
පුරා වසර 70ක් තිස්සේ මහා බ්‍රිතාන්‍යයේ හා පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායිකාව ලෙස අනූපමේය සේවයක් කළ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය ගැන ලොව නන්දෙසින් ශෝක පණිවිඩ දස දහස් ගණනින් බකින්හැම් මාළිඟාවට ලැබෙමින් පවතී.
1926 අප්‍රේල් 21 දා York ආදිපාදවරයාගේ දියණිය හා පස්වෙනි ජෝර්ජ් රජතුමාගේ මිනිබිරිය වශයෙන් එළිසබෙත් කුමාරිය යන නම ලබා ලන්ඩන් නුවරදී උපත ලද එතුමිය අවසන් හුස්ම හෙළන විට වයස 96 පසුවූවාය. ඇය චාල්ස් ඇන්ඩෘ, එඩ්වඩ් කුමරුන් හා ඇනා කුමරිය ඇඳ වටා සිටිද්දී පසුගිය බ්‍රහස්පතින්දා සවස 4:30 ට මිය ගියා ය.
මහ රැජින මිය යෑමත් සමඟම රටේ කලබල ඇතිවේ යැයි යන බිය නිසා ( London Bridge is down) ලන්ඩන් පාලම බිමට වැටුණා යන රහස් පණිවිඩය මඟින් ඒ ශෝකජනක පුවත අගමැතිතුමිය, කැබිනට් මණ්ඩලය, අගරදගුරුතුමා හා විදේශ රටවල බ්‍රිතාන්‍ය තානාපතිවරුන්ට දන්වන ලදී. බී.බී.සියට එම පුවත දැනුම් දුන්නේ ඉන්පසුවය.
බ්‍රිතාන්‍යයේ අගමැතිවරයාත් රාජ්‍ය නායිකාවත් පැය 48ක් තුළ වෙනස් වී ඇත. බ්‍රිතාන්‍යයේ නව අගමැතිනි එළිසබත් ට්‍රස් ජාතිය අමතමින් මෙම කනගාටුදායක පුවත ලොවට හෙළි කරද්දී බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයන් එළිපිටම කඳුළු සැලූහ. ඉදිරි දින 12 බ්‍රිතාන්‍යයේ ජාතික ශෝක කාල පරිච්ඡේදයකි. මේ කාලය තුළ බ්‍රිතාන්‍යයේ බොහෝ රාජ්‍ය කටයුතු නවතා දැමෙනු ඇත. සෑම රාජකීය මාළිගාවක ම ද අගමැති නිල නිවසේ හා රජයේ ආයතන, බොහෝ පාසල් හා පෞද්ගලික සමාගම් ඉදිරියේ බ්‍රිතාන්‍ය ජාතික කොඩිය අඩකුඹු කොට දිස්ව වන්නේ මහ රැජිනගේ අභාවයට ශෝකය ප්‍රකාශ කිරීමටය.
තම සීයා 5 වෙනි එඩ්වඩ් රජුගෙන් පසු ඔටුන්න හිමි වන්නේ තම ලොකු තාත්තා එඩ්මන්ට බවත්, ඔහුගෙන් පසු රජකම ලැබෙන්නේ ලොකු තාත්තාට අනාගතයේ දී ලැබෙන පුතෙකුට බවත් හොඳාකාරවම දැන සිටි එළිසබෙත් කුමරිය අනාගතයේ දවසක තමා බ්‍රිතාන්‍යයේ මහ රැජින වෙයි කියා හීනෙකින්වත් නොසිතුවාය. නමුත් දෛවය ඇයගේ අනාගතය පුදුමාකාර ලෙස
![]() |
රැජින ලංකාවට පැමිණි දෙවැනි අවස්ථාවේ එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන රැජින පිළිගනිමින් |
වෙනස් කළාය. පස්වැනි ජෝර්ජ් රජු 1936 දී මිය ගිය පසු ඔහුගේ දෙටු පුත් හයවෙනි එඩ්වඩ් නමින් රජ වීය. නව රජතුමාට තම පෙම්වතිය හා ඇමරිකානු වැන්දඹුවකු වූ සිම්ප්සන් මහත්මිය හා විවාහ වීමට කතෝලික පල්ලිය හා පාර්ලිමේන්තුව ඉඩ දුන්නේ නැත. මට ඔය බම්බු රජකමෙන් වැඩක් නැතැයි කියා මාස හයකට පසු කිරුළ අතහැර ගිය හයවෙනි එඩ්වඩ් තම පෙම්වතිය හා විවාහ විය. ඔහුගේ බාල සොයුරා හා එළිසබෙත් කුමරියගේ පියා හයවෙනි ජෝර්ජ් නමින් බ්‍රිතාන්‍යයේ රජකම ලැබීය. එළිසබෙත් ඔටුන්න හිමි කුමරිය වීය.
හයවැනි ජෝර්ජ් රජතුමා වරක් Dartford නුවර නාවික අභ්‍යාස විදුහලේ නිල සංචාරයට පැමිණියේ තම රූමත් දියණියන් දෙදෙනා වූ එළිසබෙත් හා මාග්‍රට් සමඟය. රජතුමා නිලධාරීන් සමග නිල සංචාරයේ යෙදෙද්දී කුමරියන් දෙදෙනාට ආගන්තුක සත්කාර කරමින් සතුටු සාමීචියේ යෙදීමේ රාජකාරිය පැවරුණේ 18 හැවිරිදි කඩවසම් තරුණ භටයකු වූ පිලිප්ටය. 13 හැවිරිදි එළිසබෙත් කුමරිය ඔහු සමඟ පෙම් බැඳ ගත්තේ එදාය. දහසක් රාජ්‍ය නායකයන් නෑ හිත මිතුරන් ඉදිරියේ ඈ 1947 නොවැම්බර් 20දා පිලිප් කුමරු සමඟ විවාහ වීය
1954 දී කෙන්යාවේ සංචාරයේ යෙදෙමින් සිටියදී තම පියා වන පස්වන ජෝර්ජ් රජතුමා නිදි යහනේ මියගිය කනගාටුදායක ආරංචිය ඇය වෙත ලැබුණි. ඇය ඊළඟට පැමිණීමට තිබුණේ ශ්‍රී ලංකාවටය. ශ්‍රී ලංකා ගමන අවලංගු කළ ඇය පිලිප් කුමරු සමඟ වහා එංගලන්තයට පැමිණියේ බ්‍රිතාන්‍යයේ නව මහ රැජින වන්නටය. මහ රැජින ධුරයට අමතරව එතුමිය පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාව, එංගලන්ත කතෝලික සභාවේ ආණ්ඩුකාරවරිය හා බ්‍රිතාන්‍ය ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානතම අණ දෙන නිලධාරිනියද වූවාය. මිය යන විට ඇය බ්‍රිතාන්‍යයේ සංවිධාන හා පුණ්‍යායතන 831 ප්‍රධාන අනුශාසක ධූරය දැරීය.
දැනට මහ රැජිනගේ දේහය ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිඟාවේ තිබෙන අතර එය දුම්රියෙන් ලන්ඩන් නුවරට රැගෙන විත් මහජන ගෞරවය සඳහා බකිංහැම් මාලිගාවේ තැබෙනු ඇත. ඉන්පසු එතුමිගේ දේහය අඩංගු රන් පෙට්ටිය රාජ්‍ය හරසර ඇතුව සෙනසුරාදා උදෑසන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ගෙන යාමට නියමිතය.
ඉදිරි දින 12 තුළ බ්‍රිතාන්‍ය ජාතිකයන් හා විදේශිකයන් ලක්ෂ 50ක් පමණ ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පාර්ලිමේන්තු සභා ගර්භයට වැල නොකැඩී පැමිණෙනු ඇත. එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යය දේව මෙහෙය ඉදිරි සති දෙක ඇතුළත දිනක ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ දී ඇරඹෙනු ඇත.
![]() |
රැජින ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාවේ එවකට අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල රැජිනව පිළිගැනීමෙන් අනතුරුව |
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැකරෝන්, ජර්මන් චාන්සලර්වරයා, ශ්‍රී ලංකා ජනාධිපති, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 54 අගමැතිවරු හා ජනාධිපතිවරු ඇතුළු ලෝකයේ රටවල් 155 ක නායකයින් හා ආරාධිත අමුත්තන් 2000ක් එතුමියගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණීමට සූදානම් වෙමින් සිටිති.
මහ රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය ලොව පුරා සිටින ලක්ෂ 400 ක පමණ වාර්තාගත ජනතාවක් විසින් නරඹනු ඇතැයි බීබීසිය කිය යි.
මුළු ලෝකයේම රාජ්‍ය නායකයන් වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයට එක්රැස්වන එදින 25,000 ක පොලිස් හා හමුදා භටයන් ලන්ඩන් නුවර ආරක්ෂාවට කැඳවා තිබේ. අවමංගල්‍ය දේව මෙහෙය අවසන් වූ පසු රැජිනගේ දේහය රැගත් පෙට්ටිය රාජ්‍ය පෙරහැරින් හැතැප්ම 55ක් ඈත වින්සර් මාළිගාවට ගෙන යනු ලැබේ. මාළිඟාවේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී රජ පවුලේ සාමාජිකයන් පමණක් සහභාගී වන දේව මෙහෙයෙන් පසු එතුමියගේ දේහය දේවස්ථානයේ පහළ මහලයේ සොහොන් බිමේ නිධන් කොට ඇති පිලිප් කුමරුගේ දේහය අසලින්ම තැන්පත් කෙරෙනු ඇත.
මහ රැජිනගේ අභාවය නිල වශයෙන් ප්‍රකාශ වූ වහාම ඔටුන්න හිමි චාල්ස් කුමාරයා බ්‍රිතාන්‍යයේ රජතුමා වශයෙන් පත්විය. චාල්ස් කුමාරයාගේ ඔටුනු පැළඳීමේ උත්සවය මහරැජිනගේ අභාවය පිළිබඳ ශෝක කාලයෙන් මාස දෙක තුනකට පමණ පසුව වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේදී පැවැත්වේ. ලෝකයේ රටවල් 158 ක රජවරුන් හා රාජ්‍ය නායකයන් ඉදිරියේ පැවැත්වෙන මෙම උත්සවයට සහභාගී වෙයි. මේ සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපති හා අගමැතිතුමාටත් ආරාධනා පත්‍ර ලැබෙනු ඇත.
බ්‍රිතාන්‍යයේ නව මහරජ තුන්වන චාල්ස් කුමාරයා බලවත් කනගාටුවෙන් මෙසේ ප්‍රකාශ කළේ ය.
“මගේ ආදරණීය මවගේ මරණයෙන් මා මහත් සේ කම්පාවට හා ශෝකයට පත්ව සිටිනවා. ඇය අති විශිෂ්ට රාජ්‍ය නායිකාවක් මෙන්ම සුන්දර මවුතුමියක්ද වූවා. ඇයගේ මරණය ගැන මහා බ්‍රිතාන්‍ය පමණක් නොව පොදු රාජ්‍ය මණ්ඩලයේ හා ලෝකයේ සියලුම රටවල ජනතාව ඉතාම ශෝකයට පත්ව සිටින බව මා දන්නවා. මගේ මවුතුමියගේ මරණය වෙනුවෙන් දින දහයක් පුරා බ්‍රිතාන්‍ය තුළ කනගාටුව ප්‍රකාශ කෙරෙන මෙම කාලය තුළ ලක්ෂ ගණනක ඔබ පුරවැසියන් විවිධ මාර්ගයෙන් මා වෙත එමින් තිබෙන ශෝක පණිවිඩ කියවීමෙන් මමත් මගේ බිරියත්, සොහොයුරු සොහොයුරියනුත් දරු මුනුපුරනුත් තරමක සැනසීමට පත්වෙනවා.”
මහ රැජිනගේ හදිසි අභාවයට පැය 48කට පෙර බ්‍රිතාන්‍යයේ නව අගමැති වශයෙන් දිවුරුම් දුන් එළිසබත් ට්‍රස් මැතිනිය මහ රැජිනියගේ අභාවය ගැන ඉතා සංවේදී ශෝක ප්‍රකාශයක් කිරීමෙන් පසු මෙසේද කීවාය. “බ්‍රිතාන්‍යයේ නව රජු වශයෙන් පත් වූ චාල්ස් කුමාරයාට මමත්, මගේ රජයත් ජනතාවගේ ආදරයත් පක්ෂපාතීත්වය මෙසේ ප්‍රකාශ කර සිටිනවා. අති ශ්‍රේෂ්ඨ නායිකාවක් වශයෙන් අවුරුදු 70 ක් තිස්සේ අපව රැක බලා ගත් මහ රැජිනගේ අභාවයෙන් පසු අප දැන් ගමන් කරන්නේ වෙනත් යුගයකට ය. එතුමිය ජීවත්ව සිටි කාලයේ බලාපොරොත්තු වූ පරිදි අතිවිශිෂ්ට ඉතිහාසයක් ඇති මහා බ්‍රිතාන්‍ය චාල්ස් යුගයේ දී තව තවත් ප්‍රගතිය කරා ගෙන යාමට මමත් මගේ නව රජයත් බලාපොරොත්තු වෙනවා.”
වින්සන් චර්චිල් අගමැතිතුමාගේ සිට නව අගමැතිනි එළිසබත් ට්‍රස් දක්වා මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරු පහළොස් දෙනකු මහ රැජින යටතේ සේවය කළෝය. සෑම සතියකම බ්‍රිතාන්‍යයේ
![]() |
චාල්ස් කුමරු |
අගමැතිවරයා බකින්හැම් මාළිගයට ගොස් මහ රැජින හමු වී පැය බාගයක් පමණ සාකච්ඡාවක යෙදෙමින් ඇයගෙන් උපදෙස් ලබා ගැනීම බ්‍රිතාන්‍යයේ සම්ප්‍රදායයි.
නව අගමැතිනිය ඇය ඉදිරියේ දිවුරුම් දීම මහ රැජිනගේ ජීවිත කාලයේ ඇය විසින් කරන ලද අවසන් නිල කටයුත්ත විය. මෙම ලිපිය ලියන සිකුරාදා උදෑසන වන විට රැජිනගේ අභාවය ගැන අසා බලවත් කම්පාවට පත්ව සිටින බ්‍රිතාන්‍ය පුරවැසියන් දස දහසක් පමණ කඳුළු වගුරුවමින් බකිංහැම් මාලිගාව අසල රැස්ව සිටී.
ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගාවේ සිට රැජිනගේ දේහය බකිංහැම් මාලිගාවට රැගෙන එනතුරු ඔවුන් එහි රැඳී සිටිනු ඇත. වසර 70ක් හා දින 214 තිස්සේ රජ කළ එළිසබත් රැජින බ්‍රිතාන්‍යයේ වැඩිම කාලයක් කිරුළ දැරූ රැජින වූ අතර ලෝකයේ දෙවැනි දීර්ඝතම කලක් රජ කළ රැජිනිය ද වූවාය.
දෙවැනි එළිසබෙත් රැජින තරම් ලොව පුරාම ජනාදරය දිනූ කිසිම රාජ්‍ය නායකයකු හෝ නායිකාවක් සිටියේ නැත. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ඒකාධිපති රටවල් පමණක් නොව කොමියුනිස්ට් රටවල නායකයෝ හා පුරවැසියෝ කෝටි ගණනින් එතුමියට ආදරය කළෝය. ලෝකයේ වැඩියෙන්ම ඡායාරූප ගත වූ කාන්තාව එළිසබෙත් මහ රැජිනයි.
එළිසබෙත් මහ රැජින 189 වරක් පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් වල රාජ්‍ය සංචාරයේ යෙදුණි. තමන්ගේ රාජ්‍ය කාලය තුළ එළිසබෙත් මහ රැජින පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් නොවන රටවල් වල 98 සැරයක් රාජ්‍ය සංචාරයක යෙදුණි. ඒ සෑම රටකදීම මහ රැජින හා පිලිප් කුමාරයා දැක ගැනීමට ලක්ෂ ගණන් ස්වදේශිකයන් රැස්වූහ. පසුගිය හැත්තෑ වසර තුළ එළිසබෙත් මහ රැජින විදේශ රටවල නිල උත්සව 21 ,737කට සහභාගි වෙමින් ලෝක වාර්තාවක්ද පිහිටුවා තිබුණි.
ඇය ශ්‍රී ලංකාවට දෙවරක් රාජ්‍ය නිල සංචාරයේ යෙදුණි. 1954 අප්‍රේල් 19 දී Gotik නෞකාවෙන් ශ්‍රී ලංකාවට පැමිණි මහ රැජින හා පිලිප් ආදිපාදවරයා ආණ්ඩුකාර සෝල්බරිසාමි හා අගමැති කොතලාවල විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී. පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කළ එළිසබෙත් මහරැජින මහනුවර හා අනුරාධපුරයේද සංචාරයේ යෙදෙමින් රටේ සිරි නරඹමින් ප්‍රීති වූවාය.
ඇය 28 වන වියට පා තැබූ අප්‍රේල් 28 දා 50000ක් ශ්‍රී ලංකා ජනතාව එකතු Happy birthday to you dear queen කියමින් මහ හඬින් ඇයට සුබ පැතීමේ ඉතාම සුන්දර දර්ශනය එතුමිය ඉතා ආසාවෙන් නැරඹුවාය.
1981 ඔක්තෝබර් 21දා මහ රැජින හා පිලිප් කුමරු දෙවන වරට ශ්‍රී ලංකාවට පැමිණියේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආරාධනාවෙනි.
ලෝකයේ අගමැතිවරු හා ජනාධිපතිවරු 97 දෙනෙකු මේ වන විට මහ රැජිනගේ අභාවය ගැන ශෝක ප්‍රකාශ කොට තිබේ.
ඇමරිකාවේ ජනාධිපති බයිඩන් මෙසේ කීය.
මහ රැජිනගේ අභාවය ගැන අසා මම බලවත් කනගාටුවට පත් වුණා. එතුමිය ලෝකයේ සිටි ඉතාම ශ්‍රේෂ්ඨ නායිකාවක්. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් ජාතිය අමතා කියා සිටියේ ප්‍රංශ ජනතාවගේ ඉතාම සමීප මිතුරියක වූ එළිසබත් මහ රැජිනගේ අභාවය අසා තමා හා මුළු ප්‍රංශයම බලවත් ලෙස කනගාටු වූ බවයි.
ඇමරිකාවේ පසුගිය ජනාධිපතිවරු 14 දෙනාගෙන් 13 දෙනෙකුම ඇයට නිල වශයෙන් හමුවීය. දැනට ජීවත්ව සිටින්නේ හිටපු ජනාධිපති වන ජෝර්ජ් බුෂ්, බැරැක් ඔබාමා, ඩොනල්ඩ් ට්‍රම්ප්, ජිමි කාටර්, බිල්කලිටන් යන පස්දෙනාය. පසුගිය වසර සියයකට ආසන්න කාලයේ බ්‍රිතාන්‍යයේ පමණක් නොව ලෝකයේ ඉතාමත් ජනප්‍රියතම කාන්තාව වූ දෙවැනි එළිසබෙත් මහ රැජින තව සති දෙකක් තුළ හිරු බැස යන සැඳෑ සමයේ අඳුරු දිනක හමුදා ගෞරව වෙඩිමුර රැව් පිළිරැව් දෙද්දී කෝටි සංඛ්‍යාත ජනතාවගේ දුක් සුසුම් මැද්දේ තම අවසන් ගමන යනු ඇත. නමුත් ජන හද දිනූ මේ අති විශිෂ්ට ලෝක නායිකාවගේ සුන්දර මතක සටහන් අප හදවත් තුළ සදාකාලිකව තැන්පත් වනවා ඇත.