
සියලු දෙනාම උතුරේ පදිංචිකරුවන්
ආන්දෝලනාත්මක හත්දෙනා වෛද්‍ය සිසුන් නොවේලු
තම හමුදා විසින් රුසියානු හමුදා අත්අඩංගුවේ පසු වූ ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙකු මුදා ගත් බව පළමුවෙන්ම ලොවට කියන ලද්දේ යුක්රේන ජනාධිපති ව්ලැදිමිර් සෙලෙන්ස්කි විසිනි. ඔහු පසුගිය 16 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී සඳහන් කරන ලද්දේ රුසියානු හමුදා අත්අඩංගුවේ මාස හතරකට ආසන්න කාලයක් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙකු මුදා ගැනීමට යුක්රේන හමුදාවට හැකි වූ බවයි. මේ අතර රුසියානු පාර්ශ්වයද මේ සිදුවීම සම්බන්ධව තමන්ගේ මතය ප්‍රකාශ කළේය. ඒ ඔවුන්ගේ නිල පුවත් සේවය වන ‘TASS‘ මගින් නිකුත් කළ පුවතක් මඟිනි. එහි සඳහන් අන්දමට යුක්රේන හමුදාව ශ්‍රී ලංකාවේ සිසුන් හත් දෙනෙකු රඳවාගෙන සිටින අතර, ඔවුන් කිසිම හැඳින්වීමක් නොමැති ස්ථානයක සිටින බව ද සඳහන් කැරිණි. මේ බව යුද බිමේ සිට වාර්තා කර තිබුණේ කළාපයේ සිවිල් පරිපාලන ප්‍රධානී විටාලි ගන්නෙව් නමැත්තෙකි.
යුක්රේන හමුදා ආරක්ෂාව යටතේ කාර්කිව් වෙත ගෙන යනු ලැබූ ශ්‍රී ලාංකිකයන් හත් දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය විමසා බැලීමටත්, ඔවුන් සම්බන්ධව ඉදිරි කටයුතු තීරණය කිරීමටත් යුක්රේනයේ අනේවාසික කොන්සල් කිරිල් කබනෙට්ස් ඔවුන් වෙත යැවීමටද විදේශ අමත්‍යාංශය කටයුතු කර තිබිණි. එහිදී අනාවරණය වූයේ මේ පුද්ගලයන් කාර්කිව්හි විශේෂ ස්ථානයක නිරුපද්‍රිතව සිටින බවයි. මේ පුද්ගලයන් භෞතිකව නිරෝගීව සිටින නමුත් යුද බිමක කොටුව සිටි බැවින් මානසිකව යම් යම් ගැටලු පැවතිය හැකි බවද මේ පිරිස නිරීක්ෂණය කළ නිරීක්ෂකයන්ගේ අදහස වී තිබේ.
සුවිශේෂීම කරුණ වන්නේ මේ පිරිස සම්බන්ධව නිවැරදි නොවන තොරතුරු රැසක් මේ වන විටත් ලෝකය පුරා පැතිර ගොස් තිබීමය. ඔවුන් යුක්රේනයේ අධ්‍යාපනය ලැබීමට පැමිණි වෛද්‍ය සිසුන් බව පළමුවෙන්ම උණුසුම් පුවත් ලෙස ලෝකය පුරා පැතිර ගියේය. එහෙත් සත්‍ය නම් එය එසේ නොවීමය. මේ පුද්ගලයන් හත් දෙනා අතරට රොබට් ක්ලයිව් ඩිලුක්ෂාන් (25) වසන්තකුමාර් නිලෝජන් (21) ජොගේන්ද්රන් තිනේෂ් (34) කනේෂමූර්ති අයිනාගරත්නන් (42) මේරි ඊඩිත් ප්‍රේමා ( 52) පත්තිනායකන් දිලූජාන් සහ ඥානේස්වරන් සරූජාන් යන අය බවට හඳුනා ගැනිණි. ඔවුන් පැහැදිලිවම යුක්රේනයේ අධ්‍යාපනය ලැබීමට පැමිණි සිසුන් නොවන අතර ඔවුන් යුරෝපය කරා යෑමේ බලාපොරොත්තුවෙන් පැමිණි මිනිස් ජාවාරම්කරුවන් විසින් රවටනු ලැබූ පුද්ගලයන් බවට තොරතුරු හෙළි විය.
මේ පිරිස මෙරට උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මන්නාරම සහ පුත්තලම උඩප්පුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් පසුගිය ජනවාරි මාසයේදී යුරෝපය බලා යන අරමුණෙන් මෙරටින් පිටත්ව ගොස් ඇති බව ද හෙළි විය. මෙහිදී මේ පිරිස දක්වන ලද අදහස් අනුව පෙනී ගොස් ඇත්තේ මේ අතරින් ඇතැම් දෙනා මොස්කව් හරහාත්, ඇතැම් දෙනා ඩුබායි හරහාත් ගමනේ යෙදී ඇති බවයි. මේ අතර මිනිස් ජාවාරම්කරුවන් විසින් තමන් කැඳවාගෙන ගිය නගරවල නම් තමන් නොදන්නා බවද ඔවුන් පවසා තිබේ.
කෙසේ වුවද පැහැදිලි වන්නේ මේ පුද්ගලයන් මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්ව ඇති බවයි. මේ පුද්ගලයන් හත් දෙනාම පසුගිය මාර්තු මාසයේදී යුක්රේනයට කැඳවාගෙන ගොස් ඇති අතර එහිදී ඔවුන් තාවකාලිකව සේවය කිරීමට කර්මාන්ත ශාලාවකට අනුයුක්ත කර ඇත. එහි සේවය කරමින් සිටියදී යුද්ධය ආරම්භ වී ඇති අතර ඔවුන් වැටුප් ලැබීමකින් තොරව අසරණ වී තිබේ. එමෙන්ම යුක්රේනයේ සිට ඔවුන් කැඳවාගෙන යෑමට පැමිණෙන්නේ යැයි පැවසූ ඒජන්තවරයාද එහි පැමිණ නැත. යුද්ධයට මැදි වූ ඔවුන් රුසියානු හමුදාව අතට පත් වූ බව දැනට ලැබී ඇති තොරතුරු අනුව පැහැදිලි වේ. මේ සියල්ල අතර පැහැදිලිව පෙනී යන්නේ මේ පිරිස තමන් යුරෝපය කරා ගෙන යෑම වෙනුවෙන් රුපියල් මිලියනයකට ආසන්න මුදලක් මිනිස් ජාවාරම්කරුවන්ට ලබා දී ඇති බවත්, ඔවුන් විසින් මේ පුද්ගලයන්ව නීත්‍යනුකූල නොවන අන්දමින් රටින් රටට ගෙන යමින් වගකීම් විරහිතව කටයුතු කර ඇති බවත්ය.
මේ පිරිස අතරින් හතර දෙනෙකු පවසා ඇත්තේ තමන් රැකියා සඳහා යුරෝපය බලා යෑමේ අරමුණින් පැමිණි බවයි. එහෙත් තුන් දෙනෙකු පවසා ඇත්තේ අධ්‍යාපනය ලැබීමට හැකි බවත්, ඉන්පසු රැකියා ලබා ගත හැකි බවටත් පවසා මිනිස් ජාවාරම්කරුවන් විසින් තමන් රැවටූ බවයි. එමෙන්ම තමන්ගේ විදෙස් ගමන් බලපත්‍ර තමන්ට දැක ගැනීමට ලැබුණේ මෙරටින් පිටවීමේදී ගුවන් තොටුපොළේදී පමණක් බවත් එතැන් සිට තමන්ට තමන්ගේ ගමන් බලපත්‍ර දැක ගැනීමට නොලැබුණු බවත් මේ පිරිස වැඩි දුරටත් පවසා තිබේ.
මේ පිරිස සම්බන්ධව අදහස් දැක් වූ විදේශ අමත්‍යාංශයේ නිලධාරියෙක් පවසා සිටියේ යුක්රේනයේ යුද්ධය ආරම්භ වීමත් සමග එරට වාසය කරමින් සිටි සියලුම ශ්‍රී ලාංකිකයන් පිළිබඳව විදේශ අමාත්‍යාංශයේ අවධානය යොමු කළ බවයි. එහිදී ඇතැම් පිරිස් රට හැර ගිය අතර තවත් අය යුක්රේනයේම නැවතී සිටීමට කැමැත්ත පළ කළහ. ඒ ඒ අයගේ කැමැත්ත පරිදි කටයුතු කිරිමට විදේශ අමත්‍යාංශය අනුමැතිය ලබා දුන් අතර මෙරටට යළි පැමිණීමට කැමැත්ත පළ කළ සියලුම දෙනා ආරක්ෂිතව ගෙන්වා ගැනීමටද විදේශ අමත්‍යාංශය කටයුතු කර තිබේ. මේ අතරට මිනිස් ජාවාරම්කරුවන්ගේ සහය ඇතිව රටින් පිට වූ පුද්ගලයන් ගැනද වාර්තා වී ඇති අතර එම පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන් විසින් කරන ලද දැනුම්දීම්වලට අනුව යුක්රේනයේ සිරවී සිටි අනවසර සංක්‍රමණිකයන් පෝලන්තය හරහා යළි මෙරටට ගෙන්වා ගැනීමටද විදේශ අමත්‍යාංශය කටයුතු කර තිබේ. මේ පිරිස කිසිම අන්දමකින් ශ්‍රී ලාංකිකයන් වශයෙන් වාර්තා වී නොමැති අතර ඔවුන් තමන් පිළිබඳව කිසිම අන්දමකින් දැනුම් දීමටද කටයුතු කර නොමැත.
මේ පිරිස සඳහා අවශ්‍ය කරන ඇඳුම් ඇතුළු බොහෝ දේ අනේවාසික කොන්සල් කිරිල් කබනෙට්ස් ගෙන ගොස් දී ඇති අතර ඔහුගේ අදහස වී ඇත්තේ ඔවුන් සුවයෙන් පසුවන බවයි. ඉදිරියේදී යුක්රේනයට ශීත කාලය එළඹෙන බැවින් ඔවුන්ට ඒ සඳහාද පහසුකම් සැපයීම අනේවාසික කොන්සල්වරයා කටයුතු කර තිබේ. ලබන අඟහරුවාදා මේ පිරිස යුක්රේනයේ අගනුවර වන කියෙව් වෙත ගෙන ඒමටද යුක්රේන බලධාරින් අදහස් කරන බව අනේවාසික කොන්සල්වරයා පවසා තිබේ.