වැල්ලවායෙන් පැහැරගත් දැරිය බණ්ඩාරවෙලින් හමුවෙයි | Page 2 | සිළුමිණ

වැල්ලවායෙන් පැහැරගත් දැරිය බණ්ඩාරවෙලින් හමුවෙයි

 

25 හැවිරිදි සැකකරු දැරියගේ පියාගේ මිතුරෙක්

මොනවාහරි අරන් දෙන්නම් කියා දැරිය රවටා වැල්ලවායේ සිට බණ්ඩාරවෙලට ගෙන ගිහින්

 

වැල්ලවාය මුස්ලිම් පල්ලිය පිටුපස නිවසක පදිංචිව සිටි අවුරුදු පහක් වයසැති පෙර පාසල් දියණියක් ඥාති නොවන පුද්ගලයෙකු විසින් යෝගට් එකක් අරන් දීමට නිවසින් කැඳවාගෙන ගොස් අතුරුදන් වී ඇති සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් දා වැල්ලවාය පොලිසිය පරික්ෂණ ආරම්භ කළේ අතුරුදන් වීම සිදුවී පැය තුනක් ගත වීමත් සමඟය. ඒ දරුවාගේ මව විසින් වැල්ලවාය පොලිසියට කළ පැමිණිල්ලත් සමඟමය.

දැරියගේ මව සහ පියා වැල්ලවාය ප්‍රාදේශිය සභාවේ සේවය කරන සනීපාරක්ෂක කම්කරුවන්ය. ඔවුන්ට සිටි එකම දරුවා වන්නේ මෙසේ අතුරුදන් වූ ෂෙත්මි අනුශිකා නම් පස් හැවිරිදි පෙර පාසල් දැරියයි. දැරියගේ පියා සමඟ දින කිහිපයකට පෙර මිතුරු වූ පුද්ගලයකු සමඟ අවසන් වරට දැරිය යෝගට් එකක් වෙළෙඳසලකින් මිලදී ගැනීමට පැමිණ ඇති අතර ඉන් පසුව මෙම දැරිය ඔහු සමඟ ආගිය අතක් නැති විය.

දැරිය පැහැරගත් බව කියන මෙම පුද්ගලයා පිළිබඳව කිසිම තොරතුරක් මෙම දැරියගේ පියා හෝ මව දැන සිට නොමැති අතර අතුරුදන් වීම සිදු වූ දිනයේ සවස පැය කිහිපයක් නගරයේ පිහිටි බාර් එකකට ගොස් දැරියගේ පියා මෙම පුද්ගලයා සමඟ මත්පැන් පානය කර පසුව දැරිය පදිංචි වී සිටි නි‍වෙසට පැමිණ ඇති බව ද හෙළි විය. එසේ පැමිණි මේ පුද්ගලයා දරුවාට මොනවාහරි අරගෙන දෙන බව පවසා නිවසින් දරුවා සමඟ පැමිණ ඇති අතර ආපසු දරුවා නොපැමිණීම නිසා මව විසින් දරුවා සොයා තිබේ. එහිදී දරුවා සහ එම පුද්ගලයා ආගිය අතක් නැතිව අතුරුදන් බව ඇය දැනගත්තාය. දරුවාගේ මව වන චන්ද්‍රන් ශෂිකලා සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ කියා සිටියාය.

“හවස තුනට විතර තමයි දරුවට යෝගට් එකක් හරි 'මොනවාහරි' අරගෙන දෙන්න දරුවා කඩේට එක්කගෙන ගියේ. කලිනුත් එක්කගෙන ගිහින් තියෙනවා. විනාඩි 15-20ක් විතර දරුවා ආවේ නැති නිසා අපි හෙව්වා හම්බ වුණේ නෑ. හවස හයට විතර තමයි පොලිසියට ගිහින් කිව්වේ. අපි ඔක්කොම එකතුවෙලා රෑ එළිවෙනකල්ම දරුවා හෙව්වා“ යැයි ඇය කියා සිටියාය.

මේ පැමිණිල්ලත් සමඟ වැල්ලවාය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයේ උපදෙස් මත ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරික්ෂිකා එච්.ජී.ජේ.ඩී. ගමගේ ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කරන්නේ නගරයේ සීසීටීවී දර්ශන විමර්ශනය කරමිනි.

එහිදි අනාවරණය වූයේ දැරිය සමඟ මෙම පුද්ගලයා වැල්ලවාය පරණ පොළ පාරේ ඇවිදගෙන යන බවයි. ඒ අනුව දැරිය පැහැදිලිවම මෙම පුද්ගලයා විසින් රැගෙන ගොස් ඇති බවට තහවුරු කරගන්නා පොලිසිය ඔහු ගැන වැඩිදුර විමර්ශන ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය..

මේ පුද්ගලයා උක් ගස් කැපීමට මේ ප්‍රදේශයට පැමිණි අයෙකු බවත් වයස අවුරුදු 25ක් පමණ වන අයෙක් බවත් නමක් ගමක් දන්නා කෙනෙකු නොමැති බවත් ඔහුගේ බිරියගේ ගම වැලිමඩ ගුරුතලාව බවටත් ඇතැම් විට දරුවා එම නිවසට රැගෙන ගියේදැයි යන සැකය මත පොලිසිය විමර්ශන සිදු කරන්නේ දැරිය හැකි ඉක්මණින් සොයා ගැනීමේ අදහසිනි. අතුරුදන් වූ දිනයේ සවස සිට එළිවන තුරුම පොලිස් නිලධාරින් පවුලේ ඥාතින් සහ හිතවතුන් නගරය පුරා පිහිටි ඇළ මාර්ග බෝක්කු සහ සැක සිතිය හැකි හැම තැනකම පරීක්ෂා කළත් දැරිය පිළිබඳ හෝඩුවාවක් හෝ තොරතුරක් සොයා ගැනීමේ අරමුණින් වෙහෙසුණද පලක් වූයේ නැත.

මේ අතර අසල්වැසි හිතවතෙකුගෙන් ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා වැලිමඩ ගුරුතලාව ප්‍රදේශය් පදිංචිකරුවෙකු බවට ලැබුණු ආරංචියත් සමඟ ඒ සම්බන්ධයෙන් සොයන්නට ස්ථානාධිපතිවරයා වහා කටයුතු සුදානම් කළේය. වහාම ඒ සම්බන්ධයෙන් තම උසස් පොලිස් නිලධාරියා වූ මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර මහතාගෙන් ලබාගත් උපදෙස් අනුව පොලිස් කණ්ඩායමක් ගුරුතලාව ප්‍රදේශයට පිටත් කර යැවීමට කටයුතු සුදානම් කරන ලදි. මේ අතර එම දැරිය අතුරුදන් වූ පුවත සමාජ මාධ්‍ය ජාලා වල පැතිරීමත් සමඟ බොහෝ දෙනෙකු ඒ සම්බන්ධයෙන් උනන්දු වූ අතර දැරිය සොයා යාම සඳහා අවශ්‍ය වාහනයක් ලබා දීමට වැල්ලවාය නගරයේ තරුණ ව්‍යපාරිකයකු වන හසිත අමරවීර කටයුතු කළ අතර ඔහු සතු කැබ් රථයක් රියදුරෙකු සමඟ පොලිසියට විනාඩි කිහිපයක් ඇතුළත ලබා දෙන ලදි.

පොලිස් නිලධාරීන් සහ දැරියගේ පවුලේ හිතවතුන් පිරිසක් දැරිය සොයන මෙහෙයුම ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය. පිරිස බණ්ඩාරවෙල නගරයට පැමිණෙන අතරතුර දරියගේ ඥාති හිතවතෙකු වූ 'කන්නන්' බණ්ඩාරවෙල නගරයේ මඳකට වාහනය නතර කරන්නැයි පවසා සිටියේ ඔහුට හිතවත් ව්‍යපාරිකයින් කිපදෙනෙකු නගරයේ සිටි බැවින් සැකකරුගේ ඡායාරූපය පෙන්වා කිසියම් හෝඩුවාවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි .

"මෙන්න මේ පිංතුරේ ඉන්න කෙනා මේ පැත්තේ ආවේ නැද්ද? ...“ යැයි ඔහු විමසත්ම “උදේ හිටියා දරුවෙක් එක්ක“ යැයි එක් අයකු ගත් කටටම කියා සිටියේය.

වහාම එම ව්‍යපාරිකයා තවත් නාට්ටාමිලා පස්දෙනෙකුට කතාකොට මේ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් දන්නවාදැයි විමසා ඔහු සොයා ගැනීමට සාහය වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අතරතුර කඩයක් ඇතුළෙන් දරුවාද අතින් අල්ලාගෙන එළියට එන සැකකරු දුටු මෙම පවුලේ හිතවතා වහාම දිව ගොස් ඔහුගේ බෙල්ලෙන් අල්ලා ගන්නා ලදි.

සිදු වූ දේ හිතා ගැනීමට වත් නොහැකි වූ බැවින් සතිපොළ වටපිටාවේ සිටි පුද්ගලයින්ද ඒ අසලට එක් වූයේ එක්වරමය. “මෙයා මේ දරුවා පැහැරගෙන ඇවිල්ලා විකුණන්න. අපි රෑ තිස්සේ හෙව්වා“යැයි පැවසීමත් සමඟ වටපිටාවේ එකතු වූ පිරිසද සැකකරුට තඩි බාන්නට සූදානම් විය. ඒ සියල්ල වළකාගත් 'කන්නන්' පොලිස් නිලධාරීන් සිටි වාහනය දෙසට සැකකරු රැගෙන යන ලදි. ඒ ක්ෂණයෙන් සැකකරුගේ දෑතට මාංචු වැටිණි.

පොලිසිය එම ස්ථානයට රැස්වූ පිරිසට කරුණු පහදා දී සැකකරු සහ දරුවා රැගෙන වැල්ලවායට එන්නට පිටත් විය.

වැල්ලවාය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාරගේ උපදෙස් මත ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේගේ මූලිකත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පරීක්ෂක සිරිවර්ධන, සැරයන් 41973 ගුණසිරි, සැරයන් 37929 සම්පත්, කොස්තාපල්වරුන් වන 40219 දිනූෂ, 70025 සමන්ත, 70026 ලලිත් සහ 96244 හේමන්ත යන නිලධාරිහු විමර්ශන සිදු කරති.

Comments