පාර පුරුදුයි වෙනදා වාගෙම ගෙදර යන්නයි පිට වුණේ යාර ගණනයි නුඹේ නිවෙසට මගදි ඇයි පුත පර වුණේ | සිළුමිණ

පාර පුරුදුයි වෙනදා වාගෙම ගෙදර යන්නයි පිට වුණේ යාර ගණනයි නුඹේ නිවෙසට මගදි ඇයි පුත පර වුණේ

 

 සජිතගේ අනපේක්ෂිත මරණයෙන් කුරුණෑගල ප්‍රදේශවාසින් තවමත් කම්පාවෙන්

 

මහ පොළොව වසාගෙන ඇදහැළුණු වර්ෂාවටත් වැඩියෙන් මුළු කුරුණෑගල ප්‍රදේශයම හැඬවූ පුවතක් ඉකුත් 5 වැනිදා සඳුදා සවස මුළු ලෝකය පුරාම පැතිර ගියේ විනාඩි කීපයක් ඇතුළතදීය.

කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ නවය වසරේ අධ්‍යාපනය ලබමින් සිටි දාහතර හැවිරිදි සජිත සහස් ගුණරත්න සිසුවා මහ වර්ෂාවේම පාසල නිමවී සිය නිවෙස බලා ගමන් කරමින් සිටියදී ජලයෙන් පිරුණු කානුවකට වැටී ගසාගෙන ගොස් බෝක්කුවක් ඇතුළත සිරවීම නිසා ජීවිතක්ෂයට පත්වීම නිසාය.

“අද මට ඉස්කෝලේ යන්න බෑ... මං ආච්චි අම්මත් එක්ක දානේ අරගෙන පන්සලට යනවා...“ සජිත එදින උදෑසන නිවෙසේ අයට එසේ පවසන්නේ වෙනදා නැති මහා වර්ෂාවක් එදින උදෑසන සිට ඇද හැළෙමින් පැවැතීම නිසා පාසල් යාමට අදිමදි කරන අතරතුරදීය.

පසුගිය කාලය පුරාවටම හරියට පාසල් යාමක් සිදු නොවුණු නිසා සහ තවත් දවස් දෙකකින් දෙවැනි පාසල් වාරය අවසන් වන නිසා සජිත එදින පාසල් ගියේ මව සජිතට ඒ ගැන කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුවය. සජිත එසේ පාසලට යන්නේත් මහ වැසි මධ්‍යයේය.

කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයේ නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සජිත දාහතර වන වියේ පසුවූවත් ඔහු තවමත් පාසල නිමවී නිවෙස බලා යන්නේ එක්කෝ තම ආදරණීය මව සමඟ එසේත් නැතිනම් ආච්චි අම්මා සමඟය. පුරුදු පරිදිම එදින (05) ආච්චි අම්මා සජිත කැටුව යාමට මඟට ආවත් ඇයට තවදුරටත් ඉදිරියට යා නොහැකි වූයේ අඩි හයක්වත් පළල නැති මාර්ගය වසාගෙන ගංවතුරක් වැනි මහා ජල ධාරාවක් ගලා යමින් තිබුණු නිසාය.

ආච්චි අම්මා එන තෙක් බලා නොසිටි සජිත පාසලෙන් පිටවී එහි සිට මීටර් 500ක් පමණ දුරක් ගෙවා නිවෙස දෙසට එන ගමන අවසන් කර තිබුණේ නැත. ඔහු එසේ පැමිණෙන්නේ පාරේ දකුණුපසිනි.

සජිතගේ නිවස පෙනි පෙනී නිවසට යාර ගණනක් දුරින් තුංමං හන්දියේදී ඔහුට හමුවන බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් වෑන් රියට ඔහු ඉඩ දෙන්නෙ වෙනදාටත් වඩා ඉතාමත් අපහසුවෙන් පාරේ එක් පසකට වෙමිනි. ඒ අසලම පාර අයිනේ මහා ජල පහරක් ගලා යමින් තිබුණු කාණුවක්ද පිහිටා තිබෙන බව සජිත දැන සිටියේ නැත. ඔහුට අයිනට වන්නට තරම් ඉඩකඩක් පාරේ තිබුණේ නැත්තේ කාගේ වරදින් දැයි මෙතෙක් හෙළිවී නැතත් සජිත පුංචි පුතු ඒ මොහොතේ මුහුණ දෙන්නේ අනපේක්ෂිත සිදුවීමකටය.

එක්වරම පය ලිස්සා ඇළට වැටුණු සජිත කිසිවකු දකින්නට නැත්දැයි තවමත් ප්‍රශ්නයකි. ඉතාමත් සැලකිල්ලෙන් රිය පදවන ‘සිසු සැරියේ‘ රියැදුරුවත් සජිත ඇළට වැටෙනවා දුටුවේ නම් සජිතට මෙවැනි ඉරණමකට මුහුණ දෙන්නට සිදු නොවනු ඇත. ඇළ මාර්ගයට වැටුණු සජිත ඒ මහා දිය පාරේ ගසාගෙන යන්නේ ක්ෂණිකවමය. මේ සිද්ධිය වූයේ අතුරු මාර්ගයකදීය.

සජිත ගසාගෙන ගියත් ඔහුගේ පාසල් බෑගය වතුරේ පාවෙමින් තිබෙන අයුරු දුටුවෝ දරුවා ඇළට වැටෙන්නට ඇතැයි සිතා කලබලයට පත්වන්නේ ඒ සමඟය. මේ සිද්ධිය සැලවීමත් සමඟම විශාල පිරිසක් ඒ අසලට රැසවන්නේ ධාරාණිපාත වර්ෂාව ද නොතකමිනි.

සජිත කැඳවාගෙන යාමට නිවෙසින් පිටත්ව ආ ආච්චි අම්මා තවදුරටත් ඉදිරියට යා නොහැකි තරම් ජල පහර නිසා නැවතී සිටියාය. කානුව උතුරා පාරත් වසාගෙන ගලා යමින් තිබුණේ ඔය අතරය. ඇළට වැටුණු දරුවෙකු ගසාගෙන ගොස් ඇතැයි හැමෝම කෑකෝ ගසද්දී ඇය එතැනට දිවයන්නේ විලාප තබමිනි. එහෙත් සජිත එහි නැත.

මීට වසර කීපයකට ඉහතදී අඩි අටක් දහයක් අතර පළලට තිබූ ඇළ මාර්ගය අඩියක් තරම් කුඩා කානුවක් බවට පත් වූවත් ජල පහර ඉතා වේගයෙන් ගලා යමින් තිබිණි. සජිත සෙවීම සඳහා කානුවට බැස්ස පිරිසත් ජල පහරේ කිමිදි සජිත සොයද්දී තවත් පිරිසක් කීවේ මාර්ගය හරහා ඇති කුඩා බෝක්කුවක සජිත සිරවී සිටිය හැකි බවකි. එහෙත් ඇත්තටම ඔහු එහි සිටි දැයි සොයා ගැනීමට රැස්වූ පිරිසට නොහැකි වූයේ වතුර ගලාගෙන යන කානුවේ අනිත්පස කානුව වසා දමමින් කොන්ක්‍රීට් කර තිබූ නිසාය.

මේ අතර මේ සිද්ධිය කුරුණෑගල පොලිසියට ද වාර්තා වී තිබිණි. පොලිස් නිලධාරීන් සහ එතැනට පැමිණි යුද හමුදා සෙබළු සජිත සොයන්නට මහත් උත්සාහයක් ගන්නේ එතැන් සිටය. ප්‍රදේශවාසීන් සමඟ නගර සභා සේවකයන් ද එකතුවී බැකෝ යන්ත්‍ර දෙකක් උපයෝගී කරගනිමින් කොන්ක්‍රීට් තට්ටු කඩා බිඳ දමා සජිත සොයද්දී පැය දෙකක පමණ කාලයක් ගතව තිබිණි. ඉන් මේ මෙහෙයුමේ නිරත අයට සජිත හමුවන්නේ එම බෝක්කුවට නගර සභාවෙන් යොදන ලද වතුර ගෙන යන නළය ළඟ රැඳී සිටියදීය.

සජිතව ගොඩටගෙන ඉතාමත් ඉක්මනින් කුරුණෑගල රෝහලට රැගෙන යන්නට ඒ අසලට රැස්ව සිටි අය පොලිසිය සහ හමුදා සෙබළුන් කටයුතු කරන ලදී. ඔහු රෝහලට ගෙන යන්නේ ගිනි නිවන හමුදා කැබ් රථයකිනි. ඒ වන විටත් සජිත ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක නිරතව සිටින බවට බොහෝ දෙනෙකුට පසක්ව තිබිණි.

කුරුණෑගල ශික්ෂණ රෝහල පිහිටා තිබුණේ සජිත මේ අනතුරට මුහුණ පෑ ස්ථානයේ සිට මීටර් හත්අටසීයයක් නුදුරෙනි. සජිත එහි ගෙන යන විටත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද සූදානමින් පසු වූයේ දරුවා බේරා ගැනීමට හැකි සෑම පියවරක්ම ගැනීමට ඒ වන විටත් කටයුතු යොදා තිබූ නිසාය.

අවාසනාවක මහත අක්කලා දෙන්නාට මල්ලියෙක් පමණක් නොව අම්මා තාත්තාට ආදරණීය පුතෙක්, ආච්චි අම්මාට මුනුපුරෙක් මලියදේව ආදර්ශ මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙක් සේම මේ රටේ සම්පතක් මෙලොව හැර යන්නේ කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේදීය. සජිතගේ දිවි බේරා ගැනීමට රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය නොගත් උත්සාහයක් නැත. එහෙත් එය ‘ගඟට කැපූ ඉනි මෙන්‘ විය.

සිද්ධිය වූ අවස්ථාවේ සිට කුපිත වූ ප්‍රදේශවාසීන් ඇඟිල්ල දිගු කළේ කුරුණෑගල පළාත් පාලන ආයතනවලට සහ රාජ්‍ය නිලධාරින්ට පමණක් නොවේ. අඩිය දෙක තම ඉඩම ලොකු කරගන්නට දඟලන අදාළ ප්‍රදේශයේ ඇතැම් පුද්ගලයන් ද ඉලක්ක කරගෙනය. මේ අනවසර තාප්ප නිසා පාරවල් පටුවී ජලය බැස යාමට ඇති මාර්ග වැසී පුංචි දරුවකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවී ඇති බව ප්‍රදේශයේ ඇතැම් අයගේ චෝදනාව විය.

කුරුණෑගල නගර සභාවට, කුරුණෑගල ප්‍රාදේශීය සභාවට, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට මෙන්ම තාක්ෂණික නිලධාරීන්ට ප්‍රදේශවාසීන් ඇඟිලි දිගු කළේ වහාම මේ පිළිබඳ ක්‍රියාත්මක විය යුතු බව දන්වමිනි.

නගරාශ්‍රිත සියලුම ඉදිකිරීම් සිදු විය යුත්තේ ආපදා කළමනාකරණ ප්‍රතිපත්තිවලට අනුකූලව වුවත් ඒවාට පිටින් ගොස්, දේශපාලන හිතවත්කම්වලට, මිල මුදල්වලට, අල්ලසට, යට වී කටයුතු කරන නිලධාරීන් සහ දේශපාලකයන් අද සජිතගෙ මිය යාමේ වගකීම ගත යුතුයැයි ජනතාව චෝදනා නඟති.

6 දා උදෑසන වන විට සජිත වතුරේ සැඟ වූ තැන වතුර බැස ගොස් තිබිණි. මේ සිද්ධිය වූ ස්ථානයේ කලකට පෙර තිබූ ඇළ මාර්ගය අඩි භාගයක් අඩියක් තරමට පුංචි වූයේ කෙසේ ද? ඇළේ බෝක්කුවෙන් එළියට වතුර යන ඇළ කොන්ක්‍රීට් දමා වසා දමන්නේ කෙසේ ද? මේ සියල්ල වසා දමමින් බුදු පිළිමයක් එහි ස්ථාපිත කර තිබේ.

බුදු පිළිමයට යටින් තිබෙන වංචාව අවුරුදු විසිපහක් තිස්සේ ගම්මු බලධාරින්ට වාචිකවත්, ලිඛිතවත් ඉදිරිපත් කළද ඒවාට කන් නොදී සිටි බලධාරින්ගේ ඇස් අරවන්නට සජිත ජීවිතය බිලි දී හමාරය.

ඒ පිළිබඳව බොහෝ විද්වතුන්, සමාජ පරිශීලකයන් විවිධ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේද පළ කර තිබුණි. මෙ ඉන් එක් අදහසකි.

"පාරවල් හදනවා කානු නෑ

කානු හදනවා. covering slab නෑ

covering slab දැම්මොත් ශක්තිමත් නෑ.

T.Oලා පළාතේ නෑ. විපත්තියක් උනාම බලධාරීන් කිසිවෙක් දුරකථනයට එන්නෙ නෑ. තවත් විනාශයන් වෙන්නට පෙර නීතිඥවරු වත් ක්‍රියාත්මක වෙන්න."

සජිතගේ හදිසි වියෝවෙන් කුරුණෑගල ප්‍රදේශයම කම්පාවට පත්වෙද්දී ඔහුගේ ආදරණීය මව පියා සහෝදරියන් දෙදෙනා සහ මිත්තණියද මේ දුක දරා ගනු නොහැකිව වැළපෙන්නේ මෙවන් දුකක් කිසිවකුට කිසිදා නොවේවායැයි ප්‍රාර්ථනා කරමිනි.

සජිතට වැඩිමල් සහෝදරියෝ දෙදෙනෙකි. එක් සහෝදරියක උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන අතර සෙසු සහෝදරිය පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත වන්නීය. සජිතගේ ආදරණීය පියාද පෞද්ගලික ආයතනයක සේවකයෙකි. ඇහැක් වගේ බලා ගත් ආදරණීය මල්ලීට මේ සිදුවූ විපත අක්කලා දෙන්නාට දරා ගැනීමට බැරිය.

පුංචි පුතුට සිදුවූ විපත දරා ගැනීමට නොහැකිවූ සජිතගේ මව වැළපෙන්නේ වැලහින්නක සේය. සජිත පුතුගේ බයිසිකලය පිරිමදිමින් හඬා වැටෙන පියා දකින හැම දෙනාගේම නෙතු අඟට කඳුළක් එක්වන්නේ නිරායාසයෙනි.

සජිත ඉගෙන ගත් මලියදේව ආදර්ශ විද්‍යාලයේ සහෝදර සිසුන් ගුරු දෙගුරුන් මේ සිද්ධිය වූ මොහොතේ සිට ඔහුගේ නිවෙසට පැමිණෙමින් සිටියේ වැල නොකැඩීය. සජිතගේ මරණය පිළිබඳ මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේදී පැවැත්විණි.

 

Comments