මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ කෝටි 1,100ක් බහි­ර­වයා ගිල්ලේ මෙහෙ­මයි | සිළුමිණ

මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ කෝටි 1,100ක් බහි­ර­වයා ගිල්ලේ මෙහෙ­මයි

 

සිංගප්පූරුවේ හිටපු ජනාධිපති ලී ක්වාන් යූ 70 දශකයේ සිංගප්පූරු වැසියන්ට පවසා තිබුණේ සිංගප්පූරුව ද ශ්‍රී ලංකාව මෙන් දියුණු කරන්නට කටයුතු කරන බවයි. තම ප්‍රකාශය සත්‍යය බව පසක් කරන්නට ඔහුට හැකි විය. දුඟී භාවයෙන් සිංගප්පූරුව මුදාගෙන සිංගප්පූරුව ලොව දියුණු තාක්ෂණය කරා ගෙන යන්නට ඔහුට දශක දෙකකට වඩා ගත වූයේ නැත. ඒ අනුව ශ්‍රී ලංකාව එමෙන් හත් අට ගුණයකින් ඉහළ යා යුතුය. අවම වශයෙන් හඳට යාමට හැකි තත්ත්වයක පසුවිය යුතුය. එකල ලොව ඉතාම දුෂ්කර ජනතාවක් සිටින රට ලෙස සැලකුණේ ඉතියෝපියාවයි. අද වන විට ඉතියෝපියාව යනු ලොව විදුලි දුම්රිය භාවිත කෙරෙන රටවල් අතර අංක 1 සිටින රටක් බවට පත්ව තිබේ. එරට අනෙකුත් තාක්ෂණ සේවාවන්ද එසේමය.

 

එහෙත් හඳට යා යුතු දියුණු තත්ත්වයක සිටිය යුතු අප තවමත් අඳුරේ අත පත ගාමින් සිටින එමෙන්ම ඛනිජ තෙල් ගෑස් වැනි අත්‍යවශ්‍ය දේ පවා නිසි ලෙසින් ආනයනය කර ගන්නට ඩොලර් නොමැති රටක් බවට පත්ව තිබේ.

මේ සියල්ලටම හේතුව හොරකම, දූෂණය මුදල් අවභාවිතය බව දැන් පැහැදිලිය. මේ සඳහා මුල්ව කටයුතු කර ඇත්තේ අපේ රටේ විවිධ පක්ෂවල දේශපාලඥයන් හා ඇතැම් ලොකු පුටුවල සිටිනා රාජ්‍ය නිලධාරීන්ය.

අපේ මේ කතාවේ ආරම්භය සනිටුහන් වන්නේ 2016 වසරේ සිටය. අවාසනාවට ඇත්ත කතාවක් වන මෙය අපේ සංස්කෘතිය රැක දෙන මධ්‍යම සංස්කෘතික අරමුදල විනාශ කිරීම හා සම්බන්ධය.

මධ්‍යම සංස්කෘතික අරමුදල සේවක වැටුප් ගෙවාගත නොහැකිව බංකොළොත් තත්ත්වයට පත් විය. ඒ තත්ත්වයට අරමුදල පත් කළ අය පිළිබඳ රටට හෙළිදරව් කරන ලෙස ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ කැඳවුම්කරු ජනක බෝධිනන්ද ගුණතිලක වරෙක මාධ්‍ය හමුවක් පවත්වා දැනුම් දී තිබුණි. ඒ වෙනුවන් සිදු කරන පරීක්ෂණ සඳහා තම සංවිධානය සතු ලිපිගොනු ද ප්‍රයෝජනයට ගත හැකි බව ඔහු එවකට ජනාධිපති ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂයන්ට හා අගමැති මහින්ද රාජපක්ෂයන්ට දන්වා සිටියේය.

සමාජයෙන් නැඟ ආ විරෝධතා මෙන්ම ඒ වන විට විගණන වාර්තා මඟින්ද 2016 වසරේ සිට 2019 දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත කර ඇති බවට චෝදනා එල්ල වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් සපයන ලෙස එවකට අගමැති ධුරය දැරු මහින්ද රාජපක්ෂයන් විසින් විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණි සරත් එදිරිසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය. හිටපු අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණධීර යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වූහ.

කමිටුව විසින් මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක යෙදුණි. කමිටුව තොරතුරු සම්පිණ්ඩනය කරන්නට විය. පිටු 142 කින් සමන්විත එම කමිටු වාර්තාව අගමැති මහින්ද රාජපක්ෂයන්ට බාර දුන්නේ මීට වසරකට පමණ පෙරය.

එහි සාරාංශය ලෙස දැක්වුණේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2016 වසරේ සිට 2019 දක්වා කාලය තුළ රුපියල් කෝටි 1,100 ක පමණ (රුපියල් මිලියන 11,059) මූල්‍ය වංචාවක් සිදුව ඇති බවයි. ඒ කතාව ඇසූ සැණින් ඇඟ කිළිපොළා යනු ඇත. මෙතරම් විශාල වංචාවක්...!

කමිටු වාර්තාවේ සඳහන් කරුණු මෙසේ පෙළ ගස්වා දිය හැකිය.

⬤ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඩොලර් ගිණුමෙන් මුදල් අවභාවිත කර ඇත.

⬤ කිසිදු පූර්ව අනුමැතියෙන් තොරව රුපියල් මිලියන 400ක් ගිණුමෙන් නිදහස් කර තිබේ.

⬤ මහා භාණ්ඩාගාර අනුමැතියකින් තොරව ජංගම ගිණුම් 25ක් පවත්වා ගෙන ගොස් ඇත.

⬤ විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල ගිණුම් දෝෂ දක්නට තිබේ.

⬤ මුදල් රෙගුලාසි උල්ලංඝණය කරමින් මිලදී ගැනීම් සිදු කර ඇත.

⬤ සංචාරක ප්‍රවේශ පත්‍ර වල ඩොලර් ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේදී සිදුවූ අලාභය ලෙස රුපියල් මිලියන 48ක් විගණනයේදී හෙළිව තිබේ.

⬤ පුරාවිද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා නීති විරෝධීව වෙනත් කටයුතු සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 2266 කි.

⬤ අපේ ගම ව්‍යාපෘතියේ දේපළ පැවරීමේ දී සිදුවූ අලාභය රුපියල් මිලියන 8ක් ලෙස වාර්තා වේ.

⬤ විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර හා ප්‍රදාන ලෙස ලබා දුන් මුදල රුපියල් මිලියන 2316 කි.

⬤ අවිධිමත් බඳවා ගැනීම් රැසක් දක්නට ඇත. බඳවා ගෙන ඇති පිරිස දහස් ගණනකි.

⬤ බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බඳවා ගැනීම් සඳහා වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 3,060 ක් ගෙවා ඇත.

 

ඒ අනුව කමිටුව විසින් අනාවරණය කර ගෙන ඇති පරිදි රුපියල් මිලියන 11,059 ක මුදල් අවභාවිතයෙන් සිදුව ඇත. සිදුව ඇති මූල්‍යමය අක්‍රමිකතා සහ අවභාවිතයන් මෙන්ම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් අදාළ පාර්ශ්වයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කමිටුව නිර්දේශ කර ඇත.

කමිටුව විශේෂ ලෙස දක්වමින් හොවා ඇති කරුණු අතර පහත නිර්දේශ දැක්විය හැකිය.

මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව ඇති ඩොලර් ගිණුමෙන් ද නීති විරෝධීව මුදල් නිදහස් කරගෙන ඇති අතර, පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ස්ථාවර ගිණුමෙන් රුපියල් මිලියන 400ක් කිසිදු අනුමැතියකින් තොරව නිදහස් කර ඇත්තේ සම්පූර්ණයෙන්ම මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමිනි.

එමෙන්ම මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදල ජංගම ගිණුම් 25ක් අරඹා ඇති අතර, මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනීම්, විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ සහ ගෙවීමේ පටිපාටියෙන් බැහැරව කටයුතු කර මුදල් ගෙවා ඒ සඳහා පසුව ලේඛන සකස් කර ඇති බවත් කමිටුව මඟින් අනාවරණය කරගෙන ඇත.

2019 වර්ෂය පුරා කළ අවිධිමත් වියදම් සඳහා අනුමැතිය ලබාගැනීමට 2019 වසරේ අග භාගයේදී එනම් නොවැම්බර් මස 15 වෙනිදා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවා ඇත. එයට සාමාජිකයන් 5 දෙනකු සහභාගි වී ඇති නමුත් සහභාගි නොවූ අන් සාමාජිකයන්ගේ ද අත්සන් මෙහිදී යොදා ඇත. ඒ අත්සන් අදාළ පුද්ගලයන්ගේද යන්න මෙහිදී ප්‍රශ්නයක් පැන නැඟී ඇත. ඒ අනුව කූට ලේඛන සැකසීමේ බරපතළ ගණයේ වංචාවක්ද සිදුව ඇතැයි යන්න සාධාරණ සැකයක් මතුව තිබේ. ඒ අනුව මෙම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ නිත්‍යානුකූලභාවය පිළිබඳව ගැටලු ඇතැයි සඳහන් කරන කමිටුව සාමාජික අත්සන් තහවුරු කර ගැනීම සුදුසු බවද අවධාරණය කර තිබුණි.

මේ කරුණු අප එකින් එක විමර්ශනය කළ යුතුය.

කරුණු තවත් විස්තරාත්මකව සොයා බැලීමේදී පෙනී යන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවසරයකින් තොරව 2016 වසරේ සිට 2019 දක්වා කාලය තුළ සංස්කෘතික ත්‍රිකෝණයෙන් පිටත සංචාරකයන් වෙත ප්‍රවේශපත්‍ර විකිණීමෙන් රුපියල් මිලියන 13ක් උපයා ඇති බවයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පනත අනුව එය අනුමත කාර්යන්ට අයත් නොවන්නකි.

විගණන වාර්තාවේද ඒ බව දක්වා තිබේ.

මෙහි විශේෂයෙන් දක්වා ඇති කරුණක් වන්නේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව එකතු කරන ලද මුදල් වෙනත් ව්‍යාපෘති සඳහා යෙදවීමයි.

එහිදී අනුරාධපුර, රිටිගල, පොළොන්නරුව, රම්ඹා විහාරය, සීගිරිය, යාපහුව, බුදුරුවගල, ඉබ්බන්කටුව, නාමල් උයන සහ කතරගම කෞතුකාගාර ඇතුළත් සංස්කෘතික ත්‍රිකෝණය ලෙස දක්වා ඒ ප්‍රදේශයන්ට ඇතුළු වන අමුත්තන්ගෙන් සහ සංචාරකයන්ගෙන් ප්‍රවේශපත්‍ර සඳහා ගාස්තු අය කිරීමට මෙම අරමුදලට බලය පවරා ඇත.

ගාල්ල, සීගිරිය, මහනුවර සහ දඹුල්ල යන සංස්කෘතික ත්‍රිකෝණයට අයත් පෙදෙස් පමණක් නොව අරමුදලේ පනතේ විධිවිධානවලට පටහැනිව ගාල්ල, රම්බා විහාරය, අපේ ගම, කතරගම, යාපහුව, බුදුරුවගල ඇතුළු සංස්කෘතික ත්‍රිකෝණයෙන් පිටත පිහිටි මෙරට උරුමය විදහා දැක්වෙන ස්ථානවලට ඇතුළු වන සංචාරකයන්ගෙන් ප්‍රවේශ පත්‍ර මුදල් ලබා ගැනීම අනුමත කර නැත. එය පනත උල්ලංඝනය කිරීමකි. තවත් ලෙසකින් පවසන්නේ නම් අයථා මුදල් ඉපයීමකි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැය ශීර්ෂ 136ක් යටතේ රුපියල් බිලියන 3ක් කිසිදු අනුමැතියකින් තොරව වියදම් කර ඇත. සංස්කෘතික අරමුදලේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කමිටුව වෙත සාක්ෂි ලබා දී ඇත. එම නිලධාරීන්ගේ කිසිදු අනුමැතියකින් තොරව මෙම මුදල් වැය කරන ලද බව පරීක්ෂණවලදී ද සනාථ වී ඇතැයි දැනගන්නට තිබේ.

එසේම ආගමික ස්ථාන සහ ආගමික වතාවත් ප්‍රවර්ධනය කිරීම සඳහා ආධාර ලබාදීමේදී අරමුදල විසින් නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකර 2019 වසර තුළ අවස්ථා 63කදී රුපියල් මිලියන 27ක්. ‘සිසු දහම් සෙවණ’ සඳහා වැය කර තිබේ. එම ව්‍යාපෘතිය 2019 වසරේ ආරම්භ කරන ලද්දේ මුළු දිවයිනම ආවරණය වන පරිදි සියලුම ආගම් නියෝජනය වන පරිදි ආගමික පාසල් ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා ය.

එම ව්‍යාපෘතියට අනුව ආගමික පාසල් ගොඩනැඟිලි 332ක් ඉදිකිරීමට සැලසුම් සකස් කර තිබී ඇති අතර වැඩසටහනේ ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 1,140 කි. රුපියල් මිලියන 100 ඉක්මවන ප්‍රසම්පාදන කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ (CAPC) අනුමැතිය අවශ්‍ය වුවද මෙම වැඩසටහන සඳහා අනුමැතිය ලබාගෙන නොමැති බව හෙළිව තිබේ.

එමෙන්ම අදියර තුන යටතේ ආගමික පාසල් ගොඩනැඟිලි 298ක් ඉදිකිරීම ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා රුපියල් මිලියන 100ක මුදලක් වැය කර ඇති බවත් වාර්තාවෙන් අනාවරණය වී ඇත. 2019 ඔක්තෝබර් 30 වන විට ඉදිකිරීම් ආයතන වෙත රුපියල් මිලියන 753.5 ක් ගෙවා ඇත. නමුත් පළමු අදියර යටතේ ආගමික පාසල් 45ක් පමණක් ඉදිකර බාර දී තිබූ බව වාර්තා වේ. විමර්ශන කිරීමට පවා අපහසු වන ලෙසින් මේ ඉඳිකිරීම් කර ඇති අතර ගෙවීම් සිදු කර ඇති ආකාරයද විමර්ශනය අපහසු වන ලෙසින් සිදු කර තිබේ.

සරලව සොයා ගෙන ඇති කරුණු දක්වන්නේ නම් නීත්‍යානුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවණ දහම් පාසල් ගොඩනැඟිලි ඉදිකිරීමට රුපියල් රුපියල් මිලියන 753 ක් ගෙවා ඇති බවට පෙන්වා දිය හැකිය.

මෙහි බරපතළම අවභාවිතය වන්නේ අරමුදලේ ස්ථාවර තැන්පතු ගිණුමෙන් රුපියල් කෝටි 40 ක් හෙවත් රුපියල් මිලියන 400 ක් කිසිදු අනුමැතියකින් තොරව නිදහස් කර තිබීමය.

එය වඩාත්ම බරපතළ මූල්‍ය අවභාවිතයක් වන්නේ නිසි අනුමැතියකින් තොරව අරමුදලේ ස්ථාවර තැන්පතු ආපසු ගැනීම නිසා රුපියල් මිලියන 2,608ක පොලී ආදායම අහිමි වීමය. ඒ බව වාර්තාවෙන් හෙළිකර ඇත. මිලියන 2,608ක පොලී ආදායම අහිමි වීමක් යනු සේවක වැටුප් ගෙවීමට වසරකට යන මුදල මෙන් කිහිප ගුණයකි. සිදුව ඇති විනාශයේ තරම තේරුම් ගන්නට එම කරුණම පමණක් ප්‍රමාණවත්ය.

එසේම බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා තනතුරු සඳහා බඳවා ගැනීම නිසා ඔවුන්ට වැටුප් හා දීමනා ලෙස ගෙවන්නට සිදුව ඇති මුදල රුපියල් මිලියන 3,060 ක් බව වාර්තා වේ.

එමෙන්ම නිසි අනුමැතියකින් තොරව සංස්කෘතික හා ආගමික ආධාර හා ප්‍රදාන ලෙස ලබාදීමෙන් රුපියල් මිලියන 2316 අවභාවිත වී ඇතැයි කමිටු වාර්තාවේ සඳහන් වේ.

අරමුදලේ සංචාරක ප්‍රවේශ පත්‍රවල ඩොලර් ආදායම රුපියල් වලට පරිවර්තනය කිරීමේදී රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක අලාභයක් සිදුව ඇතැයිද වාර්තාවෙන් පෙන්වා දී ඇත. ජංගම ගිණුම් 25 ක් ආරම්භ කිරීමෙන් ඇතැයි ද මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනීම් විදේශ ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ ඇතැයිද වාර්තාවේ සඳහන් වේ.

මේ ගෙවීම් සම්බන්ධයෙන් මුදල් ගෙවීම සඳහා පසුව ලේඛන සකස් කර ඇති බව අනාවරණය වී ඇතැයිද කමිටු වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම පුරාවිද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල නොගෙවා නීති විරෝධීව වෙනත් කටයුතු සඳහා රුපියල් රුපියල් මිලියන 2,266 මුදලක් වැය කර තිබේ. මේ නිසා පුරාවිද්‍යා කටයුතු පවා අඩපණව තිබේ.

කමිටු වාර්තාව අනාවරණය කරන පරිදි අරමුදලේ මුදල් අවභාවිතය වැඩි වශයෙන් සිදුවි තියෙන්නේ 2019දී ය. එම කාලයේ අරමුදලට අධ්‍යක්ෂ ජනරාල් වරයකු පත් කර නොමැති බවත් එම නිසා මුදල් අවභාවිතය පහසු වී ඇති බවත් අනාවරණය වේ.එවන් අවස්ථාවක එහි බලධාරියා වන්නේ අදාළ අමාත්‍යාංශයේ ප්‍රධාන පරිපාලන නිලධාරියාය. ඔහුද මේ සම්බන්ධයෙන් ඍජුව වගකිව යුත්තකු බවට පත් වේ. අරමුදලේ පනතට අනුව ලංකා බැංකුවේ ගිණුම් පවත්වාගෙන යා යුතු වුවත් එයින් බැහැරව කටයුතු කළ අවස්ථාද විමර්ශනයේදී හෙළිව තිබේ.

මීට අමතරව මේ සම්බන්ධයෙන් පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් සහ ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ කැඳවුම්කරු ජනක බෝධිනන්ද ගුණතිලක ඇතුළු සංවිධාන විසින් කරුණු රැසක් හෙළි කරගෙන ඇත. විශේෂයෙන්ම උඩස්ගිරියේ සමිත හිමියන් ඇතුළු කණ්ඩායමක් විසින් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම ගොස් ලිඛිතවම බාර දෙන ලදී.

මේ සංවිධාන විසින් පෙන්වා දී ඇති කරුණු අනුව, 2019 වසරේ ජනවාරි 01 වන විට අරමුදලේ ගිණුමේ ශේෂය ලෙස රුපියල් මිලියන තුන්සිය විසිතුනක් තිබී ඇති නමුත් එම වසරේ අගෝස්තු 21 වන වට එම ශේෂය එක්ලක්ෂ විසි දෙදහසක් දක්වා අඩුව තිබේ.

2019 වසරේ මැයි මස 13 වෙනිදා සිට අගෝස්තු 21 අතර කාලයේදී අරමුදලේ ස්ථාවර තැන්පතු 9කම මුදල් ආපසු අරගෙන ඇත්තේ කිසිදු අනුමැතියකින් තොරවය. එහි වටිනාකම ලක්ෂ දහදහස් හත්සීයකට අධිකය. එසේ මුදල් ආපසු ගැනීමට කිසිදු හේතුවක් දක්වා හෝ එම ගිණුම් යළි යාවත්කාලීන කිරීමක් සිදුව නැත.

ඇතැම් දිනවල රුපියල් මිලියන 2ත් 3ත් අතර වැය කර ඇති අතර ඒ වෙනුවෙන් පැහැදිලි වැය කිරීම්ද ඉදිරිපත් කර නොමැති බවට වාර්තා කර තිබේ.

විශේෂයෙන්ම 2019 ජනවාරි 11 දින රුපියල් ලක්ෂ 2000ක ගෙවීමක් සිදු කර ඇත්තේ කුමන කරුණක් උදෙසාද යන්න අපැහැදිලිය.

එමෙන්ම එම වසරේ පෙබරවාරි මාසයේ ද රුපියල් ලක්ෂ 4000ක ගෙවීමක් සිදු කර ඇත්තේ කුමන 2019 වසරේ ජනවාරි මාසයේ පමණක් මුදල් චෙක්පත් 43ක් , පෙබරවාරි මාසයේ ලක්ෂ 45ක් , මාර්තු මාසයේ 16ක්, අප්‍රේල් මාසයේ ලක්ෂ 42ක්. මැයි මාසයේ ලක්ෂ 53ක්, ජූනි මාසයේ ලක්ෂ 46ක් ජූලි මාසයේ ලක්ෂ 60ක් අගෝස්තු මාසයේ ලක්ෂ 43ක් එසේ මුදල් චෙක්පත් ලෙසින් නිකුත් කර තිබේ. එවක අමාත්‍යාංශ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම දැරිය යුතුය. අවශ්‍ය සේවක සංඛ්‍යාව එනම් 2300ක් සිටියදී 3000කට අධික සේවක සංඛ්‍යාවක් බඳවා ගෙන ඇත්තේ කිසිදු අවශ්‍යතාවයක් නොමැතිවය.

රජයේ මුදල් රුපියල් 1,000ක් හෝ අයුතු ලෙස පරිහරණය කළහොත් වසර ගණනාවක් වැඩ තහනමට ලක් කළ හැකි අපේ රටේ රෙගුලාසි ඇත.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු නීතිය පසිඳලිය යුතු ස්ථානවලට මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇත. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ‘අරමුදල‘ යන්න තවත් නාමයක් පමණක් නොවන්නට නම් මේ පිළිබඳ විධිමත් විමර්ශනයක් කළ යුතුව ඇත.

 

 

Comments