කොන්දේ අමාරුව බෙහෙත් වේල් තිස් හතකින් නිට්ටාවටම සුව කරන වෙදැදුරු | සිළුමිණ

කොන්දේ අමාරුව බෙහෙත් වේල් තිස් හතකින් නිට්ටාවටම සුව කරන වෙදැදුරු

වත්මන් සමාජයේ බොහෝ දෙනකු පීඩා විඳින රෝගාබාධ අතර බෝ නොවන රෝග මූලික වේ. ඒ අතර අධික ලෙස තාක්ෂණික මෙවලම් භාවිතයට හුරු වීම නිසා සිරුරට කිසිදු ව්‍යායාමයක් නොමැතිව එකම ඉරියව්වෙන් කටයුතු කරන නිසා ඇති වන රෝගාබාධ ද වේ. එනිසා උද්ගත වන රෝග අතර මස්පිඬු තදවීම නිසා හට ගන්නා කොඳු ඇටපෙළ ආශ්‍රිත ස්නායු රෝග, කොන්ද කැක්කුම, තුනටිය අමාරුව, දණහිස් වෙදනාව, විළුඹ කැක්කුම, ඔස්ටියෝ පොරොසිස්, ඔස්ටියෝ ආතරයිටිස්, පැති කුදය මේ ආදී වූ රෝග රැසකි. මෙම රෝග සඳහා බටහිර වෛද්‍ය ක්‍රමය තුළ වේදනා නාශක ලබා දීම හා ව්‍යායාම් හැරුණු කොට එය නිට්ටාවට සුව කළ හැකි වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් නොමැති තරම්ය. පැති කුදය සඳහා බටහිර වෛද්‍ය ක්‍රමය තුළ නිසි ප්‍රතිකාර ක්‍රමයක් මෙතෙක් සොයාගෙන නැත. එහෙත් ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබා දී සුව කළ හැකි වෙදැදුරෝ මෙරට සිටිති. එවැනි විරල වෙදැදුරකු සොයා ඉකුත් දිනෙක අපි කුරුණෑගල බලා ගියෙමු.

හෙතෙම හෙළදිව ඓතිහාසික උරුමයක් වූ දේශීය වෛද්‍ය ක්‍රමය වයඹ පළාතේ ව්‍යාප්ත කර විවිධ රෝගයන් නිසා අසරණ වූ ජනයා ඉන් මුදා ගැනීමට තම කාලය, ධනය, ශ්‍රමය හා විස්මිත පාරම්පරික වෛද්‍ය දැනුම් සම්භාරය නිර්ලෝභීව කැප කරන පුලතිසි පරපුරේ හෙළ වෙදැදු‍ෙරකි. ඔහු වීදාගම මහා මෛත්‍රී නාහිමියන්ගේ වෙද පරම්පරාවෙන් පැවත එන වීදාගම වෙදපරම්පරාවේ නව වැනි උරුමකරුවාය. කැඩුම් බිඳුම්, පැති කුදය, ස්නායුගත අස්ථි රෝග, ඔස්ටියෝ ආතරයිටිස්, ඔස්ටියෝපොරොසිස් ආදී සියලුම අස්ථි රෝග සහ ස්නායු රෝග සඳහා ප්‍රතිකාර කරන අපූර්ව ජීවකයා, වන්නි ආරච්චිගේ දොන් පද්මසිරි උඩගම ය.

“මගේ පියා වන්නි ආරච්චිගේ දොන් පියදාස උඩගම, ඔහු තමයි වීදාගම වෙද පරපුරේ අට වැන්නා. ඔහුගෙන් පස්සේ වෙදකම උරුම වුණේ මටයි. කුඩා කාලයේ පටන් පියා කරන කියන දේ දිහා මම බලාගෙන හිටියා. අද වගේ නෙමෙයි, ඒ කාලේ ගොඩක් අය ප්‍රතිකාර ගන්න ආවේ එක්කෝ ගසකින් වැටිලා කොන්ද කැඩිලා, නැත්තම් අත පය කැඩිලා. සමහරු එන්නේ හරක් ඇනලා. ඒ විදියෙ අනතුරුවලට ලක් වෙලා බොහොම වේදනාවෙන් එන රෝගීන් ඔහු සුවපත් කරන ආකාරය දැක්කහම මම පුදුම වුණා. ඔහුට ගමේ පන්සලේ සමාජයේ මිනිස්සු අතර ලොකු පිළිගැනීමක් තිබුණා. මමත් හිතුවා මාත් දවසක තාත්ත වගේ වෙදැදුරෙක් වෙනවා කියලා. ඒත් ඒක ලේසියෙන් කරන්න බැරි විත්තිය මට තේරුණා. ඒ නිසා මම කුඩා කාලයේ සිට ඔහුත් මවත් එක්ව ප්‍රතිකාර කරන දිහා බලාගෙන හිටියා. ගෙදරදොර කටයුතු කරන අතර අම්මා තමයි බෙහෙත් හේත් හදන්න තාත්තට උදවු උපකාර කළේ. බේත් ගන්න එන උදවියගේ ඥාතීන් වගේම ගමේ උදවියත් ඒවට උදවු වෙනවා. ඒත් අක්කලා දෙන්නයි මාවයි ඒ වැඩවලින් තරමක් ඈත් කරලා ඉගෙනීමේ කටයුතුවලට යොමු කරලයි තිබුණේ. නමුත් මම පාසල් වැඩ කරන අතරතුර ලැබෙන හැම තත්පරයක්ම මිඩංගු කළේ මේ වෙදකම වෙනුවෙන්.” අතීතය සිහිපත් කරමින් වෙදැදුරු වන්නි ආරච්චිගේ දොන් පද්මසිරි උඩගම කීවේය.

ඔහු උපන්නේ 1977 අප්‍රේල් 9 වැනිදා කෑගල්ල උඳුගොඩ මහා රෝහලේදීය. ඔහුගේ පියා නක්ෂත්‍රය පිළිබඳ හොඳින් දැන සිටියේය. දියණියන් දෙදෙනාගෙන් පසු උපන් සිඟිත්තාට හේ වන්නි ආරච්චිගේ දොන් පද්මසිරි උඩගම යැයි නම් තැබීය. වීදාගම වෙද ගෙදරට පිරිමි දරුවකු ලැබීමේ ප්‍රීතියෙන් මුළු ගමම සතුටට පත්ව සිටියේය. ගමේ කා අතරත් පද්මසිරි පුංචි වෙද මහත්තයා වෙද්දී හේ අක්කලා දෙන්නාගේ සුරතලා වූවාය. නෙවුස්මියර් ඉහළ විදුහලෙන් මුලකුරු කියැවූ හෙතෙම පස්වැනි වසරේ සිට අ.පො.ස උසස් පෙළ දක්වා කුරුණෑගල මාස්පොත මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. උසස් පෙළ කලා විෂයන් හැදෑරුවද පියා වීදාගම මහා මෛත්‍රී හිමියන්ගේ වෙද පරම්පරාවේ අයකු වූ බැවින් ජාන පරවේණියෙන් කුඩා කල පටන් පද්මසිරිගේ සිත ඇදී ගියේ හෙළ වෙදකම කෙරෙහිය. එනිසා උසස් පෙළ අතරමඟ නතර කර දැමූ හෙතෙම බෙහෙත්හේත් සොයමින් ඒවායින් බෙහෙත් සකසමින් පියාට උදවු විය. කල් යත්ම පියාගේ පූර්ණ ආශිර්වාදය මැද වයස අවුරුදු 22 දී හෙතෙම වෙදකමට පිවිසියේය. වැඩිදුර වෙදකම ප්‍රගුණ කිරීමට ආශා කළ පද්මසිරි, කුරුණෑගල දිස්ත්‍රික් ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව පාරම්පරික වෙදකම පිළිබඳ මනා පරිචයක් ලැබුවේය. හෙතෙම ආයුර්වේද විද්‍යාලයෙන් කැඩුම් බිඳුම් වෙදකම පිළිබඳ විශේෂ ආයුර්වේද උපාධියක් හිමි කර ගත් අතර, අනතුරුව පාරම්පරික වෛද්‍යවරයකු වශයෙන් සිය කටයුතු ආරම්භ කළේය.

2002 දී වින්ධ්‍යා තරංගනී රත්නායක සමඟ යුගදිවියට පිවිසි හෙතෙම මේ වන විට එක් දරු පියෙකි. පුතුගේ නම වෙතුම් පංසිල උඩගමය. වයස අවුරුදු පහළොවකි. ඔහු ලබන වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වෙමින් සිටී. බිරිය තරංගනී වෙදකම් කිරීමට මෙන්ම බෙහෙත් සැකසීමේදී ද වෙදැදුරුට උපකාර කරනු එහි ගිය අපට දැකගත හැකි විය.

සිය පියාගේ කාලයට වඩා වෙනස් රෝගවලින් පෙළෙන රෝගීන් බොහෝ දෙනකු මේ වන විට ප්‍රතිකාර පතා තමා වෙතට පැමිණෙන බව පද්මසිරි වෙද මහතා පැවසුවේය. ඒ අය අතර පැති කුද රෝගීන් හා ආතරයිටිස් රෝගීන් විශේෂය. පැති කුදය යනු කොඳු ඇටපේළිය එස් අකුර හැඩයට ඇද වීම නිසා ඇති වන රෝගී තත්ත්වයකි. මෙම රෝගය අතීතයේදී නොපැවති නිසා ඒ සඳහා පාරම්පරික බෙහෙත් නොවූ බවත්, තමන් විසින්ම ඒ සඳහා පර්යේෂණ කර මෙම ඖෂධය සොයාගත් බවත් හෙතෙම පවසයි. මේ වන විට එම ඖෂධය මඟින් රෝගීන් 700කට පමණ ප්‍රතිකාර කර යථා තත්ත්වයට පත් කළ බව හෙතෙම පෙන්වා දෙයි. මෙවැනි රෝගියකු පත්තු බැඳීම මඟින් සුවපත් කරන අතර ඇද වී ඇති ප්‍රමාණය අනුව සුව වීමට ගත වන කාලය තීරණය වේ.

“පැති කුදය රෝගයට බොහෝ දුරට ගොදුරු වන්නේ පාසල් වියේ පසුවන දරුවන්. මේ රෝගයට පාරම්පරික වෙදකමේවත් ආයුර්වේදයේවත් බෙහෙත් තිබුණේ නැහැ. මෙකද ඒ කාලේ එහෙම රෝගීන් ඉඳලා නැහැ. ඒ නිසා මං ඒ ගැන පර්යේෂණ කරලා ඖෂධ සකස් කළා. එය රෝගීන්ට ලබා දී ඒ ලැබෙන ප්‍රතිඵල අනුව තවත් එය වැඩි දියුණු කළා. මම දන්න විදියට පැති කුදය රෝගයට ගොඩක් දෙනෙක් බෙහෙත්හේත් කළාට එය නිට්ටාවට සුව කළ හැකි ඖෂධයක් තිබෙන්නේ මා ළඟ පමණයි. පැති කුදය හැදුණාම එක පැත්තක ඉළ ඇට විශාල ලෙස වැඩෙනවා. අනෙක් පැත්ත කුඩාවට වැඩෙනවා. අවුරුදු 10 ළමයෙකුට මේ ලෙඩේ හැදුණොත් බෙහෙත් බඳිද්දි අවු 11, 12 වෙනකොට දිග ඇරෙනවා. එතකොට අවුරුදු 20 වෙද්දි දෙපැත්තටම සාමාන්‍ය විදියට ඉළ ඇට වර්ධනය වෙනවා. වයස අවුරුදු 20 පහු වුණාම ශරීරයේ වැඩීම නතර වෙනවා. ඒ නිසා 20 පහු වුණාම මේ රෝගය සුව කරන්න අමාරුයි. සාමාන්‍යෙයන් බෙහෙත් වේල් පහක් හයක් බඳිනකොට කෙඳු ඇටපෙළ දිග ඇරෙන්න පටන් ගන්නවා. ඒක අපට දැනෙනවා. ඇද වී තිබෙන ස්වභාවය අනුව එය සම්පූර්ණයෙන්ම සුවපත් කිරීමේ කාලය තීරණය වෙනවා. සාමාන්‍ය එකක් නම් වසර දෙකක් පමණ යද්දී දිග ඇරෙනවා.

මේ රෝගී තත්ත්වයට ගොදුරු වීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ අප ගන්නා ආහාරයි. අපි කන ලුණු ඇටේ ඉඳල තියෙන්නේ වස. ක්ෂණික ආහාර විශේෂයෙන් මේ රෝගය සඳහා බලපානවා. ගොඩක් අය හිතනවා පාසලේදී ළමයි ඉඳගන්න විදිය, පොත් බෑගයේ බර මේ රෝගය සඳහා බලපානවා කියලා. නමුත් ඒක නෙවෙයි වෙන්නේ; කොන්දේ අමාරුවක් ඇති දරුවකු පොත් බෑගයක් උස්සන විට කොන්ද ඇද වීම තවත් වර්ධනය වීමයි. කොන්ද දුර්වල නැති දරුවකු පොත් බෑගයක් ඉස්සුව කියා ලොකු ගැටලුවක් ඇති නොවන්නේ ඒ නිසයි. කොන්ද දුර්වල වීම සිදු වන්නේ ක්ෂණික ආහාර ළමයාට ලබා දීම නිසයි. ඒ නිසා තම දරුවන්ට ආදරය කරන මවුපියන් ක්ෂණික ආහාරපාන ලබා දීම වහාම නතර කළ යුතුයි”.

හෙතෙම රෝගීන් පරීක්ෂා කරන්නේ නාඩි පරීක්ෂාවෙනි. ඒ වගේම ලේ ගමන් කිරීමේ වේග පරීක්ෂාවට ලක් කරන ස්නායු පරීක්ෂා කරන ක්‍රමයක් ද වේ. දකුණු අතේ මහපට ඇඟිල්ල හා දබර ඇඟිල්ල එකතු කර කකුලේ සුලැඟිල්ල අල්ලා කොඳු ඇට පෙළේ කොතැනක හෝ හිරවීමක් තිබෙනවාද කියා පරීක්ෂා කර එම ස්ථානය නිශ්චිතවම කිව හැකි පාරම්පරික ශාස්ත්‍රයක් ද ඔහු සතු වේ. මේ වන විට බහුලව පවතින ආතරයිටිස් රෝගය පිළිබඳ හෙතෙම කියා සිටියේ මෙවැන්නකි.

“ආතරයිටිස් කියන්නේ අස්ථි රෝගයක්. එය හෙළ වෙදකමේ හන්දි වාත හෙවත් හැට හන්දි රෝගය කියල හඳුන් වනවා. ආතරයිටිස් ඇති වීමේදී මුලින් සියුම් වේදනාවක් මොළයේ යටි පැත්තේ ඇති වී නැතිව යනවා. එය වරක් දෙවරක් ඇති වී නැති වී යළි ඇති නොවෙන්න පුළුවන්. මේ තත්ත්වය ඇති වුණාම ගොඩක් දෙනා කරන්නේ බටහිර වෛද්‍යවරයකු වෙත ගොස් වේදනා නාශක ලබා ගැනීමයි. නමුත් මගේ ප්‍රතිකාර ක්‍රමය මඟින් සම්පූර්ණයෙන්ම වේදනා නාශක නතර කරනවා. ආතරයිටිස් රෝගය ඇති වෙන්නේ මොළයේ පහළ කොටසේ තිබෙන ග්‍රන්ථියක ක්‍රියාකාරීත්වය අඩාළ වීමෙන්. එමඟින් අස්ථිවල ක්‍රියාකාරීත්වය අතහැර දමනවා. මෙනිසා අස්ථි නැවත වර්ධනය වීම අඩාළ වෙනවා. තවත් විදියකට කිව්වොත් අස්ථිවල තිබෙන සප්තධාතු ලෝහ ධාතුවල ක්‍රියාකාරීත්වය අඩාළ වෙනවා. මම කරන්නේ ස්වාභාවිකව මේ විදියට අඩපණ වෙච්ච එක අතින් බෙහෙත් ගල්වමින් හරිගස්සන එකයි. එවිට රෝගියාට දැනුණු වේදනාවන් එවලේම නැති වෙලා යනවා. තවදුරටත් වේදනා නාශක ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. සියලුම ප්‍රතිකාර ලබා දෙන්නේ කකුලට. මෙමඟින් ආතරයිටිස් රෝගය නිට්ටාවටම සුවපත් කළ හැකියි. ඒ සඳහා මා ලබාදෙන ඇවතුම් පැවතුම් නිසියාකාරව පිළිපැදීම අවශ්‍යයි. අනෙක් රෝගය තමයි කොන්දේ අමාරුව. එය බෙහෙත්වේල් තිස් හතකින් නිට්ටාවට සුව කළ හැකියි. සාමාන්‍ය‍ෙයන් බෙහෙත් වේල් පහළොවක් පමණ කරද්දී සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. නමුත් ඒක නිට්ටාවටම සුව වෙන්න නම් වේල් තිස්හතම ලබා ගත යුතුයි. ඒ සඳහා මාස තුනක් ප්‍රමාණවත්.”

ප්‍රතිකාර කිරීමේදී බෙහෙත් සඳහා යන වියදම හැර වෙනත් කිසිදු මුදලක් ඔහු විසින් රෝගීන්ගෙන් අය නොකිරීම ද විශේෂත්වයකි.

“සමහරුන්ගේ කොඳු ඇට දෙකක් අතර ඇති ඩිස් එක එළියට ඒම නිසා ස්නායු තෙරපීමක් ඇති වෙනවා. ඒ වගේ තත්ත්වයකදී සමහර රෝගීන්ගේ කකුල් වලංගු නැතිව යනවා. මේ නිසා තමන්ට දෙපා පාලනය කරගන්න බැරුව ඇද වැටිය හැකියි. ඒ වගේම බෙල්ල ප්‍රදේශයේ ස්නායු හිර වුණාම කොන්ද ප්‍රදේශය වලංගු නැතිව යනවා. ඒ වගේ අවස්ථාවක කොන්දට හෝ බෙල්ලට බෙහෙත් කරන්නේ නැහැ. ඒ සඳහා අපේ පාරම්පරික වෙදකම අනුව වළලුකරට තමයි බෙහෙත් කරන්නේ. හිරවෙච්ච පැත්ත බලල ඒ අදාළ පැත්තේ වළලුකරට බෙහෙත් බඳිනවා. බෙහෙත් බැඳීමත් සමඟ බෙල්ලේ අදාළ ස්නායු ශක්තිමත් වෙනවා. එවිට ස්නායු තෙරපුමෙන් ඇති වන පීඩාව නැතිව යනවා. කෙනෙක්ට ඇවිදින්න බැරුව හිටිය නම් ඇවිදින්න පුළුවන් වෙනවා. එහෙම ඇවිදින්න පුළුවන් වුණාට පසුව තමයි කොන්දට හෝ බෙල්ලට බෙහෙත් කරන්නේ.

බෙල්ලෙ අමාරුවට බෙහෙත් ගන්න එන ගොඩක් අය නිදාගෙන නැඟිටිනකොට එහෙ මෙහෙ විසිවෙනවා. ඇවිදගෙන යද්දි ශරීරයේ සමබරතාව නැතිව යනවා. ඒ වගේ තත්ත්වයකදී එකපාර බෙල්ලට බෙහෙත් අල්ලන්න හොඳ නැහැ. මුලින් ස්නායු තෙරපුම නැත්තම් ස්නායුවලට වන බලපෑම ඉවත් කරගන්න ඕන. එහෙම ඉවත් කිරීමෙන් අනතුරුවයි බෙහෙත් කරන්න ඕන. ගොඩක් අය මේ ස්නායු තෙරපුමට බාහිර ආලේපන ඖෂධ වගේ දේවල් ගානවා. ඒත් ඒ එකක්වත් ගාන්න හොඳ නැහැ. මොකද මේ ස්නායු සම්බන්ධ රෝගී තත්ත්වයක් මිසක් මස්පිඬුවල ඇති වන වේදනාවක් නෙමෙයි.

සමහර ලෙඩ්ඩු මෙතෙන්ට එන්නේ වෙන අයගේ කර මතින්. නමුත් සුව වෙලා දෙපයින් යනවා. දැන් ගිය කෙනත් ගහකින් වැටිලා බෙල්ල කැඩිලා මෙතෙන්ට අරගෙන ආවේ. දැන් එයාට හුඟක් සුවයි. මං ළඟට එද්දි අත් කකුල් දෙකම පණ නැහැ. දැන් අත් දෙක වැඩ කරනවා. කකුල් දෙකත් අල්ලද්දි දැනෙනවා. තාම බෙහෙත් වේල් පහළොවක් පමණයි ලබා දී තිබෙන්නේ. ඒ ලෙඩාගෙත් වළලුකරටයි බෙහෙත් කරන්නේ.

ක්ෂණික කෑම එක්ක ලෙඩ ඇවිත් තියෙනවා. ඒ ලෙඩ එක්ක බෙහෙතුත් ඇවිත් තියෙනවා. මේවා එකට අත්වැල් බැඳගෙන තමයි ඉන්නේ. ඉතින් අපි කල්පනා කරන්න ඕන මේ අයට ජීවිතේ බිලි දෙමින් ඉන්නවද? නැත්තම් අපි එතනින් එළියට එනවද කියලා. ඒ සඳහා කළ යුතු හොඳම දේ තමයි තමන්ට හැකි අයුරින් එළවළු, පළතුරු එකක් දෙකක් හෝ ගෙවත්තේ වවා ගැනීම. ඒක කාටවත් අමාරු දෙයක් නෙමෙයි. සෞඛ්‍යය ගැන හිතනවා නම් මේ දේවල්වලට අපි ටික ටික යොමු වුණොත් අපට නිරෝගිමත් මිනිසුන් බවට පත්වෙන්න පුළුවන්.”

පද්මසිරි උඩගම වෙද මහතා හමුවීමට පැමිණෙන්නේ නම්, කොළඹ කුරුණෑගල මාර්ගයේ කුරුණෑගලට හැතැප්ම දෙකකට පෙර හමුවන වැහැර හන්දි‍ෙය් දකුණු පැත්තේ ඇති මසන්වත්ත පළමු වැනි පටුමඟේ පැමිණිය යුතුය. එහි කෙළවර මෙම සුව අරණ පිහිටා ඇත. අඟරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් හි උදෑසන 8.00 සිට සවස 05 දක්වා ප්‍රතිකාර කිරීම සිදු වේ.

 

 

Comments