
බලංගොඩදී වැඩි මිලට බිත්තර වික්කට අධිකරණයෙන් ලොකු දඩයක්
බිත්තර ගැන සමාජයේ ලොකු කතාබහක් ඇති වන්නේ පසුගිය මාස දෙක තුනක සිටය. ඒ කොරෝනා සමයේ රුපියල් දහයට දොළහට අලෙවි වූ බිත්තරයක් රුපියල් පනහට අලෙවි වීමත් සමඟය.
ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ යෑමත් සමඟම කුකුළු කෑම මෙන් ම කුකුළු කොටු පවත්වාගෙන යාමද සුළු ව්‍යාපාරිකයන්ට අභියෝගයක්ව තිබිණි. බිත්තර මිල ඉහළ දැමීමට සිදු වූයේ එවැනි පසුබිමක් තුළදීය.
සහල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල පාලනයට මෙන්ම බිත්තර මිල පාලනය සඳහා ද පාරිභෝගික අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කරන්නේ මේ වසරේ අගෝස්තු මාසයේ 19 වැනි දාය. ඒ සුදු බිත්තරයක මිල රුපියල් 43ක් සහ රතු බිත්තරයක මිල රුපියල් 45ක් වශයෙනි.
මේ ගැසට්ටුවට අනුව බිත්තර මිල සංශෝධනය කෙරුණත් ඇතැම් වෙළෙඳසල්වල බිත්තර මිල වෙනස් වූයේ නැත.
ඇතැම් වෙළෙඳුන් ගැසට්ටුවේ සඳහන් මිලට බිත්තර අලෙවි කරද්දි තවත් සමහරුන් ඊටත් වඩා රුපියලක් දෙකක් මිල අඩු කිරීම ද සුවිශේෂීය. එහෙත් සමහර තැන්වල රුපියල් පනහට හැටට බිත්තර අලෙවි කෙරුණේ ප්‍රසිද්ධියේමය.
වැඩි මිලට බිත්තර අලෙවි කරන ස්ථාන සහ වෙළෙඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පාරිභෝගික අධිකාරිය වැටලීම් ආරම්භ කරන්නේ මෙවන් පසුබිමක් යටතේය.
පාරිභෝගික අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානී උදය නාමල්ගමට බලංගොඩ ප්‍රදේශයේ පාරිභෝගිකයන්ගෙන් පැමිණිලි ගණනාවක් ලැබෙන්නේ ඔය අතරය. ඒ එම ප්‍රදේශයේ අධික මිලට බිත්තර අලෙවි කරන බවටය.
මේ පිළිබඳව විමර්ශනය සඳහා රත්නපුර පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරිනි හර්ෂනී දසනායකගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් එහි යන්නේ පසුගිය 26 වැනිදාය. රත්නපුර පාරිභෝගික අධිකාරි කාර්යාලයේ නාසීක් අහමඩ් සහ නදීෂා ලියනගේ යන නිලධාරින් නිලධාරිනියන් මේ කණ්ඩායමට අයත් වූහ.
බලංගොඩ නගරයේ බිත්තර අලෙවි කළ ස්ථාන හයක් පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරින්ගේ පරීක්ෂාවට ලක් වීමෙන් අනතුරුව ‘උපාය දූතයකු‘ ලෙස වෙස්වලාගත් නිලධාරි නාසීක් අහමඩ් යන්නේ බලංගොඩ විවිධ සේවා සමූපකාර සමිතියට අයත් කෝප්සිටි වෙළෙඳසලටය.
අදාළ වෙළෙඳසලේ සුදු බිත්තර අලෙවි කෙරුණේ රුපියල් 65 ගණනේය.
එම මුදලට සුදු බිත්තර 4ක් මිලදී ගත් උපාය දූතයා ඒ සඳහා මුදල් ගෙවුවේ කලින් එහි අංකය සටහන් කර ගන්නා ලද රුපියල් 500 නෝට්ටුවකිනි. බිත්තර 4ට කෝප්සිටිය අය කළ මුදල රුපියල් 260කි. රුපියල් 240 ඉතිරි මුදල් සමඟ බිල්පතත් උපාය දූතයාට ලැබිණි.
ඉන් අනතුරුව අදාළ කෝප්සිටියට ගිය පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරින් ඇතුළු කණ්ඩායම තමන් හඳුන්වාදී බිත්තර වැඩි මිලට විකිණීමේ වරදට එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන බැඳුම්කරයක් මත මුදාහරින ලදි.
ඉන්පසු බලංගොඩ විවිධ සේවා සමූපකාර සමිතියට විරුද්ධව බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරෙන්නේ බිත්තර වැඩි මිලට විකිණීමේ චෝදනාව යටතේය. අදාළ ආයතනයේ කළමනාකරු අධිකරණයට ඉදිරිපත් විය.
බිත්තර 4ක් පාලන මිලට වඩා වැඩියෙන් අලෙවි කිරීමේ චෝදනාවට බලංගොඩ විවිධ සේවා සමූපකාර සමිතියට රුපියල් පන්ලක්ෂයක දඩයක් බලංගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඒ එම් එස් මැණිකේ නියම කළාය. කෝප්සිටි කළමනාකරු වරද පිළිගත්තේය.
2003 අංක 09 දරන පාරිභෝගික අධිකාරි පනත සංශෝධනය කෙරුණේ 2020 වසරේදීය. ඉන් දඩ මුදල් ද සංශෝධනය කැරිණි. පාරිභෝගික වරදකට හසුවන සමාගමකට මුල්වරට රුපියල් ලක්ෂ 5 සිට 50 දක්වාත් දෙවන වර රුපියල් ලක්ෂ 10 සිට 100 දක්වාත් දඩ නියම කළ හැකිය.