
එදා මැයි 8 වැනිදා මම පොළොන්නරුවේ ඉඳන් කොළඹ ආවේ මැයි 9 වැනිදා යෙදී තිබුණු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමේ අවස්ථාවට සහභාගි වෙන්නයි.
මැයි 9 වැනිදා උදේම මම අරලියගහ මන්දිරයට යද්දි මැතිඇමැතිවරුන් වගේම විශාල ජනතාවක් එහි රැස් වෙලා හිටියා. රැස්වීම අවසන් වීමෙන් පසු දහවල් 12.30ට පමණ මම ඒ ස්ථානයෙන් පිටත් වෙලා බත්තරමුල්ලේ මගේ පෞද්ගලික නිවෙසට ආවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අමරකීර්ති අතුකෝරල සහ තිලක් රාජපක්ෂ මහත්වරු දෙදෙනා ද මා සමඟ අපේ ගෙදරින් දිවා ආහාරය ගත්තා. අතුකෝරල මන්ත්‍රීතුමා දහවල් 1.30ට පමණ ආපසු යෑමට පිටත් වුණා. ඒ වෙද්දි අපි දැනගෙන හිටියේ නැහැ රට පුරාම කලබලකාරී තත්ත්වයක් ඇති වෙමින් තිබෙන බව. එවැනි තත්ත්වයක් මත තමයි එතුමා අපි කවුරුත් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් නිට්ටඹුවේදී ඉතා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන්නේ.”
මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් ගේ හදවත කම්පා කළ එකී අවාසනාවන්ත සිදුවීම සිදු වූයේ ඉකුත් මැයි 9 වැනිදාය. අභියෝග, බාධක, තර්ජන යනාදිය දේශපාලඥයකුට අරුමැති දේවල් නොවූවද ඔහුගේ හදවත තවමත් එදා සිදුවීමෙන් කම්පා වන්නේ සිය සහෘදයාට ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතය හැර යෑමට සිදු වීම නිසාය.
“ඒ සිද්ධිය ගැන දැනගන්න ලැබුණු ගමන් මම අනුරාධපුර පොලිසියේ මගේ හිතවත් නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි මහතාට කතා කරලා කිව්වා අපේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නිට්ටඹුවේදී මෙහෙම සිදුවීමකට මුහුණ දීලා තියෙනවා. එයාගේ ජීවිතේ අනතුරේ, ඉක්මනින් එයාව බේරාගන්න පිරිසක් යවන්න කියලා. නමුත් ටික වෙලාවකින් මට පණිවිඩයක් ලැබුණා පොලිසියට එතැනට යන්න විදිහක් නැහැ, දෙදාහකට වැඩි පිරිසක් එතැනට රැස් වෙලා ඉන්නවා කියලා. තවත් පැය භාගයකට විතර පස්සේ අපිට දැනගන්න ලැබුණා අපේ සහෝදර මන්ත්‍රී තුමාව ඉතා අවාසනාවන්ත ආකාරයට ඝාතනය කරලා කියලා. අදටත් මට එතුමාගේ මරණය දැඩි කම්පාවක්. එතුමාත් මාත් අතර හොඳ හිතවත්කමක් තිබුණා. දිගටම එතුමා මාත් එක්කමයි හිටියේ. පාර්ලිමේන්තුවට ඇවිත් ටික කාලයක් වුණත් එතුමා විශාල මෙහෙවරක් ඉටු කළ අවංක සහ ඉතාම අහිංසක පුද්ගලයෙක්. එතුමාගේ වියෝව පොළොන්නරු දිස්ත්‍රික්කයට වගේම රටටම විශාල පාඩුවක්”
සිය සහෘද දේශපාලඥයාගේ වියෝව පිළිබඳ සිහිපත් කරමින්ම රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, රටම භීතියට පත්කළ ඒ අඳුරු සඳුදාව පිළිබඳ සිය මතකය ආවර්ජනය කළේය.
“ඒ සිදුවීම සිදු වෙලා පැය කිහිපයක් යද්දි බේරේ වැව අසල සිදුවීම වගේම රට පුරා තැනින් තැන සිදු වූ ගිනි තැබීම්, පහරදීම් වැනි සිදුවීම් මම රූපවාහිනියෙන් දැක්කා. ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා තුළ ඒ සිදුවීම් සජීවිව විකාශනය වෙමින් තිබුණා. ඒ අතරේ තමයි එදා හවස හතරට පහට විතර මට දැන ගන්න ලැබුණේ පොළොන්නරුව ගිරිතලේ මගේ ගෙදර ඉදිරිපිට පිරිසක් රැස්වෙලා ඉන්න බව.”
“රට පුරා කලබලකාරී සිදුවීම් වාර්තා වුණාට මම හිතුවේ නැහැ මගේ ගෙදරට එවැනි හානියක් කරයි කියලා. මම ගෙදර අයටත් කතා කරලා කිව්වේ කීයටත් මගේ ගෙදරට නම් ගිනි තියන එකක් නැහැ, ඕනේ නම් කාර්යාලයට ගලක් දෙකක් ගහලා පොඩි හානියක් කරයි කියලා. ඒ නිසා මම කිසිම කෙනෙක් එතැනට යැව්වෙත් නැහැ. නමුත් මීට පෙර මාස ගාණක් තිස්සේ මම එපා කියද්දිත් පොලිසිය මගේ නිවෙසේ ආරක්ෂාවට යොදවලා තිබුණා. ඒ නිසා එදා මැයි 9 සිද්ධිය වෙන වෙලාවෙදිත් 25-30කට ආසන්න පොලිස් නිලධාරින් පිරිසක් එහි හිටියා. මගේ ගෙදර අයත් වන මින්නේරිය පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු අවට පොලිස් ස්ථානවල නිලධාරින් රැසක් ඒ අවස්ථාවේ එතැන හිටියා කියලා තමයි මට දැනගන්න ලැබුණේ. එහෙම ඉන්නකොට තමයි මගේ නිවෙසටයි කාර්යාලයටයි ගිනි තියලා විනාශ කරලා තිබුණේ.
ඔවුන් මුලින්ම ගිනි තියලා තිබුණේ මගේ කාර්යාලයට. නමුත් ඒක ගිනි ගත්තේ නැති නිසා එහි තිබුණු පරිගණක ඇතුළු උපකරණ, කාර්යාලීය ගෘහ භාණ්ඩ, ලිපිලේඛන ඇතුළු සියලු දේ එළියට අරන් කාර්යාලය අසල ප්‍රධාන මාර්ගයට දාලා ගිනි තියලා තිබුණා. මොන හේතුවකට හරි කාර්යාලයේ ගින්න විශාල වශයෙන් ඇවිළිලා තිබුණේ නැහැ. නමුත් ඔවුන් එහි දොර, ජනෙල්වලට පහර දීලා විශාල හානියක් කරලා තිබුණා. ඉන් පසුව තමයි ඔවුන් ගේට්ටු වහලා තිබුණු මගේ ගෙදරට ඇතුළු වෙලා එයට ගිනි තියලා තිබුණේ. ගෙදර පිටිපස්සේ දොර කඩලා තිබුණේ ටිපර් එකක් දාලා හප්පලා. ඊට පස්සේ ටයර් සහ පෙට්ට්‍රල් යොදා ගෙන ගිනි තැබීම සිදු කර තිබුණා.”
ඇමැති සිරිපාල ගම්ලත් පවසන්නේ එය තමා කිසිසේත් අපේක්ෂා නොකළ සිදුවීමක් වුවත් කිසියම් පිරිසක් විසින් ඉතා සංවිධානාත්මකව සිදු කළ වැඩපිළිවෙළක් බවයි.
ගින්නෙන් නිවෙස සම්පූර්ණයෙන් විනාශ වුවද වාසනාවකට මෙන් ජීවිත හානි කිසිවක් සිදු නොවූයේ ඒ වන විට නිවෙසේ කිසිවකු රැඳී නොසිටි බැවිනි. ඇමැති සිරිපාල ගම්ලත් කොළඹ බත්තරමුල්ලේ නිවෙසේ පසුවූ අතර දරුවන් සහ බිරිය ව්‍යාපාරික ස්ථානයට ගොස් තිබිණ.
“ඒ සිදුවීමෙන් මගේ බිරියත් දරුවනුත් විශාල බියකට සහ පීඩනයට ලක්වුණා. අවුරුදු ගාණක් තිස්සේ එකට හිටපු, අපේ ගෙදරින් කෑව බීව ජනතාව මෙහෙම දෙයක් කරයි කියලා මම කවමදාකවත් හිතුවේ නැහැ. ගින්නෙන් ගේ සම්පූර්ණයෙන්ම විනාශ වුණා. මින්නේරිය ප්‍රාදේශීය සභාවට අයිති ගිනි නිවන රථය ගින්න නිවන්න එන්න උත්සාහ කළත් ඒකටවත් ප්‍රචණ්ඩකාරී පිරිස ඉඩ දීලා තිබුණේ නැහැ. පොලිසිය බොහොම වෙහෙස දරලා පසුව ගිනි නිවන රථය එවලා තිබුණත් ඒ වෙද්දි ගේ ගිනි අරගෙන ඉවරයි. ගුවන් හමුදා කඳවුර, ගිරිතලේ කෑම්ප් එක, බුද්ධි අංශ හමුදා මූලස්ථානය මේ සියල්ලම පිහිටා තිබෙන්නේ මගේ නිවෙසට කිලෝ මීටර් දෙක තුනක දුරින්. ඒ අංශ ක්‍රියාත්මක වුණා නම් දෙතුන් සීයක කුඩා පිරිසක් ඒකරාශි වෙලා කරපු මේ විනාශය පහසුවෙන් පාලනය කරගන්න තිබුණු බවයි මගේ විශ්වාසය. නමුත් මට ලැබුණු තොරතුරුවලින් හෙළි වුණේ අදාළ අංශ ඒ සඳහා කිසිදු උත්සාහයක් නොගත් බවයි. ඒ ගැන මම ඔවුන්ට දොස් කියන්නේ නැහැ. ආරක්ෂක අංශවලට ඔවුන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ කිසිම නියෝගයක් ලැබිලා තිබුණේ නැහැ කියලා මට දැනගන්න ලැබුණා.
එකී සිදුවීම සම්බන්ධයෙන් ඊට පසු අදාළ අංශවල මැදිහත්වීම කෙබඳු දැයි විමසීමේදී ඇමති සිරිපාල ගම්ලත් පැවසුවේ නිවෙස සහ කාර්යාලය විනාශ කිරීම සඳහා පැමිණ තිබූ වාහන 54ක් පමණ සහ පුද්ගලයන් 60-70ක් පමණ පොලිස් අත්අඩංගුවට ගෙන තිබූ බවයි. එහෙත් ඔවුන් ඇප මත නිදහස් කර තිබිණ. හඳුනාගත් වාහනවලින් 20-22ක් පමණ ද නිදහස් කර ඇත.
ගිනි තියපු ගේ තවමත් ඒ විදිහටම තියෙනවා. මේ ගේ මම දේශපාලනයට එන්න කලින් හදපු එකක්. දේශපාලනයට එන්න පෙර බොහොම දුක් මහන්සියෙන් ව්‍යාපාර කරලා, රජයට බදු ගෙවලා අපේම උත්සාහයෙන් කැපවීමෙන් තමයි ව්‍යාපාරිකයෙක් විදිහට මම මේ සාර්ථකත්වය ලබා ගත්තේ. මේක අවුරුදු හතරක් පහක නෙවෙයි, අවුරුදු හතළිකට වැඩි ව්‍යාපාරයක්. මම ව්‍යාපාරය පටන් ගත්තේ 1982 දී විතර. 1983 සිට ආදායම් බදු ෆයිල් විවෘත කරලා නිසි පිළිවෙළට රජයට බදු ගෙමින් ඒ කටයුතු කරගෙන ආවා. ඇතැම් අය හිතනවා දේශපාලනය බලය තියෙන නිසා ඒ බලය පාවිච්චි කරලා බදු ගෙවීම් පැහැර හරිනවා ඇති කියලා. නමුත් මම කිසිම දවසක එවැනි අයුතු බදු නිදහසක් ලබාගෙන නැහැ. මේ සියල්ල මමත් මගේ පවුලේ අයගේත් උත්සාහයෙන් සහ කැපවීමෙන් ගොඩනඟා ගත් දේවල්. මේ ගිනි තැබූ ගෙදර අපි පදිංචියට ආවේ 1997දී විතර. මගේ උපන් ගම මේ ගෙදරට සැතපුම් 15ක පමණ දුරින් තියෙන සේවාගම. ඒ උපන් ගමේම හිටියා නම් මට මේ දේ වෙන්නේ නැහැ කියලා මගේ හිතේ විශ්වාසයක් තියෙනවා. ඒ තරම් හොඳ සම්බන්ධයක් ගමේ අය එක්ක තිබුණා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලින් පස්සේ අපි ගිරිතලේ පදිංචියට ආවේ එතැන ව්‍යාපාරික ස්ථානයට කිට්ටු තැනක් නිසා වගේම දේශපාලනයට ආවට පස්සේ ප්‍රධාන පාරක් අසල කාර්යාලයක් පවත්වා ගෙන යෑම මහජනතාවටත් පහසු නිසයි”
මැයි 9 වැනිදා අඳුරු සිදුවීම් යළි යළි සිහිපත් කරද්දී සිතට නැඟෙන්නේ දේශපාලනය පිළිබඳ කලකිරීමක් දැයි අපි ඇමැති සිරිපාල ගම්ලත්ගෙන් විමසුවෙමු.
![]() |
කාර්යාලයට හානි කර ඇති ආකාරය |
“කිසිම කලකිරීමක් නැහැ. මේ තමයි දේශපාලනයේ හැටි. සී.පී ද සිල්වා කියන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දේශපාලන ඉතිහාසය තුළ දැවැන්ත චරිතයක්. එතුමා දිසාපතිවරයෙක් ලෙස වගේම පසුව ඇමැතිවරයෙක් ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනයේ ප්‍රධාන නියමුවෙක් විදිහට අධ්‍යාපන, වාරි මාර්ග, කෘෂි කර්මය, විදුලි බල ක්ෂේත්‍ර සඳහා විශිෂ්ට දායකත්වයක් දැක්වුවා. නමුත් ඒ තරම් සේවයක් කළ එතුමා ඡන්දයෙන් පැරදුණාම එතුමාට මිනිස්සු පාරට බහින්නවත් දුන්නෙ නැහැ. වැඩ කළ පමණින් ඡන්ද දිනන්න බැරි බව වගේම එක් එක් කාලයේ රටේ ඇතිවන දේශපාලන මතවාද හේතුවෙන් ඇතිවන විවිධ දේශපාලන රැලිවලින් මුළා වෙලා ඒ විදිහට හැසිරෙන පිරිසක් එදත් හිටියා. අදත් ඉන්නවා. ජනතාව වෙනුවෙන් අපි කොයිතරම් වැඩ කළත් ඇතැම් සුළු සිදුවීමකදී ජනතාව හැසිරෙන්නේ මේ ආකාරයෙන් විය හැකියි. මැයි 9 වැනිදා සිදුවීම ගැන මම හිත හදාගත්තේ එහෙම හිතලයි.”
ඇමති සිරිපාල ගම්ලත් දරුදැරියන් 8 දෙනකුගෙන් යුතු පවුලේ දෙවැන්නාය. ඔහුගේ පියා ඉංග්‍රීසි පාලන සමයේ යුද හමුදා නිලධාරියකු ලෙස සේවය කළ අයෙකි.
“1948 නිදහස ලැබුණට පස්සේ මගේ තාත්තටත් රජයෙන් අක්කර 8ක ඉඩමක් ලැබුණු නිසා තමයි පොළොන්නරුවේ පදිංදියට ගිහින් තියෙන්නේ. මගේ උපත සිදු වෙන්නෙත් පොළොන්නරුවේ. අධ්‍යාපන කටයුතුවලින් පස්සේ ස්ව උත්සාහයෙන් ගොවිතැන් කරලා ව්‍යාපාරිකයෙක් විදිහට සාර්ථකව ගොඩනැඟිලා ඉන්න කොට තමයි මට එවකට ඇමතිවරයෙක් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් දේශපාලනට එන්න ඇරයුමක් ලැබෙන්නේ. ඒ වෙද්දි මට දේශපාලනය ගැන කැමැත්තක් හෝ දැනුමක් අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලකිරීම නිසාම තමයි මම දේශපාලනයට ආවේ. 2004 වසරේදී පොළොන්නරු ජනතාව ඔවුන්ගේ ඡන්දයෙන් මාව පාර්ලිමේන්තුවට යැව්වා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා යුද්ධය අවසන් කරන්න ගත්ත උත්සාහය නිසා තමයි අද පොළොන්නරුවේ ජනතාව නිදහසේ හුස්ම ගන්නේ. නැන්නම් අපේ ගෙවල් ගිනිබත් වෙන්නේ, ජීවිත පවා නැතිවෙන්නේ මීට හුඟක් කාලෙකට කලින්. ඒ නිසා මම සතුටු වෙනවා ඒ අවස්ථාවේදි එතුමාට අවශ්‍ය ශක්තිය සහ සහයෝගය හැකි උපරිමයෙන් ලබා දෙමින් කටයුතු කිරීමට ලැබීම ගැන. යුද්ධය අවසන් කරලා ගම් මට්ටමෙන් ආර්ථිකය දියුණු කරගෙන විශාල සංවර්ධනයකට රට රැගෙන එන්න මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට හැකි වුණා. අද රටේ ආර්ථික බංකොළොත්භාවය ගැන විතරක් කතා කරන ඇතැම් අයට ඒ අතීතය අමතක වුණත් දේශපාලඥයකු වෙනුවෙන් රට වෙනුවෙන් කළ සේවය ගැන මම සතුටු වෙනවා.” ඇතැම් පිරිස් පසුගිය කාලයේදී සමාජගත කරන්නට උත්සාහ දැරූ ප්‍රබල මතයක් වූයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු රටට කිසිදු සේවයක් නොකළ රට බිහිසුණු ආර්ථික අගාධයකට ඇද දැමූවන් බවයි. පරිණත දේශපාලඥයකු ලෙස එවැනි මත පිළිබඳ රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් දරන්නේ මෙවැනි අදහසකි.
“විවිධ අය විවිධ අදහස් දැරීම සාමාන්‍ය දෙයක්. ලෝකයම කොවිඩ් වසංගතයට ගොදුරු වෙද්දි ලංකාවේ ඒ තත්ත්වය පාලනය කරගන්න හිටපු ජනාධිපතිවරයා විශාල වැඩ කොටසක් ඉටු කළා. ඒ වෙනුවෙන් රජයට විශාල මුදලක් වැය කරන්න සිදු වුණා. ලෝකයම ආර්ථික අර්බුදයක තියෙද්දි අපේ රට පමණක් මේ තත්ත්වයට මුහුණ දීම අසාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. ඒ තත්ත්වය මත ජනතාවට මුහුණ දීමට සිදුවූ දුෂ්කරතා තමන්ගේ වාසියට හරවා ගත් පිරිසක් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාව, විශේෂයෙන් ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් පිළිබඳ දැනීමක් අවබෝධයක් නැති තරුණ පිරිස මුළා කරමින් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කළා. මැයි 9 වැනිදා සිදු වීමට හේතුව එයයි”.
අත්දැකීම් තුළින් පරිණත වූවෝ ලෝක ධර්මතා සහ අභියෝග හමුවේ නොසැලෙති. දේශපාලඥයකු මෙන්ම සාර්ථක ව්‍යාපාරිකයකු වන ඇමති සිරිපාල ගම්ලත් ද ජීවිතයේ යථාර්ථය හොඳින් වටහා ගත් අයෙකි. මේ වන විට මහාමාර්ග රාජ්‍ය ඇමති ධුරය දරමින් සිටින ඔහු සිය ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ මෙසේ කීවේය.
“ඕනෑම රටක මහාමාර්ග පද්ධතිය දියුණු වෙනවා නම් ඒ රට ඉක්මනින් ඉදිරියට ගමන් කරනවා. අපි මේ වෙද්දි වරායට, ගුවන්තොටුපොළට අපේ නිෂ්පාදන ගෙන යා හැකි ආකාරයට අධිවේගී මාර්ග සහ අනෙක් මාර්ග දියුණු කර තිබෙනවා. මහාමාර්ග ක්ෂේත්‍රයට විශාල මුදලක් වැය කර විශාල දියුණුවක් ඇතිකර තිබෙනවා. ලංකාවේ ඕනෑම තැනකට පැයකින් එකහමාරකින් යන්න පුළුවන් ආකාරයට රටේ සියලුම මාර්ග දියුණු කළ යුතුයි. ආර්ථික අර්බුදය හමුවේ එය අභියෝගයක් වුවත් ඒ කටයුතු ඉතාම හොඳින් කළමනාකරණය කර ගැනීමේ හැකියාව සහ නිර්මාණශීලී අදහස් ඇති පරිණත දේශපාලඥයකු වන බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා යටතේ මහාමාර්ග අමාත්‍යාංශයේ වගකීම් දැරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.”