
කිසිම අවස්ථාවක කේන්ති නොගෙන මිනිසුන්ගේ දුකට සවන් දෙන, පිහිට වෙන, විශේෂයෙන් අධ්‍යාපනය ලබන දරුවන්ට ඉතා ආදරයෙන් පිහිට වන නිවෙසේදී වුවත් ඕනෑම වේලාවක පහනක් දල්වා පිදුම් කළ හැකි දෙවියකු ලෙස ගණදෙවියන් හැඳින්විය හැකිය. ශිව පුරාණය, හින්දු පුරාණය ආදී පොත්වල සියලු දෙවි පූජාවලට ප්‍රථම ගණදෙවි පූජාව කළ යුතු යැයි සඳහන් වන අතර, සියලු මිනිස් කොට්ඨාසයන්ගෙන් වැඳුම් පිදුම් ලබන එකම දේවතාවා ලෙස ද ගණදෙවියන් නම් කර ඇත.
ඔබට නිවෙසේදීම ගණදෙවියන් පිදිය හැකි අතර, බුදු පහනට මඳක් පහළින් සිටින ලෙස නිවෙසේ පිරිසුදු ස්ථානයක උදේ හෝ හවස පහනක් දැල්විය හැකිය. එසේම භක්තියෙන් විශ්වාසයෙන් යුතුව සිදුකර ඉමහත් ප්‍රතිඵල ලබාගත හැකිය.
ඔබට නිවෙසින් පිටත වුවද මෙම පහන් දැල්වීම සිදුකළ හැකිය. ඔබගේ ගෙවත්තේ කොහොඹ, බෝ, අඹ හෝ බෙලි ගසක් යට කුටියක් සාදා එහි ගණදෙවි රුවක් තැන්පත් කර මෙය සිදු කළ හැකිය. මේ සඳහා පිළිරුවක් යොදා ගන්නේ නම් ඇතුළත බොල් නොමැති (ප්ලාස්ටික්, ෆයිබර් පිළිරූවල බොල් තිබිය හැක.) පිළිරුවක් හෝ පින්තූරයක් යොදාගත හැකිය. එම ස්ථානය අසල අඹ පැළයක්, කොහොඹ පැළයක් සිටුවාගත හැකි නම් එය ඉතා යහපත්ය. එසේම එම පරිසරය නිතර ශුද්ධ පවිත්‍ර කර සීමාවක් සටහන් කර වෙන්ව තැබීමෙන් පූජනීයත්වයක් ලබාදීම ද ඔබට කළ හැකිය.
මේ කුටිය තුළම ලක්ෂ්මී දේවියගේ සහ සරස්වතී දේවියගේ රූප ද ගණදෙවි රූපය දෙපස තැන්පත් කළ හැකිය. සියලු සෞභාග්‍යයට අධිපති ලක්ෂ්මී දේවියත් සියලු ශාස්ත්‍ර කටයුතුවලට අධිපති සරස්වතී දේවියත් සියලුම දෙයට යහපත සලසන ගණදෙවියන් සම හිඳුවා තැබීමෙන් ඔබට විශාල දියුණුවක් යහපතක් ලබාගත හැකිවනු ඇත.
ඔබ ගණදෙවියන්ට පහනක් දල්වන්නේ නම්, ඒ සඳහා පොල්තෙල්වලට ගිතෙල් ස්වල්පයක් ද කලවම් කර සාදා ගත් මිශ්‍රණයකින් එය සිදු කරන්න. දුම් ඇල්ලීම සඳහා සාම්බ්‍රානිවලට සුවඳ කොට්ටන්, සැවැන්දරා, රත්හඳුන්, සුදු හඳුන්, නෙළුම් රේණු, නාමල් රේණු ආදිය එකට මිශ්‍ර කර එම සුවඳ ථූපය සාදාගන්න. මල් පූජාව සඳහා දාස්පෙතියා, රුක්අත්තන, කනේරු, රත් නෙළුම් මල්, සුදු නෙළුම් මල්, සමන් පිච්ච ආදිය ඔබට භාවිත කළ හැකිය. ගණදෙවියන් සුගන්ධයට ඉතා කැමති බව ද සිහිතබා ගන්න.
පූජාව සමඟ ඊතනවලින් සාදන ලද මල් මාලාවක් රූපයට පලඳවන්න. එය ද ගණදෙවියන් ඉතා කැමැත්තක් දක්වන දෙයකි. ඔබ විවාහයක් හෝ දරුවන්ගේ විභාග කටයුත්තක් සඳහා ගණදෙවියන්ගේ පිහිට පතන්නේ නම් පූජාව සමඟ දාස්පෙතියා, කනේරු මල් මාලාවක් ද පලඳ වන්න.
ගණ දෙවියන් සඳහා දෙවොලකදී පූජාව පවත්වන්නේ නම් පලතුරු සඳහා උක්ගස්, වරකා, බෙලි, අඹ, දිවුල්, නාරං, ඇඹුල් කෙසෙල් හෝ රත්කෙසෙල්, දොඩම්, පේර, උගුරැස්ස, කොමඩු, අන්නාසි ආදී පලතුරු හොඳින් ඉදුණු, නැවුම් ඒවා භාවිතයට ගන්න. තැළුණු, පරණ වූ පලතුරු භාවිත නොකළ යුතුය. මෙයින් ඔබ කැමති පලතුරු වර්ග 7ක් හෝ 9 ක් ද, ඇස්තුන වැසෙන සේ මුඩ්ඩ ශුද්ධ කළ පොල් ගෙඩියක්, ඇස්ස කැපූ තැඹිලි ගෙඩියක් ද අනිවාර්ය වෙයි. අලුත් වට්ටියක පතුලට කෙසෙල් දලුවක් දමා ඒ මත බුලත් කොළ 21 නටුව පිටතට සිටින සේ අතුරාගන්න. ඒ මත ලද පස්මල් අතුරා ඒ මත පොල් ගෙඩිය, තැඹිලි ගෙඩිය තබා එය වට පලතුරු ක්‍රමානුකූලව තැන්පත් කරන්න. ඒ සමඟ බුලත්කොළ 9ක්, ශුද්ධ කරන ලද පුවක් ගෙඩියක්, සුදු සමන් පිච්ච මල් සමඟ රතන මිටියක් ද පූජා වට්ටියේ තැන්පත් කරන්න.
මීට අමතරව කැවිලි වශයෙන් කොන්ඩ කැවුම්, අතිරස, හැඳි කැවුම්, බූන්දි, මස්කට්, ඉඟුරුදෝසි, අග්ගලා, පැණිවළලු, ලඩ්ඩු ආදියෙන් 9ක් ද, තෙලෙන් බදින ලද කඩල, වඩේ, මුරුක්කු ආදිය ද ඔබට පූජාව සඳහා තැබිය හැකිය. එහෙත් කේක් වර්ග, බිස්කට්, මාෂ්මෙලෝ ආදිය බිත්තර මුසුවූ කැවිලි වර්ග භාවිත කිරීමෙන් වළකින්න. එයට හේතුව ඒවා පිලී සහිත ආහාර වන නිසාය.
ඔබ මේ සඳහා මෝදක තැබීමට හැකියාවක් ඇත්නම් එය ඉතාම වටිනා දෙයකි. බදින ලද හාල් පිටි ගිතෙල් සමඟ මිශ්‍රකර උණු වතුරෙන් අනා රොටියක් ලෙස සාදා ගන්න. මුංඇට පිටි පොල්පැණි එකට අනා එය රොටියේ මැදට තබා රොටිය කොන්ඩ කැවුමක හැඩයට සාදා ගන්න. එය වන්ඩුවේ තම්බා ගැනීමෙන් ඔබට මෝදක සාදාගත හැකිය.
මේ සමඟ ලඩ්ඩු ද, තම්බන ලද කඩල පොල් උලුප්පා සාදාගෙන මේ සියල්ල ද භාජනයක පතුලට කෙසෙල් දල්ලක් දමා ඒ මත තැන්පත් කර පූජාවට තැබිය හැකිය. මෙය ද සුවිශේෂී දෙයක් වන අතර, මීට අමතරව ගණ දෙවියන් සඳහා සිදු කරනු ලබන පූජාවලදී තවත් බොහෝ දේ පූජාව සඳහා පිළියෙල කරගත හැකිය.
ඉතා සුළු ප්‍රමාණයකින් ද මෙහි සඳහන් කළ ආකාරයට ද වෙනත් දේ භාවිත කරගෙන සිදුකිරීමට හැකි පූජාවන් ගැන ද සවිස්තර ලිපියක් ඉදිරියේදී ඔබ හමුවට තැබීමට අදහස් කරමි. ඒ සමඟ පූජාවන් සිදුකරන විට භාවිතා කිරීමට ගණදෙවි ස්තෝත්‍ර කීපයක් ද ඔබට ප්‍රයෝජනවත් ලෙස භාවිත කිරීමට ඉදිරි ලිපියේදී ඉදිරිපත් කරමි.