
රටේ පවතින වත්මන් දේශපාලනික වටපිටාව ඔබ දකින්නේ කොහොමද?
මේ රටේ වර්තමානයේ ඇතිවී තියෙන දේශපාලනික වටපිටාව නිදහසින් පසුව මෙතෙක් ගමන් කළ හුරුපුරුදු දේශපාලනික ගමන් මාර්ගයක් නොවෙයි. මින් පෙර මෙවැනි තත්ත්වයක් ඇති වෙලා නැහැ. පළමු වැනි වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීන් බහුතරයෙන් ජනාධිපතිවරයෙක් පත් කර ගත් අවස්ථාව මෙයයි. එය අලුත් අත්දැකීමක්. ඩී.බී. විජේතුංග මහතා වැඩ බලන ජනධිපතිවරයා ලෙස මීට පෙර පත්වුවත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඡන්දයක් ඉල්ලුවේ නැහැ .මේ අවස්ථාවේදී වෙනම දේශපාලන ධාරාවක කෙනෙක් තරග කරලා ඔහු ජනාධිපතිධුරය දක්වා ගමන් කළා. එය වෙනස් වූ දේශපාලනික අත්දැකීමක්. මම හිතන්නේ රටේ ආර්ථිකය ගොඩනඟන්න හොඳම අවස්ථාවක් උදා වුණා කියලයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ දේශපාලනික ප්‍රතිපත්තිවල වෙනම මතවාද සහ නොගැළපීම් තියෙන්න පුළුවන්. එතුමා මැතිවරණවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ සහ පරාජයට බොහෝමයකට මුහුණදීමෙන් දේශපාලනික පරිණතභාවයක් ලබා තියෙනවා. දේශපාලනික හැලහැප්පීම්වලට මුහුණ දුන්න කෙනෙක් විදිහට එතුමාට රටේ අනාගතය වෙනුවෙන් යමක් කරන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා.
මේ පවතින වෙනස් දේශපාලනික විපර්යාසය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට බාධාවක් නොවෙයිද?
මෙතෙක් සාම්ප්‍රදායික දේශපාලනික පක්ෂයකින් නායකත්වය බිහි වීමයි සිදු වුණේ. පක්ෂයේ නියෝජිතයන් පක්ෂ නායකයාට එරෙහිව යෑම සහ විවේචනය කිරීමක් එහිදී සිදු වෙන්නේ නැහැ. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. යම් විවේචනයක් කරන්න අවශ්‍ය නම් විවේචනය කිරීමේ හැකියාව තිබෙනවා. තමන්ගේ පක්ෂයේ නායකත්වයක් තිබෙන අවස්ථාවලදී ඔවුන් තීරණය ගත් පසු නායකත්වයට එරෙහි වීමට නොහැකියි. එම තත්ත්වය හොඳ සහ නරක ලෙස රටට බලපෑවා. නායකත්වය විවේචනය කරන්න අනුගාමිකයන් යන්නේ නැහැ. මේ අවස්ථාවේ වෙනස් දේශපාලනික වටපිටාවක් නිර්මාණය වෙලා තිබෙනවා. ජනාධිපතිවරයා එජාපයත් අපි පොදු ජන පෙරමුණත් නියෝජනය කරනවා. ඒ නිසා රටේ වැරදි දෙයක් ඇතිවෙන්න යනවා නම් ඕනෑම පර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විවේචනය කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ වැරැදි නිවැරැදි කිරීමේ ඉඩකඩ වැඩියෙන් තියෙනවා. නායකත්වයට යමක් කෙළින්ම කිවුවා කියලා පක්ෂයෙන් නෙරපීමක් හෝ මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමක් සිදු වෙන්නේ නැහැ.
ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වූ අවස්ථාවේ ඔබ ආණ්ඩුවට සහාය පළ කළා. එදා ගත් ඒ තීන්දුව ගැන ඔබ පසුතැවිලි වෙනවාද?
අදටත් මම ඒ ගැන තැවෙන්නේ නැහැ. රට ඒ අවස්ථාවේ දරුණු ආර්ථික අර්බුදයකට ගමන් කරමින් තිබුණා. ආහාර අර්බුදයක් නිර්මාණය වෙමින් තිබුණා. මිනිසුන් දවස් ගණන් පෝලිම්වල. ගොවි ජනතාව පාරට වැටිලා. හැම පැත්තකින්ම මිනිසුන් කඩා වැටිලා. උද්ධමනය ඉහළ ගිහින් තිබුණා. මෙවැනි පරිසරයක් තුළ පක්ෂය ගොඩනැඟීම හෝ පක්ෂය ශක්තිමත් කර ආණ්ඩුවක් හදාගන්න වෑයමක් දරනවද? එසේ නොමැති නම් වැටුණු රට ගොඩනැඟීමට පාර්ලිමේන්තුව නියෝජන කරන මහජන නියෝජිතයෙක් ලෙස දිය යුතු දායකත්වය දෙනවාද කියන තීන්දුවට එන්න වුණා. හෘදය සාක්ෂියට අනුව මට රට ගොඩනැඟීම පාර්ශ්වය තෝරන්න සිදු වුණු නිසා එදා මම ඒ තීරණය ගත්තා. එදා රට විශාල ගිනි කන්දක්. එය තවත් අවුළවන්න කටයුතු කරනවාද? එය නිවීමට එක වතුර බිඳුවකින් හෝ දායකත්වය දෙනවාද යන තීරණයට එන්න වුණා මිසක් වරප්‍රසාද අපේක්ෂාවෙන් ගත් තීරණයක් නොවෙයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඡන්දයට ඉදිරිපත් වෙලා ඒ ඡන්දවලින් ජයග්‍රහණය කළ අපි ඒ පක්ෂයට අප්‍රසාදයක් එනකොට පැත්තකට වෙන එක නොවෙයි කරන්න අවශ්‍ය. යම් වැරදීම් සිදුවී තිබෙනවා. ඒ වැරැදි නිවැරැදි කරන්න අවසාන මොහොත දක්වා සටන් කරන්න අවශ්‍යයි. ආණ්ඩුවේ ඉඳලා විපක්ෂයට ගිහිල්ලා වීරයෙක් වෙන්න පහසුයි. නමුත් එහෙම වීරයෙක් වෙලා වැඩක් නැහැ. ජනතාවගේ දුක් කඳුළු ප්‍රාණ ඇපයට තියලා වීරයෙක් වෙනවාට වඩා ජනතාවගේ දුක් කඳුළු වෙනුවෙන් පෙනී සිටින පැත්තේ සිට ගැනීමයි මහජන නියෝජිතයන් කළ යුතු වන්නේ.
පොජපෙ ආණ්ඩුවේ සිටි බොහෝ පක්ෂ අද වෙනත් දේශපාලන බල කඳවුරු ගොඩනඟනවා. මෙය රටේ දේශපාලනික අනාගතයට කෙසේ බලපායිද?
ආණ්ඩු අරගෙන අපි රට වෙනසක් කරමු කියලා සෞභාග්‍යයේ දැක්ම ලියපු අය, ඒ වැඩසටහන් හදපු අය, ගෝඨාභය මහත්තයා ගේන්නම ඕන කියලා කියපු අය, ජනතාව තුළ විවිධාකාරයේ මතවාද ගොඩනඟපු අය තමන්ගේ අපේක්ෂා කරපු දේවල් නොලැබුණාම, හිත් අමනාපකම් නිසා ආණ්ඩුවට යම් අප්‍රසාදයක් ගොඩනැඟුණාම ඒ අප්‍රසාදයට ඒ අය බයේ අනෙක් පැත්තට ගිය පිරිසක් ඉන්නවා. පක්ෂයට ඇතිවෙලා තියන අප්‍රසාදය නිසා ඊළඟට මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට එන්න බැරිවෙයි කියලා මඟහැරලා යන එක හොඳ දෙයක් නොවෙයි. මේ රට වැටුණේ දේශපාලනයෙන් නම් දේශපාලනයෙන්ම මේ රට ගොඩනඟන්න අවශ්‍යයි.
ඔබ පැහැදිලි කරන්නේ ආණ්ඩු පක්ෂයෙන් බිඳී ඇතැම් පිරිස් පක්ෂ සහ සභාග සාදාගන්නේ ඉදිරි මැතිවරණයකදී ඔවුන්ගේ දේශපාලනික අරමුණු ඉටුකර ගැනීමට බව ද?
මේ රටේ බුද්ධිමත් ඕනම අයෙක් දන්නවා, අපි පාර්ලිමේන්තුවට පත් වුණේ වසර පහකටයි. අගෝස්තු 20 වැනිදාට හරියටම ආණ්ඩුව පිහිටුවලා අවුරුදු දෙකයි. එනම් පොජපෙ ආණ්ඩුවට තව අවුරුදු 3ක් ඉදිරියට තියෙනවා. රට ආර්ථික අර්බුදයක ඉන්නේ. අපි නියෝජනය කරන්නේ ආණ්ඩුවේ පාර්ශ්වය. විවිධ හිත් අමනාපකම් තියෙන්න පුළුවන්. නමුත් අර්බුදයක් තියෙන අවස්ථාවකදී සාමූහිකව රටේ ආර්ථිකය ගොඩනඟන්න කටයුතු කරනවාද එසේ නැතිනම් පුද්ගලික අභිලාෂයන් ඔස්සේ අනෙක් පිළකට යනවාද කියලා තීරණය කරන්න අවශ්‍යයි. අපි කණ්ඩායමක් ලෙස එකතු වී රට ගොඩනඟන්න කටයුතු කළ යුතුයි. මේ වෙලාවේ ඊළඟ ආණ්ඩුව ගොඩනඟන්න බලය ගොඩනඟන්න සභාග පක්ෂ හැදීම ජනතා අභිලාෂය නොවෙයි. විශාල කණ්ඩායම් කලබල වෙලා අලුතින් පක්ෂ හදනවා. ජනතාව ඉල්ලන්නේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරුයි. එවැනි දැවෙන ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට ඒ අයගේ අභිප්‍රාය වෙලා තියෙන්නේ ඊළඟට බලය ලබා ගැනීමේ පටු අරමුණයි.
ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ආණ්ඩුවට විශාල ලෙස එකතු වෙමින් සිටීමේ ප්‍රවණතාව ඔබ දකින්නේ කොහොමද?
මම පැහැදිලිව කිවුවා අපි ආණ්ඩුවේ ඉඳගෙන සහාය දෙන්න අවශ්‍යයි කියලා. මම ඒ තීරණය ගත්ත දවසේ පසුවදා පක්ෂ මහලේකම්වරයා මගේ තනතුරු සියල්ල අහිමි කරලා මාව පක්ෂයෙන් ඉවත් කළා. ශ්‍රීලනිපය මෙතෙක් ඉතිහාසයේ ගත්ත වේගවත්ම තිරණය ශාන්ත බණ්ඩාර පක්ෂයෙන් ඉවත් කරන්න ගත්ත තීරණය වෙන්න පුළුවන්. මම පක්ෂය නිසා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ කෙනෙක්. පක්ෂය නිසා තුන්පාරක් ජීවිතය නැතිවෙන්න ගියා. ශ්‍රීලනිපය මේ රටෙන් අතුගෑවිලා යමින් පැවැති පසුගිය කාලයේ බලමුළු හදලා තරුණ කණ්ඩායම් එකතු කළා. මම 10,000ක් කොළඹට ගෙනල්ලා අවුරුදු 14කට පසුව තරුණ සම්මේලනයට නායකත්වය දුන්නා. මම තාම කිසිදු පක්ෂයකට ගියේ නැහැ. එදා පක්ෂය විසින් මෙහෙම තීරණයක් ගත්තේ ඇයි කියලාවත් මගෙන් ඇහුවේ නැහැ.
ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සියලු පක්ෂවලට ආරාධනා කළත් ඇතැම් පක්ෂ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට ඍජු සහයෝගයක් දීම ප්‍රතික්ෂේප කර තියෙනවා. පවතින අර්බුදකාරී අවස්ථාවේදී සිදු විය යුත්තේ කුමක්ද?
නව ජනාධිපතිවරයා අවංකව සියලු පක්ෂවලට ආරාධනා කළා. මේ රටේ ආගමික නායකයන් සහ ජනතාවගේ කැමැත්තක් තිබුණා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනඟන්න. ඉතිහාසයේ සිට ආණ්ඩු පක්ෂය කුමනාකර දෙයක් කළත් විපක්ෂය කකුලෙන් ඇද්දා. පෝලිම් නැති වෙනවාට විපක්ෂය කැමැති නැහැ. අර්බුදයෙන් ගොඩ එනවට විපක්ෂය කැමැති නැහැ. අපේ රටේ සාම්ප්‍රදායික දේශපාලනය වෙලා තියෙන්නේ ජනතා පීඩනය එනවා නම්, ආණ්ඩුව අපකීර්තියට පත් වෙනවා නම් විපක්ෂය කැමැතියි. සියලු පක්ෂ විපක්ෂයේ සිටියදී කටයුතු කරන්නෙ එහෙමයි, ඒ ක්‍රියාදාමය හරහා දේශපාලන බලය ගන්න පවතින ආණ්ඩුව ගැන කලකිරිලා ජනතාව නොසන්සුන් වෙනවා නම් විපක්ෂය කැමැතියි. ජනතාවට දැවෙන ප්‍රශ්න තිබුණ නිසා පසුගිය කාලයේ විපක්ෂය සතුටින් හිටියේ. දැන් ඒ ප්‍රශ්න විසඳෙමින් පවතිනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් අපේ රටක හදන්න අමාරුයි. විපක්ෂයේ ඉන්න සියලු දෙනා බලන්නේ ඊළඟ මැතිවරණයේදි පක්ෂයේ නියෝජිත ප්‍රමාණය වැඩි කර ගැනීමටයි. සත්‍ය එයයි. ආණ්ඩුට සහාය දෙන්න ගිහිල්ලා විපක්ෂ නායකකම නැතිවෙයි කියලා සහ බලය ලබා ගැනීම සම්බන්ධයෙන් ඊළඟ මැතිවරණයේදි මොනවද වෙන්නේ වැනි ගැටලු ඒ අයට තියෙනවා. රටේ ප්‍රශ්න විසඳලා රට ආර්ථීක වශයෙන් ශක්තිමත් කරනවාට වඩා තමන්ගේ පක්ෂය සහ දේශපාලන බල කඳවුර ශක්තිමත් කර ගැනීමටයි උත්සාහ කරන්නේ.රාජ්‍ය පාලනය ගෙන යෑමේ වගකීම තියෙන්නේ ජනාධිපතිවරයාට. ඒ නිසා රාජ්‍ය ඇමැතිවරුන් සහ කැබිනට් ඇමැතිවරුන් පත්කර රාජ්‍ය පාලනය ගෙන යා යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එය එතුමා කළ යුතුයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැඟුවහොත් විපක්ෂයක කාර්ය භාරයක් නැහැ නේද? රටට ප්‍රබල විපක්ෂයක් නැතිවීම දේශපාලනිකව යම් බලපෑමක් තියෙනවා නේද?
සර්ව පාක්ෂික ආණ්ඩුව යම් කාල රාමුවක් තුළයි පිහිටු වන්නේ. සියලු පාර්ශ්ව එකම කණ්ඩායමක් වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. ඒ කාලයෙන් පසුව මැතිවරණයකට යෑමෙන් පසුව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ලෙස කටයුතු කරන්න පුළුවන්. මෙය විශේෂ අවස්ථාවක්. සියලු දෙනාගේ මතවාද එකම මාවතක ගමන් කළහොත් අදහස් උදහස් විවේචනයන් ඇති වෙමින් එක තීන්දුවකට පැමිණිය හැකි වැඩපිළිවෙළකට යා යුතුයි. දේශපාලනික වශයෙන් ආණ්ඩුව ශක්තිමත්. අනෙක් කරුණ නම් මාස හයකින් මැතිවරණය පැවැත්විය යුතුයැයි ඇතැමුන් කියනවා. අපිට ලැබෙන්න තිබෙන ආයෝජන විදෙස් රටවල සහ සහන ණය පහසුකම් එවැනි ප්‍රකාශ කිරීමෙන් නැතිවෙලා යනවා. ව්‍යවස්ථානුකූලව මැතිවරණයකට යා හැකිවන්නේ 2025දී. එසේ නොමැති වුවහොත් දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවෙනවා. මාස තුනකින් මැතිවරණය තියෙනවා කියලා කිවුවොත් මේ රටට ගලාගෙන ඒමට නියමිත ණය හෝ වෙනත් ආයෝජන ලැබෙන්නේ නැහැ. කවුද බලයට එන්නේ කියන කරුණ ආයෝජකයන් කල්පනා කරන නිසා දේශපාලන අස්ථාවරත්වය ඉබේම ඇතිවෙන්න පුළුවන්.
අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වෙනවා නේද?
අරගලය සම්බන්ධයෙන් අපිට කිසිදු විරෝධයක් නැහැ. අරගලය ඇතිවුණේ මහජනතාවගේ පීඩාව නිසයි. නිර්පාක්ෂිකයි කියලා කිවුවත් පසුකාලීනව මේ සඳහා දේශපාලනික මතවාද ගොඩනැඟුණා. ජවිපෙ සහ පෙරටුගාමි පක්ෂ දෙක ඇතුළට ඇවිල්ලා මෙයට වෛරය වැපිරීම සිදු වුණා. මේ අරගලය හොඳින් අවසන් කිරීමට තිබුණත් එය අපි බලාපොරොත්තු රහිත තැනකට අරගෙන ගියා. මැයි නව වැනිදා සිදුවීම මෙන්ම අරගලකරුවන් විසින් කරන ලද ක්‍රියාදාමය නිසා සිදුවූ දේපළ හානි පිළිබඳව තක්සේරු කරලවත් නැහැ. අරගලයක් කිරීම, මත ප්‍රකාශ කිරීම, අදහස් දැක්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලයි. නමුත් ගෙවල් ගිනි තියන්න රජයේ දේපළ විනාශ කරන්න බැහැ. ඒවාට නීතිද ක්‍රියාත්මක කළ යුතුයි. යම් කිසි අරගලකරුවෙක් අසාධාරණ ලෙස දේශපාලනික විදිහට සිරගත කිරීම, දඬුවම් දීමට අපි විරුද්ධයි. නමුත් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරුණු පුද්ගලික දේපළ විනාශ කරපු අයට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
ඩොලර් අර්බුදයට විසඳුම් ලෙස විදෙස් විනිමය ඉපැයීමේ ක්ෂේත්‍රයන් පුළුල් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරනවාද?
මෙහිදී ප්‍රධාන වශයෙන් බලපා තිබෙන කරුණක් නම් ජාතික ආර්ථික සහ සංවර්ධන මාර්ග සිතියමක් අපිට නැහැ. මෙය අපි ගොඩනඟා ගත යුතුයි. පවතින අර්බුදයට මුහුණ දීමට රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා අපි සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමට විශේෂ අවධානය යොමුකර තියෙනවා. එසේම විශාල වශයෙන් විදෙස් විනිමය ලැබුණ අංශයක් ලෙස විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේරණයන් ඒ අය පසුගිය කාලයේ වෙනත් මාර්ගවලින් එවීම සිදු වුණා. ඒ නිසා අපිට සාමාන්‍ය ක්‍රමය යටතේ ලැබුණ ඩොලර් ප්‍රමාණය අඩු වුණා. රජයන් සමඟ ගිවිසුමක් අනුව විදෙස්ගත කිරීමට රජය තීරණය කර තියෙනවා. මෙහිදී කොරියාව, ජපානය වැනි රටවලට තරුණයන් යැවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් ගන්න පුළුවන් මේ රටවලින්. රැකියා සඳහා කොරියානු රජයේ අවස්ථාවක් ඇවිත් තියෙනවා. වෑල්ඩින්, පේන්ටින්, ග්‍රයින්ඩින් අවස්ථාව තියෙනවා. එම රැකියා කාණ්ඩ සඳහා කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය සමත් වීම අනවශ්‍යයි. ඒ අනුව වෘත්තිය දැනුම අනුව විදෙස් ගතවීමට හැකියි. ලංකාවේ මුදලින් පක්ෂ 8 ½ ලබා ගැනීමට හැකියාව තියෙනවා. මේ සඳහා විදෙස් ගත වීමට වැය වන මුදල බැංකු ණයක් ලෙස ලබාගන්න පුළුවන්. රජයේ අනුබද්ධ විදෙස් රැකියා කාර්යංශයට සම්බන්ධ වී මේ සඳහා උපදෙස් ලබා ගත හැකියි. රජයට සම්බන්ධ ඒජන්සි කාර්යාලය මඟින් උපදෙස් ලබා ගත හැකියි. වෘත්තිය පුහුණුව සම්බන්ධයෙන් අවශ්‍ය සහතික ලබාදීමට උපදෙස් එහිදි ලබාගැනීමට හැකියි. වැය වන මුදල වාරික වශයෙන් ගෙවීමට හැකියාව තියෙනවා. වයස අවුරුදු 45ට අඩු විය යුතුයි. කාර්මික පුහුණුව තිබිය යුතුයි. NVQ සහතිකය අත්‍යවශ්‍ය නොවන අතර කාර්මික විද්‍යාලවල වෘත්තීය පුහුණු සහතික තිබිය යුතුයි. මේ සියලු තොරතුරු විදේශ සේවා ප්‍රවර්ධන කාර්යාංශය යටතේ ඇති නාවල කොස්වත්තේ රජයට සම්බන්ධ රැකියා එජන්සිය මඟින් ලබා ගත හැකියි.
රට ගොඩනැඟීමට ජාතික, ආර්ථික සහ සංවර්ධන මාර්ග සිතියම කෙසේ සකස් විය යුතුද?
ජාතික, ආර්ථික මාර්ග සිතියමක් නොමැති වීමෙන් අපිට හැමදාමත් වැටි වැටී නැඟිටීමක් හැර තිරසර සංවර්ධනයක් කරා යන්න බැහැ. අලුතින් ආණ්ඩුවක් පත්වුණාම සංචාරක වැඩසටහන් අලුතින් හදනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පටන් ගන්නවා. විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ මධ්‍යම අධිවේගී මාර්ග හදන්න ආරම්භ කරනවා. නමුත් අනෙක් ආණ්ඩුව පත්වුණු ගමන් කලින් ආණ්ඩුවේ සැලසුම් පැත්තකට දාලා අලුතින් පටන් ගන්නවා. මේ අනුව කවරදාකවත් රටක් ගොඩනඟන්න බැහැ. කිසිදු දිනයක වෙනස් නොවන රට සංවර්ධනය කරා ගෙන යන මාර්ග සිතියමක් අපි සැකසිය යුතුයි. එහිදි ආර්ථිකයේ කළ යුතු වන්නේ කුමක්ද? අධ්‍යාපනය,සෞඛ්‍යය, ප්‍රවාහනය කෘෂි කර්මාන්තය සැලසුම් කරන්නේ කුමක්ද කියලා ඉදිරි වර්ෂ සඳහා මාර්ග සිතියමක් ඇති කළ යුතුයි. එය 2048 දක්වා විය යුතුයි. මේ සඳහා අනිවාර්යයෙන් මේ රටේ සියලු දේශපාලන පක්ෂවල එකඟතාව සහ සහාය තිබිය යුතුයි. ජන නායකයන්, වෘත්තීය විශේෂඥයන්, විශ්වවිද්‍යාලවල විෂය සම්බන්ධ පිරිස් ආදී ප්‍රවීණයන් මේ පරිශ්‍රමය දැරිය යුතුයි. අපේ රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් නැඟිටීමට ජාතික ආර්ථීක මාර්ග සිතියමක් සකස් කළ යුතුයි. ඒ සිතියම ඔස්සේ පත්වන ආණ්ඩු 2048 දක්වා ගමන් කළ යුතුයි. එසේ වුවහොත් 2048 දී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වීම වළක්වන්න කාටවත් බැහැ.
ඡායාරූප - සුදත් නිශාන්ත