේ තිබුණු කාඩ්පතක සඳහන් වී තිබූ දුරකථන අංකයකට කථා කරල මුදල් පසුම්බියේ අයිතිකරු සොයා ගත්තා. තිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නිමල් මහත්තයා සමඟ අයිතිකරු තංගල්ල ඩිපෝවට ආවා. මම ඒ මුදල් මගේ අතින්ම අයිතිකරුට ලබා දුන්නා"යැයි ඔහු කිවේය.
"ඒ සල්ලි අයිතිකරු සොයා බාර දිමෙන් පස්සේ මගේ හිතට දැනෙන්නේ පුදුමකාර සතුටක්. ඒ සතුට කොපමණද කියන්න මට තේරෙන්නේ නැහැ. හැබැයි කවරදාකවත් මුදලටවත් ගන්න බැරි සතුටක් තමයි මට දැනෙන්නේ" ඔහු නිහතමානීව කිවේය. තිස්සමහරාම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා කීවේ අවංක ගතිගුණ ඇති මෙවැනි මිනිසුන් අද සමාජයේ විරල බවය.