
අටවන පන්දුවාර විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ලබන 16 වැනිදා ආරම්භ වීමට නියමිත වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊට සති 2 කට පෙර ඔස්ට්‍රේලියාව බලා පිටත් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායම වේලාසනින් ම ඔස්ට්‍රේලියාව බලා පිටත් ව ගියේ එහි පවතින තත්ත්වයන්ට කල් තියා හුරුවීම අරමුණු කර ගනිමිනි.
සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයට පෙර ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි විය යුතු වන අතර, එම තරගාවලිය ලබන 16 වැනිදා නැමීබියාවට එරෙහි සටනින් ආරම්භ වේ. මෙකී තරගාවලියේ ඒ සහ බී කාණ්ඩයේ ශූරයන් මෙන් ම අනුශූරයන් සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටය සුදුසුකම් ලබා ගනියි.
ශ්‍රී ලංකා කණ්ඩායම ඊට පෙර පුහුණු තරග 2 කට ක්‍රීඩා කරන අතර, අනතුරුව සුදුසුකම් ලැබීමේ තරග වටයේ තරග 3 කට ක්‍රීඩා කරනු ඇත. මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා විස්සයි20 නායක දසුන් ශානක සහ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සඳහන් කරන්නේ සුපිරි කණ්ඩායම් 12 අතර තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකාවට පුහුණු තරග දෙකකට සහ සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ වන තරග තුනකට ක්‍රීඩා කිරීමට ලැබීම කණ්ඩායමේ වාසියට හේතු වනු ඇති බවයි.
ගෙවී ගිය වසර කිහිපයේ විස්සයි 20 තරගවලදි ශ්‍රී ලංකාව දක්වන ලද දුර්වල ක්‍රීඩා රටාව නිසා සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයට සෘජුව ම සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි විය. එනිසා ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමට සිදුවන නමුත් මේ තුළින් ඔස්ට්‍රේලියාවේ තණ තීරුවලට හුරුවීමට වඩාත් හොඳ අවස්ථාවන් නිර්මාණය කර දෙන බව නායක දසුන් ශානක සහ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසති.
‘එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ගිය පාරත් අපි කොලිෆයි රවුන්ඩ් එක ක්‍රීඩා කරලා තමයි තරගාවලියට අවතීර්ණ වුණේ. එතැනදි අපි ඊළඟ වටයට යද්දී එහේ තත්ත්වයන්වලට අනුගත වෙලා හිටිය හින්දා වාසියක් තිබ්බා. අවාසනාවන්ත විදියට අපි දකුණු අප්‍රිකාව සහ එංගලන්ත තරග දෙකම පැරදුණා. මම හිතන්නේ ඒකම ඇති මේ පාර ලෝක කුසලාන තරගාවලියටත්. මේ ක්‍රීඩා කරන තරග 5 ත් අපට අනිවාර්යයෙන් ම වැදගත් වෙනවා දෙවැනි වටයට යද්දී‘ දසුන් පවසයි.
ශ්‍රී ලංකාව 10 වැනිදා සිම්බාබ්වේට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පළමු පෙරහුරු තරගයකට ක්‍රීඩා කරන අතර අනතුරුව 13 වැනිදා අයර්ලන්තයට එරෙහිව දෙවැනි පුහුණු තරගයට එකී ක්‍රීඩාංගණයේදීම තරග කරයි.
සුදුසුකම් ලැබීමේ තරග වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග කරන ශ්‍රී ලංකාව 16 වැනිදා පැවැත්වෙන නැමීබියා තරගයට අමතරව 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟත් 20 වැනිදා නෙදර්ලන්ත කණ්ඩායම සමඟ ද තරග කරයි.
අපි දන්නවා ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණයෙන් ක්‍රීඩාංගණයට දේශගුණික තත්ත්වයන් වෙනස් වෙනවා. ඒ වගේම සමහර ක්‍රීඩාංගණවල දෙපැත්ත දිගයි. සමහර ක්‍රීඩාංගණවල ඉස්සරහා දිගයි. වේග පන්දු යවන්නන් ගත්තොත් ඔවුන්ට පන්දු යවන ක්‍රමයේ වෙනසකින් දෙකකින් තරගාවලියේ රැඳිලා ඉන්න බෑ. වෙනස්කම් 3 ක් හෝ 4 ක්වත් තියෙන්න ඕනෑ. ඒ කියන්නේ යෝකර්ස්, වයිඩ් යෝකර්ස්, කෙළින් යෝකර්ස්, ස්ලෝ බම්පර්, වයිඩ් ස්ලෝ බෝල්, හැම එකම එතැනදි අපට ආයුධයක් වෙනවා යැයි පවසන දසුන්, වැඩිදුරටත් පවසන්නේ, අපි හොඳ සූදානමකින් යන්න ඕනෑ. මම හිතන්නේ ඒක ගැන සියලු ම ක්‍රීඩකයන්ට හොඳ අවබෝධයක් තියෙනවා. පිතිකරණයෙන් ගත්තොත් ඉතිං පවර් ප්ලේ ඇතුළේ කොහොමද බැට් කරන තැන ඉඳලා අපි සැලසුම් කළොත්, අපේ බැටිං ලයින් අප් එකට හොඳට ම කරන්න පුළුවන්. පන්දු රැකීම ගත්තත් ඒ පැත්තත් හොඳම තත්ත්වයේ තියෙනවා. දිගින් දිගටම මේ තත්ත්වය උඩට අරගෙන යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
මේ අතර දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර පැයට කිලෝ මීටර 140 ට වඩා වැඩි වේගයකින් පන්දු යැවිය හැකි පන්දු යවන්නන් දෙදෙනා ද ආබාධ සුව වීමෙන් පසු කණ්ඩායමට එක් වී සිටිති.
මොවුන් දෙදෙනාට ම ආසියානු කුසලාන තරගාවලිය නියෝජනය කිරීම අහිමි වූ බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියට සහභාගි වූයේ නවක වේග පන්දු යවන්නන් සිවු දෙනකු සමඟිනි. ඒ අතර වමතින් වේග පන්දු යවන ප්‍රමෝද් මදුශාන් සහ ඩිල්ෂාන් මධුශංකය. මොවුන් දෙදෙනා ම ලෝක කුසලාන තරගාවලිය සඳහා සිය ස්ථාන වෙන්කර ගැනීමට සමත්ව සිටිති.
ඒ අතරින් ඩිල්ෂාන් මධුශංකට මෙන් ම ළහිරු සහ දුෂ්මන්තට පැයට කිලෝ මීටර් 140 ට වඩා වේගයෙන් පන්දු යැවීමේ හැකියාව පවතියි. නායකයකු විදියට මට මේක ලොකු ම වාසියක්. මොකද අපිට පැයට කිලෝ මීටර් 140 ට වඩා වේගයෙන් පන්දු යවන්න පුළුවන් තුන් දෙනෙක් ඉතිහාසයේ ම කණ්ඩායමේ ඉඳලා නෑ. දෙන්නෙක් වගේ තමයි ඉඳලා තියෙන්නේ.
මම හිතනවා එයාලගේ පන්දු යැවීමේදී භාවිත කරන එකිනෙකට වෙනස් පන්දු යැවීමත් ඔවුන්ගේ දක්ෂතාවත් ඔස්ට්‍රේලියානු තණ තීරුවලදි ලොකු දෙයක් කිරීමට හැකියාව ලැබෙයි කියලා, යනුවෙන් දසුන් සිය විශ්වාසය පළ කර සිටියි.
ළහිරුයි, චමීරයි දෙන්නම පුහුණුවීම්වලදී ඔවුන්ගේ උපරිමය ලබා දුන්නා. ඔවුන්ගේ සම්පූර්ණ දායකත්වය හොඳින් ඉටු කළා. මම හිතනවා ඒ දෙන්නම මේ තරගාවලිය සඳහා හොඳින්ම පෙර සූදානම් වෙලා ඉන්නවා කියලා,
මෙහිදී ආසියානු කුසලාන ජයග්‍රහණය, ලෝක කුසලාන තරගාවලිය සඳහා අමතර පීඩනයක් නොවන බව පවසන දසුන්, ආසියානු තරගාවලිය ගත්තොත් ඒක තවත් එක තරගාවලියක් විතරයි. අපි ඒක ගැන හිතලා දැන් වැඩ කරන්නේ නෑ. මොකද ඒක ඉතිහාසයට එකතු වුණු දෙයක් විතරයි. අපි ඒක ගැන හිත හිතා හිටියොත් වර්තමානය සහ අනාගතයේදී හොඳ දේවල් කරන්න අමතක වෙනවා. ඒ නිසා අවධානය වෙන අතකට යන්න පුළුවන්. අපි පුහුණුවීම්වලදීත් කතා වුණේ ඒ ගැනයි.
කෑම්ප් එකේදී හොඳ උත්සාහයක් දැම්මා හැමෝම. මම හිතුවේ ආසියානු කුසලානය දිනලා ඉන්න නිසා පොඩි රිලැක්ස් එකක් එක්ක අපේ අය පුහුණුවීම් කරයි කියලා. ඒත් එහෙම නෑ. හැමෝම වෙනදට වඩා වැඩි උවමනාවෙන් පුහුණුවීම් සිදු කළා.
මේ ඔක්කොමත් එක්ක කණ්ඩායමක් විදියට මම විශ්වාස කරනවා, ලෝක කුසලානයේදී අනිවාර්යයෙන්ම වෙනසක් කරන්න කරන්න සූදානමින් ඉන්නවා කියලා, යැයි දසුන් විස්සයි20 ලෝක කුසලාන බලාපොරොත්තුව ගැන කියයි.
මේ අතර ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සඳහන් කරන්නේ සුදුසුකම් ලැබීමේ වටයකට යටත්ව තරගාවලියට යෑමට අවස්ථාව ලැබීම කණ්ඩායමට ‘වෙස්වළාගත් ආශිර්වාදයක්’ ලෙසින් සලකන බවයි.
මෙවර විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කරනා කණ්ඩායමට මුදලින් ඇමරිකන් ඩොලර් මිලියන 1.6ක් ලබා දීමට නියමිතය. ICC විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ නොවැම්බර් 13 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය ජයග්‍රහණය කරනා කණ්ඩායමට මුදලින් ඇමරිකන් ඩොලර් මිලියන 1.6ක් පිරිනමන බවයි.
එමෙන්ම අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ශූරතා මුදලින් භාගයක් එනම් ඇමරිකන් ඩොලර් ලක්ෂ 8ක් හිමි වෙයි. කණ්ඩායම් 16කගේ සහභාගීත්වයෙන් මාසයකට ආසන්න කාලයක් පුරාවට පැවැත්වීමට නියමිත මෙකී තරගාවලිය අවසානයේදී අවසන් පූර්ව තරග පරාජය වන කණ්ඩායමට ද ඩොලර් ලක්ෂ 4ක් පිරිනමන අතර ඒ අනුව ත්‍යාග මුදල් සඳහා වෙන් කර ඇති සමස්ත මුදල් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 5.6කි.
සුපිරි 12 වටයෙන් ඉවත්වන කණ්ඩායම් 8 සඳහා ඇමරිකන් ඩොලර් 70,000ක් ලබා දීමට නියමිත අතර පසුගිය තරගාවලියේදී මෙන්ම මෙවරත් සුපිරි 12 තරග 30 ජයග්‍රහණය කරනා සෑම කණ්ඩායමකට ඇමරිකන් ඩොලර් 40,000ක් ලබා දෙනු ඇත.
සුපිරි 12 සඳහා සෘජුව සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් වන්නේ ලෝක ශූර ඔස්ට්‍රේලියාව, අනුශූර නවසීලන්තය, එංගලන්තය, ඉන්දියාව පාකිස්තානය, දකුණු අප්‍රිකාව,ඇෆ්ගනිස්තානය, , බංග්ලාදේශයයි.
සුදුසුකම් ලැබීමේ තරග වටයට එක්වන අනෙක් කණ්ඩායම් අට වන්නේ A කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය, නැමීබියාව, එක්සත් අරාබි එමීර් සහ B කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්ත, සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තයයි.
එම පළමු අදියරේදී ජයග්‍රහණය කරනා සෑම කණ්ඩායමකට ඇමරිකන් ඩොලර් 40,000ක් ලබා දෙන අතර, ඒ අනුව පැවැත්වීමට නියමිත එම වටයේ තරග 12 සඳහා වෙන් කර ඇති මුදල ඇමරිකන් ඩොලර් 480,000කි.