
පසුගිය කාලයේ පැවති ඉන්ධන පෝලිම් යුගයේ ත්‍රිවිල් රියදුරන්ට එල්ල වූ ප්‍රධාන චෝදනාවක් විය. චෝදනාව වූයේ ඉන්ධන පෝලිම්වල සිට ෆුල් ටෑංක් පෙට්‍රල් පුරවාගෙන ඒවා වැඩි මිලට විකුණන බවය. තත්වය කෙතරම් බලවත් වී යයි කිවහොත් හයර් දුවන ත්‍රීවිල් එකක් සොයාගත නොහැකි විය. පෙට්‍රල් අර්බුදය විසඳන්නට QR ක්‍රමය හඳුන්වා දීමේදී ත්‍රිරෝද සඳහා ද සතියකට ලැබුණේ ඉන්ධන ලීටර් පහකි.
ඉස්සර ත්‍රිවිල් එකක අවම ගාස්තුව වූයේ මතක ඇති කාලේ රු. 20/-කි. ඒ සන්දියේ ත්‍රිවිල් එක පිටුපස ගසා තිබුණේ 'චාටරේ 20යි ලීටරේ 50යි' කියාය. ඒ කියන්නේ ඒ කාලේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50/- නිසාය. දැන් පෙට්‍රල් ලීටරේ රුපියල් 450/-කි. දැන් බොහෝ ත්‍රිවිල්වල අවම ගාස්තුව රුපියල් 100කි. සමහර තැන්වල රුපියල් 120/-කි. ඒත් අවම ගාස්තුව රුපියල් 50/-ට මගීන් ගෙන යන ත්‍රීරෝද රථ නැවතුමක් අපට රත්මලාන ප්‍රදේශයෙන් සොයාගත හැකි විය.
ඔව්! ගොළුමඩම හන්දිය රත්මලාන සිට ගාලුපාරේ මොරටුව දෙසට යන විට හමුවන කවරුත් දන්නා හන්දියක්. එම හන්දියේ මුහුද දෙසට යන පාරේ ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානයයි. පාරට හැරෙන විටම ඇත්තේ එක් ත්‍රිරෝද රථ නැවතුමකි. එහිදී ඔබට ඕනෑ තැනකට ගණන කතා කොට හෝ මීටරයට ගමන් කළ හැක.
ගොළුමඩම හන්දියේ සාමාන්‍ය ත්‍රිරෝද රථ නැවතුමට පසු ඇත්තේ අමුතුම ආකාරයේ නැවතුමකි. එම සේවයට කියන්නේ 'සහන සේවය' කියාය. එතැන ත්‍රිරෝද රථයක් නවත්වන්නටවත් වේලාවක් නැත. නැවැත්වූ නිමේෂයකින් පිටුපස අසුන තිදෙනකුගෙන් පිරී යයි. සමහර වේලාවට රියදුරු අසුන දෙපස දාන් බංකුවක් මෙන් නැමූ තහඩුවේ ද අයකු ගමන් කරනු දැක ගත හැකිය. ත්‍රිවිල් රියැදුරා ගමන් ගාස්තුවක් අහන්නේ නැති අතර මගියෝ තුන්දෙනා ගාස්තුව අසන්නේත් නැත. අරුම පුදුම ත්‍රිරෝද කුලී රථ සේවයක්! කරුණු විමසීමේදී පෙනී ගියේ මේ ත්‍රිරෝ රථ සේවය අය කරන්නේ රුපියල් 50/-ක් පමණක් බවය. මෙහි ගමනාන්තය ආර්ථික මධ්‍යස්ථානයයි. රුපියල් 50 බැගින් තිදෙනා ගෙවූ පසු එකතුවන මුදල රුපියල් 150/-කි. අපට මුලින්ම අවශ්‍ය වූයේ මේ ත්‍රිවිල් 'සහන සේවාවේ' ආරම්භය ගැන සොයා බැලීමයි. මෙහි ඇති පුවරුවේ ඇත්තේ ත්‍රිරෝද රථ 65ක් මෙම ස්ටෑන්ඩ් එකේ ලියාපදිංචි වී ඇති බවය.
මේ සහන සේවය ගැන ඉතිහාසය ගැන සොයන විට ලංකාවේ කුලී රථ ඉතිහාසය ගැන හාරා ඇවිස්සුවේ නැත්නම් එය අඩුපාඩුවකි. රික්ෂෝ කරත්තය 1800 ගණන් වල ආරම්භ වූ ලංකාවේ පළමු කුලී රථ සේවාවය. ඊළඟට මොරිස් මයිනර් ටැක්සිය බිහි වන්නේ 1950 දශකයේය. 1979න් පසු ලංකාවට වාණිජයමය වශයෙන් 'ටැක්සි ත්‍රිවිලය' ගෙන ඒම ආරම්භ කරන ලදි. ඒ ලංකා ඉතිහාසයේ තුන්වැනි කුලී රථ පන්තියයි. ඊටත් පසු දෙදහසෙන් පසු ඇරඹෙන්නේ 'නැනෝ කුලී රථ' පරම්පරාවයි.
ලංකාවේ ත්‍රිරෝද ඉතිහාසය ගැන බොහෝ දෙනෙක් කියන්නේ 1979 දි හෙප්තුල්ලා බෝයි නමැති සමාගමක් ලංකාවට ත්‍රිවිල් ආනයනය කළ බවය. ඒත් ඊට එහා අතීතයට ගිය විට ලංකාවේ හැටේ දශකය මුල ඉතාලි ත්‍රිරෝද රථයක් ලියාපදිංචි කොට ඇත්තේ 4 ශ්‍රී ට්‍රයිසිකලයක් ලෙසය. එම ත්‍රිරෝද රථය ක්‍රිස්තියානු පල්ලියකට ලැබුණ තෑග්ගක් විය.
ගොළුමඩම හන්දියේ ඇති මේ සහන සේවයේ ඉතිහාසය සොයන විට පෙනී යන්නේ මේ සේවාව ආරම්භ වී ඇත්තේ 'සුනාමියටත්' පෙර බවය. ඒ කියන්නේ මේ සේවයට දැන් අවුරුදු 18කටත් වැඩිය. මෙහි ආරම්භකයන් බොහොමයක් දැන් ජීවතුන් අතර නැත. මේ ත්‍රිවිල් ස්ටෑන්ඩ් එකේ බොහෝ රියැදුරන් පැවසුවේ 'ශාන්ත' මේ සේවයේ ආරම්භකයා බවය. ඔහු දැන් ජීවතුන් අතර නැත.
මේ සහන සේවය ආරම්භ කෙරී ඇති ආකාරය ද අමුතුම ආකාරයෙන් සිදුවී ඇත. එදා මේ ගොලුමඩම හන්දියේ සිට ආරම්භ වූ බස් රථයේ ගමනාන්තය වී ඇත්තේ ගොනාකෝවිලය. එය වත්මන් ආර්ථික මධ්‍යස්ථානයට ටිකක් එහා තැනකි. එදා ගොළුමඩම හන්දියේ සිට ගොනාකෝවිලට බස් ගාස්තුව වී ඇත්තේ රුපියල් 6/-කි. මේ බස් රථය ගොළුමඩම හන්දියේ ආසන පිරෙන තුරු පැය භාගයක් පමණ නවතාගෙන සිට ඇත. මේ සේවයේ ආරම්භකයා යැයි කියන ‘ශාන්ත' දිනක් ගොනාකෝවිලට යන තුන්දෙනෙකුට කතා කොට ඇත්තේ තමන්ට රුපියල් 5/- බැගින් දුන්නොත් ගොනා කෝවිලට ඇරලිය හැකි බවය. ඒ කාලේ රුපියලක් යනු සෑහෙන මුදලකි. රුපියල් පහකට ගොනාකෝවිලට ගිය ශාන්ත ගොනාකෝවිලේ සිටි තිදෙනකු රුපියල් පහ ගානේ ගෙවන පොරොන්දුව පිට ගොළුමඩම හන්දියට ඇරලවන ලදි. ශාන්ත එදා ඇරඹූ මේ සේවය බලා සිටිත්දී මෙන් දියුණු වී අන්තිමට බස් රථයේ යන්න සෙනඟ නැති නිසා බස් සේවය නවතා දමන්නට සිදුවිය. දැන් මේ සේවයට යොමුවී ඇති ත්‍රිරෝද රථ ගණන 65 කි.
දැන් ත්‍රිවිල් ගාස්තු දරාගෙන නොහැකිව බොහෝ දෙනෙක් යන්නේ පයිනි. දැන් රුපියල් 50/- ත්‍රිවිල් ගාස්තුව වත් දරාගත නොහැකිව පයින් යන මගීන් ගොළුමඩම හන්දියේදී අපට දැකගත හැකි විය. එය දුටු විට එතැන ත්‍රිවිලරයක පාඨයක් අපට සිහි විය.
බලන අයට බුදු සරණයි
රවන අයට දෙවි පිහිටයි
ත්‍රිවිල් ගාස්තුව රුපියල් 50/-වත් ගෙවන්නට නොහැකි මගීන් ගැන කියත්දී අපේ මතකයට ආවේ පරණ සිද්ධියකි. 2013දි කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නොවැම්බර් 31 දක්වා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කළේ ත්‍රිරෝද රියැදුරෙකි. ඔහුට වූ චෝදනාව කොළඹ නගරයේ සංචාරයක යෙදුන චීන ජාතික කාන්තාවගෙන් ඩොලර් 1200ක් අය කිරීමය. ගාස්තුව ගැන සැක සිතී චීන කාන්තාව කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කිරීම නිසා ත්‍රිරෝද රියැදුරාට මෙම ඉරණම අත්විය. මෙම සිද්ධිය අප ගොළුමඩම සහන සේවයේ ත්‍රිරෝද රියැදුරකුට කියූ විට ඔළුවේ අත ගසා ගත්තේ 'අම්මෝ' ඔය යකාට එක හයර් එකෙන් ත්‍රිවිල් එකක් ගන්න පුළුවන්නේ. අපිට පෙට්‍රල් සහනත් දුන්නා නම් මීටත් වඩා සහනයක් දෙන්න පුළුවන් කියාය.
ගොලුමඩම ත්‍රිරෝද රියැදුරන් පිටුපස අසුනේ තිදෙනකු පමණක් ගෙන යාමට හේතුව විමසූ විට ඔවුන්ගේ එකම පිළිතුර වූයේ පොලිසිය ලියන නිසා ඊට වැඩිය මගීන් ගෙන නොයන බවය. ඒත් එහි නීතිමය පසුබිම අපට සොයා බැලීමට සිතුණි.
ත්‍රිරෝද රථයක උපරිම මගීන් ගණන 3ක් බව ලියාපදිංචි සහතිකයේ දක්වා තිබේ. එමෙන්ම ත්‍රිරෝද රථයක උපරිම වේගය පැයට කිලෝමීටර 40කි. 2012දී වාර්තා වූ අනතුරක් වූයේ ත්‍රිරෝද රථයක 14 දෙනකු ගමන් කොට ඇතිවූ අනතුරකි. ත්‍රිරෝද රථයක ගෙන යා හැකි බර කිලෝ 350කි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දත්ත දක්වන්නේ එක් පුද්ගලයකුට ආසනයක ගමන් කිරීමට අඟල් 15ක් අවශ්‍ය බවය. ත්‍රිරෝද පිටුපස අසුනේ දිග අඟල් 48කි. මේ නීතියෙන් තුන්දෙනකු යා හැකි ත්‍රිරෝද රථයක පාසල් සිසුන් 20 දෙනකු ගෙන ගිය රියදුරකුට අනුරාධපුර පොලිසිය නඩු පැවරුවේ 2013 ජූලි 28 වැනිදාය.
2011 ඔක්තෝබර් 25 වැනි අඟහරුවාදා දිනමිණ පත්‍රයේ ලිපියක් පළකොට ඇත්තේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කොළඹ හයිඩ් පිටියේදී ස්වයං රැකියාලාභීන්ට ත්‍රිරෝද රථ 250ක් ප්‍රදානය කිරීම ගැනය. මෙම ලිපිය එදා ලියා ඇත්තේ වත්මන් සිළුමිණ කර්තෘ ධර්මන් වික්‍රමරත්න විසිනි. එම ලිපියේ සඳහන් පරිදි එවකට ත්‍රිරෝද රියදුරන්ගේ සංඛ්‍යාව ලක්ෂ 5කි. එහෙත් අද එය ලක්ෂ 8 දක්වා වැඩි වී තිබේ. අද ගණන් බලා ඇති පරිදි ත්‍රිවිල් රක්ෂාවෙන් යැපෙන පිරිස ලක්ෂ 40කි. QR ඛේතය හඳුන්වාදීමෙන් පසු ලියාපදිංචි වී ඇති ත්‍රිවිල් සංඛ්‍යාව දශලක්ෂ හතළිස් දෙදහසකි. එයින් ඉන්ධන ලබාගෙන ඇති ත්‍රිවිල් සංඛ්‍යාව 920,000ක් වුවත් හයර් දුවන්නේ ත්‍රිවිල් අට ලක්ෂයකි. ඒ කියන්නේ ඉතුරු ත්‍රිවිල් කාර්යාලවල සහ නිවෙස්වලට පෞද්ගලික කටයුතු සඳහා භාවිතා වන ඒවා විය යුතුය. ධර්මන් වික්‍රමරත්නගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ ත්‍රිරෝද රථ වලින් අයිතිකරුවන් ලෙස ධාවනය කරන සංඛ්‍යාව සියය 77ක් වන අතර ඉතුරු සියය 29 දෛනික කුලියක් මත එය පරිහරණය කරන බවය.
මේ ගොළුමඩම හන්දියේ ඇති සහන සේවයේ ත්‍රිරෝද රථ බොහොමයක් බැලූ විට පෙනී ගියේ ඒවා බොහොමයක් ඉංග්‍රීසි අකුරු තුනේ නොම්මර බවය.
“අයියේ මේ ඕගොල්ල ලෙඩක් වැටෙන වැඩක් නෙමෙයි නේද කරන්නේ. ‘ආටා‘ එක මාස 3ක් ෆිනෑන්ස් ඇරියස්. මේ සහන සේවය කරන අපිට 'ඇරියස් ෆිනෑන්ස් සහනයක්' දෙන්න කියල ලියන්නකෝ.“
ත්‍රිවිල්වල අංක තහඩුවල ‘ශ්‍රී‘ අකුර හලා ඉංගිරිසි අකුරු භාවිතය ආරම්භ වූයේ අකුරු 2කිනි. ඒත් 2012 අගෝස්තු 8 වැනිදා වන විට අකුරු 2 නොම්මර ඉවර වීම නිසා ඉංග්‍රිසි AAA අකුරු 3 ආරම්භ කරන ලදී. එකී අකුරු දෙකේ ත්‍රිවිල් අංක ඇති ත්‍රිවිල් ප්‍රමාණය දෙලක්ෂ හතළිස් නව ලක්ෂ හයසීයක්. මෝටර් වාහන දෙපාර්තමේන්තුව ඉංග්‍රිසි අකුරු 3 හඳුන්වා දෙමින් කියා සිටියේ ඒ මගින් ත්‍රිරෝද රථ හැටහතර ලක්ෂ අසූනව දහස් හයිසියකට අංක ලබා දිය හැකි බවය.
“අයියේ අලුත් ත්‍රිවිල් ලක්ෂ 60 තියා අපිට මේ තියන ත්‍රිවිල් 60වත් ෆිනෑන්ස් ගෙවා ගන්න බැරුව ඉන්නේ. මිනිස්සු ඉන්නේ අමාරුවෙන්. අපිට ආදර්ශයට අරන් වෙනත් හන්දිවලත් මෙහෙම සර්විස් එකක් පටන් ගන්න කියල තමයි අපි කියන්නේ.“
“ඕගොල්ල ඇයි ගාස්තුව රුපියල් 50/- කියල ගහල නැත්තේ.“
“එහෙම ගැහුවොත් අනිත් පැත්තේ ත්‍රිවිල්වලට අසාධාරණයක් වෙනවා. පුළුවන් කමකට දුවනවා නෙමෙයි. QR එකට හම්බ වෙන තෙල් ටික දවසට දෙකට ඉවර වෙනවා.“
2010 මහින්ද චින්තන ඉදිරි දැක්ම ලියවිල්ලේ 45 පිටුවේ ‘ත්‍රිරෝද රථයට අභිමන්‘ යනුවෙන් පරිච්ඡේදයක් තිබේ. “රටපුරා ත්‍රිරෝද රථ හිමියන්ට හා රියැදුරටන් සමාජ රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දෙමි.“ යනුවෙන් එහි සඳහන්ය.
මේ රටේ ත්‍රිවිල්වලට ඉන්ධන සහනාධාරයක් දුන් බව අද බොහෝ දෙනාගේ මතකයේත් නැත. 2004 වසරේදී ත්‍රිරෝද සඳහා රු 300/-ක සහනාධාරයක් ලබාදී තිබේ. එය විධිමත් නොවීය. නමුත් 2008 දී එම ඉන්ධන සහනාධාරය රුපියල් 1500/- දක්වා වැඩි කර තිබේ. ඒත් දැන් මේ ගොලුමඩම සහන සේවයේ ත්‍රිවිල් රියැදුරන්ගේ ප්‍රධාන චෝදනාව වූයේ තමන්ට ලැබෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවය.
“ඒත් අපි මේ පොඩි රුපියල් 50/-කට උදේ ඉඳන් රෑ 10 වෙනකම් හයර් දුවනවා. ඒක සේවයක් නෙමෙයිද? පෙට්‍රල් පෝලිම් කාලේ නම් කවුරුත් දිව්වේ නෑ! ඒ වෙලේ කට්ටියක් පයින්ම ගිහින් පුරුදු වුණා. දැන් ඒ ගොල්ල ත්‍රිවිල් දිහා බලන්නෙත් නෑ.“
මේ ගොළුමඩම අසල ත්‍රිවිල් සහන සේවයේ අය කිරීම ද වැඩි වී ඇත්තේ ඉතා කෙටි පරාසයක් තුළය. රුපියල් 5/-න් ආරම්භ වූ මේ සේවය ඉන්පසු රු 10, 15, 20, 30, 40 සහ 50 දක්වා මිල වැඩි වුණත් ත්‍රිවිල් රියැදුරන් අපට කිව්වේ පෙට්‍රල් මිල වැඩිවීම නිසා මිල සංශෝධනය අකමැත්තෙන් වුවත් සිදු නොකොට සිටීමට බැරි තත්ත්වයක් උදා වූ බවය.
“පෙට්‍රල් ලීටරේ 117ට තියෙන කොට මේ සහන සේවයට අය කළේ එක්කෙනෙක්ගෙන් රුපියල් 15/-යි. ඒ කාලේ රු 800/- ක පෙට්‍රල් ගැහුවම හවසට ඉතුරුත් වෙනවා. දැන් රු 3800ක ගැහුවම හවස් වෙනකොට ඉවර වෙනවා. කලාතුරකින් පස්සෙ දවසේ දුවන්න ඉතුරු වෙන්නේ. ඊළඟට සුමානයක් බලන් ඉන්න ඕන.“
මෙම සහන සේවයේ රියැදුරන් පවසන්නේ QR ක්‍රමවේදය නිසා තමන්ගේ වෘත්තිය දැඩි බලපෑමකට ලක්වී ඇති බවය. ඔවුන් පවසන්නේ QR කාඩ් එක පෙට්‍රල් ෂෙඩ් එකට දුන්විටම රුපියල් 200/-ක්වත් අතමිට මෙලවිය යුතු බවය.
“ඊළඟට පොම්පෙ එකාට කීයක් හරි දෙන්න ඕන. වැඩිපුර පෙට්‍රල් ටිකක් ගහගන්න. අන්තිමට අපිට පෙට්‍රල් ලීටරයක් රුපියල් 600 ක් විතර වෙනවා. පොම්පෙ එකා හවසට ගෙදර යන්නේ හත්අටදාහක් වැඩිපුර සාක්කුවේ දාගෙන.“
මේ ත්‍රිරෝද රථ සහන සේවය මුලින් ආරම්භ කොට ඇත්තේ ගොළුමඩම හන්දිය අවට පදිංචි ත්‍රිරෝද රථ රියැදුරන් වුවද දැන් ගමේ උදවියට වඩා ඉන්නේ පිටත ප්‍රදේශවලින් පැමිණි ත්‍රිරෝද රියැදුරන් බව ඔවුන් සමඟ කතා බහෙන් තේරුම්ගත හැකි විය. ඒ ත්‍රිවිල් කීපයකට නැඟ බැලුව ද රටේ ත්‍රිවිල් ගැන ඇති නීතිය ගැන ඔවුන් දැනුම්වත් වී දැයි අපට ප්‍රශ්නයක් පැන නැඟුණේ නිරායාසයෙනි.
හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම අංක 1821/31 දරන ගැසට් නිවේදනය ද බස්නාහිර පළාත් හිටපු ප්‍රවාහන ඇමති උපාලි කොඩිකාර අංක 1834/27 දරන ගැසට් නිවේදන නිකුත් කළේ ත්‍රිවිල් ගැනය. එම ගැසට් මඟින් නිර්දේශ කළේ මගීන්ට පෙනෙන ලෙස මිල ප්‍රදර්ශනය මුල්ම කරුණයි. ඊට අමතරව රියැදුරු අසුන පිටුපස තිරයේ 65mm x 50mm ප්‍රමාණයේ රියදුරුගේ ඡායාරූපයක්, වාහනේ ලියාපදිංචි අංකය, රියදුරු බලපත්‍ර අංකය, රියැදුරාගේ නම හා හදිසි අවස්ථාවකදී මගියාගේ ආරක්ෂාවට ඇමතිය යුතු අංකයක් ද සඳහන් විය. තවද ගැසට් නිවේදනය අනුව නම් ත්‍රිවිල් රියදුරකු ‘හයර්‘ එකක් යනවිට දුම්බීම සපුරා තහනම් කටයුත්තකි.
මේ මොනවා නීති කතා කළත් ඒවා ඇත්තේ 'නීති පොත්' වලය. මේ ත්‍රිවිල් රියැදුරන් රුපියල් පනහක් වැනි මුදලකට කිලෝමීටර 1.2 පමණ දුරක් මගියකු ඇරලවීම මහජන සේවයක් නොවන්නේද? ඊටත් වඩා ඉන්ධන අර්බුදයෙන් කෙමෙන් ‘හයර් ත්‍රිවිල්‘ පොදු ජනතාවගෙන් ඈත් වූයේ අය කරන ‘අධි මිල‘ ගාස්තුව නිසාය. දැන් හන්දිගානේ ඉන්න ත්‍රිවිල් රියැදුරන් ද පැමිණෙන එකම මගියා ‘හූරාගෙන‘කන ප්‍රතිපත්තියෙන් ඉවත් විය යුතු කාලයයි මේ. ගොළුමඩම ත්‍රිවිල් ‘සහන සේවය‘ ආදර්ශයට ගනිමින් එකම ගමනාන්තයකට යන තිදෙනකු එකඟ කරවාගෙන මුළු ගාස්තුව තුනෙන් බෙදා අය කළ විට නැවතත් ත්‍රිරෝද රථයක නඟින්නට මගීන්ට සැනසුම් සුසුම් හෙළිය හැකි තත්ත්වයක් උදාවෙනු නියතය.
ඡායාරූප - රංජිත් අසංක