
පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට සුවිශේෂ ලේඛක ජනාධිපතිවරයකු පැමිණියේය. මෙරට පළමු විධායක ජනපති ජූනියස් රිචඩ් ජයවර්ධන ලියූ 'ස්වර්ණ සුත්‍ර' වැනි පොත් අපට මතකය. ඒත් ජේ. ආර්. ජනාධිපතිගේ භාර්යාව වූ එලීනා පොත් ලියුවේ නැත. ඊළඟට පොත් ලියපු ලේඛකයකු ලෙස ප්‍රසිද්ධ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාය. ඔහුගේ ආර්යාව වූ 'හේමාවෝද' පොත් ලියුවේ නැත.
පසුගිය බ්‍රහස්පතින්දා පොත් ප්‍රදර්ශනයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහත් ලේඛකයකු බව බොහෝ දෙනකුට අමතකය. ඔහුගේ පියා ජාත්‍යන්තර සම්මානලාභි ලේඛකයකු වු එස්මන්ඩ් වික්‍රමසිංහය. ජනපති රනිල් ලියූ ප්‍රසිද්ධ කෘතියක් නම් දේශපාලනය හා ධර්මයයි. අනාගත අභියෝග තවත් කෘතියකි. රනිල් ජනාධිපතිතුමා 'කවි කියූ' අවස්ථාවක්ද පාර්ලිමේන්තු ඉතිහාසයේ ඇත. රනිල් ජනාධිපතිවරයා පොත් ප්‍රදර්ශනයට පැමිණීම වඩාත් වැදගත් වන්නේ වෙනත් කරුණකටය. ඒ ජනාධිපතිවරයාත් - ආර්යාවත් දෙදෙනාම පොත් ලියු ලේඛකයන් වීම නිසාය. එම නිසා රනිල් ජනපතිගේ පොත් ප්‍රදර්ශනයට පැමිණීම ඓතිහාසික සිදුවීමකි. ජනපති ආර්යාව මෛත්‍රී මෑතකදී ලියූ කෘතිය වන්නේ Policies and programes in sri lanka නම් කෘතියයි.
ජනාධිපතිවරයා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණි විට බොහෝ දෙනා ඔහු ළඟට ආවේ පොත් තෝරා දීමට වඩා ජනාධිපතිවරයා සමඟ 'සෙල්ෆි' ගැසීමය.
පොත් ප්‍රදර්ශනයේදී පොත් පාඨකයන් පොතක් පෙරළා පිටු කිහිපයක් කියවීම සාමාන්‍ය සිරිතය. ඒත් පිටු පෙරළුවත් කියවන්නේ නැති පොත් වර්ගයක් ද ප්‍රදර්ශනයේ තිබුණි. පොත පෙරළුවේ මුද්‍රිත කඩදාසියේ කොලිටිය හෝ ඝනකම බලන්නටය. මේ පොත්වලට කවදාවත් සාහිත්‍ය සම්මාන හම්බ වෙන්නේ ද නැත. මේවාට කියන්නේ එක්සයිස් පොත් කියාය. විවිධ වෙළඳ නම්වලින් තිබුණ මේ එක්සයිස් පොත් සහ ලිපි ද්‍රව්‍ය කුටිවලට ඇතුළු වීමට පෝලිමේ සිටිය යුතුය. සෙනඟ අතරින් ගොස් ඇට්ලස් කුටියට ගොඩ වී එහි කළමනාකරු හමුවූයෙමි.
"දැන් එක්සයිස් පොත්වල ගණන් 200% කටත් වැඩිය වැඩිවෙලා. ගොඩක් අය පරණ ප්‍රයිස් ගහපු පොත් මිටි පිටින් ගෙනියනවා. ඒකයි ඔච්චර සෙනඟ.
අප මුලින්ම ගියේ පොත් ප්‍රදර්ශනයේ ගොඩගේ කුටියටය. අපට අවශ්‍ය වූයේ වැඩියෙන්ම අලෙවි වන පොත දැන ගැනීමටය.
"එරික් ඉලයප්ආරච්චිගේ 'නකුලමුනි' තමයි වැඩි පුරම විකිණුනේ.
"පොත් හත් අටදාහක් ගියාද?" අපගේ ඊළඟ ප්‍රශ්නය විය.
"මැඩම් ආවේ නෑ තාම. ඒක මැඩම්ගෙන් තමයි අහන්න වෙන්නේ."
අප අන්තිමට කළේ එරික් ඉලයප්ආරච්චිට කතා කිරීමය.
"ඔය පොත මුලින්ම ගැහුවේ 500ක්. ඊට පස්සේ එක්සිබිෂන් එකට කලින් 1000ක් ගානේ හතර සැරයක් විතර ගැහුවා.
ගොඩගේ පොත් කුටියෙන් නික්මුණ පසු පරණ පුරුදු මුහුණක් දැකගත හැකි වූයේ ආශීර්වාද ප්‍රකාශන ආයතනයේය. ඒ කුමාර සිරිවර්ධනය.
"මෙතැන නම් වැඩියෙන්ම යන්නේ මං ලියපු 'වැම්පයර් වයිරස්' පොත.
පොත් කීයක් විතර ගියාද?
ගෙනාපු ටික ඉවරයි. දැනුත් කීප දෙනෙක් ඇවිල්ලා පොත ඉල්ලුවා.
කුමාර සිරිවර්ධනගෙන් නික්මුණ මම සුසර පොත් කුටියේ පාඨකයන් වටකරගෙන සිටි ලේඛිකා දර්ශනා ශම්මි හමුවුණෙමි. සුසර ප්‍රකාශන අධිපති අපට කිව්වේ සුසර කුටියේ වැඩියෙන්ම අලෙවි වන්නේ ඇයගේ කෘති බවය. කෘතියේ නම 'විසඹසර' ය.
"මේ මගේ නවවැනි නවකතාව. පොත් 2000 කට වැඩිය අද වෙනකොට විකිණිලා තියෙනවා.
තමන් ආදරය කරන ලේඛකයන්ගේ අත්සන ඇතිව පොතක් තමන් සතු කරගන්න පාඨකයන් දක්වන කැමැත්ත එහිදී අපට දැකගත හැකිවිය.
මේ පොත් කුටි අතර රසිකයන් රොඳ බැඳගත් තවත් කුටි දෙකක් අපට දැකගත හැකි විය. එයින් SRINCO නමැති කුටියේ තිබුණේ තනිකරම ලංකාවේ හදපු ඩයරි කවර සහ ප්ලාස්ටික් ෆයිල්ය. කොහොමත් මේ ප්‍රදර්ශනයේ පොත් අලෙවිය පරයන අලෙවියක් මේ භාණ්ඩවලට ලැබී තිබුණ බව තවත් පැහැදිලි වූයේ ඒවායේ 'කළමනාකරුවන්ට' කතා කරන්නටත් බැරිවන තරමට 'සේල්' එකක් තිබුණ බවය.
ගුණසේන කුටියට අප යන විට එහි වූයේ තරමක තදබදයකි. ඒ ජනපති රනිල් එම කුටියෙන් නික්ම යමින් සිටි නිසාය. එම කුටියේ කළමනාකරු චතුර එරන්දක පොත් අලෙවිය ගැන අදහස් දැක්වූයේ දැඩි උනන්දුවකි.
"වැඩියෙන්ම විකිණෙන්නේ නවකතා සහ පරිවර්තන. මේ ඔක්කොටම වඩා ගුණසේන ශිෂ්‍යත්ව පොත් වගේම ප්‍රයිමරියේ ඉඳන් පහ ශ්‍රේණිය දක්වා ගුණසේන ශිෂ්‍යත්ව පොත් විකිණෙනවා.
එතකොට නිර්මාණ පොත්වලින් වැඩිය යන්නේ මොනවාද?
ශාන්ති දිසානායකගේ කුම්මා, සරත් විජේසූරියගේ හීන නොදකින ජීවිත, මොහාන් රාජ්ගේ නිල්කට්රොල් තමයි වැඩිපුර විකුණුනේ.
ගුණසේන කුටියෙන් පසු අප පිවිසියේ සරසවි කුටියේ කළමනාකරු ජගත් සමරසිංහ හා මහේෂ් ධර්මේන්ද්‍ර හමුවටය. සරසවි කුටියේ සම්මානවලට පාත්‍ර වුණ සම්මානිත පොත් එක්කොට වෙනම මේසයක් සකසා තිබුණි.
'මේ සැරේ වැඩියෙන්ම විකුණුනේ ස්වර්ණ පුස්තක හා විද්‍යෝදය සම්මාන ලැබුණු චන්ද්‍රරත්න බණ්ඩාරගේ ප්‍රේමානිශංස. කීර්ති වැලිසරගේ සන්ධ්‍යානන්දයක්, ශමෙල් ජයකොඩිගේ මගේ චිකාගෝ හදවතත් දෙවැනියට වැඩිම අලෙවියක් තිබුණා.
සරසවි කුටියේ තම රසිකයන් සමඟ කතා බහේ යෙදෙන අතර පුරුදු මුහුණු දෙකක් විණි. ඒ සුනේත්‍රා රාජකරුණානායක සහ සුරත්ද මැල් ය.
මගේ කැන්ඩිමහල්, අරගලම් පොත් දෙක තමයි නිකුත් වුණේ සුනේත්‍රා අප සමඟ පැවසීය. ඇගේ රසිකාවියන්ට ඇගෙන් පොතට අත්සන ගැනීමට වඩා වැදගත් වූයේ සෙල්ෆියක් ගැසීමටය. සුරත්ද මැල් නොහොත් ලාල් ප්‍රේමනාත්ද මැල්ගේ මුණුපුරාගේ පොත් වූයේ සී+ හා තී හා තා ය.
මොකද නමේ 'තිළින' කෑල්ල හැලුවද? "නෑ! නෑ! කවරයක් මුලින්ම ඩිසයින් කළාම සුරත්ද මැල් කියල විතරයි තිබුණේ. මං හිතුවා ඒකත් හොඳයි කියලා.
![]() |
ප්‍රදර්ශනයේදී ජනප්‍රිය අංගයක් බවට පත්ව තිබෙන සෙල්ෆි ගැනීම |
සරසවි කුටියේ කළමනාකරුගෙන් අප අසා සිටියේ පොත් ප්‍රදර්ශනයට මෙච්චර සෙනඟක් එන්නේ කොහෙන්දැයි කියාය.
"කොරෝනාවලට මිනිස්සු අවුරුදු 2ක් තිස්සේ ගෙවල්වලට කොටු වෙලා හිටියා. මම නං දැනගත්තා මේ සෙනඟ එනවා කියලා. ප්‍රාදේශීය සභාවල, පුස්තකාලවල අය එන්නේ ලිස්ට් හදාගෙන. අපි ඕඩරය පාර්සල් කරලා දෙනකම් ප්‍රදර්ශන භූමියේ ගිහින් පොඩි ෆන් එකක් ගන්නවා.
මේ ප්‍රදර්ශන භූමියේ පානීය ජලය නොමිලේ ලබා දී ඇත්තේ ලිවර් සමාගමේ පියුරිට් අනුග්‍රහයෙනි. මැලිබන් සමාගමෙන් නයිස් බිස්කට් 4කුත් චොකලට් බිස්කට් හා 'පෆ්' බිස්කට් එකකුත් නොමිලේ ලබාදුණි. ත්‍රිපෝෂ ගුලියක් නොමිලේ ලබා දෙන්නේ සව් කොළයක ඔතාය. බීම කප් එකක් ද නොමිලේ දෙනු දැකගත හැකි විය. සැපයුම්කරුවන් තරහ වේ යැයි බිය නිසා යන්තම් බිස්කට් 15ක් පමණ කොටා බෑ අතර ත්‍රිපෝෂ ගුලි නම් 3ක් පමණ කන විට බඩ පිරුණේ ය. බඩේ ඉතුරු ඉඩට නෙස්ටමෝල්ට් කෝප්ප 2ක් හලා ගත්තේ පාලමක් යටින් පොල් ලෙල්ලක් ගියා වැනි හැඟීමකිනි.
ඉස්සර පොතක් අවශ්‍ය වූ විට පරණ පොත රැගෙන යා යුතුය. දැන් කරන්නේ 'ස්මාට්ෆෝන්' එකේ ෆෝටෝ එකක් ගසාගෙන ඒමය. පොත නැති වුණොත් කුරියර් මඟින් එවන බව ප්‍රකාශකයෝ කියති. දැන් පොත් අලෙවිය 'අප්ඩේට්' වී ඇත්තේ ඕං ඔහොමය.
පොත් ප්‍රදර්ශනයේ නුඩ්ල්ස්, අයිස්ක්‍රීම් කෙටි කෑම නොහොත් ෂෝට් ඊට්ස් කුටි අසල ඇත්තේ දැඩි තදබදයකි. යෝගට් කෝප්පයට ටිකක් ලොකු නුඩ්ල්ස් කප් එකක මිල රුපියල් 230කි.
"දවසකට නුඩ්ල්ස් 90 විතර යනවා. ගාණ වැඩි හින්දා මේ සැරේ බිස්නස් සවුත්තුයි. වතුර නිකන් හම්බවෙන නිසා බීම බිස්නස් එකත් සවුත්තුයි. ගොඩක්ම විකිණෙන්නේ අඩු ගණන්වල පොප්සිකල්"
![]() |
ප්‍රදර්ශනයට පැමිණෙන දහස් සංඛ්‍යාත පිරිස් අතරින් |
මාර්ටින් වික්‍රමසිංහගේ කුටිය අසලින් යන විට බෙල්ල ඇතුළට දමා වැඩියෙන් යන පොත් මොනවාද අසා සිටියෙමි.
"වැඩියෙන්ම විකිණෙන්නේ මඩොල් දූව, අපේ ගම පොතත් ගම්පෙරළියත් විකිණෙන්නේ ඊට පස්සේ"
මේ පොත් ප්‍රදර්ශනයේ ලේඛක ලේඛිකාවන්ගේ නම් වලින්ම කුටි පවත්වාගෙන යෑම ලේඛකයකු ලෙස ආර්ථික වශයෙන් ජීවිතය ගොඩ නඟාගත හැකි බවට කදිම සාක්ෂියක් වනු නියතය. ඊටත් වඩා රාජ් සෝමදේවගේ යක්ෂි නම් පොත රුපියල් 4000/-ක් වුවත් පොත විකිණී හමාර වී තිබිණි.
ෆාස්ට් පබ්ලිෂිං කුටියේ කළමනාකරු අපට කිව්වේ වැඩියෙන්ම අලෙවි වූයේ දිලීප ජයකොඩිගේ "දෙයියෝ තමයි දන්නේ" කෘතියයි.
විදර්ශන පොත් කුටියේ වැඩිම අලෙවිය තිබුණේ මංජුල වෙඩිවර්ධනගේ මුන්නක්කරේ සංසාරේ කෘතියටය.
"කඩදාසි මිල වැඩිවෙන්න ඉස්සෙල්ලා ගහපු පොත්වලට ඉල්ලුම වැඩියි. කලින් 450ට දුන්න පොත දැන් 1200 කටත් දෙන්න බෑ. අපි හිතුවටත් වඩා දැඩි ඉල්ලුමක් පාඨකයන්ගෙන් පරණ මිලට තියෙන පොත්වලට තියෙනවා. රුපියල් දෙතුන්දාහක අලුත් පොතක වුණත් ඉල්ලුම අඩු වීමක් නෑ.
විදර්ශන කුටියේ ජනක ඉනිමංකඩ මා ඔහුගේ ප්‍රකාශය 'නෝට්' පොතේ ලියා ගනු දැක මවිතයට පත් විය.
"අපි කියන ඒවා ලියා ගන්නව දැක්කේ කාලයකට පස්සේ. ගොඩාක් අය කරන්නේ රෙකෝඩ් කරගෙන යන එක. අන්තිමට කියපු එක නෙමෙයි පළ වෙන්නේ. ඔය ලියා ගන්න එක තමයි ලෝකයේ පිළිගත් සම්ප්‍රදාය.
මෙම පොත් ප්‍රදර්ශනයේ "බණ්ඩාරනායක කෞතුකාර ප්‍රකාශන" කුටියක් ද ඇත.
ඒ කුටියේ ඇති පොත් අතර විජය කුමාරතුංග ගැන වෛවර්ණ පොතක්, චන්ද්‍රිකා ගැන පොතක් හා බණ්ඩාරනායක මැතිනිය ගැන සිරිලක සිරිකත පොතක් ද කැපී පෙනුණි. එහි අලෙවි නිලධාරියා කිව්වේ තමන් මෙම ප්‍රදර්ශනයට එක් වූයේ මුල් වරට බවය.
මෙහි ඇති බණ්ඩාරනායක මහතාගේ දේශන ඇතුළත් පිටු 637 ලොකු පොතක පැරණි මුද්‍රණයක් අලෙවියට ඇත. පොතේ මිල රුපියල් 500/-කි.
පොත් ප්‍රදර්ශනයේ වෙළඳ කුටි අතර අමුතුම වෙනසක් දැකගත හැකි වූයේ සමුද්‍ර පොත් කුටියේය. ඔවුන් අලුත් වැඩකට අතගසා තිබුණි. වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යයන කටයුතුවලට අවශ්‍ය ආනයනික අධි මිල පොත් ලංකාවේ මහාචාර්යවරුන් ලවා ලියා ප්‍රකාශයකට පත් කිරීම මේ අලුත් කාර්යයි. එහි කළමනාකාරිණී සමුද්‍රිකාද සිල්වා මේ ගැන අපට පහදා දුන්නාය.
දැන් එංගලන්තෙන් ගේන පොතක් රුපියල් 25,000/- විතර වෙනවා. ඩොලර් ප්‍රශ්නය නිසා පොත් ගේන්නත් බෑ. ඒ නිසා විශේෂඥ වෛද්‍යවරු පිරිසක් එක්ක අපි මේ පොත් ලංකාවේ නිෂ්පාදනය කළා. දැන් ඒ පොතක් රුපියල් 8,000/- කට අපෙන් ගන්න පුළුවන්.
මේ ප්‍රදර්ශනයේ ඉංග්‍රීසි පොත් විශේෂයෙන් තිබුණේ විජිත යාපා කුටියේය. එහි කළමනාකරු පවසා සිටියේ පොත් ආනයනය නොවන බැවින් දැනට අලෙවි වන්නේ කලින් ගෙනා තොග බවය. වෙනදා පොත් පිරී තිබෙන Bargain කුටියේ තිබුණු පොත් කිහිපය ද තේරී - තේරී ඉතුරු වී තිබුණු ඒවා විය. මෙම ප්‍රදර්ශනයේ දෙමළ පොත් දැකගත හැකි වුයේ කුමරන් හා ජෙයා බුක් සෙන්ටර් කුටිවලය. එම පොත් ද කලකට පෙර ආනයනය කළ ඒවා බව කළමනාකරුවන් අපට පවසන ලදී. මේ අතර ගල් අරක්කු හිස් බෝතල් විකුණන පොත් කුටියක් ද විය. ටිකක් ළං වී බැලූ විට පෙනී ගියේ එම අරක්කු බෝතලයේ ඇත්තේ කුඩා කඩදාසිවල ලියා රෝල් කළ කවි රෝල් 40 ක් බවය. අති විශේෂ කවි බෝතලයක මිල රුපියල් 420/-කි.
පොත් ප්‍රදර්ශනය බ්‍රහස්පතින්දා නැරඹූ ජනපති රනිල් පැවසුවේ ලංකාවෙන් විදේශවලට ගෙන ගිය පොත්පත් හා ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් 75 වන නිදහස් සමරුවට සමගාමීව පවත්වන බවය. පොත් ප්‍රදර්ශනයේ කොයි කුටියකවත් වැඩියෙන් විකුණුනා යැයි කියන පොතේ නිවැරැදි අලෙවි සංඛ්‍යා ලේඛන දුන්නේ නැත. පොත් අතරින් වැඩිම අලෙවිය ගැන නිවැරැදි සංඛ්‍යා ලේඛන දුන්නේ එක්සයිස් පොත් අලෙවි සමාගම් පමණි. වැඩියෙන්ම අලෙවි වූ පොත පිටු 120 තනි රූල්ය. ඒ නිරවුල් සංඛ්‍යා ලේඛන මත කොළඹ පොත් ප්‍රදර්ශනයේ නවකතා, පරිවර්තන පොත් අලෙවිය අභිබවා පිටු 120 තනි රූල් පොත විකුණුන බව පැවසුවොත් පොත් ප්‍රදර්ශනයේ අරමුණ අවතක්සේරුවට ලක්කොට කුහක සම්ප්‍රදායෙන් කළ නිර්වචනයක් වනු නියතය. ඊටත් වඩා පොතක් මිලදී ගන්නවාට වඩා තමන් කැමති පොත සමඟ සෙල්ෆියක් ගසා මුහුණු පොතට දැමීමේ උපසංස්කෘතියක් ද මෙම ප්‍රදර්ශනයේදී අපට දැක ගත හැකි විය.
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නෙ