රට ගොඩ­නැ­ඟී­මට සියලු ක්ෂේත්‍ර­වල ආක­ල්ප­මය වෙන­සක් අව­ශ්‍යයි | සිළුමිණ

රට ගොඩ­නැ­ඟී­මට සියලු ක්ෂේත්‍ර­වල ආක­ල්ප­මය වෙන­සක් අව­ශ්‍යයි

ලෝකයේ බලවත්ම රටවල සියලු ක්ෂේත්‍රයන්ට විශාල බලපෑමක් කරමින් කොවිඩ් වසංගතය 2019 වසරේ අවසාන කාර්තුවෙන් ආරම්භ වී ලොව පුරා පැතිර ගියේය. එහි බලපෑම විශාල ලෙස දැනුණේ ආර්ථික ක්ෂේත්‍රයටය. රටක කොඳු නාරටිය බඳු ආර්ථීකය කඩා වැටීම රටේ සියලු ක්ෂේත්‍රවලට ඍජුව බලපායි. කොවිඩ් වසංගතය මෙරට පැතිර යෑමේ ආරම්භය සිදු වන්නේ 2020 මාර්තු මාසයේදීය. ඒ සමඟ රට සම්පූර්ණයෙන්ම අගුළු දැමීමක් සිදු කරන ලදී. ඒ අනුව ගුවන් තොටුපොළ වසා දැමීමම සිදු වීමත් සමඟ අන්තර් ජාතික වෙළෙඳ ගනුදෙනු සහ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් අඩාළ විය. එසේම විදෙස් රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වීමෙන් විදෙස් ප්‍රේරණයන් අහිමි විය. රට තුළ ඇඳිරි නීතිය පැනවීමත් සමඟ රට අභ්‍යන්තරයේ ප්‍රවාහනය ඇතුළු බොහෝ සේවා බිඳ වැටීම සිදු විය. ඒ සමඟ ආර්ථිකය සම්පූර්ණයෙන්ම අඩාළ විය. එවක මහ පරිමාණ කර්මාන්ත එක්තරා දුරකට පවත්වාගෙන ගියද කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විශාල වශයෙන් බිඳ වැටිණි.

රටේ සේවයේ නියුක්ත වී සිටි බොහෝ අංශයන් මෙන්ම පොහොර නොමැති වීමත් සමඟ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ කඩා වැටීමක් ද සිදු විය. වී, තේ, රබර්, පොල් සහ කුරුඳු කර්මාන්ත කඩා වැටීමත් සමඟ ආර්ථිකය විශාල වශයෙන් බිඳ වැටිණ. දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේ දෙවැනි කාර්තුවේදී බිඳ වැටීමක් සිදු විය. විදෙස් රටවල් බිඳ වැටීම ආනයනික භාණ්ඩ විශාල ලෙස ඉහළ යෑමට හේතු විය. ඒ අනුව ආනයනික භාණ්ඩවල මිල වැඩි වීමක් සිදුවිය. එසේම අපනයන කඩා වැටීම දේශීය ආර්ථිකයට විශාල ලෙස බලපෑම් කරන ලදී. සංචාරක කර්මාන්තය බිඳ වැටීම විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේරණ අඩු වීම නිසා විදෙස් විනිමය හිඟයක් ඇති විය. මෙවැනි හේතුන් ගණනාවක ප්‍රතිඵලයක් ලෙස ඩොලර් හිඟය මතු විය. රටට අවශ්‍ය ඉන්ධන සහ ගෑස් ආනයනය කිරීමට ඩොලර් හිඟය ප්‍රබල ලෙස බලපෑම් කරන්නට විය.

තෙල් අර්බුදය විදුලි බලය නිෂ්පාදනය ද අඩාළ වීම පෞද්ගලික සහ ස්වයං රැකියා ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට ඍජුව බලපෑම් කරන්නට විය. ප්‍රවාහනය බිඳවැටීම නිසා රටේ වෙළෙඳ පොළ සහ නිෂ්පාදන ක්ෂේත්‍රය කඩා වැටීම, අපනයන කර්මාන්තයට විශාල ලෙස බලපෑම් කරන ලදී. හෝටල් කර්මාන්තය විශාල ලෙස බිඳ වැටිණි. ඒ අනුව විශාල ආර්ථීක අර්බුදයකට තුඩු දෙන ප්‍රශ්න විශාල වශයෙන් ඇති විය.

මේ මතුවී ඇති සියලු අර්බුදයන්ගෙන් ගොඩ ඒම අප රටක් ලෙස කළ යුතු ප්‍රමුඛ කාර්යයි. ලෝක වෙළෙඳපොළ සමඟ තරග කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කළ යුතු සේම නව වෙළෙඳපොළ අරමුණු කර සේවා සැපැයිය යුතුය. ඒ සඳහා වටිනාකම් දාමයක් අවශ්‍ය වෙයි. අපි භාණ්ඩයක් පිටරටට අපනයනය කිරීමේදී අමුද්‍රව්‍යයක් ලෙස අපනයනය කිරීමට වඩා වැඩි වටිනාකමක් සහිතව අපනයනය කළ යුතුය.තේ, පොල්, රබර් අපනයනය කිරීමේදී භාණ්ඩ නිෂ්පාදනය කර අපනයනය කළ හැකිය. ආර්ථීක භාණ්ඩ අපනයනය කිරීමට හැකි මට්ටමකට අපේ ආර්ථිකය ගෙන ඒමට හැකි නම් අපේ කර්මාන්ත දියුණු කළ හැකිය. එවැනි දේ අපිට කළ හැකි නම් ඩොලර් හිඟයට යම් පිළියමක් සෙවීමට හැකි වෙයි. විදෙස් රැකියාවන් සඳහා විදෙස්ගත කිරීමේදී සාමාන්‍යයෙන් පුහුණු ශ්‍රමිකයන් පමණක් යැවීමේ ක්‍රමවේදයක් ඇති කිරීම වඩා ප්‍රතිඵලදායකය. දකුණු කොරියාව, මැදපෙරදිග වැනි රටවල පුහුණු අංශයේ රැකියා විශාල වශයෙන් ඇත.

එවැනි රැකියාවලට පුහුණු ශ්‍රමිකයන් යැවීමෙන් ලබාගත හැකි ආදායම විශාල වෙයි. ඒ අය ඉල්ලුම් කරන පුහුණු ශ්‍රමිකයන් යැවීමෙන් ඔවුන්ගේ වැඩ කටයුතු පහසුව සහ වැඩි වැටුපක් හිමිකර ගත හැකිය. සංචාරක කර්මාන්තය නැවත ගොඩනැඟීමට නම් සංචාරකයන්ට පැමිණීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය. විදුලි බලය, ගෑස්, ප්‍රවාහනය සඳහා අවශ්‍ය පහසුකම් සලසා දිය යුතුය. මෙරටට පැමිණෙන සංචාරකයන්ට පහසුකම්, හොඳ පිළිගැනීමක් සහ ආචාරශීලී සත්කාර සහිත හොඳ සේවාවක් ලබා දුන් විට ඔවුන් පෙරළා ඔවුගේ රටට නැවත යෑමෙන් පසු අපේ රට පිළිබඳ ලෝකයට දෙන ආකල්පය ඉතා වැදගත් වෙයි. එසේම වක්‍රාකාරයෙන් ස්වයං රැකියා සහ ග්‍රාමීය නිෂ්පාදන අලෙවි කර ගැනීම වැනි ක්‍රමෝපායන් සංචාරක කර්මාන්තය හරහා සැලසෙයි. සංචාරක කර්මාන්තයේදී දේශීය රටට ආවේණික ආහාර භාණ්ඩ අලෙවි කළ යුතුය. අපේ නිෂ්පාදන හඳුන්වා දී ඔවුන් තෘප්තිමත් කළ යුතුය. එසේම හොඳ උගත්කමක් දැනුමක් සහිත, ජාත්‍යන්තර සබඳතා ඇති තානාපතිවරුන් එම රටවලට යැවිය යුතුය. රට පිළිබඳ හොඳ හැඳින්වීමක් විදෙස් රටවලට ලබා දීම ඔවුන්ගේ කාර්ය භාරයකි.

පසුගිය කාලයේ කඩා වැටුණු කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමත් ඉදිරියට සිදුවිය යුතුය. හෝටල් කර්මාන්තය සංවර්ධනය කළ යුතුය. නිෂ්පාදිත භාණ්ඩ ඉක්මනින් අලෙවි කිරීමට ප්‍රවාහනය යථා තත්ත්වයට පත් කළ යුතුය. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා උපකාර කළ යුතුය. එසේම ස්වයං රැකියා සඳහා ණය ලබාගෙන ඇති අඩු ආදායම් ලාභින්ගේ ක්ෂුද්‍ර මුල්‍ය ණය කපා හැරීම කළ හැකිය. 2020 වසරේ කොවිඩ් පැතිරීමත් සමඟ ණය ගෙවාගැනීමට නොහැකි වීමෙන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත බිඳවැටි ඇත. ඔවුන් ණය ලබාගෙන ඇති මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කර එක්තරා ප්‍රමාණයකින් එම ණය කපා හැරීමක් වැනි සහනයක් ලබා දීමට හැකි නම් වඩාත් සුදුසුය. මේ පිළිබඳ මහබැංකුවට සහ අනෙක් බැංකුවලට විශාල කාර්ය භාරයක් ඇත. මහපරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රමවේදයක් මේ වන තෙක් අනුගමනය කර නැති අතර, ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුය.

මේ රටේ ආකල්පමය වෙනසක් සියලු ක්ෂේත්‍රවල සිදු විය යුතුය. රටක් සංවර්ධනය කිරීමට සුබ සාධනය නොව යම් සහනයක් දිය යුතු වන්නේ ස්වයංව නැඟි සිටීමටයි. එසේම ජනතාවට උපයාගෙන ජීවත් විය හැකි ආර්ථික රටාවක් බිහි කළ යුතුය. රැකියා උත්පාදනය කිරීමට ආර්ථිකය ප්‍රසාරණය කිරීමට හැකි නම් මිනිස්සු රැකියාවල නියුතු වෙමින් අවශ්‍ය භාණ්ඩ සහ සේවා මිලදී ගත යුතුය. එසේ නොමැතිව නොමිලේ සියල්ල ලබා දීම තුළ නොමිලේ සියල්ල ලබා දීමට පොරොන්දු දෙන ඕනෑම රජයකට ඡන්දය ලබා දීම සිදුවෙයි.

මේ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට මෙය හොඳම වෙලාව බව අප වටහා ගත යුතුය. රජයට දරාගන්න බැරි සුබසාධන බරක් පැටවී ඇත. අය වැය පරතරය මේ වනවිට මිලියන ගණනාවකි. එය පියවා ගැනීමට ණය ලබා ගැනීම අවසාන නිගමනයයි. මේ සුබසාධන ප්‍රතිපත්ති පවත්වාගෙන යන්නේද යන්න නැවත කියවා බැලීමට කාලය පැමිණ ඇත. පුද්ගලයා සහනාධාර නොගන්නා ආකාරයට සංවර්ධනය කළ යුතුය. දිළිඳු බව නැති කිරීමට සමෘද්ධි දීමනාව ලබා දෙන්නේ නමුත් සමෘද්ධි සහනධාර ලබා දී වසර කිහිපයකදී තවත් ලක්ෂ කිහිපයක් සමෘද්ධි සහනාධාර සඳහා සුදුසු බව පවසයි. එසේනම් අපි දිළිඳුකම නැතිකිරීමට කටයුතු කර තිබෙන්නේද යන්න ගැටලුවකි.අපි වෙනස් කළ යුතු තැන් රැසකි. දේශපාලනඥයන්ට දේශපාලනය අරමුණු සාක්ෂාත් කරගැනීමට දුප්පත්කම පැවැතීම වැදගත් වෙයි. මේ දේශපාලන ක්‍රමවේදය පිළිබඳ ඒ අයගේ මතය වෙනස් කළ යුතුය.

මෙරටේ නිදහස ලබා ගත් දා සිට මෙතෙක් භාවිත කළ ක්‍රමවේදයන් වෙනස් කළ යුතුය. එක් එක් රජයෙන් රජයට වෙනස් නොවන ස්ථාවර ප්‍රතිපත්තියක් සියලු ක්ෂේත්‍රවලට තිබිය යුතුය. ආණ්ඩුවෙන් ආණ්ඩුවට සියලු ක්ෂේත්‍රවල ප්‍රතිපත්ති සංස්කරණය වෙයි. ආර්ථික, අධ්‍යාපන සහ විදෙස් ප්‍රතිපත්ති ආදිය අඛණ්ඩව වසර 15ක් දක්වා හෝ පැවැතිය යුතුය. රටක් ලෙස අප දෙපයින් නැඟී සිටිය යුතුය. ණය ලබා දීමේදී ඔවුන් සඳහන් කරන කරුණක් නම් අපට ස්ථාවර ප්‍රතිපත්තියක් නොමැති බවයි. ආණ්ඩු වෙනස් වුවත් ප්‍රතිපත්ති වෙනස් නොවන ක්‍රමවේදය අපි සකස් කළ යුතු වන්නේ එය රටේ ආර්ථික ස්ථාවරත්වයට ඍජු ලෙස බලපාන හෙයිනි.

ඉන්ධන සහ ගෑස් මිල අඩු කිරීමක් සිදු කර ඇත. මිල සූත්‍රය භාවිත කිරීමක් මේ වන විට පවතියි. එය භාවිත කරන්නේ ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ පහළ යෑම අනුවය. මාසයේ 01 වැනි 15 වැනිදා මෙය සිදු කරයි. මේ අතරවාරයේදී පහළ වැටුණ අවස්ථාවලදී සහ අදාළ දිනයන්හි වැඩි වීමක් සිදුවුවහොත් එයින් පාරිභෝගිකයන්ට වාසියක් අත් නොවෙයි. යම් කිසි හොඳ ක්‍රියාවක් වුවත් මෙය මීට වඩා විධිමත් විය යුතුය. මේ මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේදී මිල පහත වැටෙන අවස්ථා ද වෙයි. මේ අඩු වන මිලට සාපේක්ෂව අනෙකුත් භාණ්ඩ හා සේවාවල මිල අඩු වීම ඉතා වැදගත් වෙයි. අපේ රටේ තෙල් නිෂ්පාදනය නොකළද අප තෙල් ආනයනය කිරීමේදී රුසියාව වැනි රටවලින් තෙල් මිලදී ගැනීමට හැකියාව ඇත. ඩොලර් 35 හෝ 40කට බොරතෙල් බැරලයක් ආනයනය කර ගැනීමට හැකියාවක් ඇත.

අපි නොබැඳී ජාතීන්ගේ සම්මේලනයේ සාමාජිකයන්ව සිට වර්තමානයේ ඉන් ඉවත් වී ඇත. එම සමුළුවට සම්බන්ධ වී සිටියා නම් රුසියාව වැනි රටවල් සමඟ ගනුදෙනු කිරීමට හැකියාවක් ඇත. අපට ගත හැකි වාසිය මේ අවස්ථාවේදී ලබා ගත යුතුය. රුසියාව වැනි රටවල් සමඟ සාකච්ඡා කර අප අසීරු අවස්ථාවක සිටින බව පැහැදිලි කර අඩු මිලට තෙල් ලබාදීමට එවැනි රටවල් එකඟ කරගැනීමට හැකියාවක් ඇත. කෙසේවුවත් ආහාර උද්ධමන වේගය 70% හෝ 90% දක්වා වැඩි වී ඇත. සහල්, පාන් පිටි ආශ්‍රිත ආහාර ,එළවළු සහ අනෙකුත් භාණ්ඩ මිල ඉහළ ගොස් ඇත. මේ අර්බුදයෙන් නැඟී සිටිය යුතු බව සියලු දෙනාට අවබෝධ කළ යුතුය.

රාජ්‍ය සේවය රටට බරක් බව සඳහන් කළත් පත්වන ආණ්ඩුවල ප්‍රබල දේශපාලන පොරොන්දු අතර, රජයේ රැකියාවක් ලබා දීම ප්‍රමුඛ වේ. රාජ්‍ය සේවය වැඩි කිරීම නොව, කළ යුත්තේ මිනිසුන්ට වෙනත් රැකියා ලබා ගත හැකි ආකාරයට ආර්ථිකයේ සෑම අංශයක්ම ප්‍රසාරණය කිරීමයි. පුද්ගලික අංශයට හැකි තරම් සහනාධාර ලබාදී පෞද්ගලික අංශය හැකි තරම් ප්‍රසාරණය කළ යුතුය. ආර්ථීක ක්‍රමවේදයන් ප්‍රතිසංස්කරණ කරගැනීමට ප්‍රධානම වශයෙන් බලපාන කරුණ සියලු දෙනාගේම අවංකත්වයයි. දේශපාලනඥයාගේ සිට සියලු සමාජ කණ්ඩායම් අවංක විය යුතුය.

මේ රටේ සියලු අංශ කඩාවැටීමට සහ ඩොලර් හිඟයට හේතුව වැරදි මුල්‍ය කළමනාකරණයයි. රජයේ ලැබෙන ආදායම නියමාකාරයෙන් කළමනාකරණය කරමින් භාවිත කළේ නම් මේ තරම් අගාධයකට රට වැටෙන්නේ නැත. හොඳ මුල්‍ය කළමනාකරණයක් පවතින්නේ නම් ලැබෙන ආදායම හොඳටම ප්‍රමාණවත් වෙයි. අපි විදෙස් මඟින් ලබාගන්නා ණය වුවත් නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් ඒ ණයවලින් ව්‍යාපෘතිවලට මුදල් යෙදවිය යුතුය. අනෙක් රටවල්වලට අපේ රට ගැන විශ්වාසයක් ඇති කළ යුතුය. ඒ රටවලට අපි ගැන විශ්වාසය බිඳීම විශාල අවාසියකි. දේශපාලනඥයන්, රාජ්‍ය සේවකයන්, ඉහළ නිලධාරින් සහ මහජනතාව සියලු දෙනාම අවංකභාවයෙන් කටයුතු කරන්නේ නම් විදෙස් රටවල විශ්වාසය ඇතිවී ඒ අයගේ ආකල්පය වෙනස් වෙයි. තානාපති කාර්යාල මඟින් අපේ රටේ ජනතාව සහ දේශපාලනඥයන් අවංක යන අදහස පෙන්විය යුතුය. රටේ වංචාව, දුෂණය තුරන් නොවන තාක් කිසිදු අංශයක් දියුණු කළ නොහැකිය. සේවකයාගේ සිට ඉහළ නිලධාරින් දක්වා එහි වගකීම පැවරී ඇත. අපි ජීවත්වෙන රට අපි ආරක්ෂා කළ යුතුය. ඉදිරි පරපුර වෙනුවෙන් රට ගොඩනැඟීම අප සියලු දෙනාගේ ජාතික වගකීමකි.

 

Comments