මට හැම තිස්සෙම අලුත් දෙයක් කරන්න ඕන | සිළුමිණ

මට හැම තිස්සෙම අලුත් දෙයක් කරන්න ඕන

නිර්මාණකරණය විවිධ ය. බොහෝ අය හිතන්නේ නිර්මාණකරණය ලිවීම, ඇඳීම වැනි කාරණා මත පදනම් වන බවකි. එහෙත් තාක්ෂණ නිර්මාණකරණය ගැන නොතිත් ආශාවකින් යුතු අයකුගේ සිහින හඹා යෑමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ තාක්ෂණික නිමැවුම් වෙන රටවල් අතරට යෑමට ප්‍රමුඛ මෙහෙවරක් කළ අයෙක් වෙයි. ඔහු තන්ත්‍රි ටේලර්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අතුල හපුතන්ත්‍රී ය. එක් නිපැයුමක් කර නොනැවතෙන ඔහු නව තාක්ෂණ නිපැයුම් කිරීමේ නොතිත් ආශාවෙන් යුතුව වැඩ කරන්නෙකි. මෑතකදී ටුවින් ඇඩප්ටර් ටේලරයක් හෙවත් සුළං බලාගාර ආශ්‍රිත කුලුනක් නිපැදවූ ඔහු ඒ ඔස්සේ ලොව පුරා තන්ත්‍රි නාමය ප්‍රචලිත කළේ ය. මේ ඔහුගේ දිවිසැරියේ කඩඉම් ලකුණු ය.

සම්පූර්ණ නම 

කණිෂ්ක අතුල හපුතන්ත්‍රී

උපන්දිනය

1962 අගෝස්තු 15

උපන් ගම් ප්‍රදේශය

හොරණ පොකුණුවිට

අම්මා තාත්තාගේ නම සහ ඔවුන්ගේ වෘත්තීන්

තාත්තා ජෝන් හපුතන්ත්‍රී. තාත්තා තමයි තන්ත්‍රි ටේලර්ස් පටන් ගත්තෙ. අම්මා ශීලා හෙට්ටිආරච්චි. මට එක සහෝදරයෙක් විතරයි ඉන්නෙ.

පාසල් යන්නේ

මම පාසල් තුනකට ගියා. මුලින් ම හොරණ ශ්‍රීපාලියට. ඊට පස්සෙ ඇතුළත් වීමේ විභාගය සමත් වුණු නිසා කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ගියා. පස්සෙ ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණා.

පාසල් කාලෙ බාහිර වැඩ කළාද?

විවිධ දේවල්වලට සහභාගී වුණා. මලල ක්‍රීඩා කළා. සමිති සමාගම්වලත් හිටියා

උසස් පෙළ හදාරන්නේ කුමන විෂය ධාරාවෙන්ද? විශ්වවිද්‍යාලෙට තේරුණාද?

ගණිත අංශයෙන් උසස් පෙළ කළේ. මාව විශ්වවිද්‍යාලයට තේරුණේ භෞතික විද්‍යා අංශයෙන්. මම ඒ නිසා විශ්වවිද්‍යාලෙ ගියේ නෑ.

මොකද්ද ඔබේ සිහින වෘත්තිය වුණේ.

මට ඕන වුණේ මැරීන් ඉංජිනේරුවරයෙක් වෙන්න. නමුත් මෙහේ තිබුණෙ මිකැනිකල් ඉංජිනියරින් විතරයි. තාත්තගෙ ආභාසෙත් එක්ක වෙන්න ඇති මට ඒ ගැන තමයි ආසාව තිබුණෙ. ඒ කාලෙ ජාතික ආධුනිකත්ව මණ්ඩලයෙන් විශේෂ ආධුනිකයන් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් තිබුණා. මම ඒකෙ පුහුණුවීම්වලට ගියා. අපිට දේශන සහ පර්යේෂණාගාර පහසුකම් තිබුණෙ මොරටුව විශ්වවිද්‍යාලයේ.

මොනවද ඔබ මෙතනදි ඉගෙන ගන්නෙ

ඒක නැව් අලුත්වැඩියා කිරීම පිළිබඳ පාඨමාලාවක්. අපිට හම්බ වුණා විදේශීය නැව්වල වැඩ කරන්න. පුහුණු කාලෙන් පස්සෙ අපි මැරීන් ඉංජිනියරින් ඉගෙන ගන්න ඕන. හැබැයි ඒක ලංකාවෙ තිබුණෙ නෑ. එංගලන්තෙ තමයි තිබුණෙ. පස්සෙ මම මැරීන් ඉංජිනියරින් කරන්න එංගලන්තෙ විශ්වවිද්‍යාලයකට ගියා. ඒ 1991 විතර.

ලංකාවට එන්නෙ කොයිකාලෙද?

ඒ ඔක්කොමත් ඉවර වෙලා නැව් වලත් ගිහිල්ලා මම ලංකාවට ආවෙ 1999 විතර. ලංකාවට එනකොට තාත්තාට ටිකක් සනීප මදි. තාත්තාට උදව් කරන්න සිද්ධ වුණා මට.

එතකොට මේ ආයතනය පිහිටුවල ද?

ඔව්. මුලින්ම තන්ත්‍රී මැරීන් ඉංජිනියරින් කම්පැනි කියලා පටන් ගත්තෙ. ඊට පස්සෙ බෙදුම්වාදී කලබල කාලෙ වරායට යන්න එන්න එහෙම හරිම අමාරු වුණා. ටික ටික අපි ඒ වැඩෙන් අයින් වුණා. ඊළඟට අපි වෙන වෙන වැඩ කරන්න ගත්තා. ඒ නිසා තමයි අපි තන්ත්‍රී ටේලර්ස් කියන එක පටන් ගත්තෙ.

කොහොමද තාත්තාගෙ ආයතනයට සම්බන්ධ වුණේ

මම තාත්තාට උදව්වට ආවෙ. තාත්තාගේ අසනීප ගති නිසා ආයතනය පොඩ්ඩක් පහළට වැටිලා තිබුණෙ. මම හිතුවා අවුරුද්දක් විතර තාත්තාට උදව් කරලා ආපහු යන්න ඕන කියලා. බ්‍රිටිෂ් ස්ටීල් කම්පැනි එකේ නැව්වල තමයි මම වැඩ කළේ. අවුරුද්දක නිවාඩුවක් අනුමත කරන් මම ආවෙත්.

අවුරුද්දෙන් යන්න ආව ඔබ ඇයි නවතින්නෙ

ඒ කාලෙ ඇතුළත මට ගොඩක් මේ ආයතනයට සම්බන්ධ අය එක්ක සමීපකම් හැදුණා. ඊට පස්සෙ ඉතින් මට හිතුණා නැව්වල ඉන්නවට වඩා මට මෙතන වැඩක් කරන්න පුළුවන් කියලා. ලංකාවෙ ඒ කාලෙ හද හදා හිටියෙ පරණ තාලේ ටේලර්ස්. අපේ කම්පැනි එකෙන් තාත්තා තමයි ටේලර්ස් හදන්න පටන් ගත්තෙ, පස්සෙ තව එක කම්පැනි එකක් ට්‍රේලර්ස් හදන්න ගත්තා. මට ඕන වුණා වෙනස් යමක් කරන්න.

කොහොමද අදහස එන්නෙ. මොනවගේ වෙනසක් ද ඔබ කරන්නෙ

නැවේ රටවල්වලට යද්දි මම එක එක විදියේ ටේලර්ස් දැක්කා. ඒවා එක එක විදියට හදනවා මම දුටුවා. ඉතින් ලංකාවෙත් මේවා කරන්න පුළුවන් කියලා මට හිතුණා.

මේවා කරද්දි අභියෝග එන්න ඇති

මෙහේ වැඩක් කරද්දි මුල ඉඳලම ඉතින් අභියෝග ම තමයි. මුලින් ම බැංකු පහසුකම්වත් ගන්න අමාරුයි. මුලින් ම ගෙවල් දොරවල් උකස් කරලා තමයි ණය මුදලක් ගත්තෙ. ලොකු පහසුකම්වලට යන්නෙ නැත්නම් ලොකු වැඩ කරන්නත් බෑ. එහෙම අවදානමක් ගත්තෙ නැතොත් පොඩි පොඩි බිස්නස් කරන් හරියට අර හැමදාම තේ කඩයක් කරනවා වගේ ඉන්න පුළුවන්.

මුදල් අභියෝගය හරි, ඒත් ව්‍යාපාරයක් කියන්නෙ මුදල් ම නොවෙයි. කොහොමද ඒක ජයගත්තෙ

අපි කරන්නෙ නව මෝස්තර. අපි කරන ඩිසයින් එක ෆේල් නම් අපිත් වැටෙනවා. සමහර වෙලාවට අපි ෆේල් වෙනවා, නැවත හදනවා. ඒක ඉතින් ව්‍යාපාරයක් කරද්දි හැටි.

කොහොමද ඔබේ කණ්ඩායම

ඒක තමයි මගේ ලොකුම හයිය. වත්කම් වටිනාකම් සහ මිනිස් වටිනාකම් කියන දේ හි වෙනස මම හොඳටම අඳුනනවා. අපි අවංකව තක්සේරු කරලා බැලුවොත් වත්කම් වටිනාකමට වඩා මිනිස් වටිනාකම් බොහොම වැඩියි. අපි එක වගේ වැඩ කරනවා. විවිධ අයට විවිධ හැකියා තියෙනවා. වටිනාකම් තියෙනවා. අපි ඒවා එකතු කරනවා.

මෙච්චර කල් ලංකාවේ හදන්න අපහසු වුණු නව නිපැයුමක් ඔබ කරනවා. කොහොමද අදහස එන්නෙ

ඒක රෝද 38කින් යුත් සුළං බලාගාර ආශ්‍රිත කුලුනක් (ටුවින් ඇඩප්ටර් ටේලරය). ඇත්තටම ඒක කළේ මගේ කණ්ඩායම. මෙතන ඩිසයින් කරන ළමයෙක් තමයි සියල්ල කළේ. මම ඒක වඩාත් සාර්ථක කරගන්න අවශ්‍ය දේවල් කළා. මුළු ලංකාව ම හෙල්ලෙන වැඩක් ඒ අය කළා. මම දන්න තරමින් ආසියාතික රටකවත් එහෙම දෙයක් තාම කෙරිලා නෑ. අපි සාමාන්‍යයෙන් මහාමාර්ගවල ධාවනය කරන්න අපහසු තරම් උස දේවල් සඳහායි මේක භාවිත කරන්නෙ. ජර්මනිය, නෙදර්ලන්ඩ් වගේ රටවල මේ වගේ ව්‍යාපෘති දැනටත් කරනවා. මේක සාමාන්‍යයෙන් අඩි 16ක් විතර උසයි. ටේලර් එකක් උඩින් තිබ්බම අඩි 20ක් විතර ඉස්සෙනවා. ඒනිසා මේකට යටින් ටේලර්ස් එකක් දාන්න බෑ. අපි ඒනිසා අනුගමනය කළේ ටියුබ් ලයිට් සවි කරන ක්‍රමවේදය. එතකොට බිම් මට්ටමටම පහත් කරන්න පුළුවන්.

වින්ඩ් ටර්බයින් එක හයි කරන්න විශාල ටවර් ඕන. කොන්ක්‍රීට්වලින් මේවා හදන්න බෑ. යකඩෙන්ම හදන්න ඕන. සාමාන්‍ය තැන්වල හදන්නවත් බෑ. විශාල ෆැක්ටරිවල හදලා ගෙනියන්න ඕන. මේ වගේ අසීරු දේවල්වලට අපි මුහුණ දීලයි මේ නිපැයුම කළේ.

මේවගේ අත්හදාබැලීම් කරන්න තරම් ඔබේ සේවක කණ්ඩායමේ වෙනස මොකද්ද? 

ලංකාවෙ මිනිස්සු හරිම බුද්ධිමත්. ඒක තේරෙන්නෙ අපි වෙන රටවල් එක්ක ගොඩක් ගනුදෙනු කළ අය නිසා. මේ අය හැම දෙයක් ම වේගෙන් අල්ල ගන්නවා. අලුත් දේවල් හොයා ගන්නවා. අපේ රටේ වැරැද්ද මේ ජනතාවගේ බුද්ධිමත් බව හඳුනා නොගැනීම. අපේ මිනිස්සු අනෙක් රටවල අය වගේ ආක්‍රමණශීලී නැහැ. ඒ අයගේ ඒ වෙනුවට තියෙන්නෙ අහිංසක කම. ඉවසලා ඉවසලා බැරිම තැනත් ඉවසන්නනෙ අපේ අය බලන්නෙ. මගේ කණ්ඩායම මම වගේම එකක එල්ලිලා ඉන්නෙ නැතිව අලුත් අලුත් දේවල් සොයා යනවා. හැමතිස්සෙම අලුත් දෙයක් හදන්න බලන් ඉන්නේ. අන්න ඒක තමයි ඒ අයගේ වෙනස.

කෝච්චි පෙට්ටි හදන වැඩෙත් ඔබ ආයතනය සාර්ථක ව නිම කළා. මොනවද තිබුණු අභියෝග

මට ලැබුණු කණ්ඩායමේ එච්චර උගත් දරුවො හිටියෙ නෑ. එතන තාක්ෂණ පාඨමාලා කරපු ළමයි 200ක් විතර හිටියා. ඒ අයව අරගෙන එක එක දේවල් උගන්වලා තිබුණා. මේ ළමයි අපට ඕන කරන දේ ලස්සනට අල්ල ගත්තා. මට කොහොමත් විශ්වාසයක් තිබුණා මේ ළමයි වැඩේ අල්ල ගන්නවා කියලා. මොකද මම කලින් කිව්වා වගේ අපේ කට්ටිය හරි බුද්ධිමත්. යාපනෙන් ආව දෙමළ ළමයි අතරෙන් දෙන්නෙක් මට ඉතිරි වුණා. ඒ එක ළමයෙක් මගේ හොඳම පරිගණක ක්‍රියාකරුවෙක් වුණා. සමහර කෝච්චි පෙට්ටි මුළුමනින්ම හදන්න වුණා. සමහර ඒවා අලුත්වැඩියා කළා.

කොහොම වුණත් අපි වැඩේ ලස්සනට කළා. දැන් අපි මේ කෝච්චි පෙට්ටි හදන වැඩේ කරලා අවුරුදු ගාණක්. කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ මේ වනතෙක්. පහුගිය කාලෙ කෝචිචියේ කීදෙනෙක් එල්ලිලා ගියාද? ඒ ඕන දේකට ඔරොත්තු දෙන විදියට තමයි අපි ඒක කළේ.

කොරෝනා කාලය කොහොමද ව්‍යාපාරයට බලපෑවෙ.

ඒක හැමෝටම අසීරු කාලයක්. දැන් වුණත් එහෙමයි. හැබැයි අපි වැඩ. කොරෝනා කාලෙ මම තොරතුරු සන්නිවේදන කුලුනු රට පුරා හැදුවා.

මාර්ගගත අධ්‍යාපනය දෙන්න ලංකාවෙ පුරා ගුරුවරු හා පාසල් ලෑස්ති වුණාට ඒකට අදාළ පහසුකම් ගම්මට්ටමට යනකම් තිබුණෙ නෑනෙ. අපි ඒ කුලුනු හැදුවා ටෙලිකොම් එකත් එක්ක එකතු වෙලා. ඕනෑම විටෙක අසීරුතා එන්න පුළුවන්. අපි හරියට වැඩ කරලා තියෙනවා නම් ඒක කළමනාකරණය කරගන්න අපහසු නෑ. තව බොහෝ දේ කළා.

මේවත් එක්තරා විදියකට කලා නිර්මාණ වගේම තාක්ෂණක නිර්මාණනෙ. ලංකාවේ මේ නිර්මාණ කරන්න පෙලඹෙන අය අඩු ඇයි?

ඉංජිනේරුවෙක් කිව්වම මෙහේ තියෙන්නෙ කළමනාකරණ වැඩ. නිර්මාණවලට යන ඉංජිනේරුවො හරි අඩුයි. ඒ අතළොස්සත් ලෝකයේ සම්මත ක්‍රමයකට අනුගත වෙලා ඉන්නවා. නිර්මාණයත් රාමු වෙලා.

මට තියෙන සම්පත් එක්ක ඒ හරි ක්‍රමවේදයට ගිහින් නිර්මාණ කරන්න අමාරුයි. සමහර තැන් තියෙනවා මේ රටේ කරන විදියට කරන්න බෑ,

හැබැයි බයිපාස් කරගෙන ගිහින් කරන්න පුළුවන්. මම කිව්වෙ මේ රටේ මිනිස්සු හරි බුද්ධිමත් කියලා. ඒ අය වෙන වෙන ක්‍රමවේද හොයා ගන්නවා මේ වගේ තාක්ෂණික දේවල් කරන්න. සමහර වෙලාවට හිතාගන්න අමාරුයි. මගේ කණ්ඩායමත් එහෙමයි. මාත් එක්ක තර්ක කර කර මතවාදී ගැටුම් ඇති කරගෙන අපි අලුත් දේවල් කරන්න උපරිම උත්සාහ කරනවා.

තව මොනවද ඔබට කරන්න පුළුවන් තාක්ෂණික නිර්මාණ

අපේ රටේ හැටියට, තියෙන තැන අනුව අපිට හොඳම තාක්ෂණික නිර්මාණ තමයි කරන්න පුළුවන්. උදාහරණයක් විදියට කෝච්චි පෙට්ටි ගත්තොත් අපේ රට විශාල වශයෙන් කෝචිචි පෙට්ටි අපනයනය කරන රටක් වෙන්න ඕන හරි නම්. අපේ කට්ටිය හරිම බුද්ධිමත්. කෝචිචි පෙට්ටියක් හරියට දැකලා, අල්ලලා,

ගලවලා නැති අපේ අයට මුල ඉදන්ම හරියටම කෝච්චි පෙට්ටි ටික හදන්න පුළුවන් වුණා නම් තව මොනවද? චැසිය, බොඩිය, සීට්, පෙට්ටිය, ෆෑන් මේ සියල්ල හැදුවා නම් ඉතිරි ටික කරන්න බැරි නෑනෙ.

අපි කරන්නෙ එක එක්කෙනාට බණින එක. ඒක නවත්තලා අපි නැවතිලා බැලුවොත් අපේ රටේ මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නෑ.

මොකද්ද ඔබේ දර්ශනය

අපි ඇත්තටම එක පුද්ගලයා වශයෙන් අරන් අපේ වැඩේ හරියට කරන්න ගත්තොත් ඉදිරියට යන්න පුළුවන්. දියුණුව කියන එක මුදල්වලින්, ආර්ථිකයෙන් 100%ක්ම මනින්න බෑ. ඒක අවශ්‍යයයි. නමුත් සතුට ඊට වඩා වැදගත්. ඒක තමයි අරමුණ වෙන්න ඕන. මේක තරුණ ළමයකුට කියලා දෙන්න හරි අමාරුයි. ඒවගේම තමන් අදහන කුමක් හෝ ආගමකින් ලැබෙන ශික්ෂණය වැදගත්. මම ඒ ගැන හරි දැනුම්වත්. තමන්ගෙ පැත්ත මුලින් බලන්න කියන එක තමයි මගේ යෝජනවා. ගොඩක් අනික් අයගේ වැරදි කියලා කෑගහන අය ගත්තොත් ඒ අයට ඒ වැඩේම කරන්න දුන්නොත් එයාලා බොහෝ වෙලාවට අර අයටත් වඩා අන්තයි. අපිට අත්දැකීම් තියෙනවානෙ ඕන තරම්.

කවුද ඔබේ ජීවන සහකාරිය

ඇය මරීනා පෙරේරා. ලංකාවේ ට්‍රේනින් ඉන්න කාලෙ තමයි මට ඇයව හමු වුණේ. 1992 තමයි අපි විවාහ වුණේ. ඇයත් මාත් එක්ක නැව්වල යන්නත් ආවා. 1999 ට කලින් ඇය ලංකාවෙ නැවතුණා.

දරුවන් ගැන

මට ඉන්නෙ දුවයි, පුතයි. පුතා මයාන්, දුව මිනාලි. පුතා අධ්‍යක්ෂවරයෙක් විදියට මා එක්කම තන්ත්‍රි එකේ වැඩ කරනවා. දුව නීතිඥයෙක්.

පොත් කියවන්න කැමතිද?

ඉස්සර නම් නැව්වල යද්දි මම හරියට කියෙව්වා. ගොඩක් ඉංග්‍රීසි පොත් කියෙව්වෙ. ඩී. එච්. ලෝරන්ස්ගෙ පොත් විශේෂයි. දැන් නම් ඒ පුරුද්ද ගොඩක් අඩුයි. දැන් සමාජ වැඩත් තියෙනවානෙ. ආයතනෙ දවල් දවස හිටියට පස්සෙ හවස සමිති සමාගම්, සම්භාෂණ, හමුවීම් ආදිය වැටෙනවානෙ. හැබැයි 7න් පස්සෙ මම කැමැති ධර්මයට අදාළ දේවල් කරන්න

සාමාන්‍යයෙන් සංචාරය කරන්න කැමැති කොහේද?

ලංකාවෙ නම් කැමැති උඩවලව, අනුරාධපුරය වගේ පැතිවලට. වියළි කලාපයට කැමැතියි. තාම ස්වභාවධර්මය එහේ ඉතිරි වෙලා තියෙනවා.

බ්‍රෑන්ඩඩ් දේවල් ද පාවිච්චි කරන්නෙ

එහෙම එකක් නෑ. මනුස්සයෙක් සිම්පල් වෙන තරමට තමයි පහසු. ලංකාවෙ අතිශය සාමාන්‍ය ඇඳුම් තමයි පාවිච්චි කරන්නෙ. හැබැයි මම සුදු අඳින්න කැමැතියි.

ජීවිතේ පසුතැවෙන දේවල් තියෙනවාද?

දැන් නම් එහෙම එකක් නෑ. ඉස්සර පොඩි පොඩි දේවල්වලට පසුතැවෙන කොට මම හිතනවා, කොහොමද මම මේ දේවල්වලින් ගැලවෙන්නෙ කියලා. සුළු දෙයටත් පසුතැවෙන සංවේදී මිනිස්සුනෙ අපි. මම ටිකක් දැඩි තීරණයක් ගන්නකොට මගේ ඒ දේට අදාළ අයත් එකක් කතා කරනවා. පිට අයගෙන් අවවාද ගන්නවා අඩුයි. තීරණයක් ගත්තම ඒක වෙනස් කරන්නෙත් නෑ

හැරවුම් ලක්ෂ්‍යය මොනවාද?

මම හිතන්නේ රසායන විද්‍යාව කරන්න විශ්වවිද්‍යාලයට නොගිහින් මම මැරීන් ඉංජිනියරින් කරන්න ජාතික ආධුනිකත්ව මණ්ඩලයට ගිය එක හැරවුම් ලක්ෂ්‍යයක්. තව එකක් තමයි 1999 තාත්තාට අසනීප වුණු වෙලාවෙ මම උදව් කරන්න හිතන් ලංකාවට ඇවිත් මේ ආයතනයට එකතු වුණු එක

හැරෙන්න හිතුණු වෙලාවල් තිබුණද?

මේ ක්ෂේත්‍රය විවිධ මෘදුකාංග දියුණු වෙලා එහෙම එනකොට තිබුණු සාම්ප්‍රදායික විදියෙන් වෙනස් වෙන්න ඕන කියලා මම හිතුවා. කරනවා නම් කරන දේ හරියටම කරන්න ඕන. අපි කරන දේ පාඩු වුණත් පාරිභෝගිකයාට හරිම දේ දෙන්න ඕන. මම එහෙම හිතන් තමයි වැඩ කරන්න පටන් ගත්තෙ. ඒ සිතිවිල්ල මට බලපෑවා. ඒකත් එක්ක ලැබුණු ප්‍රතිඵලය විදියට අපි දියුණු වෙන්න පටන් ගත්තා. මම හිතන්නෙ අවංකකම කියන එක හරියටම යෙදුවම ලැබෙන ආධ්‍යාත්මික සතුට හරිම සහනයක්. මේක නැති වුණාම තමයි මිනිස්සුන්ට නින්ද යන්නෙ නැත්තෙ. ඒ හින්දා හැරෙන්න හිතුණෙ නෑ. හරියට ගමන ගියා.

ඡායාරූප - මාලන් කරුණාරත්න

Comments