
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සම්බන්ධව සමජය තුළ මේ වන විට දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ. ඊට හේතු වී ඇත්තේ ශාස්ත්‍ර පීඨයේ නීති අධ්‍යයන අංශයේ සිසු පිරිසකට එම පීඨයේම සිසු පිරිසක් විශ්වවිද්‍යාලයේ ගෙම්බා ආපණ ශාලාව තුළදී ප්‍රහාරයක් එල්ල කිරීමය. එකී සිද්ධියෙන් පසු ශාස්ත්‍ර පීඨ පීඨාධිපතිවරයා පහර කෑමට ලක්වූ සිසු පිරිසද සමඟ ගොස් පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
විශ්වවිද්‍යාලය හා පොලිසිය මඟින් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ දෙකක් කෙරෙද්දී ප්‍රශ්නය විසඳෙනු වෙනුවට සිදු වූයේ එය තව තවත් උග්‍ර වී ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වන තැනට ප්‍රශ්නය තල්ලු වීමය.
විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක උප සංස්කෘතිය තුළ නවක වදයට එරෙහි සිසුන්ට පොදු ස්ථාන පරිහරණය කිරීමේදී අනෙක් සිසුන්ට ඇති නිදහස නොමැත. ආපණශාලා, ක්‍රීඩාගාරය, පිහිනුම් තටාකය ආදී තැන් පරිහණය කිරීමේ අවස්ථාව ඔවුන්ට නොමැති බව ශාස්ත්‍ර පීඨ පීඨාධිපතිවරයා පවසයි. අදාළ පහරදීම මුල් කරගනිමින් මේ වන විට ශාස්ත්‍ර පීඨයේ සිසුන් 11 දෙනෙකුට පන්ති තහනමක් පැනවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ නවක වදය හේතුවෙන් මරණ දෙකක් සිදුව තිබේ. රූපා රත්නශීලි සිසුවිය 1975 දී කෘෂි පීඨයට ඇතුළත් වූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ සිසුවියන්ගේ අමානුෂික නවක වදය ඉවසා ගත නොහැකිව රාමනාදන් ශාලාවේ දෙවන මහලෙන් බිමට පැන්නාය. ඇය මරණයෙන් ගැලවුණත් ඇගේ පාදවලට බරපතළ හානි සිදුවිය. ඉන් වසර 22 කට පසු රූපා 1997 වසරේ දී සියදිවි හානි කර ගනු ලැබුවේ පාදවලට සිදුව තිබූ හානිය නිසාම ඇතිවූ සිත්තැවුල විඳ දරා ගැනීමට නොහැකිවය. විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට 1997 වසරේදී ඇතුළත් වූ එස්. වරප්‍රකාශන්ට අකුරක් හෝ ඉගෙන ගන්නට නොදී මරණය උරුම කර දීමට එම පීඨයේම සිසු පිරිසක් කටයුතු කළේ අමානුෂික නවක වදයට මුවා වෙමිනි. වකුගඩු අක්‍රිය වීමෙන් වරප්‍රකාශ් 21 වැනි වියේදී මෙලොව හැර ගියේ මවුපියන් තුළ වූ තම පුතු ඉංජිනේරුවකු වනු දැකීමේ සිහිනය බොඳ කරමිනි. අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළින් බරපතළ ගණයේ නවක වද සිදුවීමක් වාර්තා වන්නේ 2017 පෙබරවාරී මාසයේදීය. කෘෂි පීඨයේ ජ්‍යේෂ්ඨ සිසු පිරිසක් විශ්වවිද්‍යාලයට නුදුරු ස්ථානයක නිවෙසක් කුලියට ගෙන පළමු වසරේ සිසුන් වරින් වර එම ස්ථානයට රැගෙන ගොස් අමානුෂික ලෙස වද හිංසා පමුණුවා තිබෙන බව පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබිණි. විනය පාලකවරයා ඇතුළු පිරිසක් නිවෙස වටලන අවස්ථාවේ නවක වදයට ලක්වූ සිසුවකු ළිප් බොක්කේ නිදා සිට ඇත්තේ නිරුවතිනි. නිරුවත් කරන ලද ළමුන්ගේ ශරීරයේ රෝම කූප කපා තැනින් තැන දමා තිබෙනු ඔවුන් දැක තිබුණි. සමාජයේ දැඩි අවධානය දිනාගත් මෙම සිදුවීම සම්බන්ධයෙන් සිසු අයිතිවාසිකම් ගැන හඬ නඟන ශිෂ්‍ය සංවිධාන මුනිවත රැකීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් මේවා අනුමත කරන බවද යන චෝදනාව එවකට සිටි පාලනාධිකාරිය මඟින් යොමු කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වදයට පක්ෂව කටයුතු කරන කණ්ඩායම්වලට දැඩි විවේචනයක් එල්ල කරන ශාස්ත්‍ර පීඨ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මේ සම්බන්ධව මෙසේ පැවසුවේය.
“විශ්වවිද්‍යලයේ සියලු සිසුන්ගේ අධ්‍යාපන අයිතිය රැක දීම සඳහා කටයුතු කරද්දී දේශපාලන පක්ෂවල අතකොළු වුණු අවස්ථාවාදී පාදඩ නරුම ශිෂ්‍යයන් පිරිසකගෙන් මට මරණීය තර්ජන එල්ල වෙනවා. හත්වන විධායක ජනපතිවරයා ගෙදර යැව්ව අපිට ඩීන් කජ්ජක්ද කියා මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා මට තර්ජනය කළා. මේවායේ ඉදිරියෙන්ම සිටින්නේ ශිෂ්‍ය සංගමවල නියෝජිතයන්. නිදහස් අධ්‍යාපනයෙන් විශ්වවිද්‍යාලයට පැමිණ සිටින සියලු දරුවන්ට විශ්වවිද්‍යාලය තුළ එක හා සමාන අයිතිවාසිකම් තිබෙනවා.
නවක වදය ලබා දීම නතර කර ශිෂ්‍යයන්ට පොදු ස්ථාන පරිහරණය කිරීමට අවස්ථාව ලබා දෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙන ලෙස ශාස්ත්‍ර පීඨයේ සියලුම ආචාර්යවරු එක්ව පීඨ මණ්ඩලය ලෙස ගත් තීරණයක් සිසුන්ට දැනුම් දුන්නා. ඔවුන් ඒකට ප්‍රතිචාර නොදැක්වීමෙන් පැහැදිලි වෙන්නේ තව දුරටත් හිංසනය ක්‍රියාත්මක කරනවා කියන එකයි.“
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් දැක්වූයේ පවසන්නේ මෙවන් අදහසකි. “විශ්වවිද්‍යාලයට එන තුරු ගත කළ ජීවිතයේ විවිධ අඩුපාඩු අත්වින්ද අය තමයි නවක වදය අනුමත කරන්නේ. නවක වදය දෙන්නෙත් ඒ අය. විඳින්නෙත් ඒ අය. හිංසාකාරී මිනිස්සු නිර්මාණය වෙන්නේ හිංසාකාරී සමාජානුයෝජනය තුළින් කියන කාරණය සමාජ විද්‍යාවේ න්‍යායක්. නවක වදය කියන්නේ හිංසාවක්. හිංසාව ලබා දෙන්නේ මානසික ආබාධ සහිත ශිෂ්‍යයන්. අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලෙත් නවක වදය තිබුණා. නවක වදය දෙන කිසිම ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයකුට නවක සිසුවකුගේ ඇඟට අති තියන්න තහනම්. “
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරාධ විදානගේ මෙම චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් මෙසේ කීවේය.
“සිසුන් පීඨාධිපතිවරයාට මරණ තර්ජන කළ බවට කරන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිසුන් පිළිබඳවත් පීඨ හා ශිෂ්‍ය සංගම් සම්බන්ධයෙනුත් නොයෙක් මඩ ප්‍රචාර ගෙන යමින් වැරදි මතයක් ජනගත කිරීමේ සැලසුම් සහගත උත්සාහයක් තිබෙනවා. ශාස්ත්‍ර පීඨ සිසු දෙපිරිසක් අතර පසුගිය 14 වැනිදා ඇතිවූ ගැටුම නවක වදය හා සම්බන්ධ එකක් නෙවෙයි. නැවත ගැටුම් ඇති වීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් එහිදී එකඟතාවක් ඇතිකර ගත්තා. තවත් මේ අය ඉල්ලා සිටින්නේ කුමක්ද යන්න ප්‍රශ්නයක්.“
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය එම්.ඩී ළමාවංශ කියන්නේ මෙවැන්නකි.
“කිසිම උපකුලපතිවරයකුට හෝ පීඨාධිපතිවරයකුට අවශ්‍යතාවක් නැහැ නවක වදය පවත්වාගෙන යන්න. මේක වළක්වන්න අපේ කාලය හා ශ්‍රමය විශාල ලෙස වැය වෙනවා. ශිෂ්‍යයෝ, ශිෂ්‍ය සංගම් හා ඒ අයට අනුබල දෙන දේශපාලන වේදිකාවේ ඉන්න අය ඒකමතිකව තීරණය කරනවා නම් නවක වදය නතර කරන්න ඕන කියලා මේ ප්‍රශ්නය එතනින් ඉවරයි. නමුත් අවාසනාවකට ඒක වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලයට එනකොටම නවක වදයේ තිබෙන බැරෑරුම් කම හා ඒ සඳහා පවතින දඬුවම් මොනවාද කියන කාරණය සම්බන්ධව අපි ශිෂ්‍යයන්ට අවබෝධයක් ලබා දෙනවා. විනය පාලක ඇතුළු සියලු දෙනා ඔවුන්ට කතා කරනවා. අලුත් ශිෂ්‍යයෝ ඒ අය ඉගෙන ගන්න පීඨයේ ජ්‍යේෂ්ඨයන් සමඟ නේවාසිකාගාරවල එකට දාන්නේ නැහැ. ආපණශාලා ඇතුළු පොදු ස්ථානවලට නවක සිසුන් යනකොට විනය පාලක වගේම ආචාර්යවරු ඔවුන් පිළිබඳ යම් නිරීක්ෂණයක් කරනවා. පසුගිය 14 වැනිදා නීති අධ්‍යයන අංශයේ සිසු පිරිසකට පහරදීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකාර සිසුන් සමඟ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් ගිහින් තිබෙනවා. මෙයින් පෙනෙන්නේ මේ අය අතර සම්බන්ධයක් තියෙනවා කියන එක නේද?
විවිධ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පසුගිය වසර පහ තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 230 දෙනකු පමණ දඬුවම් ලබා ඇත. වැඩිම සිසුන් පිරිසක් දඩුවම් ලබා තිබෙන්නේ 2018 වසරේදි වන අතර එම සංඛ්‍යාව 65 කි. 2021 වසරේදී කිසිදු විනය විරෝධී කටයුත්තක් සඳහා සිසුන් දඬුවම් විඳ නොමැති අතර එයට හේතුවී ඇත්තේ කොවිඩ් නිසා විශ්වවිද්‍යාලය වසා තිබීමය. මෙම වසරේ මේ දක්වා සිසුන් පනස් දෙනෙකු පමණ දඬුවමට ලක්ව ඇත. 2017 වසරේදී විශ්වවිද්‍යාල භූමියෙන් පිටත ස්ථානයක නිවසක් කුලියට ගෙන නවක වදය ලබා දුන් සිද්ධියට අදාළව කෘෂි පීඨයේ සිසුන් 08 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය වසර හයකට අත්හිටුවීමට පාලනාධිකාරිය පියවර ගත් අතර, සිසුන් විසින් ඉදිරිපත් කළ අභියාචනා සැලකිල්ලට ගෙන පසුව එය වසර තුනක් දක්වා අඩු කෙරිණි.
නවක වදය වළක්වාලීමේ විශ්වවිද්‍යාල පනත 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත ලෙසද හඳුන්වනු ලැබේ. මෙය ඉතා බලවත් එකකි. එයට අනුව නවක වදය ලබා දීම සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් නියම කළ හැකිය. ලිංගික අතවර හෝ බරපතළ තුවාල සිදු කළ බවට තහවුරු වුවහොත් බරපතළ වැඩ සහිත වසර 10ක සිරදඬුවමක් හා වන්දි මුදලක් ද ගෙවීම සඳහා නියෝග කිරීමට පුළුවන. මෙයට අමතරව සාපරාධී බිය ගැන්වීමට බරපතළ වැඩ සහිත වසර 05 ක දඬුවමකට ද අඩස්සියට ගැනීම සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිත වසර 07ක සිරදඬුවමකටද යටත් කළ හැකිය.
ඇතැම් විශ්වවිද්‍යාල සිසුන් තුළ කැකෑරෙන විකෘති මානසිකත්වය පිළිබඳ යම් පිළිඹිබුවක් මේ තුළ දක්නට ලැබේ. බහුතරයක් දෙනා මෙම ගණයට නොවැටුණ ද සුළුතරයකගේ ක්‍රියාකාරකම් සමස්ත විශ්වවිද්‍යාල සිසු ප්‍රජාව වෙත ම අවමානයක් කැන්දා ගෙන ඒමට සමත්ව ඇත. සිසු අයිතිවාසිකම් ගැන කතා කරමින් සිසුන් පාරට බස්සන මහා ශිෂ්‍ය සංගමය සිසුන්ගේ වගකීම සම්බන්ධයෙන්ද අවබෝධයකින් කටයුතු කිරීම කාලෝචිත අවශ්‍යතාවකි. ඔවුන් විශ්වවිද්‍යාලවලින් අමානුෂික නවක වදය මුලිනුපුටා දැමීමට පෙරමුණ ගන්නේ නම් එය ඔවුන්ට ද රටට ද යහපතකි.
අසේල කුරුළුවංශ, නුවර
ඡායාරූප - රුවන් මීගම්මන