
ගණ දෙවියන් වෙනුවෙන් නිවෙසේදී හෝ කෝවිලක, දේවාලයකදී පැවැත්විය හැකි සහ ස්තෝත්‍ර දැහැන් පිළිබඳ ඔබ වෙත ඉදිරිපත් කළ ලිපි පෙළේ අවසාන ලිපිය මෙයයි. ගණදෙවියන් ඉතා සතුටු වන පූජා පිදීමක් මෙමඟින් ඉදිරිපත් කරන අතර මෙයින් ද ඔබට ඉතා යහපත් ප්‍රතිඵල ලැබිය හැකිය.
ගණ දෙවියන් ඉතා කැමැත්තක් දක්වන නානුමුර පූජාව ඔබගේ නිවසේදීම ඔබ පුද පූජා දක්වන ගණ දෙවි රූපයටම සිදු කළ හැකිය. පළමුව ඒ සඳහා පිරිසිදු ස්ථානයක කුඩා මේසයක් හෝ එවැන්නක් තබා කහ වතුරෙන් පිරිසුදු කර ගන්න. ඉන් පසු ගණදෙවි රූපය නැඟෙනහිර දිශාවට මුහුණලා සිටින ලෙසට ඒ මත තැන්පත් කරන්න. දැන් පිරිසුදුව පෙරාගත් ජලයෙන් එම රූපය නාවන්න. දෙවැනුව ඒ අවස්ථාවේදීම සූදානම් කරගත් තැඹිලි වතුරෙන් සහ ඉන් පසුව කිරිවලින් ගණදෙවි රූපය ස්නානය කරවා අවසානයේ සඳුන් මිශ්‍ර ජලයෙන් ස්නානය කරවා නැවතත් පිරිසුදු ජලයෙන් ස්නානය කරවන්න. මෙය අභිෂේක පූජාව යනුවෙන් ද හඳුන්වනු ලබන අතර, නානුමුරයක්, නානුමුර මංගල්‍යයක් වශයෙන් ද හඳුන්වනු ලබයි. පූජාව අවසානයේ කහ පැහැති රන්වන් වස්ත්‍රයක් වශයෙන් සළුවක් රූපය වටා පලඳවා ඔබ පෙර සූදානම් කරගත් චන්දනම්වලින් සහ තින්නෝරුවලින් ගණ දෙවි රූපයේ නළලේ තිලක තියා නළල මැද සින්දුර්වලින් තිලකයක් තබන්න.
ඉන්පසු නැවතත් ගණදෙවි රුව ඔබ පහන් දල්වන ස්ථානයේ තැන්පත් කර කහ පැහැති දාස්පෙතියා මලින් සෑදූ මල් මාලාවක් පලඳවන්න. ඉතා පිරිසුදුව භක්තියෙන් යුතුව මෙම කටයුත්ත සිදු කරන්න. මෙයින් ඔබටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගි සුවයක්, ශාන්තියක් අනිවාර්යෙන් ලැබෙනු ඇත.
මෙම පූජාවෙන් පසු ඔබට එම ස්ථානයේම ඉඩ ඇත්නම් කලාසම් පූජාව හෝ කාලත්ති පූජාවක් සිදු කළ හැකිය. කාලත්ති පූජාවට බිඳිනු ලබන පොල් ගෙඩියේ ජලය ද එකතු කර එය ඉතුරු බෑයෙහි තැන්පත් කර එය ද පූජා කරන්න.
ඉන්පසු දෙපස එලඟි තෙල් මිශ්‍ර පොල්තෙල්වලින් පහන් දෙකක් ද දල්වා ඉහත ලිපියෙහි දැක්වූ ආරක්ෂාව කියා ඉන් පසු මූල මන්ත්‍ර ගායනා කර අවසානයේ දෙවියන්ට පින් දෙන්න. මෙම පූජා ක්‍රමය ඉතාමත් භක්තියෙන් විශ්වාසයෙන් සිදු කර අවසානයේ ඔබට යම් ප්‍රාර්ථනාවක් කිරීමට ඇත්නම් එය ද සිදු කරන්න. බොහෝ අය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හෝ විවාහ මංගල කටයුතුවලට පෙර මෙම පූජාව සිදු කර එයින් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්නවා ඇත.
මෙම පූජා කටයුතු අවසානයේදී ඔබට ගණ දෙවියන් සඳහා වන විශිෂ්ට නමස්කාර පූජාවක් ද සිදු කළ හැකිය. බොහෝ අවස්ථාවලදී බැතිමතුන් සියලුම පූජා කටයුතු අවසාන කිරීම සඳහා ද මෙය සිදු කරනු ලබයි. මෙම පූජාව ප්‍රථම වරට විභීෂණයන් විසින් ගණ දෙවියන් හට නමස්කාර සඳහා සිදු කරන ලද්දක් බවට ද දේව පුරාණයේ සඳහන්ව ඇත.
මෙය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් හිසට ඉහළින් දෑත් ඔසවා “ඕම් ගම් ගණපතයේ නමඃ” යනුවෙන් තුන් වරක් කියන්න.
ඉන්පසු පිළිවෙළින් දකුණු කනට ඉහළින් දකුණු අත ද වම් කනට ඉහළින් වම් අත ද තබා ගන්න. ඉන් පසු 7 වතාවක් හිස නමා ආචාර කරන්න. මේ අයුරින් හිස දෙපසට තට්ටු කර ගන්නා ආකාරයෙන් ද හින්දු භක්තිකයන් විසින් සිදු කරනු ලබයි. ඉන් පසු වම් අතින් දකුණු කන ද එම අතට උඩින් දමා දකුණු අතින් වම් කන ද අල්ලාගෙන සත් වතාවක් කොන්ද නමා ආචාර කරන්න. මෙය ද ගණ දෙවියන්ගේ සිත් සතුටු කරන පූජාවක් මෙන්ම ඔබගේ ශ්වසන පද්ධතියට ව්‍යායාමකි.
මෙම පූජාවෙන් පසුව අංකූශයක්, ත්‍රිශුලයක්, කෙටේරියක්, පන්හිඳක්, චාමරයක්, සෙම්බුවක්, අක්ෂයක්, නෙළුම් මලක්, ස්වස්තිකයක්, පුස්තකයක් යනාදිය පිත්තලෙන් නිමවා පූජා කිරීමට බාර විය හැකිය. විශේෂයෙන් දරුවන් සම්බන්ධ කරුණුවලදී ගණ දෙවි රුවක්, සංඛයක් හෝ සෙම්බුවක් කලාසම ලෙස පූජා කිරීමට බාර හාර විය හැකිය.
ගණ දෙවියන් අසරණ අයට ආදරයක්, පිහිටක් දක්වන හෙයින් අසරණ දරුවන්ට ආහාර, ඉගෙනුම සඳහා පොතපත, දුගී අයට ආහාර වස්ත්‍ර පූජා කර ඒ පින් ගණ දෙවියන්ට අනුමෝදන් කර ඔබට ද ඒ පිහිට ලබා ගත හැකිය.