
හාත්පස නිල්ල ගැහී අතුපතර විහිදුවාගත් වනස්පතීන්ය. එක පැහැර නැඟෙන රෑහි හඬ වාහනයේ කඨෝර ශබ්දය යටපත් කර ඇත. තුරුපතර මතින් මතුව නැගෙන නැවුම් සුවඳක් සහිත සුළං රැළ්ලකින් ළය පුරවා ගනිමි. මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළ තුරු වදුළු අතරින් විහිදී ගිය ගුරුපාර දිගේ විවෘත ජීප් රථය අප රැගෙන ගමන් කරමින් ඇත.
ඈතින් මින්නේරිය මහා වාපියේ වෑ පිටිය ය. ඒ තුමුල දියවර මේ ජාතියේ ජීව රුධිරය බව කිව යුතුය. මහසෙන් රජු අතින් ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසේ දී ඉදිවූ මේ මහා වාපී කර්මාන්තය ස්වාභාවික පරිසරයට බද්ධව එහිම කොටසක් වූ ආකාරය ගැන බ්‍රෝහියර් විසින් පසු කලෙක “ බ්‍රෝහියර් දුටු ලංකාව” කෘතියේ සටහන් කර තිබූ වග මතකය. ඔහුට අනුව ඉදිකළ දින සිට පුරා වසර එක්දහස් අටසීයක් වෑකන්ද බිඳී නොගොස් අඛණ්ඩ කෘෂිකාර්මික අවකාශයක් සැදූ ලංකාවේ ඇති එකම විසල් වාපිය මින්නේරිය වැවය. අනුරාධපුර මහා විහාරය සමතලා කර උඳු වැපිරූ බවට මහා වංසයේ පැනෙනා මහසෙන් රජු මින්නේරි දෙවියන් වී තවමත් මින්නේරි වැවේ වෑකන්ද මත මිනිසුන්ගේ වන්දනාවට පාත්‍ර වී ඇත්තේ කුමක් නිසාදැයි මේ වැවේ වෑ දියවර දකින විට වැටහේ.
වෑ පිටිය වනසතුන්ගේ නිදහස් බිමකි. එහි අඛණ්ඩත්වය නැති වන්නේ අප වැනි ගමන්කරුවන්ගෙනි. ඈත වන අලි රංචු සරමින් ඇත. වසරේ සෑම වකවානුවකම සිය ගණනින් යුතු වන අලි නැරඹිය හැකි ආසියාවේ එකම වනෝද්‍යානයේ අසිරිමත් දැකුම දැන් අප අබියසය. ඒ විසල් වන අලි රැළ දෙස ඇසිපිය නොසලා බලා ඉන්නට සිතේ. අලි සිඟිත්තාගේ සිට අඩි 8කට වඩා උස සද්ධන්තයෝ වෙති. මා ඉදිරියෙන් තවත් සෆාරි රථ පෙළකි. එම රථවල සිටිනා විදේශිකයන් අමන්දානන්ද කරන ඒ අසිරිමත් දැකුම ඔවුන්ට විස්මයකි.
ලෝක සංචාරක දින සැමරුම
එළඹෙන 27 වැනිදාට ලෝක සංචාරක දිනය යෙදී තිබේ. බරපතළ විනිමය අර්බුදයක ගිලී ඇති රටට අනාගත ආර්ථික සැලසුම වෙනුවෙන් ප්‍රධාන විනිමය උත්පාදන මාර්ගය ලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වගකීමේ නිශ්චිත ප්‍රමාණයක් අප සියලු දෙනාගේම හිස් මත පැටවී තිබේ.
මේ පසුබිමේ දී ලෝක සංචාරක දින සැමරුමේ ප්‍රධාන උත්සවය සංවිධානය වන්නේ හබරණය. සංචාරක අමාත්‍යාංශය, සංචාරක සංවර්ධන අධිකාරිය සහ පළාත් සංචාරක අමාත්‍යාංශ ඒකාබද්ධව කෙරෙන ව්‍යාපෘතියක් ලෙස මෙවර හබරණ තෝරා ගැනීම සඳහා වූ සුවිශේෂී හේතු ගණනාවකි.
මධ්‍යම පළාතේ මෙන්ම උතුරුමැද පළාතේ ප්‍රධාන සංචාරක ප්‍රවේශ වෙත හබරණ නුදුරුය. අතිමහත් සංචාරක ආකර්ෂණයක් සහිත සීගිරියට මෙන්ම මින්නේරිය කවුඩුල්ල ජාතික වනෝද්‍යානයන්ට ද හබරණ පහසු ප්‍රවේශයකි. මින්නේරිය යනු කවුඩුල්ල වස්ගමු අලි කොරිඩෝවේම කොටසකි.
ඊට අමතරව තවමත් දුර්වර්ණ නොවූ හබරණ අවට ගම්වල ජන ජීවිතය සංචාරක ආකර්ෂණය දිනාගත් පැකේජ බවට පරිවර්තනය කර ගැනීමට සමත් වූ නිර්මාණශීලි මිනිසුන් හබරණට අනන්‍ය සංචාරක කලාවක් නිර්මාණය කර ඇත.
රටේ ප්‍රධානම විනිමය බලාපොරොත්තුව ලෙස සංචාරක කර්මාන්තයේ ඉලක්ක සඵල කර ගැනීමට මේ වසරේ සංචාරකයින් මිලියනක් රට තුළට ගෙන්වා ගැනීම පරමාර්ථ කොට සැලසුම් සකස් වූ බව උතුරු මැද පළාත් සංචාරක අමාත්‍යාංශයේ සංචාරක අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත බෝපගේ කීවේය.
ගෙවුණු මාස 08 තුළ සංචාරකයෝ 4,96,430 පැමිණයහ. ඒත් බහුතරය ඉන්දියානුවන්ය. රටට පැමිණි ඉන්දියානු සංචාරකයන් ගණන 80,132කි. දෙවනුව එක්සත් රාජධානියෙනි. පැමිණි ගණන 65 655 කි. රුසියානුවෝ 49747 ද ජර්මන් ජාතිකයෝ 40 359 ද පැමිණ සිටියහ. පසුගිය අගොස්තුවේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් ගණන 37 760කි. 2018 අගෝස්තුවේ මෙරටට සංචාරකයින් දෙලක්ෂ තුන්සිය පනස් නවය (200 359)ක් පැමිණ තිබිණි. එම වසරට සාපේක්ෂව 2022 අගය සියය 81.5ක බිඳවැටීමකි. මේ බිඳවැටීම යථාවත් කර ගැනීමේ බරපතළ අභියෝගය රට ඉදිරියේය.
“ලබන මාස තුන තුළ සංචාරකයන් ලක්ෂ 5ක් 6ක් ගෙන්වා ගැනීමයි අපට තිබෙන ආසන්නම අභියෝගය... “උතුරු මැද පළාත් සංචාරක අමාත්‍යාංශයේ සංචාරක අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත බෝපගේ කීවේ එසේය.
හබරණ සූදානම
ඒ අභියෝගය සඳහා හබරණ සූදානම්ය. සංචාරක ප්‍රවර්ධනය සඳහා භූමියේ වැදගත්කමට සාපේක්ෂව හබරණ කේන්ද්‍ර කර ගනිමින් සංචාරක පහසුකම් සැලසී ඇත්තේ ආකර්ෂණීය අයුරිනි. ප්‍රදේශයේ සංචාරකයන් ඉලක්ක කරගත් නවාතැන් ස්ථාන 200ක් පමණ තිබේ. එම සංචාරක නිකේතන ආශ්‍රිතව කාමර 1500ක පමණ පහසුකම් පවතින්නේය. ඊට අමතරව ප්‍රමිතිගත ගෘහාශ්‍රිත නවාතැන් පවතී.
හබරණ නිර්මාණශීලි මිනිස්සු සංචාරකයන් ඉලක්ක කරගත් අපූරු නිකේතන විශේෂයක් නිර්මාණය කරති. ස්වාභාවික පරිසරයට අතිශය සමීප මෙම නිකේතන නිර්මාණය වන්නේ ගස් මතය. වන අලින් ඇතුළු සතුන්ගෙන් ස්වකීය හේන් කුඹුරු රක්ෂා කර ගැනීම සඳහා ගසක් මත ඉදිවන හේනේ පැලක සංකල්පය පදනම් කරගෙන මේ සුඛෝපභෝගී මනස්කාන්ත නිකේතනය ඉදිවී ඇති අයුරු අඹ සෙවණ සංචාරක නිකේතනයේ දී දුටුවෙමි. පෙළින් පෙළට පය තබා යන හිනිපෙත කෙළවර දැවමුවා ආස්තරණයක් මත ඉදිකර ඇති මෙම තුරු නිවෙස සාකල්‍යයෙන්ම පරිසරයේම කොටසක් සේ නිමවා තිබිණි. තුරු හිස් අතර ඉදිවූ මෙවැනි තුරු නිවාස 26ක් හබරණ ඇත.
හබරණ දී සංචාරකයන්ට අත්විඳිය හැකි ලාංකේය සංස්කෘතික අත්දැකීම් සමූහයකි. හිරිවඩුන්න වැව වටා රැගෙන යන කරත්ත සවාරිය ඔවුන්ට හරි අපූරු අත්දැකීමකි. අනතුරුව හිරිවඩුන්න වෑ පිටියේ පා ගමනකි. ඉන් පසු වැව තරණය කරමින් කෙරෙන බෝට්ටු සවාරියකි. මේ ගමන කෙළවර වන්නේ හිරිවඩුන්නේ හේනක් සහිත ගැමි ගෙදරකින්ය.
හිරිවඩුන්න අසීමිත චමත්කාරය සංගෘහිත කළ සංකේතයක් බව හඟිමි. ඒ බෝට්ටු ගමන මා වින්දනය කළ ආකාරය මේතරම් තීව්‍ර නම් විදේශික සංචාරකයෙක් ඉන් උත්කර්ෂයට පත්වන ආකාරය පිළිබඳ කල්පනා කරමි.
නිලට නිලේ බැබැෙළන දියතලය මත අහස පතිත වූ සේය. පුළුන් වලා කැටි නිල්වන් අහස් තලය මත මවන සිත්තමත් දිය තලය කොළ පැහැති වන දහනේ සීමා අතර සලකුණු වන ආකාරයත් දකිමි. මුළු හිරිවඩුන්න වෑ පිටියමට පෙනෙන සීගිරිය සහ පිදුරන්ගල ශිඛර වැව මැද සිට දියතලය පසුබිමෙන් පෙනෙන්නේ සුරලොව සිටින මැවෙන දසුනක් ලෙසිනි.
හබල් පහර වැදෙමින් ඔරු කඳ පාවෙමින් යයි. ඒ වියපත් තාත්තා දෙස මහත් වූ ආදරයෙන් යුතුව බලා සිටිමි. ගිනි අව්කූටයට වඩා ඒ වියපත් මිනිසා දරිද්‍රතාව විසින් විඩා පත් කර ඇති බව ද පෙනේ. හිමිහිට ඔරුව පදවාගෙන යන අතර ඔහු මානෙල් මලක් අසල නවතී. එය නෙළාගෙන එයින් හුරුබුහුටි ලෙස මාලයක් තනයි. දිය මත රැඳි මහනෙල් පත්‍රයක් ගෙන හිස් වැස්මක් තනා බෙරලිය මලක් මුදුනේ ගසයි.
“ මේක නෝනට”. මම විශ්මයෙන් බලා සිටියෙමි. ඇත්තටම එය අතිශය සුන්දර නිමැවුමකි. ඒ මානෙල් මාලය ගෙල ලාගෙන මානෙල් කොළ හිස් වැස්ම හිසේ පැලඳ ගතිමි.
බෝට්ටු සවාරියෙන් අනතුරුව සංචාරකයන් කැඳවාගෙන යන ගැමි ගෙරද පුරාණ ගැමි සංස්කෘතික කෞතුකාගාරයක ජීවමාන ආකෘතියක් බඳුය. වී කොටා සහල් කර ඒ සහලින් දර ළිපේ පිසින බතක් ගමේ කොළ මැල්ලුමක් වැව් මාළු කෑල්ලක්, හේනක වැවෙන එළවළුවක් සමඟ විඳින්නට පසුගිය දශක හතරකට මෙපිටින් ඉපදී සිටින අයෙක් අවස්ථාව ලැබුවේ නම් ඒ කලාතුරකිනි. කුරහන් ගලේ කුරහන් අඹරා පිටි කර රොටියක් පුලුස්සාගෙන කෑම යුරෝපීය සංචාරකයකුට මතු නොව මේ රටේ අපේ පරම්පරාවේ අති මහත් බහුතරයකට නොමියෙන මතකයක් ඉතිරි කරන අත්දැකීමකි. කිසිවෙක් ඇස නොගැටුණ මොහොතක හේනේ පැල මතට නැඟ හාත්පස අසිරිය දැකීමේ භාග්‍ය ලදිමි.
සංචාරකයකුට මෙහිදී සිය ආහාර වේල දේශීය ඌරුවට තමන්ටම පිස ගැනීමට අවශ්‍ය නම් එම අත්දැකීමත් ලබා දීමට ඉඩ හසර සැලසී තිබේ.
දේශීය ආයුර්වේද ප්‍රතිකාර සංචාරක ආකාර්ෂණය දිනාගත් තවත් සංචාරක ප්‍රවේශයකි. ලංකාවේ විශාලම ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය හබරණ පිහිටා තිබේ. වන අරණක් මැද ඉදිවී ඇති මේ ප්‍රතිකාර මධ්‍යස්ථානය හිත නිවන අසපුවක් වූ බව මතකය. ආයුර්වේද ප්‍රතිකාර විධි සඳහා යුරෝපීය සංචාරකයෝ බෙහෙවින්ම ආශක්ත වෙති.
“මේ නිසාමයි මෙවර සංචාරක දිනය සමරන්න හබරණ තෝරා ගන්නේ. ප්‍රජාව සමඟ නැඟී සිටීම තමයි මෙවර අභිමතාර්ථය. සංචාරක අමාත්‍යාංශය සංචාරක සංවර්ධන අධිකාරිය සහ පළාත් සංචාරක අමාත්‍යාංශය කටයුතු කරමින් ඉන්නෙ ඒ වෙනුවෙන්..” ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ පාලිත හෙන්නායක පැවසුවේය.
අඳුර වැටෙමින් තිබේ. මින්නේරිය වැවේ වෑ පිටිය රාස්සිගේ අව්වේ අවසන් රැස්පොද මවන චමත්කාරය සිත දැහැන්ගත කරවයි. වන අලි පෙළ ගර්වාන්විත ගමනින් වන වදුළු වෙත ඇදෙමින් සිටිති. ඒ මනරම් පරිසරය තුළ විදේශික මිනිස්සු වසඟවී සිටිනු යළි යළිත් දකිමි.
මේ තරම් වින්දනීය අත්දැකීම් සහිත සාරවත් රටක් යළි පිබිදවීම කළ හැකි බව මේ විදේශිකයන්ගේ ඇස්වල ඇති විස්මයම අපට කියයි. අවශ්‍ය වන්නේ බලාපොරොත්තුව සහ විශ්වාසය සහිත නිර්මාණශීලි ප්‍රවේශයක් පමණි. එයට ඇත්තේ සිතිවිලි මාත්‍රයක දුර බව ලියා තබමි.
ඡායාරූප - මාලන් කරුණාරත්න