පෙම අහිමි වූ දුකට වියරු වැටුණි ද හදවත ආදරය වරදක්ද ‘අහිංසා’ | සිළුමිණ

පෙම අහිමි වූ දුකට වියරු වැටුණි ද හදවත ආදරය වරදක්ද ‘අහිංසා’

 

කඩුගන්නාව 'රත්මීවල' නි‍ෙවසකදී තරුණියකට පිහියෙන් ඇන ඝාතනය කර තිබෙන බවට කඩුගන්නාව පොලිසියට දුරකථන ඇමැතුමක් ලැබෙන්නේ පසුගිය 02 වැනි දිනය. මහනුවර ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහර වීදී සංචාරය කිරීම එදිනට යෙදී තිබූ බැවින් කඩුගන්නාව පොලිසියේ කිප දෙනකුම පෙරහර රාජකාරී සඳහා ගොස් තිබිණි. අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.යූ.බී රත්නායක ඇතුළු කණ්ඩායමක් ඒ මොහොතේම ජීප් රථයක නැගී අදාළ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී අනාවරණය වී තිබුණේ තරුණියගේ පෙම්වතා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි. පිහි ඇනුම සිදු වන අවස්ථාවේ නි‍ෙවසේ සිට ඇත්තේ ඝාතනයට ලක් වූ තරුණිය සහ අගේ මිත්තණිය පමණි. වඩු කාර්මිකයකු වන පියා සහ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන මව නි‍ෙවසේ නොමැති අවස්ථාවේ නි‍ෙවසට පැමිණ තිබෙන පෙම්වතා පෙම්වතියට පිහියෙන් ඇන තිබුණේ අගේ කාමරය තුළදීම ය.

ඝාතනයට ලක් වූ අහිංසා රසිකානි වර්ණසූරිය 26 වැනි වියේ පසුවූ උපාධිධාරිනියකි. ඇය කැලණිය විශ්වවිද්‍යාලයෙන් කලා විෂය ධාරාව යටතේ බාහිර උපාධියක් ලබා ගෙන තිබුණේ හොඳ රැකියාවක් ලබා ගැනීමේ අරමුණ ඇතිවය. මීට වසර තුනකට පෙර ධනුෂ්ක මධුසංඛ නමැති තරුණයා සමඟ ප්‍රේමයෙන් බැඳෙන විට ඔහු අතින් මියැදෙන්නට සිදු වෙතැයි ඇය කිසි විටකත් නොසිතන්නට ඇත. දෙදෙනා වසර දෙකක පමණ කාලයක් ආදරයෙන් බැඳී සිටියහ. තමන් විශ්වවිද්‍යාල උපාධිය ද ලබා ගෙන අනාගතය ගැන සිතා වැඩ කරත්දී තමන්ට වඩා සිවු වසරකින් වැඩිමල් මධුසංඛ 'ඉලක්කයක්' හෝ අරමුණක් නොමැති ජීවිතයක් ගතකිරීම සම්බන්ධව අහිංසා සිටියේ තරමක් කලකිරීමෙනි.

මෙම කලකිරීම දිනෙන් දින වැඩි වෙද්දි අහිංසා තම පෙම්වතා වන මධුසංඛ මඟ හැරීමට පටන් ගත්තාය. දෙදෙනාගේ ආදර සම්බන්ධය බිඳ වැටීමෙන් පසු අහිංසාගේ මව ඇයට කසාදයක් කර දීමට උනන්දු වී ඇත්තේ විවාහයක් සඳහා අැගේ කලවයසත් හරියාගෙන ඒම නිසාය. ගෙදරින් ගෙනා යෝජනාවට කැමැති වූ අහිංසා තමන් විවාහ වන්නට යන බව යහළුවන්ටද පවසන්නට අමතක නොකළාය.

අහිංසාගේ සහ මධුසංඛගේ ප්‍රේමය ඇගේ මිතුරියෝ දැන සිටියහ. ප්‍රේමය බිඳී යාමෙන් සිත් තැවුලට පත්ව සිටි මධුසංඛගේ අහිංසා විවාහ වන්නට යන බව දැන ගැනීමට ලැබී තිබුණේ අහිංසාගේ මිතුරියක් මාර්ගයෙනි. දණ්ඩෙන් පහර කෑ නාගයකු මෙන් කිපුණු මධුසංඛ තමන්ට හිමි නොවන අහිංසාගේ ආදරය තවත් අයකුටත් හිමි වීමට ඉඩ නොතබන බවට තීරණය කරන්නට ඇත්තේ ඉන් අනතුරුවය. පොත්තපිටිය තිස්මඩ පදිංචි මධුසංඛ සිය නි‍ෙවසේ සිට 'රත්මීවල' දක්වා පැමිණෙන අතරතුර හේනාවල ප්‍රදේශයේ කඩයකින් පිහියක් මිලට ගෙන තිබුණේ රුපියල් 350 ක මුදලක් වැය කරමිනි. එම පිහිය ඉනේ සඟවා ගනිමින් අහිංසාගේ නි‍ෙවසට ගිය ඔහු පෙම්වතියට පිහි පහරවල් කිහිපයක්ම එල්ල කරන්නේ කෝපාවිෂ්ටවය.

මේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කඩුගන්නාව පොලිසිය අහිංසාගේ නි‍ෙවසේ තරමක් දුරින් මාර්ගය අයිනේ තිබී, අහිංසා මරා දමන්නට උපයෝගි කරගත් පිහිය සොයා ගත්තේය. සිද්ධියෙන් පසු මධුසංඛ ප්‍රදේශයෙන් පලා ගොස් සිටි අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කඩුගන්නාව පොලිසිය නිලධාරීන් ගණනාවක් විවිධ තැන්වල යොදවා තිබිණි. මේ සම්බන්ධව කඩුගන්නාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.යූ.බී රත්නායක විස්තර කළේ මෙසේය.

“තිස්මඩ පිහිටි සැකකරුගේ නි‍ෙවසට පොලිසිය ගියා. 'පුතා' මාස තුනකින් පමණ නි‍ෙවසට නොපැමිණි බව සැකකරුගේ දෙමාවුපියන් පැවසුවා. 'පුතා' ඉන්නා තැනක් පිළිබඳ තොරතුරු දන්නවා නම් හෙළි කරන්න කියා කිවුවා. අපි පුතාට කිසිම හිංසාවක් පීඩාවක් නොකරන බව පොලිසිය පොරොන්දු වුණා. මේ අතර සැකකරු කෑගල්ලේ, කඩුගන්නාවේ ආදි විවිධ ප්‍රදේශවල සිටින බවට තොරතුරු ලැබුණා. නමුත් ඒවායේ කිසිම සත්‍යතාවක් නැහැ.

අපේ පොලිසියේ වැඩ කරන දිසානායක කියන සැරයන්ට තොරතුරක් ලැබී තිබුණා සැකකරු 'අකුරණ' ප්‍රදේශයේ නි‍ෙවසක ඉන්නා බවට. පොලිස් කණ්ඩායමක් රාත්‍රියේ ගිහින් සැකකරුව අල්ලා ගත්තා ඒ ඝාතනයෙන් දින තුනකට විතර පස්සේ.

ඝාතනයට ලක් වූ අහිංසාට ඔහුගේ පෙම්වතා විසින් පිහි පහරවල් 15 ක් පමණ ඇන තිබුණු බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.මෙම පිහි පහරවල් නිසා ඇති වූ අභ්‍යන්තර සහ බාහිර රුධිර වහනය නිසා මරණය සිදුව තිබෙන බව මහනුවර ජාතික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ශිව සුබ්‍රමනියම් වෛද්‍ය වාර්තාව මඟින් තහවුරු කර තිබිණි.

මහනුවර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායකගේ උපදෙස් මත කඩුගන්නාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ කරුණාරත්න, අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.යූ.බී රත්නායක, සැරයන් 47169 චානක යන නිලධාරීහූ විමර්ශන සිදු කළහ.

ඡායාරූප- මධ්‍යම පළාත් සංචාරක

එල්.එස් එගොඩවිට

Comments