
නව දිල්ලියට වැටෙන උදෑසන හිරු එළිය මා සිතින් කොළඹ නගරයට ගෙන යන්නේය. නැත. මා සිටින්නේ ඉන්දියාවේ අගනුවර නොවේය. මා සිටින්නේ මාගේ ආදරණීය දේශයේය. කොළඹ නගරයේය. මේ නගර දෙක අතර දුර කිලෝමීටර් 2,429කි. එහෙත් මා ඇසට පෙනෙන දෙය, මා සිතට දැනෙන දෙය මා කොළඹ නගරයේ හුරුපුරුදු හැඟීම් දනවන්නේය. අප නවාතැන් ගත් ‘ලේ මැරීඩියන්’ හෝටලය පිහිටා තිබුණේ දිල්ලියේ හදවත මධ්‍යයේය. එහි සිට පා ගමනින් ‘ඉන්දියා ගේට්‘ වෙත යා හැකිය. ඉන්දියා ගේට් හි අනෙක් කෙළවර වන්නේ ඉන්දියාවේ දේශපාලනික මර්මස්ථාන ගොඩනැගිලි කිහිපයකි. ඒ් අතර ජනපති මැදුර වන රාෂ්ට්‍රපති භවන, ආරක්ෂක අමාත්‍යංශ, මුදල් අමාත්‍යංශ සහ අභයන්තර කටයුතු අමාත්‍යංශ ගොඩනැගිලි ද වේ. හෝටලයේ මා නැවතී සිටි කාමරයේ එක් බිත්තියක වපසරිය තරමට වන දැවැන්ත වීදුරුව ආවරණය කරන තිර රෙදි දෙපසට කළ විට දිස් වන්නේ දිල්ලියේ ශ්‍රැංගිලා හෝටලය ඇතුළු අහස සිඹින ගොඩනැඟිලි කිහිපයකි. ඒ් අතර තවදුරටත් ඉදිකරමින් පවතින ගොඩනැඟිලි රාශියක් ද වන්නේය. මේ සියල්ල යළිත් මා කොළඹ නගරයට ගෙන යන්නේය. කාලගුණයේද ඇත්තේ ස්වල්ප වෙනසකි. දිල්ලි අහස වලාවෙන් බර වන අතර රාත්‍රියට තරු පිරි අහසක් දැක ගත නොහැක්කේය. පාර පුරා දිවෙන ජපන් වාහන අතර ඉන්දියාවේම නිෂ්පාදිත සුසුකි මෝටර් රථද සුලබය. ඒ් සියල්ල අතර කොළඹ නගරයට මා වඩ වඩා ගෙන යන්නේ එහාටත් මෙහාටත් නොඉවසිල්ලේ දිව යන ත්‍රීරෝද රථ පෙළයි.
අනික් අතට කොළඹ සහ දිල්ලිය අතර කාල රාමුවේ පවතින්නේ විනාඩියක හෝ දෙකක වෙනසකි. එබැවින් මට සිතෙන්නේම මා සිටින්නේ කොළඹ නගරයේ බවයි. මහා මාර්ගය දෙපස වන පදික වේදිකාවේ ගමන් කිරීම පහසුය. උදෑසන ශාරීරික ව්‍යායාම පිණිස පැමිණෙන ධනවත් ඉන්දියානුවන්ගෙන් මේ මංතීරු පිරී ගොස්ය. ඔවුන් වහරන හින්දි බසද එතරම් ආගන්තුක නැත. මඳක් වටහා ගැනීමටද, උවමනා නම් වදනක් දෙකක් පැවසීමටද හැකිය. ඉදින් මේ නම් හුරුපුරුදු ඉසව්වක්මය.
අප සිටි දිල්ලි හදවතේ සිට පයින් යන දුරින් පිහිටා තිබූ ‘කනෝට් ප්ලේස්’ ‘ජන්පත්’ සහ ‘පාලිකා බසාර්’ අප වැඩියෙන්ම ආකර්ෂණය කළ ස්ථාන විය. අවාසනාව වූයේ මේ වෙළෙඳ රජදහනේ ගත කිරීමට කාලය මඳ වීමය. රාත්‍රිය බෝ වන විට මංමාවත් මිනිසුන්ගෙන් තොර වන්නේ යළිත් වරක් මට කොළඹ නගරය සිහි ගන්වමිනි.
එහෙත් මේ ඉන්දියාවය. සැබවින්ම ආසියාවේ ආශ්චර්යය.
ඉන්දීය විදේශ අමාත්‍යංශයේ කොළඹ පිහිටි මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනාවක් මත මා ඇතුළු ශ්‍රී ලංකාවේ විද්යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍යවේදීන් 17 දෙනෙකුත් සීෂෙල්ස් හි මාධ්‍යවේදීන් 8 දෙනෙකුටත් ඒ් ආශ්චර්යය දෑසින් දැක බලා ගැනීමේ අවස්ථාව පසුගියදා උදා විය. එම සංචාරයෙන් නගර තුනක් ආවරණය වූ අතර නවදිල්ලිය, තෙලෙන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් සහ සංස්කෘතික අගයන්ගෙන් ඉහවහා ගිය අග්‍රාව ඒ් අතර විය.
සංචාරයෙන් වැඩිම දින ගණනක් ගත කළ දිල්ලි නගරයේදී ඉන්දියාවේ ආර්ථික, සමාජ මෙන්ම ආරක්ෂක, විද්‍යා හා තාක්ෂණ යනාදී ක්ෂේත්‍ර රැසක ඉදිරියේදී ඇති වීමට නියමිත අභිවෘද්ධිය හඳුනා ගැනීමට පහසු වන පුද්ගල හමු කිහිපයක්ම සංවිධානය කිරීමට ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය වගබලා ගෙන තිබිණි. ඇතැම් හමුවීම් රාජ්‍ය නිලධාරීන් සමඟය. ඇතැම් හමුවීම් පෞද්ගලික ආයතනවල නිලධාරින් සමඟය. එහෙත් ඒ් සියල්ල එක් ඉසව්වක් කෙරෙහි දිශාගත වී තිබිණ. එනම් ඉන්දියාවේ වැළැක්විය නොහැකි අනාගත ආශ්චර්යයි.
ඉන්දියාව ලෝකයේ භූමි ප්‍රමාණය අතින් හත්වැනි විශාලතම රටයි. ජනගහනය අතින් ලොව දෙවැනියට විශාලතම ජනගහනය හිමි රටයි. පසුගිය දශක දෙකක පමණ කාලය තුළ ඉතා විශාල අභියෝග ජයගෙන දැවැන්ත ඉලක්ක කරා සාර්ථකව ගමන් ගනිමින් තිබුණ ද තවමත් සංවර්ධනය වෙමින් පවතින රටයි.
මේ සියලු අභියෝග එක මිටට ගනිමින් දකුණු ආසියාවේ දැවැන්තයා තමා බවට නිතරගයෙන් තහවුරු කරමින් සමස්ත ආසියාවටද තරගයක් දෙන ඉන්දියාව සැබවින්ම ගමන් කරමින් සිටින්නේ පහසු මාවතක නොවන බවද කිව යුතුය.
ජනගහනය රටකට සම්පතකි. ඒ් සම්බන්ධව තර්ක නොමැත. එහෙත් ඉන්දියාව ඉදිරියට ගමන් කරමින් සිටින්නේ සරලව නොතැකිය හැකි ජනගහනයක්ද සහිතවය. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ජනගහනය හා සමාන ජනගහනයක් ජර්මනියේ වාසය කරන්නේය. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ජනගහණය බ්‍රසීලයේ ජනගහනයකට සමානය. කර්නාටක් ප්‍රාන්තයේ ජනගහණය ප්‍රංශයේ ජනගහනයට සමාන වන අතර තමිල්නාඩුවේ ජනගහනය තුර්කියේ ජනගහනයට සමානය.
එබැවින්ම මේ සියලු දෙනාගේම ජීවිත නඟාසිටුවීම අතර සංවර්ධනය කරා ගමන් කිරීම ඉන්දියාවට අභියෝගයකි.
එහෙත් ලෝකයේ බිලියනපතියන් අතර ඉන්දියානු නම් කිහිපයක්ද වන්නේය.
ඇති නැති පරතරය යනු ඉන්දියාවේදී පැහැදිලිවම ඇසින් දැකිය හැකි දෙයකි. නවදිල්ලි නගරයේ මෙන්ම ඉන්දියාවේ බොහෝ ස්ථානවල තුන්රෝද පදින බයිසිකල් ජනප්‍රියය. ඔවුන් වැඩි වශයෙන්ම එම බයිසිකල් භාවිත කරන්නේ භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙනි. එම බයිසිකලය පසුපස ඇති භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන්ම සැකසුණු බක්කියක් වැනි කොටසේ තනි පුද්ගලයකුට දරා ගත නොහැකි තරම් භාණ්ඩ පටවාගෙන අධික වෙහෙසකින් යුක්තව පදවාගෙන යන මිනිසුන් නවදිල්ලි නගරයේ මාවත්වල සුලබ දසුනකි. එමෙන්ම නවදිල්ලි නගරයේ පමණක් නොව හයිද්‍රාබාද් නගරයේ පවා සුලබ අධිවේගී මාර්ග ජාලය ගමනාගමන පහසුව සැමට ලබා දෙන අතර එම මාර්ග පද්ධතියේ දැවැන්ත කුලුනු බොහෝ පදික වේදිකා වැසියන්ට හිසට සෙවණ ද ලබා දෙන්නේය.
සැබවින්ම ඉන්දියාව ආසියාවේ ආශ්චර්යය නම් ඉන්දියාවේ ආශ්චර්යය හයිද්‍රාබාද් නගරය යැයි පැවසිය හැකිය. එය එතරම්ම පුදුමයකි. හයිද්‍රාබාද් නගරය පිහිටා ඇති තෙලන්ගානා ප්‍රාන්තය යනු කාරුණික ගැමියන්ගෙන් සැදි ප්‍රාන්තයකි. එහි වැඩිහරියක් ගැමියන්ය. දුගියන්ය. එහෙත් ඔවුන්ගේ ජීවන රටාව සංස්කෘතික අතින් පොහොසත්ය. ඔවුන් අතීත උරුමකම් අතින් ඉතාමත් පොහොසත් වන්නේ කොහිනූර් දියමන්තියද සොයාගෙන ඇත්තේ තෙලන්ගානා හි පිහිටා ඇති ගොල්කොන්දා බළකොටුවෙන් වන බැවිනි.
කෙසේ වුවද අද වන විට මේ නගරය ඉන්දියාවේ කාර්මික තාක්ෂණයේ අග නගරය වී අවසන්ය. එහි ඉදිවෙමින් පවතින අහස සිඹින ගොඩනැඟිලි රාශියකි. ඉදිවී ඇති අහස සිඹින ගොඩනැඟිලි රාශියකි. මේ සියල්ල පවසන්නේ අනාගත කාර්මික තාක්ෂණ අධිරාජ්‍යයක අනාවැකිය. හයිද්‍රාබාද් නගරයට මෙතරම් කාර්මික තාක්ෂණ අවධානයක් හිමි වන්නේ ඒහි ස්ථාපිත කළ ඉන්දීය කාර්මික තාක්ෂණ විශ්වවිද්‍යාලය හේතුවෙනි. 2008 වසරේදී එය ආරම්භ කරනු ලැබුවද එහි ස්වර්ණමය යුගය ඇරඹෙන්නේ 2014න් පසුවය. බොහෝ දෙනාගේ මතයට අනුව හයිද්‍රාබාද් කාර්මික තාක්ෂණ අගනගරය වන්නේ 2014 සිට 2019 දක්වා තෙලන්ගානා ප්‍රාන්තය පාලනය කළ ප්‍රාන්ත දේශපාලක චන්ද්‍රබානු නායිදුගේ මැදිහත්වීම හේතුවෙනි. ඔහු බොහෝ අන්තර්ජාතික කාර්මික තාක්ෂණ සමාගම්වලට හයිද්‍රාබාද් වෙත පැමිණීමට අවස්ථාව ලබා දෙමින් ඉදිරිගාමී වැඩපිළිවෙලකට ජීවය දුන් බව ප්‍රකාශිතය. කෙසේ වුවද මේ වන විටත් මයික්‍රොසොෆ්ට්, සට්යම්, ඉන්ෆොටෙක් ඒන්ටප්‍රයිසස්, ඉන්ටග්‍රාෆ්, පට්නි, සොනාටා, ටීසීඒස් සහ වර්තුෂා වැනි සමාගම් හයිද්‍රාබාද්හි ස්ථාපිත වී අවසන්ය. ඉන්දීය මධ්‍යම රජයද ප්‍රාන්ත රජය සමග එක්වෙමින් T – HUB වැනි ආයතන ස්ථාපිත කරමින් තව තවත් ආයතන මෙන්ම ආයෝජකයන් හයිද්‍රාබාද් වෙත ගෙන ඒ්මට පහසුකම් සපයමින් සිටින්නේය. මේ සියල්ල පෙන්නුම් කරමින් ඇත්තේ අනාගත අසිරිමත් සමයක පෙරනිමිතිය.
හයිද්‍රාබාද් වැසියන්ට මුහුදු සීමාවක් හිමි නැත. එබැවින් දූපත් වාසී අපට මෙන් ඔවුන්ට බෝට්ටු සවාරි එදිනෙදා සාමාන්‍ය දෙයක් වන්නේ නැත. ඔවුන් අභ්‍යන්තර කුඩා ජලාශයක බෝට්ටු සවාරියක් වෙනුවෙන් පැය කිහිපයක් පෝලිමක රැඳී සිටීමට තරම් ඉවසිලිවන්තය. අහිංසකය. තෙලන්ගානා ප්‍රාන්ත රජය අප ජනමාධ්‍යවේදීන් කණ්ඩායමට ලබා දුන්නේ අතිශය ගෞරවනීය පිළිගැනීමකි. හයිද්‍රාබාද් ගුවන් තොටුපොළට පැමිණි තෙලනාගනා රජයේ නියෝජිතයන් එම ප්‍රාන්තයේ චාරිත්‍ර සංස්කෘති විධික්‍රම අනුව අප සැමගේ දෙඋර වටා වර්ණවත් සළුවක් පළඳමින් රෝසමලක් අතට දෙමින් ගෞරවනීය ලෙස අප පිළිගත්හ. එතැන් සිට සංචාරය සඳහා වෙන්වූයේ තෙලන්ගානා සංචාරක කර්මාන්තය සඳහා වෙන් කළ සුඛෝපභෝගී බස් රථයකි. අපගේ වාසනාවට මෙන් අප එහි පැමිණි කාලය තෙලන්ගානා වැසියන් අති උත්කර්ෂවත්ව සමරන උත්සව සමයකි.
ඔවුන් එය හඳුන්වන්නේ භතුකම්මා යනුවෙනි. එය සෑම වසරකම සැමරෙන උත්සවයක් වන අතර මෙවර එය සැප්තැම්බර් මස 25වන දින සිට ඔක්තෝබර් මස 3වැනිදා දක්වා පැවැත්විණි. අප එහි ගත කළ ඔක්තෝබර් එක සහ දෙවැනිදා මේ වර්ණවත් භතුකම්මා සංස්කෘතිකාංග දැක ගැනීමට අපට අවස්ථාව උදා විය. භතුකම්මා යනු කාන්තාවන්ගේ උත්සවයකි. ඒ් වෙනුවෙන් වර්ණවත් මල් අවශ්‍ය වේ. වැඩි වශයෙන් යොදා ගන්නේ තැඹිලි සහ කහ පැහැති දහස් පෙතියාය. මේ වර්ණවත් මල් කේතුවක ආකාරයට උඩට උඩට සාදා ගන්නා ඔවුන් එම මල් කේතුව වටා රංගනයේ යෙදෙන්නේ වර්ණවත් සාරිවලින් සැරසෙමිනි. මේ රංගනයේ යෙදන කාන්තාවන්ගේ දෑතේ වළලු සිය ගණනක් තිබීම නම් සාමාන්‍ය කරුණකි. මේ රංගනය සඳහා ඕනෑම කාන්තාවකට සහභාගි විය හැකිය. එහෙත් එක් කොන්දේසියකි. සියලුම කාන්තාවන් එකම රංගනය ඉදිරිපත් කරමින් මල් කේතුව වටා ගමන් කළ යුතුය.
ඔක්තෝබර් 3වැනිදා රාත්‍රියේ හයිද්‍රාබාද් පසුකරමින් සිටි මා දෙනෙතට හසු වූයේ මෙවැනි මල් කේතුවක් වටා රංගනයේ යෙදෙන කාන්තාවන් පිරිසකි. කිසියම් හේතුවක් මත අප බස් රථය මාර්ගයේ නතර වී තිබිණි. එක්වරම මේ රංගනයේ යෙදෙන කාන්තාවන් අතරට මාර්ගයේ ගමන් ගනිමින් සිටි කාන්තාවක්ද එක් වූවාය. ඇය සැරසී සිටියේ දුඹුරු පැහැ බ්ලවුසයකින් සහ කළු පැහැති සායකිනි. ඇයගේ රංගන ආගමනය සාරිවලින් සැරසී රංගනයේ යෙදෙමින් සිටි කාන්තාවන් විසින් සාදරයෙන් පිළිගනු ලැබීය. ඇයගේ අතේ වූ කළු පැහැති අත් බෑගය පසෙක වූ කාන්තාවක් ඉල්ලා ගත්තේ ඒ් මගින් ඇයගේ රංගනයට බාධා වන බව වට දෙකක් පමණ රංගනයේ යෙදීමෙන් පසු වටහා ගැනීමෙනි. ඉන්පසුව ඇය වඩා නිදහසේ අනෙක් කාන්තාවන් සමඟ මල් කේතුව වටා සතුටින් රංගනයේ නිතර වූවාය. කාන්තාවක් වන නමුත් භතුකම්මා පැවැත්වෙන සමයේ හයිද්‍රාබාද් හි සංචාරය කිරීමේ අවස්ථාව උදා කර ගත් නමුත් මේ කාන්තාවන් සමග රංගනයට එක්වීමට අවස්ථාවක් උදා කර ගත නොහැකි වීම ගැන මට දැනුණේ කනගාටුවකි.
අවසන් දිනයේ සංචාර සංවිධායකවරුන් අප කණ්ඩායම ගෙන ගියේ තෙලන්ගානා ප්‍රාන්ත ධීවර සංවර්ධන මණ්ඩලය වෙතය. එහිදී එම අවස්ථාවට සහභාගි වූ ධීවර සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් පවසා සිටියේ ඔවුන් ඉන්දීය මධ්‍යම රජය හා එක්ව ධීවර රක්ෂණ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි. මේ සඳහා මුල්‍ය දායකත්වය මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජය හවුලේ දරන අතර ධීවරයන්ගෙන් කිසිදු අය කිරීමක් සිදු නොකරයි. හදිසි කණ්ඩායම් අනතුරකදී වන්දි ලබා දීමට යෝජිත අතර ඉදිරියේදී එම වන්දි ලබා දීමේ අවස්ථා තවත් වැඩි කිරීමටද යෝජිතය. මෙයට අමතරව ඉන්දියාව ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව කෙරෙහි කොතරම් අවධානය දක්වන්නේ ද යන්න පැහැදිලි කිරීමට ඉන්දීය නාවික හමුදාව ඉන්දීය සාගර කලාපීය තොරතුරු විලායන මධ්‍යස්ථානයේදී සමත් වූ අතර අසල්වැසියාට ප්‍රමුඛත්වය දී ඉන්දීය රජයේ තේමාව යටතේ කලාපය මෙන්ම ලොව අනෙකුත් රජ්‍යයන් සමඟ අන්තර් සබඳතා කෙරෙහි ඉන්දියාව කොතරම් අවධානයක් දක්වන්නේද යන්න ඔබ්සවර් රිසර්ච් ෆවුන්ඩේෂන් හිදී දැන ගැනීමේ අවස්ථාවද උදා විය.
අප සමග එක්වූ සීෂෙල්ස් මිතුරු මිතුරියන්ද සමඟ ටජ් මහල මෙන්ම අග්‍රාහි රතු බළකොටුවද, ගොල්කොන්දා බළකොටුවද දෑසින් දැක ගනිමින් පුදුමය මිශ්‍ර සතුට අත් විඳි අප ඉන්දියාව යන මහා සංස්කෘතියෙන් බිඳක් හෝ ජීවිතවලට එක් කර ගැනීමට ලද අවස්ථාව ප්‍රීතියෙන් සමරමින් යළි අප මාතෘ භූමියට පා තැබුවෙමු.