බදු බරෙන් නිද­හස් වූ කාන්තා සනී­පා­ර­ක්ෂාව | සිළුමිණ

බදු බරෙන් නිද­හස් වූ කාන්තා සනී­පා­ර­ක්ෂාව

 

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% ක් ම කාන්තාවන් ය. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව, ඒ අතරින් මිලියන 5.7 ක් පමණ අයත් වන්නේ ඔසප් වන කාන්තාවන් ගොඩට ය.

එසේම, සෑම කාන්තාවක් ම සිය ජීවිත කාලයෙන් දින 2,535ක් ආර්ථව කාලය නැතහොත් ඔසප් කාලයකට මුහුණ මුහුණ දෙන අතර, සනීපාරක්ෂක තුවා නැතිකමින් සාම්ප්‍රදායික ක්‍රම භාවිත කරන සෑම කාන්තාවකටම පාහේ මේ දින කිහිපය අතිශය අසීරු කාල පරිච්ඡේදයකි.

මෙවැනි පසුබිමක් තුළ කාන්තාවන් සහ පාසල් දැරියන් අතර සනීපාරක්ෂාව සහතික කිරීම සහ සනීපාරක්ෂක නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබා ගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් දේශීය සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 05ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව, මෙම බදු සහන සමග දේශීයව නිෂ්පාදිත සනීපාරක්‍ෂක තුවා 10ක් සහිත පැකට්ටුවක මිල රු. 50ක- 60ක මිලකින් අඩු වීමට නියමිත බවත්, එවිට එහි උපරිම සිල්ලර මිල රු. 260ක් - 270ක් වන බවත් රජය පවසයි. එසේම, ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා ද, සිල්ලර මිල 18%කින් හෝ 19%කින් අඩු වීමට නියමිතය.

ඒ අනුව, රේගු ආනයනය මත 15%ක රේගු ආනයන බද්ද, 10% - 15%ක් වූ සෙස් බද්ද සහ 10%ක් වූ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද (PAL) අමුද්‍රව්‍ය 05ක් ආනයනය කිරීමේදී හා අතරමැදි භාණ්ඩ ආනයනය කිරීමේදී ඉවත් කර ඇත.

දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා වැට් බද්ද ශුන්‍ය අනුපාතයක් ලබා දී ඇති අතර, නිමි සනීපාරක්ෂක තුවා ආනයනය කරන්නන්ට ද ශුන්‍ය අනුපාත වැට් බද්දේ ප්‍රතිලාභය හිමි වන බවත්, මෙම සියලු ප්‍රතිලාභ අර්බුද කාලසීමාවට බල පැවැත්වෙන පරිදි ලබා දෙන බවත් රජය නිවේදනය කර ඇති පසුබිමක, ඊට අදාළ පාර්ශව කිහිපයක් සම්බන්ධ කර ගතිමු.

සනීපාරක්ෂක තුවා මිල අඩු කිරීමට රජයට බලපෑම් කරමින්, මේ සටනේ විශාල කාර්යභාරයක් ඉටු කළ, ඇඩ්වොකාටා ආයතනය නියෝජනය කරමින් එම ආයතනයේ පර්යේෂණ සහායක, තත්සරණී සිරිවර්ධන පැවැසූයේ මෙවැනි අදහසකි.

" ඇඩ්වොකාටා ආයතනය මුලින්ම සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති ආනයන බදු ගැන කතා කරද්දී ඒ කියන්නේ 2018ට පෙර, මුළු ආනයන බදු ප්‍රමාණය පැවතියේ 101.2%ක් ලෙසින්. මේ අවුරුද්දේ මුලදී සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති ආනයන බදු ප්‍රමාණය 53.6% වුණා. නමුත් සාමාන්‍ය බද්ද (General Duty) 15% ඉවත් කිරීමත් සමග සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති ආනයන බදු ප්‍රමාණය 46.9% දක්වා අඩු වී තිබෙනවා.

ආණ්ඩුව විසින් මේ ගත් පියවර Advocata ආයතනය අගය කරනවා. නමුත් මේ පියවර ගැන ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කළත්, මේ පියවර නිල වශයෙන් ප්‍රකාශ කරන ගැසට් පත්‍රයක් ඔක්තෝබර් 07 වැනිදා වන තෙක් නිකුත් කර නැහැ.

සනීපාරක්ෂක තුවා සඳහා ආනයනික අමුද්‍රව්‍ය සඳහා පනවා තිබූ සියලුම ආනයන බදු ඉවත් කළා වගේම, ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති CESS බද්ද (15%) සහ PAL බැද්දත් (10%) ඉවත් කළ යුතුයි"

වමේ සිට, ප්‍රශ්නය විසඳීමට මැදිහත් වූ  කාන්තා  හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ, කැපි­ටල් මහ­රාජා සමූ­හයේ සමූහ අධ්‍ය­ක්ෂිකා ශාන්ති භගි­ර­දන්, හේලීස් කන්සි­යු­මර් සමා­ගමේ අලෙවි කළ­ම­නා­කරු කසුන් නානා­ය­ක්කාර, ඇඩ්වො­කාටා ආය­ත­නයේ  පර්යේ­ෂණ සහා­යක තත්ස­රණී සිරි­ව­ර්ධන, හේමාස් කන්සි­යු­මර් සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂිකා සැබ්‍රිනා එසු­ෆාලි

දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයේ නියැළෙන කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂිකා, ශාන්ති භගිරදන් පැවැසුවේ මෙවැනි අදහසකි.

"අපි ගැහැනු දරුවන්ගේ සහ කාන්තාවන් ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන සමාගමක් විදියට, පාසල් මට්ටමෙන් බොහෝ දේ කරනවා. දැනටත් අපි ඈත පළාත් තුළ පාසල් සිසුවියන්ට ඔසප් සනීපාරක්ෂාව පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ තත්ත්වය පිළිබඳ දැනුම්වත් නොවුණොත් කාන්තාවන් අතර වාර්තා වන පිළිකා අතරින් දෙවැනි තැන ලා සැලකෙන ගැබ් ගෙල පිළිකා වර්ධනය හා සම්බන්ධ වන එක් හේතුවක් ලෙස, දුර්වල ඔසප් සනීපාරක්ෂක කළමනාකරණය පර්යේෂණවලින් පෙන්වා දී තිබෙන නිසා.

අපි 100%ක් දේශීය නිෂ්පාදන සමාගමක්. ඒ නිසා අපේ රටේ දේශගුණයට ඔබින ලෙස නිෂ්පාදනයේ යෙදෙන්නට අප සෑම විටම වග බලා ගන්නවා. ඊවා හා බැඳුණු සනීපාරක්ෂක ඇඟලුම් වර්ග 19ක් තිබෙනවා. මේ සියල්ල දේශීය නිෂ්පාදන. දේශීයව නිෂ්පාදනය කළාට මේ සෑම අමුද්‍රව්‍යයක් ම ගෙන්වන්නට සිදුව තිබෙන්නේ පිටරටින්. මේ බදු සහනය ලබා දීම වඩාත් අගය කළ යුතු වන්නේ ඒ නිසා"

සෞඛ්‍ය අංශවලින් වාර්තා වන ආකාරයට වසරක් තුළ ලාංකේය කාන්තාවන් 1136ක් පමණ ගැබ් ගෙල පිළිකාවලට ගොදුරු වන අතර, සෑම වසරකම එම රෝගීන්ගෙන් 643 පමණ මරණයට පත්වන බවත් සඳහන් වේ.

කෙසේ වෙතත් සනීපාරක්ෂක තුවා මත ඉහළ ආනයනික බද්දක් පනවා තිබීම හේතුවෙන් දරාගත නොහැකි තරමට ඒවායේ මිල ඉහළ ගිය අතර, මේ තත්ත්වය මෙලෙසම පැවැතියේ නම් කාන්තාවන් ඔසප් සනීපාරක්ෂාවෙන් ඈත් වන බව සහතිකය.

2004 වසරේ පටන් විස්පර් ආනයනික සනීපාරක්ෂක තුවා මෙරටට ගෙන්වන දැවැන්ත සමාගමක් වන හේලීස් කන්සියුමර් සමාගමේ අලෙවි කළමනාකරු කසුන් නානායක්කාර මේ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

" අප ගෙන්වන්නේ ලෝක ප්‍රකට සන්නාමයක්. එහි විශේෂත්වය තමයි, ලංකාවේ සිහින්ම ඝනත්වයක් ඇති සනීපාරක්ෂක තුවා වර්ගය වීම. නිමි නිෂ්පාදනයක් ලෙස රජය ඉවත් කර තිබෙන්නේ, ආනයනික වැට් බද්ද පමණයි.15%ක සෙස් බද්ද එලෙසම පවතිනවා.10%ක PAL බද්දත් එලෙසම පවතිනවා. ඒ 25%ක බද්දට දැන් 2.5%ක අලුත් සමාජ ආරක්ෂණ බද්දත් එකතු වනවා.

අපි කියන්නේ මේක කාන්තාවන්ට අත්‍යාවශ්‍ය දෙයක්. ඒ නිසා මේ තරම් බදු පනවන්නේ නැතිව, සියලු බදු ඉවත් කරන්න කියලයි. සෙ.මී.31.7ක් ලෙස දිගින් වැඩිම සහ ඉතාම සිහින් සනීපාරක්ෂක තුවා ලෙස, විස්පර් කෙරෙහි කාන්තාවන් බොහෝ කැමැත්තක් දැක්වුවත් ඉහළ මිල නිසා හැම කෙනාටම මිලදී ගැනීමේ හැකියාවක් නැහැ.

අනෙක් කාරණාව තමයි, මීට වඩා අඩු මිලකට 20 ml වර්ගීකරණයට අයත් සනීපාරක්ෂක තුවා ලංකාවට ගෙන්වන්න අපිට හැකියාව තිබෙනවා. නමුත් එය ක්‍රියාවට නංවන්න විදියක් නැහැ. හේතුව, ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක තුවා ආනයනකරුවන් වෙත පනවා තිබෙන එක් රෙගුලාසියක් නිසා. එනම්, ලංකාවට ගෙන්වන්නට අවසර දී තිබෙන්නේ, අවම වශයෙන් මිලි ලීටර් 30ක් උරා ගැනීමේ හැකියාව ඇති සනීපාරක්ෂක තුවා පමණයි කියන නීතිය. එය අයිති වන්නේ ඉහළ මිල ගණන් යටතේ පවතින වර්ගීකරණයකට.

නමුත් 20 ml කියන්නේ ප්‍රමිතිය එකම වුවත්, අඩු මිලකට ලබාගත හැකි වර්ගීකරණයක්. ඉන්දියාව, බංග්ලාදේශය, ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල් පවා මේ උරා ගැනීමේ සීමාව පනවා තිබෙන්නේ, 20 ml දක්වා පමණයි. ඒ රටවල් තමන්ගේ රටේ කාන්තාවන්ට අඩු මිලකට සනීපාරක්ෂක තුවා ලබා දෙන ප්‍රධානම හේතුවක් මෙය.

සෞඛ්‍යාරක්ෂාව අතින් බලන විට කාන්තාවක් පැය 10ක් 12ක් වැනි දිගු වේලාවක් එකම සනීපාරක්ෂක තුවායක් ඇඳ සිටීම සුදුසු නැහැ. සෑම පැය 6-8කට වරක් එය මාරු කළ යුතුයි.

අනික ජාත්‍යන්තර වශයෙන් කර ඇති පර්යේෂණවලට අනුව, විශේෂ තත්ත්වයකදී හැරෙන්නට කාන්තාවක ගේ ඔසප් කාලය තුළ රුධිරය පිටවන්නේ දින 4- 5ටම 50- 60 ml ක් පමණයි. එය දිනෙක සාමාන්‍ය ලෙස ගත් විට, 20mlටත් වඩා අඩු ප්‍රමාණයක්. එහෙම බලද්දී 30 ml කියන්නේ ඕනෑවටත් වඩා ධාරිතාවක් ඇති සනීපාරක්ෂක තුවායක්.

ඉතින් ආනයනයේ දී 30ml ක ධාරිතාවක් ඇති, වැඩි මිල සනීපාරක්ෂක තුවාය පමණක් ද ලංකාවට අවශ්‍ය කියන කාරණය රජය නැවත සිතා බැලිය යුතුයි. 20ml දක්වා ඉඩ දෙන්නේ නම්, මීට වඩා කාන්තාවන් වැඩි පිරිසකට අඩුවට සනීපාරක්ෂක තුවා ලබා දෙන්න ආනයනකරුවන් ලෙස අපට හැකියාව තිබෙනවා"

ෆෙම්ස් සන්නාමය යටතේ දිගු කලක් මෙරට සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයේ යෙදී සිටින හේමාස් කන්සියුමර් සමාගමේ, කළමනාකාර අධ්‍යක්ෂවරිය සැබ්‍රිනා එසුෆාලි පැවැසූයේ මෙවැනි අදහසකි.

" වර්තමානයේ පවතින අසීරු ආර්ථිකයත් එක්ක කාන්තාවන් පළමුවෙන්ම පවුලේ වියදම්වලින් ඉවත් කරන දේ තමයි, සනීපාරක්ෂක තුවාවලට යන වියදම. නමුත් එය පවුලක අම්මකුගේ සහ දියණියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට හොඳ දෙයක් නෙවෙයි. මේ වගේ අමාරු වෙලාවක රජය දුන් මේ බදු සහනය ඇත්තටම අපි අගය කරනවා.

මීට අවුරුද්දකට පෙර ආර්ථික අපහසුතා ඇති දුෂ්කර පළාත්වල පාසල් දැරියන්ට සහන මිලකට හඳුන්වා දුන් 'ඇය' සනීපාරක්ෂක තුවා පැකට්ටුව පාසල් දැරියන්ට පමණක් සීමා නොකර රට පුරා ආර්ථික අපහසුතා ඇති ඕනෑම කාන්තාවකට මිලදී ගත හැකි ආකාරයේ සහන මිලකට ලබා දෙනවා. නව බදු සහනයත් එක්ක එය රු.150 දක්වා පහත හෙළන්නට හැකි වේ යැයි අප බලාපොරොත්තු වනවා"

 

Comments