අපරාධ 38යි; වත්තල හෙල්ලූ සාතන්ගේ කල්ලිය අල්ලයි | සිළුමිණ

අපරාධ 38යි; වත්තල හෙල්ලූ සාතන්ගේ කල්ලිය අල්ලයි

මහජනයාට සාමකාමී ආරක්ෂා සහිත දිවියක් ගතකිරීමට අවකාශය උදා කිරීම සෑම පොලිසියකම වගකීමයි. ඒ අනුව අවංකව, මුදලට, බලයට ගැති නොවන දක්ෂ පොලිස් නිලධාරින් දිවා රෑ වෙහෙසෙමින් අපරාධකාරයන්ට කිසිම ඉඩහසරක් නොදෙන්නට වග බලා ගන්නේ මහජනතාවගේ යහපත තකාය.

එසේ සිය පොලිස් වසමේ අපරාධ නිවාරණයේ නිරතව සිටි වත්තල පොලිසියේ අපරාධ විමර්ශන අංශ නිලධාරින්ට ඉකුත් අගෝස්තු මස 24 වැනිදා නමගිය අපරාධකරුවන් තිදෙනෙකු කොටු වන්නේ නොසිතූ වේලාවකය. එම අපරාධකාරයන් තිදෙනා බස්නාහිර පළාත උතුර දිසාවේ පොලිස් වසම්හි පසුගිය කාලයේ සිදුවූ අපරාධ 40කට පමණ ඍජුවම වගකිවයුතු තිදෙනෙකි. ඊට අමතරව එම සැකකරුවන් තිදෙනා පොලිසියට කොටු වීමත් සමඟ ඉකුත් අගෝස්තු 3 වැනිදා වත්තලදී සිදුවූ ශෂි කුමාර් ගේ ඝාතනයේ සුලමුල ද අනාවරණය වූයේ අපරාධයක් කළහොත් සදාකල් සැඟවී සිටීමට නොහැකි බව පසක් කරමිනි.

වත්තල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. ඒ. සඳනුවන් ඇතුළු කණ්ඩායම ඉකුත් අගෝස්තු 24 වැනිදා එම පොලිස් වසමේ අපරාධ නිවාරණ රාජකාරියේ නිරතව සිටියහ. ඒ අනුව එදින පෙරවරු 9.30ට පමණ පොලිස් පරීක්ෂක සඳනුවන් ඇතුළු කණ්ඩායම වෑන් රථයකින් කොළඹ - මීගමු මාර්ගයේ ගොස් හේකිත්ත මාර්ගයට හැරී එම මාර්ගයේ මඳ දුරක් ගියෝය. හේකිත්ත පාරෙන් වැලිඅමුණ පාරට හැරෙන හන්දියේදී එක්වරම පොලිස් නිලධාරින් ගමන් කළ වෑන් රථය නතර කළේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සඳනුවන්ගේ විධානයටයි.

“අර අතන ඉන්න දෙන්න පේනව නේද?“ ස්ථානාධිපතිවරයා සෙසු නිලධාරින්ගෙන් එම පුද්ගලයන් දෙදෙනා ගැන විමසුවේ ඒ දෙදෙනාගේ හැසිරීම් විලාසයේ දක්නට ලැබුණු වෙනසත් නිසාය. අනතුරුව පොලිස් නිලධාරින් ක්ෂණයෙන් වෑන් රථයෙන් බැස ගොස් එම පුද්ගලයන් දෙදෙනාගේ අනන්‍යතාව පරීක්ෂා කරන ලදි. දෙදෙනාගේ අනන්‍යතාව පරීක්ෂා කරමින් ඔවුනගේ ශරීර පරීක්ෂාවක්ද සිදු කරද්දී එක් අයකුගේ කලිසම් සාක්කුවකින් ගෙඩියක් වැනි යමක් පොලිස් නිලධරයන්ට හසු විය.

“මොනවද සාක්කුවේ තියෙන්නේ? ගන්නවා බලන්න එළියට...“ පොලිස් නිලධාරින්ගේ නියෝගයට යටත් වූ ඔහු එය එළියට ගත්තේ තිගැස්මෙනි. කලිසම් සාක්කුවේ තිබූ දේ එළියට ගන්නවාත් සමඟම එය දුටු පොලිස් නිලධාරින්ගේ දෙනෙත් ඉහළට එසවුණේ නිරායාසයෙනි.

“මේක අත් බෝම්බයක්නේ... උඹලා මොකද මෙතන බෝම්බයකුත් තියාගෙන කරන්නේ... මොකක්හරි අපරාධයක් කරන්න නේද උඹලා ඔය හදන්නේ?...“ පොලිස් නිලධාරින් එම පුද්ගලයන් දෙදෙනාගෙන් දිගින් දිගටම එසේ ප්‍රශ්න කරද්දී එම ජීව අත්බෝම්බය මඳක් සුපරීක්ෂාවෙන් බලද්දී හෙළි වන්නේ එය විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් බවටයි.

සැකකරුවන් දෙදෙනාගේ ශරීර පරීක්ෂාව වැඩිදුරටත් පොලිස් නිලධාරින් විසින් සිදු කරද්දී ජීව අත්බෝම්බය ළඟ තිබූ අශාර නමැත්තා ළඟ තිබී හෙරොයින් මිලි ග්රෑම් 5200ක්ද අනෙකා වන සාතන් ළඟ තිබී හෙරොයින් මිලි ග්රෑම් 6005ක්ද සොයා ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි විය.

ඒ සමඟම අත්අඩංගුවට ගැනුණු දෙදෙනා වත්තල පොලිසියට රැගෙන එන ලදි. ජීව අත්බෝම්බයක් කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටියදී එලෙස අත්අඩංගුවට පත් වූයේ 25 හැවිරිදි හේවා වෙලංගොඩගේ අශාර නිලංකය. අනෙක් පුද්ගලයා 20 හැවිරිදි දෙහිවත්තලාගේ අචින්ත දිල්ෂාන් හෙවත් 'සාතන්'ය. අංක 301/ඒ, තුම්පෑලිය, වැලිගම්පිටිය, ජාඇළ පදිංචි අවිවාහකයකු වන 'සාතන්' කරණවෑමියෙක් ලෙස රැකියාව කළ අයෙකි. විවාහකයකු වන අශාර නිලංක අංක 431/ඒ, මෝරාවත්ත පාර, නාවල, කඳාන ලිපිනයේ පදිංචි විවාහක පුද්ගලයෙකි. ඔහු රැකියාව ලෙස කුලී වැඩ කළ අයෙකි.

පොලිසියට රැගෙන ආ දෙදෙනාගෙන් ප්‍රශ්න කෙරිණි.

“සර්... අපි පොඩි පොඩි 'බිස්නස් වැඩත්' කරනවා... අපිට 'බඩු' ගෙනත් දෙන පුද්ගලයෙක් ඉන්නවා... එයා ඉන්නෙ අවරකොටුවේ... ඔහු එනකල් තමයි අපි පාර අයිනේ හිටියේ...“ යැයි ඔවුහු පොලිසියට කීහ.

දෙදෙනාගේ එම ප්‍රකාශවලින් හෙළි වූයේ මොවුන් දෙදෙනා හෙරොයින් ජාවාරමේද නිරත වන බවයි. ඔවුන් දෙදෙනා අවට ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි දෙදෙනෙකි. ඒ අනුව අශාර සහ සාතන් වැලිඅමුණ මාර්ගයට හැරෙන හංදියේ රැඳි සිට ඇත්තේ අවරකොටුවේ සිටින අයෙකු මත්ද්‍රව්‍ය රැගෙන එන තෙක්ය. එම හෙළිදරව්වත් සමඟ සැණින් ක්‍රියාත්මක වූ වත්තල පොලිස් නිලධාරින් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අවරකොටුවට ගියේය. එකී අදාළ පුද්ගලයා හෙරොයින් මිලි ග්රෑම් 8015ක් සමඟ අවරකොටුවේ නිවෙසක සිටියදී කොටුකර ගැනීමට වත්තල පොලිස් නිලධාරින්ට හැකි විය.

ඔහු 30 හැවිරිදි වෙත්තසිංහ අප්පුහාමිලාගේ නයන උදාන හෙවත් 'නයනා'ය. කම්කරුවකු ලෙස රැකියාව කරන 'නයනා' අංක 138, උතුරු බටවල, ජාඇළ පදිංචි අයෙකි. අත්අඩංගුවට ගැනුණු තිදෙනාගෙන් ප්‍රකාශ ලබා ගනිමින් විමර්ශන සිදු කරද්දී පොලිසියේ සැකයට භාජනය වූයේ මේ තිදෙනා වත්තල ඇතුළු අවට පොලිස් වසම්වල පසුගිය කාලයේ සිදුවූ අපරාධ රැසකටම සම්බන්ධ බවටයි. ඒ අනුව සැකකරුවන් තිදෙනා අගෝස්තු 25 වැනිදා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් දින 7ක කාලයක් රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට වත්තල පොලිස් නිලධාරින් උසාවි නියෝගයක් ලබා ගන්නේ ඉන් අනතුරුවය.

“මේ තුන්දෙනාගේ හැසිරීමෙන්ම තේරුණා ඒ අය අපරාධ ගණනාවක්ම කරලා තියෙනවා කියලා. වාහන... ත්‍රිවිල් හොරකම්... රන්මාල කොල්ලකෑම්... දේපළ කොල්ලකෑම්... විශාල සංඛ්‍යාවක් හෙළිවුණා. වත්තල පොලිස් බල ප්‍රදේශයේ විතරක් නෙවේ... බස්නාහිර උතුර පොලිස් වසම් කීපයකම පසුගිය කාලයේ සිදුවූ අපරාධ ගණනාවකටම මේ අය සම්බන්ධ බවට අපට තේරුණා...“ මේ සැකකරුවන් ගැන පොලිස් විමර්ශන ආරම්භ කළ ආකාරය වත්තල පොලිසියේ විමර්ශන නිලධාරියෙක් හෙළි කෙළේ එසේය.

ඒ අතරේ ඉකුත් අගෝස්තු මස තුන් වැනිදා රාත්‍රී 10ත් 11ත් අතර වත්තල ඇටැම්පහළ වත්ත, ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගබඩා බාරකරුවකු ලෙස සේවය කළ පුද්ගලයකුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිදුවීමක්ද විය. ඒ පිළිබඳවද වත්තල පොලිස් ස්ථානාධිපති ලලිත් සිලෝගමගේ ප්‍රධානත්වයෙන් වත්තල පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙන් විමර්ශනයක් අරඹා තිබිණි.

අගෝස්තු මස තුන්වැනිදා එලෙස ඝාතනය කර තිබුණේ වත්තල, හැඳල, ගලහදූව ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි එරන් ශෂි කුමාර් නමැත්තෙකි. ඔහු දෙදරු පියෙකි. නිවෙසට ගොස් රාත්‍රී ආහාරය ගෙන නැවත කර්මාන්ත ශාලාවට යමින් සිටියදී පිහියකින් ඇන කඩුවකින් කොටා අමානුෂික ලෙස ශෂි කුමාර් ඝාතනය කර තිබුණි. ඔහුගේ ජංගම දුරකථනයද ඝාතකයන් විසින් රැගෙන ගොස් තිබිණි.

එම ඝාතනය පිළිබඳ වත්තල පොලිස් නිලධාරින් ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේද උපදෙස් මත සිදුකළ විමර්ශනවලදී ඝාතනය සිදුවූ ප්‍රදේශය අවට සීසීටීවී කැමරා පරීක්ෂාවන්හිදී දක්නට ලැබුණේ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි තිදෙනෙකු ශෂී කුමාර්ට පිහියෙන් ඇන පලා යන ආකාරයයි. එකී ඝාතනය පෞද්ගලික අමනාපයක් නිසා සිදු වුවද නැතිනම් මුදල් කොල්ලකෑමේ අරමුණින් සිදු වූවාද යන්න වත්තල පොලිසිය පැති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කරමින් සිටියේ ඔය අතරය.

ඒ අතර අශාර, සාතන් සහ නයනා යන සැකකරුවන් තිදෙනා කොටු වීමත් සමඟ ශෂී කුමාර් ඝාතනයට මෙම සැකකරුවන් තිදෙනාගේ සම්බන්ධයක් තිබුණාද යන්න වත්තල පොලිස් නිලධාරින්ට දැඩි සැකයක් ඇතිවිණි. එම ඝාතනය ගැන අත්අඩංගුවට පත් තිදෙනාගෙන්ද පොලිස් නිලධාරින් දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වූයේ නොයෙක් උපක්‍රම භාවිත කරමිනි. එහෙත් තිදෙනාගෙන් මුලදී ඒ පිළිබඳ කිසිම වචනයක් පිට නොවුණත් පසුව පොලිසියෙන් ගැලවීමක් නොමැති බව දත් තිදෙනා පාපෝච්චාරණයක් කෙළෝය. ඒ තවත් අහිංසකයකුගේ ජීවිතයක ඉරණම් ගමන තමන් අතින් විසඳුණු ආකාරය ගැනය. ඒ දින 17ක පමණ කාලයක් කිසිම හෝඩුවාවක් නොමැතිව තිබූ ශෂිගේ ඝාතනයේ සුලමුල හෙළිදරව් කරමිනි.

“ඔව් සර්... ශෂී කුමාර් මැරුවේ අපි තුන්දෙනා... එදා අපි තුන්දෙනා මන්නා පිහි අරගෙන ‘ගේම‘කට යන්න ස්කූටියෙන් ගියේ... ටික දුරක් යනකොට බයික් එකේ තෙල් අඩු වුණා... පස්සේ ශෂි කුමාර්ගෙන් තෙල් ටිකක් ඉල්ලුවා... ඔහු දෙන්න බෑ කිව්වා... ඒක නිසා තමයි ශෂි කුමාර්ව මැරුවේ...“

ඒ අනුව ඉකුත් අගෝස්තු මස තුන්වැනිදා ඝාතනය වූ ශෂී කුමාර්ගේ ඝාතනයේ සුලමුලද හෙළිදරව් වූයේ සැකකරුවන්ගේ පාපොච්චාරණ අනුවයි. තිදෙනාගේ පාපෝච්චාරණ අනුව ඝාතනය සිදුවී තිබුණේ මෙසේය.

ශෂි කුමාර් ඝාතනය වූ දින අශාර, සාතන් සහ නයනා තිදෙනා ‘ගේම‘කට යෑමට එද්දී වත්තල කොමර්ෂල් බැංකුවේ ඒටීඑම් කුටියට ගොස් එමින් සිටි ශෂී කුමාර් දුටුවේය. ඔහු ඒටීඑම් කුටියෙන් පැමිණ යතුරුපැදියට නැඟි මඳ දුරක් ගියා පමණි. ඔහු මේ තිදෙනාට හමු වන්නේ එහිදීය. ඒ සමඟ තිදෙනා ශෂි කුමාර් නතර කරන්නේ ඔහුට තර්ජනය කරමිනි.

“ඒයි අපිට 'පෙට්‍රල්' ටිකක් දියන්...“ තිදෙනාගෙන් අයෙක් ශෂීට තර්ජනාත්මකව කීවේය.

“කොහේ තියෙන පෙට්‍රල්ද බං... මාත් මේ ටැංකියේ අඩියෙන් දුවන්නේ...“ ඒ සමඟම ශෂීට පහරක් එල්ල කළේ අශාර විසිනි.

ශෂි හැඩිදැඩි පුද්ගලයෙකි. අශාර මත්ද්‍රව්‍යට දැඩිව ඇබ්බැහි වීම නිසා කෘෂ වූ ශරීරයකින් යුතු අයෙකි. ශෂිට පහරක් එල්ල කිරීමත් සමඟ ශෂීද එසැණින් පෙරළා අශාරට පහරක් එල්ල කෙළේය. එම පහරින් අශාර බිම ඇද වැටිනි. අශාර බිම ඇද වැටෙද්දීම ඔහුගේ අතෙහි තිබූ උල් පිහියද බිම වැටිණි. බිම ඇද වැටුණු ආශාරට ශෂි හොඳටම පහර දුන්නේය. ඒ අතරේ අශාර, මඳක් ඈතින් සිටි ඔහුගේ මිතුරන් දෙදෙනාට අමතන්නේ කෑ ගසමිනි.

“ඒයි වරෙල්ලා... මූට ගහපල්ලා...“ කියමිනි. ඒ සමඟම දිව ආවේ සාතන්ය. ඔහු ආශාර වැටි සිටි ආසන්නයේම වැටි තිබූ පිහියද අහුලා ගත් සාතන් ශෂිගේ පපුව පසාරු කරගෙන යන්නට පිහි පහරවල් කිහිපයක්ම ඇනගෙන ගියේ හිත්පිත් නැත්තෙකු විලසිනි. 'නයනා'ද ඒ අසලට කිට්ටු වූයේ කඩුවක්ද රැගෙනය. ඔහුද ශෂිට කඩු පහරවල් කිහිපයක්ම එල්ල කළේය. එම ප්‍රහාරවලින් ශෂි කුමාර් එම ස්ථානයේදීම මරණයට පත් වූයේ දරුවන් දෙදෙනකු සමඟ සිය බිරිය මෙලොව තනි කරමිනි.

“ඔන්න ඕක තමයි එදා වුණේ සර්... අපිට ශෂි කුමාර් මරන්න ඕනකමක් තිබුණේ නෑ... ඒත් අපි අතින් ඒ දේ සිදුවුණා... ඊට පස්සේ අපි ශෂිගේ හෑන්ඩ් පෝන් එකත් අරන් අපි ආපු ස්කූටියෙන්ම පැනලා ගියා...“ සැකකරුවෝ තිදෙනා පොලිසියට එලෙස පාපොච්චාරණය කළහ.

අනතුරුව සැකකරුවන් ශෂිගේ ඝාතනයෙන් පසු දින කීපයක් ප්‍රදේශයෙන් වසන්ව සිට නැවත කරළියට පැමිණ සිටියේ අවට ප්‍රදේශවල සොරකම් කිහිපයක්ම සිදු කරමිනි. සැකකරුවන් තිදෙනා එම ඝාතනය පිළිබඳ සිදුකළ වැඩිදුර පාපෝච්චාරණයෙන් පසු ඝාතනයට යොදාගත් පිහිය සහ ශෂි කුමාර්ගේ ජංගම දුරකථනයද පොලිසිය විසින් සොයා ගන්නා ලදි. ජංගම දුරකථනය පොලිසිය විසින් පොලිසියට හමු වෙද්දී ඊට ශෂි කුමාර් ඊට ඇතුළු කර තිබූ දත්ත සියල්ල වෙනස්කොට සැකකරුවන්ගේ දුරකථන අංක ඊට ඇතුළු කර තිබිණි.

එම දුරකථනයේ වැඩිදුර විමර්ශන සඳහා දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීම සඳහා වත්තල පොලිසිය විසින් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමටද කටයුතු කර ඇත.

'අයිස්' සහ 'හෙරොයින්වලට' දැඩිව ඇබ්බැහිව සිටින අශාර, සාතන් සහ නයනා යන මෙකී සැකකරුවන් තිදෙනා පසුගිය කාලය පුරාවටම බස්නාහිර උතුර ප්‍රදේශයේ පොලිස් වසම් වන වත්තල පොලිස් වසම තුළ පමණක් මේ වසරේදී පමණක් සිදුකර ඇති මුදල් කොල්ලකෑම්, යතුරුපැදි පැහැර ගැනීම්, ජංගම දුරකථන කොල්ලකෑම්, රන් මාල කඩා ගැනීම්, ගමන් බෑග් කොල්ලකෑම් සංඛ්‍යාව 21කි. ඒ අතර මාර්ගවල ගමන් කරන මගීන්ගේ රන් භාණ්ඩ කොල්ලකෑම් 12ක් මොවුන් සිදුකර ඇති බව හෙළිවිය.

සැකකරුවන් තිදෙනා කොල්ලකා ඇති රන් ප්‍රමාණයද සුළුපටු නොවේ. එම ප්‍රමාණය වත්තල පොලිස් වසමේ පමණක් පවුම් 20කි.

වත්තල පොලිස් වසමට අමතරව මේ වර්ෂය තුළදී පමණක් ජාඇළ පොලිස් වසමේ මේ තිදෙනා සිදුකර ඇති පොලිසියට වාර්තා වී ඇති අපරාධ සංඛ්‍යාව 8කි. තවද කඳාන, සිදුව, මීගමු, මහබාගේ පොලිස් වසම්වල රන් භාණ්ඩ කොල්ලකෑම් සහ මුදල් කොල්ලකෑම් අපරාධ 9ක් සිදුකර තිබිණි.

අහිංසක පුද්ගලයකු වන ශෂි කුමාර් නමැත්තා නිරපරාදේ ඝාතනය කළ සැකකරුවන් තිදෙනා අපරාධ සිදු කිරීමට භාවිත කරන ලද ත්‍රිරෝද රථ සහ යතුරුපැදිද විවිධ ප්‍රදේශවලින් සොරකම් කරන ලද ඒවා බවට මේ වන විට වත්තල පොලිසියේ විමර්ශන නිලධාරින් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව මොවුන් තිදෙනා විසින් බස්නාහිර පළාත උතුර පොලිස් වසම්හි පමණක් මේ වර්ෂය තුළදී සිදුකර ඇති අපරාධ සංඛ්‍යාව 38කි. කොල්ල කා ඇති රන් පවුම් ප්‍රමාණය ද පවුම් 32කට අධිකය. ඒ පොලිසියට වාර්තා වූ සංඛ්‍යාව පමණි. තිදෙනා විසින් මීට වඩා බොහෝ අපරාධ ප්‍රමාණයක් සිදුකරන්නට ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරියෙක් අපට කීවේය.

ඒ අනුව පසුගිය කාලයේ සොරකම්, කොල්ලකෑම් ගණනාවක්ම සිදුකර ඇති මෙකී අපරාධකාරයන් තිදෙනාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. නැතිනම් මෙවන් අපරාධකාරයෝ නැවතත් සමාජයට පිවිස සිදු කරනුයේ මෙවැනි හිත්පිත් නැති අපරාධමය. පෙට්‍රල් ටිකක් ඉල්ලා නුදුන් සැණින් පහර දී මරා දමන්නට තරම් සමාජය සැහැසි වී තිබෙන්නේ මෙවැනි ‘අසමජ්ජාති චරිත‘ නිසාය. එම නිසා නැවත සඳහන් කරනුයේ මෙකී සැකකරුවන්ට එරෙහිව නීතිය ‘අකුර‘ටම ඉටුකරන ලෙසයි.

මේ පිළිබඳ විමර්ශන කැලණිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජේ.වයි.බී. ක්‍රිෂාන්තගේ උපදෙස් මත වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගමගේ ප්‍රධානත්වයෙන් වත්තල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. ඒ. සඳනුවන් ඇතුළු උපපොලිස් පරීක්ෂකවරුන් වන බණ්ඩාර, සේනානායක, සැරයන්වරුන් වන 48908 වසන්ත, 53320 ජූඩ්, කාන්තා පොලිස් සැරයන් 2137 සුනේත්‍රා, කොස්තාපල්වරුන් වන 76999 ප්‍රසංග, 71164 නලින්, 46128 එදිරිසිංහ, 92471 ජයරුවන් සහ 94046 රණවීර ඇතුළු නිලධාරිහු සිදු කරති.

 

ඡායාරූප - කේ. එස්. හැන්නදි - රාගම සමූහ

Comments