අඹුසැමියන් අතර ආදරය සමගිය වැඩි කරන වාස්තු රහස් | සිළුමිණ

අඹුසැමියන් අතර ආදරය සමගිය වැඩි කරන වාස්තු රහස්

ජනක ප්‍රියන්ත දයාරත්න 
සිවිල් ඉංජිනේරු 
විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය 
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ 
ආයතනයේ ප්‍රධාන පර්යේෂක

- කාමර දෙකක හෝ එකම කාමරයේ ඇඳවල් දෙකක නිදා ගැනීම අඹුසැමි සමගියට අහිත කරයි
- නිවෙසක ප්‍රධාන නිදන කාමරය හෙවත් ගෘහ මූලිකයන්ගේ කාමරය නිරිත දිශාවේ විය යුතුයි
- අලුත විවාහ වූ යුවළකට ගිනිකොන දිශාව අයහපත් නොවුණත් දිගු කලක් ගිනිකොන නිදා ගැනීමත් සුදුසු නැහැ

නිවෙසක් යනු ලෞකික කටයුතු ප්‍රමුඛව වඩා සාර්ථක පරිදි සිදු කිරීම සඳහා යොදාගනු ලබන වාසස්ථානයකි. එබැවින් එකිනෙකා අතර ඇල්ම, බැඳීම සහසම්බන්ධය හා සමගිය යන්න නිවෙසක අනිවාර්ය අංගයකි. මේ අනුව අප විසින් නිවසේ ගෘහ අංග වන නිදන කාමර, වැසිකිළි, මුළුතැන්ගෙය සහ විසිත්ත කාමරය නිවැරදි දිශාවන්හි පිහිටු වීම අත්‍යවශ්‍ය වේ. මේ අතරින් නිවෙසක බලවත් බව ඇති වීම සඳහා අවශ්‍යම ප්‍රධානතම ගෘහ පිහිටීම වන්නේ නිදන කාමර පිහිටි දිශාවන්ය.

නිවෙසක කළමනාකරණය සඳහා වැදගත් වන ප්‍රධානම දේ වන්නේ ගෘහ මූලිකයන් අතර එනම්, අඹුසැමියන් අතර පවත්නා සමගියයි. එයින් අදහස් වන්නේ දෙන්නා දෙමහල්ලන් අතර සමාන චර්යාවන් පැවතිය යුතු බව නොවේ. එවැනි චර්යාවන්හි මනා ගැළපීමක් තිබිය යුතු බව මෙයින් අදහස් වේ. එබැවින් අප විසින් යොදා ගත යුතු වාස්තු සිද්ධාන්ත අනුව සිදු විය යුතු දෙය නම් නිවෙසේ මව හා පියා ඔවුනට ගැළපෙන උචිත භූමිකා නිරූපණය කිරීම සඳහා වූ වාස්තු ව්‍යුහයක් නිර්මාණය කොට ගැනීමයි.

මේ අනුව නිවෙසක ප්‍රධාන නිදන කාමරය හෙවත් ගෘහ මූලිකයන්ගේ කාමරය නිරිත දිශාවේ පිහිටු වීම අවශ්‍ය වේ. එය සිදු කළ නොහැකිම අවස්ථාවකදී නිරිත දිශාව වෙනුවට දකුණ හෝ බස්නාහිර දිශාවන් යොදාගත්තද ගැටලුවක් නොමැත. කෙසේ වුවත් දකුණ හෝ බස්නාහිර දිශාවන් ගෘහ මූලිකයා භාවිත කරන විට අන් කිසිවකු නිරිත දිශාවේ කාමරයේ නිදා ගැනීම උචිත නොවේ.

ගෘහ මූලිකයන්ගේ නිදන ඇඳ පිහිටු විය යුත්තේ හිස දකුණු පැත්තට යොමු වන පරිදිය. එසේම ප්‍රධාන ගෘහ මූලිකයා බස්නාහිර බිත්තියට වඩාත් ළං වන පරිදි නිදා ගැනීම කළ යුතු වේ. ආබාධිත හෝ වෙනත් දුර්මුඛ භාවයක් නොමැත්තේ නම් පිරිමි අය එපරිද්දෙන් බස්නාහිර බිත්තියට බරව නිදා ගැනීම වඩාත් උචිත වේ. කිසිදු අවස්ථාවක කාමර දෙකක හෝ එකම කාමරයේ ඇඳවල් දෙකක නිදා ගැනීම ගෘහ මූලිකයනට උචිත නොවන බව ද මෙහිදී අවධාරණය කළ යුතුය.

අලුත විවාහ වූ යුවළක් වාසය කරනු ලබන නිවෙසක නම් ඔවුනට ගිනිකොන දිශාව ද අයහපත් නැත. එසේ වුවත් දිගු කලක් තිස්සේ ගිනිකොන නිදා ගැනීම පරස්පර මතිමතාන්තර වැඩි දියුණු වීමට හේතු විය හැකිය. එබැවින් උපරිම වශයෙන් වසරක පමණ කාලයක් ගිනිකොන පෙදෙසෙහි නිදාගනු ලැබුවද හැකි ඉක්මනින් එයින් ඉවත් වී නිරිත දිශාවේ හෝ දකුණ හෝ බස්නාහිර දිශාවන්හි නිදා ගැනීමට කටයුතු යොදා ගත යුතුය.

මෙවැනි පිහිටීමක් ඇති නිවෙසක ගෘහ මූලිකයන් අතර මනා සබැඳියාවක් පවතින අතර විවිධ අවශ්‍යතා තවදුරටත් බලවත් කිරීම සඳහා පිරමීඩ ආදී විවිධ මෙවලම් ද වාස්තු දෝෂ නිවාරණය කිරීම සඳහා යොදා ගැනීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.

Comments