
පණ්ඩිතගේ දොන් ඇලෙක්සැන්ඩර් තවත් අධ්‍යක්ෂවරු තිදෙනෙක් හා ජර්මන් ජාතික ව්‍යාපාරිකයකු හා එක් ව ඇරඹි ඩිමෝ ආයතනය මේ වන විට දෙස් විදෙස් ව්‍යාපාර රැසක එකතුවකි. එහි වත්මන් සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂවරයා වන්නේ රන්ජිත් පණ්ඩිතගේ ය.
රන්ජිත් පණ්ඩිතගේ ජර්මනිය හා සහසම්බන්ධතාව වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූවෙක් වන අතර, ආනන්ද පද්ම සම්මානය ද ලැබූවෙකි. ඩිමෝ ආයතනය මේ තත්ත්වයට ගෙන ඒමේ ලා විසල් කාර්යභාරයක් කළ රන්ජිත් පණ්ඩිතගේ මෙවර කඩඉමට සිය දිවිසැරිය මෙසේ එක් කළේය.
- මම පුතා කියලා තාත්තා ආයතනයේදී මට කිසිම විශේෂ සැලකිල්ලක් කළේ නෑ
- අපි උසස්වීම් දෙන්නෙ සුදුසු අයට පමණයි; සුදුසුකම් ඇරෙන්න වෙන කිසිම දෙයක් උසස්වීම්වලට බලපෑම් කරන්නෙ නෑ
- ඕන තැනක ගිහින් හරියට ජීවත්වෙන පාඩම මට ආනන්දෙන් ලැබුණා
සම්පූර්ණ නම
අශෝක රන්ජිත් පණ්ඩිතගේ
උපන්දිනය
1947 ඔක්තෝබර් 01 වැනිදා
ගම්පළාත
තිඹිරිගස්යායෙ මම උපදින්නෙ. හැබැයි මම ජීවත් වුණේ කළුබෝවිල
අම්මා, තාත්තා ගැන කතා කළොත්
අම්මා ගුණවතී වදාසූරිය, තාත්තා පණ්ඩිතගේ දොන් ඇලෙක්සැන්ඩර්. මගේ පියා තමයි මේ ආයතනය පටන් ගත්තේ. මගේ පියා, තව මහත්වරු තුන්දෙනෙක් සහ ජර්මන් ජාතිකයෙක් වුණු හෙලර් එක්ක එකතු වෙලා තමයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ.
සහෝදර සහෝදරියන්
අපේ පවුලෙ ඔක්කොම අටයි. මම තුන්වැනියා.
පාසල් යන්නෙ
කොළඹ ආනන්දෙට තමයි ගියේ.
පාසල් කාලෙ බාහිර වැඩ කළාද?
ක්‍රීඩා විදියට කළේ පිහිනීම. රග්බි වගේ තවත් බොහෝ ක්‍රීඩා කළා.
කොහොමද පාසලේදී අධ්‍යාපනයට දැක්වූ උනන්දුව
මම ඇත්තට ම එහෙම ගොඩක් දක්ෂ සිසුවෙක් නොවෙයි. උසස් පෙළ කළේ නෑ මම. මම විද්‍යා විෂයයන් තමයි කරන්න හිතාගෙන හිටියෙ. ඒක හරි ගියේ නෑ. විද්‍යා විෂයයන් කරන්න ක්‍රෙඩිට් පහක් ගන්න ඕනනෙ. මට ඒක ගන්න බැරිව ගියා. ඉතින් මම අවුරුදු 18 දී ජර්මනියට ගියා.
කොහොමද ජර්මනියට යන්න පාර කැපෙන්නේ
මගේ තාත්තාගෙ ජර්මන් යාළුවො බිස්නස්වලට ලංකාවට ආව වෙලාවෙ මාවත් එක්ක ගෙන ගියා.
ජර්මනියෙදී මොකද කළේ. උසස් අධ්‍යාපනයට යොමු වුණාද?
මගේ තාත්තාගේ යාළුවන්ට ඕන කළේ මාව ඉංජිනේරුවරයකු කරන්න. ඒක කරන්න ඕන කරන සුදුසුකම් මට තිබුණෙ නෑ. මොකද මට උසස්පෙළ තිබුණෙ නැහැනේ. ඒනිසා මට ජර්මනියෙදි ඒ සුදුසුකම හදාගන්න අවශ්‍ය කරන පාඨමාලාවකුත් කරන්න වුණා.
ලංකාවෙ උසස්පෙළ කරලා තිබුණා නම් හොඳයි කියලා හිතුණද?
එදා තමයි මට හරියට ඇඟට දැනුණෙ මම උසස්පෙළ කරලා හිටියා නම් කොච්චර හොඳද කියලා. සෙල්ලම් කර කර විතරක් ඉඳලා මදි කියලා දැනුණා.
කොහොමද ඒ කඩඉම ජයගත්තෙ.
ආනන්දෙන් දීපු ශක්තිය තිබුණා. ඕන තැනක ගිහින් හරියට ජීවත් වෙන පාඩම මට පාසලෙන් ලැබිලා තිබුණා. ඉතින් මම ඉගෙන ගන්න පටන් ගත්තා
මොනවද කළ පාඨමාලා
මම කළේ රසායන ඉංජිනේරු පාඨමාලාවක්. ඒක වුණේ මෙහෙමයි. ලංකාවේ ඔක්කොම සිමෙන්ති කම්හල් ජර්මන් ආයතනවලින් කළේ. ඒ ආයතනෙ කාණ්ඩෙ ඇවිත් හිටියා පුත්තලම් සිමෙන්ති හදන්න. මගේ තාත්තා දවසක් කතා කරලා ඒ ආව ලොක්කන්ට කතා කරලා කිව්වා, මගේ පුතා කිසිම වැඩක් නැති ළමයෙක් වගේ සෙල්ලම් කර කර ඉන්නවා, මොනවා හරි කරන්න බැරිද කියලා. එයාල තාත්තාට කිව්වා අපි කවදහරි මෙයාව හොඳ ඉංජිනියර් කෙනෙක් කරමු කියලා. 1972 දි මම පාඨමාලාව ඉවර කළා. එතකොට මට අවුරුදු 25යි.
ජර්මනියෙදි රස්සාවක් කළාද?
ඒ කාලෙදි මට ලංකාවට එන්න කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නෑ. එහේදී විශ්වවිද්‍යාලයෙන් පිට වෙද්දි ම රස්සාවක් හම්බ වෙනවා. ජර්මනියෙ රැකියා ක්ෂේත්‍රය විශ්වවිද්‍යාලෙ එක්ක හරිම සම්බන්ධයි. මම හොඳට විභාගෙ එහෙම කළ නිසා මට ආරාධනා ලැබුණා විශ්වවිද්‍යාලෙන් පිට වෙද්දි ම රැකියාවකට
ලංකාවෙ විශ්වවිද්‍යාල පද්ධතිය වෘත්තියවේදීත්වයත් එක්ක ගනුදෙනු කරනවට වඩා ජර්මනිය වෙනස් නේද?
වෘත්තිය ඉලක්ක එක්ක විශ්වවිද්‍යාල අධ්‍යාපනය බොහෝම සමීපයි. ඒකයි විශ්වවිද්‍යාලෙන් ඉවත් වෙන විටම රස්සාව ලැබෙන්නෙ.
1973 වගේ කාලෙකදි ලංකාවේ ව්‍යාපාර තත්ත්වය මොන විදියට ද සැකසිලා තියෙන්නෙ
ඒ කාලෙත් මේ වගේ භාණ්ඩ ගෙන්වන ප්‍රශ්න තිබුණා. තරුණ නැගිටීම් තිබුණා. අපේ ව්‍යාපාරයේ හිටියා ජර්මන් කොටස්කාරයන්. ඔවුන් ඔයාට ලංකාවේ කරන්න වැඩ තියෙනවා කියලා මාවත් ලංකාවට අරන් ආවා.
ලංකාවට එන්නෙ ඔබ ඉංජිනේරුවරයෙක් විදියට.
තාත්තා ආයතනයේ ලොකු තනතුරක් දෙන්න ඇති
නෑ. තාත්තා මාව එහෙම එකපාර ලොකු තනතුරකට දැම්මෙ නෑ. කළමනාකරණ පුහුණුවන්නෙක් ලෙසයි මාව බඳවා ගත්තේ. ඒ වුණාට මේ කොම්පැණියේ ඒ වෙනකොට උපාධිධාරියො විදියට හිටියෙ මමයි, වරලත් ගණකාධිකාරීවරයෙක් වුණු අම්බානිත් විතරයි. කොටින් ම මම අපට භාවිතයට දීලා තිබුණු වැසිකිළිය ටිකක් අපිරිසුදු වෙලා තිබුණු දවසක තාත්තාගෙන් තාත්තගේ බාත්රූම් එක පාවිච්චි කරන්න අවසර ඉල්ලුවා. මට අවසර දුන්නෙ නෑ, ඒක ඔයාට පාවිච්චි කරන්න බැරි නම් අනෙක් අයටත් බෑනෙ, ඒකට පිළියමක් යොදා ගන්න කිව්වා. තාත්තා මට කිසිම විශේෂත්වයක් කළේ නෑ.
මොකද හිතුණෙ. කොහොමද ඔබ මේ වෘත්තිය ජීවිතයට අවතීර්ණ වුණේ?
මම තේරුම් ගත්තා. ජර්මනියේ විදියටනෙ මම හැදිලා හිටියෙ. හැමදේම පිළිවෙළට ඕන. නැත්නම් මට අමාරුයි වැඩ කරන්න. පාරෙ ඇවිද්දත්, කාර් එක එළෙව්වත්, ආයතනෙ වැඩ කළත් මට හැමදේම පිළිවෙළට ඕන. මගේ මවුපියෝ වගේ ම මගේ පාසලත් මට හරියට ජීවත් වෙන විදිය ඉගැන්වුවා. මිනිස්සුන්ට ගරු කරන්න අපි ඉගෙන ගත්තා. ඒ නිසා ඒ දේවල් අසීරු වුණේ නැහැ.
ආයතනයෙත් එහෙමද?
ඔව්, මම මේ අයට කියලා තියෙන්නෙ එහෙම හැදෙන්න. මගේ ආයතනෙ අයට මම නිතර කියන දෙයක් තමයි අපි ඩිමෝ වර්ගයේ අය කියලා. මම මෙහෙට එනකොට මුළු ආයතනයේ ම හිටියෙ නෑ 150ක්වත්. දැන් 2000ක් විතර ඉන්නවා. මම එද්දි තිබුණෙ මේ ප්‍රධාන කාර්යාලය තියෙන තැන විතරයි. දැන් ලංකාව පුරා ශාඛා තියෙනවා.
පුහුණු කළමනාකරුවෙක් විදියට පටන් ගන්න ඔබ කොහොමද පියවරෙන් පියවර ඉදිරියට යන්නෙ.
ලංකාවෙ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නෙ දියව්.. දියව්... කියලනෙ. මගේ තාත්තා මට පොඩ්ඩක් මෙතන ඇඟිල්ල ගහගන්න දුන්නා විතරයි. මම හැබැයි එදාම හිතුවා මම තාත්තගෙන් පස්සෙ එතනට එනවා කියලා. තාත්තට තනි අයිතිය නෑ. තව අධ්‍යක්ෂ මහත්වරු ඉන්නවා. ඩිමෝ එකට තියෙනවා ජර්මන් අයත් එක්ක සම්බන්ධ ආයතන. අපේ වර්ක්ෂොප් එකේ අය පුහුණු කරන්න ජර්මන් අය ලංකාවට ආවම මම ඒ සුද්දො එක්ක ෆැක්ටරියෙ වැඩ කරන්න යනවා. ඒ අය මාත් එක්ක බොහොම හිතවත් වුණා. ඔවුන් අපේ අධ්‍යක්ෂ මහත්වරුන්ගෙන් ඉල්ලා සිටියා, රන්ජිත් තමයි අපේ වැඩ බලා ගන්නෙ, ඒ නිසා රන්ජිත් හොඳයි කියලා. තරුණ අයටත් මම කියන්නෙ දෙනකම් බලන් ඉන්න එපා, තමන් දැනගන්න ඕන ඒක ගන්න. අවස්ථාව අරන් ඉදිරියට යන්න තමන්ට පුළුවන් වෙන්න ඕන.
කොහොමද වෘත්තීය ජීවිතේ අත්දැකීම් සම්පාදනය වෙන්නෙ
ඒ කාලෙ කෙටි තරංග රේඩියෝ මධ්‍යස්ථාන හදන ව්‍යාපෘතිය කළේ ජර්මන් ආණ්ඩුවෙන්. සීමන්ස් කියන ආයතනයෙන් කළේ. ඒ සුද්දො ලංකාව පුරා ඇන්ටනා දාන්න යද්දි තාත්තා මාව තමයි එයාලා එක්ක යැව්වෙ. 1975 විතර කාලෙ. අපි ගියා අම්පාරට. මම රෙස්ට් හවුස් එකට ගිහින් දොර ඇරියම ඒක ඇතුළෙ හරකෙක්. එච්චර ජරාව. පස්සෙ හොයලා හොයලවත් හොඳ තැනක් හොයා ගන්න බැරි වුණා. මමයි ඒ සුද්දයි නිදා ගත්තෙ එයාගෙ ෆොක්ස්වැගන් වෑන් එක ඇතුළෙ. ලංකාව පුරා ඇවිදින්න මට ලැබුණා.
මුල්ම වැටුප කීයද?
රුපියල් 2500යි. ඒ කාලෙ ඒක ලොකු ගාණක්. මට ජර්මනියෙන් ඒ කාලෙ ඩොයිෂ්මාර්ක් 3000කට රස්සාවක් ලැබිලා තිබුණෙ. ඩොයිෂ් මාර්ක් එකයි රුපියලයි එක ගාණ වගේ ඒ වෙද්දි. මම ඉතින් තාත්තට කිව්වා මදි කියලා. තාත්තා කිව්වා ඒ හොඳටම ඇති කියලා. හැබැයි පාවිච්චියට කාර් එකක් දුන්නා.
ඔබ ජපානයට යනවා 1974 දි
ඔව්. මට ශිෂ්‍යත්වයක් ලැබුණා හය මාසෙකට ජපානෙට යන්න. එහේ ගිහින් මම ඵලදායිතාව, කාල කළමනාකරණය වගේ දේවල් ඉගෙන ගෙන ආවා.
සේවකයන් එක්ක ගනුදෙනුව කොහොමද
අපි සහෝදරයෝ වගේ වැඩ කරන්නෙ. මම මේ අයට කියන්නෙ මට සර් කියන්න එපා කියලා.
මොකද්ද වෘත්තියෙදි ඔබේ ප්‍රතිපත්තිය
බොරුවක් කියලා ඇණයක්වත් විකුණනන්න එපා කියලයි මම කියන්නෙ. මට බොරුව පේන්න බැහැ. කොච්චර වැරැද්දක් සිද්ධ වුණත් මට ඇත්ත කියනවා නම් එ්වා එච්චර දේවල් නොවෙයි. ඩිමෝ වැඩකරන අය විනය අතින් බොහොම හොඳ අය. අපි ඉදිරියට ගන්නෙ සුදුසු අය පමණයි. සුදුසුකම් ඇරෙන්න වෙන කිසිම දෙයක් ඒකට බලපෑම් කරන්නෙ නෑ. අපේ දියුණුවේ එක රහසක් ඒක. මේ දේවල් පිළිෙවළට හා නිවැරැදිව අපේ මානව සම්පත් අංශය කරනවා.
පවුලේ දරුවන් අට දෙනෙක් ඉද්දි තාත්තාගේ ව්‍යාපාරය කරගෙන යන්නෙ ඔබ. කොහොමද ඒක වුණේ.
මට ඒකට වාසනාවක් තිබුණා. වැඩිමල් අක්කා වැවිලිකරුවකු එක්ක විවාහ වුණේ. ඉතින් එයා වැඩිහරියක් හිටියෙ වතුවල. දෙවැනි අයියා ජර්මනියෙ ජීවත් වුණේ. තුන්වැනියා මම. ඊළඟ මල්ලී මොහාන් හේලීස් ආයතනයේ සභාපති. අනික් නංගී රැකියාවක් කළේ නෑ. එයා බැන්දේ හේලීස් එකේ හිටපු සභාපති කෙනෙක් වුණු සුනිල් මෙන්ඩිස්. ඔහු මහ බැංකුවේ සභාපති වෙලත් හිටියා. අනෙක් මල්ලී ජර්මනියෙදි කාර් අනතුරකින් නැති වුණා. ඊළඟ මල්ලී ඩිමෝ එකේ ප්‍රධාන විධායක නිලධාරී. බාල සහෝදරයා වෛද්‍යවරයෙක්. ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නෙ. ඉතින් මම තාත්තා එක්කම මුල ඉඳලා ව්‍යාපාරික කටයුතු කරගෙන ආවා.
ඔබ කෘෂිකර්මය පැත්තටත් ආයතනය යොමු කරනවා.
මට සිහින ගොඩක් තිබුණා. ලංකාව දූපතක්නෙ. මම කැමැත්තෙන් හිටියා බෝට්ටු හදන්න සහ ඒ ආශ්‍රිත වැඩවලට. ඒවගේම කෘෂිකර්මය දියුණු කරන්නත් මට ආශාව තිබුණා. මම ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවක් ඇරඹුවා. අද වෙනකොට පොහොර නිෂ්පාදනය, පොහොර ගෙන්වීම, බීජ ගෙන්වීම සම්බන්ධ ප්‍රමුඛ වැඩ කොටසක් කරනවා. ඒක බොහොම විද්‍යානුකූලව අපි කරන්නෙ. ළඟදි අපි ජර්මන් කොම්පැණියකුත් ගත්තා. කාබනික පලතුරු නිෂ්පාදනය කරලා පිටරට යවන්න. පොල් කර්මාන්තයටත් අපි යොමු වුණා. අපිට වෘත්තීය පුහුණු පාසලකුත් තියෙනවා.
මොනවද හැරවුම් ලක්ෂ්‍යය ජීවිතේ.
මගේ අක්කා තමයි මාව ජර්මනියට යවන්න කියලා තාත්තාට කිව්වෙ. මෙහේ හිටියොත් මොනවත් කරන එකක් නෑ. එහේ ගියත් මට ගෙදර එන්න ඕන වුණා. එතකොට අක්කා මට කතා කරලා කිව්වා, ලැජ්ජා නැද්ද ගියපු එකේ අවුරුදු දෙකක්වත් ඉඳලා එන්න කියලා. එදා මම හිතුවා මම ඉගෙනගෙනම තමයි ආයෙත් එන්නෙ කියලා. ඒක හැරවුම් ලක්ෂ්‍යයක්.
විවාහ වෙන්නෙ කොයිකාලෙද? කොහොමද ඇයව හමු වෙන්නෙ. ඇගේ නම එහෙම
ඇගේ නම ජීවනී. ඇය රැකියාව කළෙත් ඩිමෝ එකේමයි. එයා මම ඩිමෝ එකට එනකොට මේකෙ ගණකාධිකාරීවරිය ඇය. 1981 දී අපි විවාහ වුණා
දරුවන් ගැන
අපට ඉන්නෙ දුවයි, පුතයි. දුව මයුකාට දැන් දියණියන් දෙදෙනෙක් ඉන්නවා. පුතා රජිව්ට ඉන්නෙ පුතාලා දෙන්නෙක්.
විවේක වෙලාවට මොකද කරන්නෙ
මට තියෙන ලොකුම සතුට මගේ දරුවො සහ දරුවන්ගෙ දරුවන් එක්ක ඉන්න එක. අපේ ජීවිතේ ගෙවෙන්නේ හමුවීම්, ප්‍රිය සම්භාෂණ එක්කනෙ. ඒ නිසා ඉඩ ලැබෙන වෙලාවට කැමැති පවුලේ අය එක්ක ගත කරන්න. ඒවගේම මම ක්‍රිකට් මැච් බලන්න කැමැතියි. ජර්මන් පාපන්දු තරග බලනවා. මම හරි ආසයි උයන්න. කෑම හදන්න, ඒවා අත්හදා බලන්න මම කැමැතිියි.
තවමත් පිහිනීම් කරනවද?
ඔව්, මම ජිම් එකට යනවා, පීනන්න යනවා. ඒ දේවල් තාමත් කරනවා.
පොත් කියවනවද?
මම ගොඩක් කැමැතියි පොත් කියවන්න. ඒත් මට වෙලාව මදි ඒකට.
සංචාරය කරන්න කැමැති කොහේද?
ලංකාවේ ඕනෑම තැනක මම ඇවිදින්න කැමැතියි.
සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩඩ් ද පාවිච්චි කරන්නෙ
ඔව්. ඇත්ත. එහෙම පාවිච්චියක් තියෙනවා පොඩි කාලෙ ඉඳන්.
මොනවද ඉදිරි බලාපොරොත්තු
හැමදාම උදේ නැගිට්ටම මම කල්පනා කරන්නෙ මට තව දවසක් ලැබිලා තියෙනවා මොනවා හරි හොඳ කරන්න කියලා. මම කැමැතියි පොඩි විදියට හරි කමක් නෑ මේ රටේ මිනිස්සුන්ට ඇත්ත කියලා ජීවත් වෙනවා නම්.
ඡායාරූප - සුදත් නිශාන්ත