අපේ කියන කිසි­දෙ­යක් ඉතුරු වුණේ නැහැ | Page 3 | සිළුමිණ

අපේ කියන කිසි­දෙ­යක් ඉතුරු වුණේ නැහැ

මැයි 09   ප්‍රචණ්ඩකාරීන්ගේ   ගිනිතැබීමෙන්   සිදුවූ තවත්   විනාශයක්

ශ්‍රී ලාංකිකයන්ට බක් මාසය අනෙක් මාසවලට වඩා ප්‍රීතියක්, කලඑළියක් ගෙන දෙන මාසයක් වුවත් මේ වසරේ බක් මාසය උදා වූයේම අවාසනාවන්ත සිදුවීමකිනි. ඒ සිදුවීම තවත් සිදුවීම් දාමයකට නිමිත්තක් වෙද්දී රට පුරාම ඇතිවූයේ පෙර නොවූ විරූ ප්‍රචණ්ඩකාරී බවකි. මැයි 9 වැනිදා රට පුරා ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් අතර, ආණ්ඩුව නියෝජනය කළ මැති ඇමතිවරු ප්‍රචණ්ඩකාරීන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත්විය.

ප්‍රචණ්ඩකාරීන් විසින් රට පුරාම අනීතියත් භීතියත් වපුරවමින් කලහකාරී ලෙස හැසිරෙද්දී මධ්‍යම පළාත තුළ ප්‍රචණ්ඩකාරීන්ගේ පළමු ප්‍රහාරය එල්ල වූයේ කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම හිටපු කැබිනට් ඇමතිවරයකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ නිවෙසටය. මැයි 9 වැනිදා දහවල් මහනුවරින් ආරම්භ වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් එදින පස්වරුව වන විට දඹුල්ල නගරය ද ආක්‍රමණය කර තිබිණ. මුලින්ම දඹුල්ල නගරයේ ඔරලෝසු කණුව අසලට රැස්වූ දහසකට අධික පිරිසක් අතරින් 600ක පමණ කණ්ඩායමක් මහනුවර- යාපනය ප්‍රධාන මාර්ගයට යාබදව දඹුල්ල යාපාගම ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ නිවෙස අසලට පැමිණ ඇත්තේ පස්වරු 7.15ට පමණය. ඒ අවසනාවන්ත සිදුවීම පිළිබඳ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සිය මතකය අවදි කළේ මෙලෙසිනි.

“මැයි 09 වැනිදා අපි කොළඹ හිටියේ. එදා හවස් වෙද්දි පිරිසක් දඹුල්ලේ අපේ ගේ ඉස්සරහ කලබල කළ බවත් ඔවුන් අපේ ගෙදරට ගිනි තැබූ බවත් දැනගන්න ලැබුණා. මම දඹුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකට කතා කරලා කිවුවා ඒක වළක්වන්න පියවර ගන්න කියලා. නමුත් පොලිසිය බලාගෙන ඉන්නකොට තමයි අපේ ගෙදරට ගිනි තියලා තියෙන්නේ. මගේ ළඟ ෆොටෝ එකක් තියෙනවා කවුරුහරි මට එවපු ඒ වෙලාවේ ගත්ත එකක්, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කිසිම දෙයක් නොකර මගේ ගිනිගන්න ගේ දිහා බලාගෙන ඉන්නවා. මම එවෙලෙම ඔහුට කතාකරලා, ‘‘මමත් හිටපු පොලිස් නිලධාරියෙක්. තමුනුත් පොලිස් නිලධාරියෙක් නේද? මහජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කරන එක වගකීම කියලා තේරෙන්නෙ නැද්ද කියලා ඇහුවා. ඒත් ඒ නිලධාරියා සද්ද නොකර අහගෙන හිටියා මිසක් මුකුත් කළේ නැහැ. ඊට පස්සේ මම සහකාර පොලිස් අධිකාරිට කතාකරලා මේ ගැන කිවුවට පස්සේ ඔහු මාතලේ ඉඳලා දඹුල්ලට ගියා ඒ ගැන බලන්නම. ඒ වගේම වටේම තියෙන පොලිසිවල කට්ටිය ගියා ගේ ගැන බලන්න. ඒත් ඒ වෙද්දි ප්‍රමාද වැඩියි. ගේ පිච්චිලා හැමදේම විනාශ වෙලා ඉවරයි.

ඒ මතක ආවර්ජනය හදවත යළි යළිත් පාරන වේදනාවක් බව හිටපු ඇම­ැතිවරයාගේ වදන් පසක් කළේය.

‘‘ ගේ ගිනි තිබ්බා තිබ්බට අපි හිතුවේ ඒක පොඩි දෙයක් වෙන්නැති කියලයි. සිද්ධියෙන් දවස් තුනහතරකට පස්සෙයි අපි දඹුලු ආවේ. ගෙට වෙලා තිබ්බ දේ දැකලා මගේ බිරිය අඬනවා දැක්කම මට මගේ ජීවිතේ එපා වුණා. ඒ ගැන මට කියාගන්න බැරි තරම් කනගාටුයි. මටත් ඉවසගන්න බැරි වුණා. අපි වගේම අපි ආව කියලා දැනගෙන ගෙදරට ආව සෙනඟ හැමෝම ඇඬුවා. මට වැඩිපුරම හිතට අමාරු අපේ ගෙදර හැමකෙනාම කාපු බීපු ගෙදරක්. අපේ ගෙදරින් තේ එකක්වත් නොබීපු කෙනෙක් නැහැ. සමහර අය කෙළින්ම කුස්සියට ගිහින් කෑම ටික බෙදාගෙන කනවා. කවුරු ආවත් එහෙමයි අපි සැලකුවේ. එහෙම අපිට මේ විදිහේ අපරාධයක් කළේ ඇයි කියලා මතක් වෙද්දි දරන්න බැරි වේදනාවක් ඇති වෙනවා. ඉන්න තැනක් නැති නිසා එදා රෑම අපි ආපහු කොළඹ ආවා. මගේ ගෙදර පැරණි ක්‍රමයට හදලා තිබුණේ. ඒක හැදුවේ මගෙයි බිරියගෙයි මහන්සියෙන්. ඒක කළුයි සුදුයි ගෙදරක්. ගෙදර තිබුණු බඩුමුට්ටු සේරම පැරණි භාණ්ඩ. මගේ බිරියට ඒ දේවල් ලස්සනට තියාගන්න හොඳ හැකියාවක් තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්මයා ඉතාම ප්‍රිය කළ තැනක් අපේ ගෙදර. නමුත් අපිට ගෙදර තිබුණු කිසිම දෙයක් ඉතිරි වුණේ නැහැ. අපේ කියන කිසිදෙයක් ඉතුරු කළේ නැහැ. මේ ද් කළේ කවුද කියලා අපි දන්නවා. අපරාධකරුවන්ට හෙණ ගහන්න කියන්නේ නැහැ, පළිගන්න හදන්නේ නැහැ. නමුත් මේ අනවශ්‍ය අපරාධය කරපු අයට දවසක ස්වාභාව ධර්මයාගෙන්ම දඬුවම් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. අපි මේ වෙච්ච දේ ගැන බොහොම හිතේ ආමාරුවෙන් තමයි ඉන්නෙ.“

හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසන පරිදි නිවෙසට ගිනි තැබීමේ සිද්ධියට ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයකු ඇතුළු 14 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්වුවත් පසුව ඔවුන් ඇප මත නිදහස් කර ඇත.

“අවුරුදු 29ක් අඛණ්ඩව පාර්ලමේන්තුව නියෝජනය කරන මම මගේ දේශපාලන ඉතිහාසය තුළ මේ වගේ සිදුවීමකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙයයි. මම කවදාවත් පැරදිලා නැහැ, පැරදෙන්න වැඩ කරලත් නැහැ. මම හැමදාම හිටියේ මිනිස්සු එක්ක. කොරොනා කාලෙත් ඒ අවදානම අරගෙන මම මිනිස්සු එක්ක එකට හිටියා, ඔවුන් වෙනුවෙන් වැඩ කළා. මගේ අප්පච්චි කවි කොළ විකුණලා දේශපාලනයට ආව කෙනෙක්. ඔහු අවුරුදු 21ක් මන්ත්‍රීකම කළා. මගේ අප්පච්චි කිිවුවා මටත් වඩා දුර යන පුතා තමයි ජනක කියලා. අප්පච්චිගේ ඒ කතාව දැනටමත් සත්‍යයක් වෙලා ඉවරයි.

හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් කීවේ අතීතය සිහිකරමිනි.

ඔහුගේ පියා ටී.බී තෙන්නකෝන් 1912 මාර්තු 16 වැනිදා කන්ද උඩරට ගුන්නෑපානේ පිලවල උපත ලැබූ කාව්‍යකරණය, ලේඛන කලාව හා නර්තයේ ද දක්ෂයෙකි. මහනුවර මුද්‍රණාලයකට බැඳුණු ඔහු කවිය සිය ජීවිතය කරගනිමින් කවි කොළ, කවිපොත් ලියා පළ කරමින් ද ජනාකීර්ණ ස්ථානවල කවි කියමින් ද ජීවිතය ගෙන ගොස් ඇත. මහා කවි ආනන්ද රාජකරුණාගේ සහභාගීත්වයෙන් සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය පණගැන්වෙන අවධියේ මහනුවර තරුණ කවි සමාජය බිහිවී ඇත්තේ ටී. බී. තෙන්නකෝන්ගේ පුරෝගාමීත්වයෙනි. පසුව බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ නායකත්වයෙන් ඇරඹි සිංහල මහා සභාවේ මහනුවර ශාඛාවේ ලේකම් බවට පත්වූ ඔහුට ජාතික දේශපාලනයට අවතීර්ණ වීමට මඟ සැකසෙන්නේ ද ඒ තුළිනි. 1946දී දෙයියන්නෙවෙල නාගරික මන්ත්‍රී ලෙස දේශපාලන ලෝකයට අවතීර්ණ වූ ටී.බී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකි. 1956 මහා මැතිවරණයේදී පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසනෙ හෙතෙම 1977 වනතුරු සිය පාර්ලිමේන්තු අසුන රැකගත්තේය. සංස්කෘතික හා සමාජ සේවා උප ඇමැති ධුරය ඇතුළු විවිධ අමාත්‍ය පදවි දැරූ ටී. බී.තෙන්නකෝන් කථානායකවරයාගේ අණ නොතකා අයවැය විවාදවලදී කවි කතා 05 ක් පවත්වා ඇතැයි පැවසේ. 1980 ජනවාරි 28 දා ටී. බී. තෙන්නකෝන් දැයෙන් සමුගත් අතර, ජනක බණ්ඩාර තෙන්නකෝන් ද පියා මෙන් දිගු දේශපාලන ගමනක නිරත වී සිටී.

දරුවන් 9 දෙනකුගෙන් යුතු පවුලේ 8 වැන්නා ලෙස මහනුවරදී උපන් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකු මෙන්ම දක්ෂ ක්‍රීඩකයෙකි. ශිෂ්‍ය නායකයකු ලෙස මෙන්ම පාසල් ක්‍රිකට් කණ්ඩායමේ උපනායක, පාපන්දු කණ්ඩායමේ නායක, මලල ක්‍රීඩා නායක ආදී තනතුරු දැරූ ඔහු මීටර 100 ධාවන ඉසවුවෙන් ද වාර්තාවක් තැබූ ක්‍රීඩකයෙකි.

“ධර්මරාජේ ශිෂ්‍ය නායකයන් විදිහට කටයුතු කළ අපි 15 දෙනෙක් පොලිසියේ උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා ඉල්ලුම් කළා. නමුත් පළමුවැනි පරීක්ෂණයෙන් සමත් වුණේ මම විතරයි. 1973 මම ශ්‍රී ලංකා පොලිසියට බැඳුණා.“

1993දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හමුවීමට ලැබීම ජනක බණ්ඩාර තෙන්කෝන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කළ සිදුවීමක් විය.

“ඒක හදිසි හමුවීමක් නිසා මම එතුමිය හමුවෙන්න ගියේ පොලිස් නිල ඇඳුමෙන්. මැඩම් මාව දැක්ක ගමන් කිවුවා අනේ ටී.බී වගේමයි.ටී.බීගේ කපාපු පළුවනේ. ජනක ඔයා කැමතිද දඹුල්ලේ සංවිධායක වෙන්න කියලා. මේ මොකද වෙන්නේ කියලා මම උඩබිම බැලුවා. මම කැමති වුණාම එතුමිය යුනිෆෝම් එකෙන් හිටපු මට එවලේම පත්වීම් ලිපිය දුන්නා. මම හිතන්නෙ ඉතිහාසයේ පළමුවැනි වතාවට වෙන්නැති එහෙම දෙයක් වුණේ. මම ඒකත් අරගෙන ඇවිත් පොලිසියේ රාජකාරී කරනකොට ප්‍රේමදාස මහත්තයා මාව කන්කසන්තුරේට මාරු කළා. මම ඉල්ලා අස්වුණා. 1993දී මම පළාත් සභාවට තරග කරලා පළමුවැන්නා වුණා. 1994 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරලා පළමුවැන්නා වෙලා පාර්ලිමේන්තුවට ආවා. මම හිතන්නේ ඒ වෙච්ච දේවල් සේරම යහපත් දේවල් විදිහටයි. මම දඹුල්ලට යනකොට එහෙට කිවුවෙ ගොමහන්දිය කියලා. මම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හැදුවට පස්සේ තමයි දඹුල්ල නොනිදන නගරයක් බවට පත්වුණේ. ජනතා සේවයෙන් මම විශාල සතුටක් ලැබුවා. මැයි 9 වැනිදා සිදුවීම හැර මගේ ජීවිතයේ එවැනි අවාසනාවන්ත සිදුවීම් කිසිවක් සිදුවී නැහැ.“

1994 සිට මේ දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔහු කැබිනට් ඇමති ධුර ඇතුළු ඇමති ධුර කිහිපයක්ම දරා ඇත. ජනක බණ්ඩාර තෙන්නකෝන්ට සිය සහකාරිය හමුවී ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පළමු පත්වීම ලැබ කුරුණෑගල පොලිසියේ රාජකාරි කරමින් සිටියදීය. කුරුණෑගල එවකට මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ දියණියක වූ ලසිතා, පසුව ලසිතා තෙන්නකෝන් ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ පතිනිය බවට පත්වන්නීය.

‘‘අපි විවාහ වෙලා දැන් අවුරුදු 45ක්. එදා සිට බිරිය මගේ සෙවනැල්ල වගේ ඉන්නවා. ගේ ගිනිතැබීමෙන් ඇයත් විශාල කම්පාවකට පත්වුණා. නමුත් ඇය ඒ දුක පෙන්නන්නේ නැත්තේ ඒක මට දුකක් කියලා හිතෙන නිසා. ඇය කවදාවත් මාව අධෛර්යය කරන කෙනෙක් නෙවෙයි. නිතරම මාව උනන්දු කරන කෙනෙක්. ඇය නිසා තමයි අද මම මෙතැන ඉන්නෙ. එහෙම යහපත් හොඳ බිරියක් ලැබෙනවා කියන්නේ ලොකු වාසනාවක්. මට ඒ වාසනාව ලැබුණා.“

ඔහු පැවසුවේ මැයි 9 වැනිදා සිදුවීමෙන් හදවතට දැනුණු වේදනාව වසාගත් සොම්නසකින් යුතුවය. ජනක- ලසිතා යුවළට ප්‍රමිත, ප්‍රමුදි, ප්‍රසාදි සහ ප්‍රමුඛ නමින් දියණියන් දෙදෙනකු සහ පුතුන් දෙදෙනෙකි. වැඩිමහල් පුතු ප්‍රමිත බණ්ඩාර ද සීයා සහ පියා ආ මඟ ඔස්සේ දේශපාලනයට පිිවිසියේය.

“මගේ දේශපාලන ජීවිතයේ මම කම්පාවට පත්වුණු එකම සිදුවීම මැයි 9 වැනිදා සිදුවීම පමණයි. ඒ අපරාධය කළ අයට නීතියෙන් නැතත් ස්වාභාව ධර්මයෙන් දඬුවම් ලැබේවි. ජනතාව සීමාවක් නැතිව මුළා වුණා වගේම ඉක්මන් වුණා. මෝඩ වැඩ මිසක් එක නුවණක්කාර වැඩක්වත් කළේ නැහැ. ඒකෙන් රටත් විනාශ වුණා. ඒ අයත් විනාශ වුණා. මින් ඉදිරියටවත් මිනිස්සු කල්පනාවෙන් වැඩ කළේ නැත්නම් විනාශ වෙන්නේ මේ රටයි.“ හිටපු ඇමති ජනක බණ්ඩාර කතාබහ අවසන් කරමින් එසේ කීවේය.

 

 

Comments