රංගට දිවි අහිමි කළ පොලී මුදල් ආරවුල | සිළුමිණ

රංගට දිවි අහිමි කළ පොලී මුදල් ආරවුල

 

නාඳුනන තුවක්කුකරුවන් දිගින් දිගටම සිදුකරන ඝාතන වැලක්ම මේ දිනවල සිදුවෙමින් පවතී. ඉකුත් මැයි 30 වැනිදායින් ඇරැඹි එම ඝාතනවල 33 වැන්න සිදු වූයේ ඉකුත් සැප්තැම්බර් මස තුන්වැනිදා සවස් යාමයේයි.

ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ පිටිගල, කබළුව ප්‍රදේශයේදීය. එසේ ඝාතනය වූයේ පිටිගල, නියාගම, දොඹගහවත්තේ පදිංචිව සිටි 32 හැවිරිදි කාරියවසම් ලොකු ගමගේ රංග ප්‍රසංග නමැත්තායි. ඔහු දෙදරු පියෙකි. කලක් යුද හමුදාවේ සේවය කළ රංග පොලියට මුදල් ලබා දෙමින් බූරු පොළවල් පවත්වාගෙන යමින් යහමින් මුදල් අතපත ගාමින් ජීවත්වූ අයෙකි.

රංග ඉකුත් 3 වැනිදා සවස් යාමයේ නිවෙසේ සිට යතුරුපැදියකින් නියාගම බලා යමින් සිටියදී කොටයක් දමා මඟ හරස් කළ අයකු යතුරුපැදිය නවතා ඔහුට වෙඩි තබා ඝාතනය කර තිබිණි. ඝාතකයා ඊට පෙර මාර්ගයට යාබද ඉඩමක සැඟව සිටි බවටද පසුව තොරතුරු අනාවරණය විය. බරපතළ තුවාල ලත් රංග නියාගම ගල්ළිඳ හංදිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කෙරිණි. ඔහුගේ තත්ත්වය බරපතළ හෙයින් කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණත් රංග ඉකුත් 4 වැනිදා අලුයම ජීවිතක්ෂයට පත් විය.

රංගගේ ඝාතනයද ඉකුත් සමය පුරාවට සිදුවූ නාඳුනන තුවක්කුකරුවන්ගේ ඝාතනයක් වූවත් එය පෞද්ගලික ආරවුලක් හෝ සූදු පොළක නැතිනම් පොලියට මුදල් දීමේදී ඇතිවූ ආරවුලක් නිසා වන්නට ඇතැයි විමර්ශන සිදුකළ පිටිගල පොලිස් නිලධාරින්ගේ සැකය විය. පිටිගල පොලිස් නිලධාරින් විවිධ පැති ඔස්සේ විමර්ශන සිදු කෙළේ අවට සීසීටීවී කැමරාවල දර්ශනද පරීක්ෂා කරමිනි. එසේ විමර්ශන සිදුකළත් රංගගේ ඝාතනය ගැන කිසිම හෝඩුවාවක් ඉකුත් 9වැනිදා වනතුරුත් පොලිසියට නොලැබිණි.

මේ අතර අලුත්ගම පොලිසියේ නිලධාරින් ඉකුත් 9 වැනිදා දෛනික රාජකාරි අරඹමින් රාජකාරියන්හි නිරතව සිටියේය. අලුත්ගම පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියකුට සිය තොරතුරුකරුවකුගෙන් විශ්වාසවන්ත හෝඩුවාවක් ලැබුණේ නවවැනිදා පෙරවරුවේයි. “සර් පොඩි තොරතුරක් තියෙනවා... ‘පිටිගල මර්ඩර්‘ එකේ ඇකිවුස්ලා දෙන්නෙක් මේ පැත්තට පැනලා හෝටලයකට ඇවිත් හැංගිලා ඉන්නේ කියලා. සර්ච් පාරක් දැම්මොත් උන් දෙන්නා අල්ලගන්න පුළුවන්...“

ඒ අනුව අලුත්ගම, මතුගම පාරේ ‘රන්දිය‘ ලැගුම් හල සහ එහි 9 වැනි කාමරයේ අදාළ සැකකරුවන් දෙදෙනා රැඳී සිටින බවට තොරතුරුකරුගේ හෝඩුවාවෙන් වැඩිදුරටත් සඳහන් විය.

එම තොරතුර පිළිබඳ අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම දැනුවත් කිරීමත් සමඟ ස්ථානාධිපතිවරයා එම තොරතුර පිළිබඳව ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ද දැනුවත් කෙළේය. අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා තොරතුරුකරුගේ ඔත්තුව ගැන තොරතුරු අලුත්ගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පූජිත වරුෂවිතාන ඇතුළු පොලිස් කණ්ඩායමට ලබාදී එම නිලධාරින් අදාළ හෝටලයට යවන්නේ ක්ෂණිකවය. එදින දහවල් 1.45ට පමණ හෝටලය පරීක්ෂා කළ පොලිසිය සැකකරුවන් රැඳි සිටි 9 වැනි කාමරයට ඇතුළු වෙද්දී ඔවුන් ඒ තුළ රැඳී සිටියෝය.

“අපි පොලිසියෙන්... තමුන්ලා දෙන්නා නේද ‘පිටිගල මර්ඩර්‘ එක කළේ... හැංගිලා ඉන්නද හිතන් හිටියේ... අපි සේරම දැනගෙනයි ආවේ... යමු පොලිසියට...“ හෝටලයේ සිටි දෙදෙනා අලුත්ගම පොලිසියට රැගෙනවිත් ප්‍රශ්න කරන්නට වූයේ ඉන් පසුවය. එහිදී දෙදෙනා පිළිගත්තේ රංග ප්‍රසංග වෙඩි තබා ඝාතනය කළේ තමන් දෙදෙනා බවටයි.

“සර්... අපි දෙන්නා රංගගෙන් සල්ලි වගයක් පොලියට ගත්තා... සල්ලි දෙන්න ටිකක් පරක්කු වුණා... රංග අපි දෙන්නා දකින... දකින තැනදි සල්ලි ඉල්ලලා කරදර කරනවා. කීප සැරයක්ම අපිට ගහන්නත් ආවා... අන්තිමට අපිට පාරකටවත් බහින්න බැරුවයි හිටියේ සර්... ඒකයි මේ දේ කළේ...“

ඒ අනුව රංග ප්‍රසංග ඉකුත් සැප්තැම්බර් 3 වැනිදා ඝාතනය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගැණුණ සැකකරුවන් වූයේ ඌරලු ලියනගේ අමිල රුවන් උදයංග හෙවත් ‘මුනි අමිල‘ සහ ජයසිංහ ආරච්චිගේ අනුර කුමාර හෙවත් ‘ඥාන ලොකු‘ යන දෙදෙනායි.

රංගට වෙඩි තබා තිබුණේ 27 හැවිරිදි අමිල රුවන්ය. ඔහු කලක් යුද හමුදාවේ සිට පලා ආ අයෙකි. තල්ගස්වල පදිංචිකරුවකු වන අමිල රුවන් විවාහකයෙකි. අනුර කුමාර හෙවත් ඥාන ලොකු ඇල්ලදෙනිය, ගම්මැද්දගොඩ, නාගොඩ පදිංචි 36 හැවිරිදිය. ඔහු කෘෂි රැකියාවේ නියුතුව සිටි විවාහක පුද්ගලයෙකි.

දෙදෙනාගේ ප්‍රශ්න කිරීම් මත රංග ඝාතනයට යොදා ගත් ගිනිඅවිය අමිල රුවන්ගේ තල්ගස්වල නිවෙසේ සඟවා තිබියදී අලුත්ගම පොලිස් නිලධාරින් විසින් සොයා ගැනිණි. එම ගිනිඅවිය විදෙස් රටක නිෂ්පාදිත බෝර 16 උණ්ඩ යෙදිය හැකි ද්විත්ව බැරලය සහිත අවියකි. අමිලට එම ගිනිඅවිය දුන් පුද්ගලයා මේ වන විට මියගොස් ඇති බව පවසතත් එය අසත්‍යයක් විය හැකි බව විමර්ශන නිලධාරින්ගේ විශ්වාසයයි.

රංගට වෙඩි තබා ඇති අමිල රුවන් රංගගෙන් රුපියල් තුන්ලක්ෂ අසූදහසක මුදලක් පොලියට ගෙන ඇත. ඔහු එය ගෙවීම පැහැර හැර තිබිණි. අමිල සමඟ රංග ඝාතනයට එක්වූ අනුර කුමාරද රංගගෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් පොලියට ගෙන ඉන් රුපියල් එක්ලක්ෂ අසූදහසක මුදලක් ගෙවා ඇති බව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. අමිල සහ අනුර එක්ව රංග වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු තැන තැන සැඟවී සිටි බව හෙළි විය. අනතුරුව ඉකුත් සැප්තැම්බර් 7 වැනිදා අලුත්ගම රන්දිය ලැගුම්හලට පැමිණි දෙදෙනා එහි සැඟව සිට ඇත. දින දෙකක් එහි රැඳි සිටි දෙදෙනා ඒ සමඟම අලුත්ගම පොලිසියට කොටු වූයේ අපරාධයක් කළහොත් කිසිදා වසන් විය හැකි බව පසක් කරමිනි.

අලුත්ගමින් අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා සහ ඝාතනයට යොදාගත් ගිනිඅවිය රංග ඝාතනයේ විමර්ශන සිදුකරන පිටිගල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ශාන්තලාල් ප්‍රමුඛ කණ්ඩායමට බාර දෙන ලදී. අනතුරුව පිටිගල පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනා ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

කළුතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාසගේ උපදෙස් මත අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගමගේ ප්‍රධානත්වයෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පූජිත වරුෂවිතාන සැරයන් 58508 ප්‍රේමසිරි, කොස්තාපල්වරුන් වන 91171 චාමර, 73819 සමීර ඇතුළු නිලධාරිහු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන සිදු කළහ.

ඡායාරූප - අයි.එම්.වී. චන්ද්‍රසිරි ගුණසේකර

(ඇල්පිටිය විශේෂ)

Comments