
ඉකුත් මැයි 9 වැනිදා රටම භීතියෙන් කැලඹූ අඳුරු සඳුදාවේ මතක ආවර්ජනය කරන්නට මෙවර අප සමඟ එක් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී, හිටපු කැබිනට් ඇමැති ගාමිණී ලොකුගේ ය. මේ, ඒ ගැන ඔහු කී කතාවයි.
“මැයි 9 වැනිදා මහින්ද රාජපක්ෂ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස් වීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමට සහභාගි වෙන්න මැතිඇමැතිවරු සහ විශාල ජනතාවක් පැමිණියා. මමත් එයට සහභාගි වී රැස්වීම අවසන් වීමෙන් පසු නිවෙසට ආවා. ඒ අතරේ අරලියගහ මන්දිරයට පැමිණි පිරිස සහ ගාලු මුවදොර අරගල භූමියේ සිටි දෙපිරිස අතර කලබලයක් ඇති වෙලා තිබුණා. මම හිතන විදිහට ඒක සංවිධානාත්මකව ඇති වුණු දෙයක් නෙවෙයි. ඒ වෙලාවේ එතැනට ආව මිනිස්සුන්ගේ ආවේගයත් එක්ක ඇති වුණු තත්ත්වයක්. නමුත් ඊට පස්සේ හවස් වෙන්න වෙන්න රට පුරාම කලබල ඇති වුණා. නිට්ටඹුවේදී පොළොන්නරුව දිස්ත්‍රික් අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීතුමා ඝාතනයට ලක් වුණා. ඊට පස්සේ මැති ඇමැතිවරුන්ගේ ගෙවල් ගිනි තියන්න පටන් ගත්තා. ඒක රට පුරාම පැතිරුණු මහා විනාශයක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 75කගේ පමණ ගෙවල්, කාර්යාල එදා ගිනි තියලා විනාශ කළා. ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ නිවාස 40-50කට ආසන්න සංඛ්‍යාවක් ගිනි තියලා විනාශ කළා. මම නියෝජනය කරන කැස්බෑව ආසනයේ විතරක් ගෙවල් 6ක් ගිනි තියලා විනාශ කළා. මගේ ගේ වගේම කැස්බෑව නගර සභාවේ සභාපතිගේ නිවෙස, එතුමාගේ සහෝදරියගේ නිවෙස, මගේ සහෝදරයගේ නිවෙස, මගේ මුනුපුරාගේ නිවෙස, ඇරැව්වල පණ්ඩිතරත්න මන්ත්‍රීතුමාගේ නිවෙස ඒ අතරට අයත් වෙනවා. රට පුරාම සිදු වු ඒ සිදුවීම් දිහා බලද්දි පැහැදිලිව පේනවා ඒවා සියල්ලම සංවිධානාත්මකම සිදු කළ අපරාධ බව. ”
ඒ සංවිධානාත්මක අපරාධයට ගොදුරු වූ හිටපු ඇමැති ගාමිණී ලොකුගේ ගේ නිවෙස පිහිටියේ පිළියන්දල මාවිත්තර ප්‍රදේශයේය. මැයි 9 වැනිදා ප්‍රචණ්ඩකාරීන් විසින් එම නිවෙස ගිනි තබා විනාශ කළ අතර, ඊට පෙර අප්‍රේල් මස 4 වැනිදා ද හිටපු ඇමැති ගාමිණී ලොකුගේ ට අයත් පිළියන්දල නිවෙස අසල පිහිටි විශාල ගබඩාවකට විරෝධතාකරුවන් පිරිසක් විසින් ගිනි තබනු ලැබිණ. ඒ, ඊට දින කිහිපයකට පෙර රට තුළ ආරම්භ වූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙසිනි.
“එදා ඒ සිද්ධිය ඇති වුණ වෙලාවේ මගේ පාක්ෂිකයන් ඇවිත් ගෙදරට විනාශයක් වෙන්න නොදී වළක්වා ගත්තා. මැයි 9 වැනිදා සිද්ධිය වෙලාවේ මම ගෙදර හිටියා. නමුත් පොලිසිය කිවුවා මුකුත් වෙන්නේ නැහැ, අපි ඒ ගැන බලාගන්නම් කියලා. ඒ නිසා මමත් ඒ ගැන විශ්වාසයෙන් හිටියා. නමුත් සිද්ධ වුණේ මොකක්ද? පොලිසිය ඒ විනාශය වළක්වා ගන්න උත්සාහ කළේ නැහැ, පොලිසිය ඉන්නකොටම ප්‍රචණ්ඩකාරීන් ඇවිත් ගෙදරට ගිනි තියලා ගියා.”
හිටපු ඇමති ගාමිණී ලොකුගේ පැවසූ පරිදි ගිනි තැබීමට ලක්වූ නිවෙස ඉදිකර ඔහු එහි පදිංචිව ඇත්තේ 1976 වසරේදීය.
“එදා ඉඳන් ඔය සිදුවීම සිදු වුණු මැයි 9 වැනිදා දක්වා මම ඒ ගෙදර තමයි ජීවත් වුණේ. මම මගේ දරුවන්ට ගේ ලියලා තියෙන්නේ. එයාලා තමයි ඒක නවීන ක්‍රමයට වැඩි දියුණු කර ගත්තේ. මගේ ගෙදරට අමතරව මගේ අයියා පදිංචි වෙලා ඉන්න මගේ තාත්තගේ මහ ගෙදර, මගේ ගෙට පිටිපස්සේ තිබුණු මගේ නංගිගේ පුතාගේ ගෙදරත් එදා ගිනි තියලා විනාශ කරලා තිබුණා. ඒ පුතා පිටරට රැකියාවක් කරලා හදාගත්ත ගෙදර. පුතා තවම පිටරට, බිරියයි දරුවයි විතරයි ගෙදර හිටියේ. ඒ වගේ මහා විනාශයක් එදා කරලා තිබුණේ”
හිටපු ඇමැති ලොකුගේ ට අයත් පෞද්ගලික නිවෙස ගිනි තැබීමෙන් සිදුවූ මූල්‍යමය පාඩුව රුපියල් මිලියන 100කට අධික බව ද හෙතෙම පැවසුවේය.
“ගිනි තියපු ගේ ඒ විදිහටම තියෙනවා. හදන්න සල්ලි නැහැ. දැනට මම කොළඹ රජයේ නිවාසයක පදිංචි වෙලා ඉන්නවා”
එතරම් පාඩුවක් සිදු කරමින් සිය නිවෙස ගිනි තබා විනාශ කළ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 25-30ක් පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තද ඔවුන් පසුව ඇප මත නිදහස් කළ බව දැනගන්නට ලැබුණු බව ද ගාමිණී ලොකුගේ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය. පාසල් අධ්‍යාපනයෙන් පසුව හෙතෙම දේශපාලන ජීවිතය ආරම්භ කරන්නේ පාසල් සමයේ සිට දේශපාලනය පිළිබඳ දැක්වූ උනන්දුව සහ කැමැත්ත නිසාය. ඒ අනුව 1960 දී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා ගාමිණී ලොකුගේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස දේශපාලන කටයුතුවල නිරත විය.
”1970 එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වුණත් මම ඒ කාලේ ඉඳලා ජේ.ආර්. ජයවර්ධන මහතා එක්ක සම්බන්ධ වෙලා වැඩ කළා. 1974දි මම එජාපයේ තරුණ පෙරමුණට තේරී පත් වුණේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයෙන්. ඒ විදිහට එක්සත් ජාතික පක්ෂයත් එක්ක බොහොම සමීපව කටයුතු කළා. 1977 එජාප ආණ්ඩුව පිහිටුවූවාට පස්සේ මට තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ ධුරයක් ලැබුණා. 1983 දී මම කැස්බෑව මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් පළමු වරට පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙක් විදිහට තේරී පත් වුණා.”
එතැන් සිට මේ දක්වා අඛණ්ඩව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන හිටපු ඇමැති ගාමිණී ලොකුගේ ගේ ඒ දේශපාලන ගමනට දැන් දශක 4කට ආසන්නය. අත්දැකීම් බහුල පරිණත දේශපාලනඥයකු ලෙස ඉකුත් මැයි 9 වැනිදා සිදුවීම පිළිබඳ ඔහු දැක්වූයේ මෙවැනි අදහසකි.
“දේශපාලනඥයන් විදිහට අපිට මේ වගේ දේවල් නුහුරු අත්දැකීම් නෙවෙයි. 1989දිත් මට මේ වගේ වලට මුහුණ දෙන්න සිදු වුණා. මැර තර්ජන තිබුණා. ගෙට ගිනි තිබ්බා. අපේ ගම්වල 15-20ක් ඝාතනයට ලක් වුණා. බස් ගිනි තිබ්බා. ඒ කාලේ මොන තරම් විනාශකාරී දේවල් සිදු වුණාද?ඒත් අපි සැලුණේ නැහැ. ගෙට ගිනි තැබීම කනගාටුවක් වුණත් මේ දේවලින් අපේ දේශපාලන ගමන නතර කරන්න බැහැ. මේ දේවල් කරලා අපේ දේශපාලන ගමනට හානියක් කරන්න කාටවත් බැහැ. මේ දේවලින් අපි තව තවත් ශක්තිමත් වීමයි වෙන්නේ.
නමුත් මැයි 9 වැනිදා සිදුවීම ගැන මේ රටේ ජනතාවට කියන්න දෙයක් තියෙනවා. එදා සිදු වුණේ ත්‍රස්තවාදී වැඩපිළිවෙළක්. ඒ වගේ ත්‍රස්තවාදීන්ට මේ රටේ බලය දෙන්න එපා කියලා ජනතාවට කියන්න කැමතියි. ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය ආරක්ෂා කළොත් පමණයි රටේ ජනතාවට සතුටින් ඉන්න පුළුවන් තත්ත්වයක් ඇතිවෙන්නේ.”
පසුගිය දිනවල රට පුරා පැවති අරගලකාරී සිදුවීම්වලට වැඩි වශයෙන් නායකත්වය සහ දායකත්වය දැක් වූයේ තරුණ තරුණියන් බව ප්‍රකට කරුණකි. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජනතාව අරගලය සඳහා සම්බන්ධ කර ගැනීමට ඔවුහු බොහෝ දෙනකු ඍජුවම කටයුතු කරනු දක්නට ලැබිණ. ඒ තරුණ ක්‍රියාකාරීත්වය පිළිබඳ පරිණත දේශපාලනඥයකු වන හිටපු ඇමැති ගාමිණී ලොකුගේ මෙසේ අදහස් දැක්වීය.
“ මේ රටේ ඉන්න තරුණ පරපුර දිහා බලද්දි වැටහෙන්නේ විශ්වවිද්‍යාලවල ඉන්න තරුණ තරුණියන්ගෙන් සියයට 75ක් පමණ කරන්නේ වමේ දේශපාලනය. පසුගිය අවුරුදු 25-30ක කාලය තුළ විශ්වවිද්‍යාලවලින් පිටවුණු උපාධිධාරීන් තමයි අද මේ රටේ පරිපාලන සේවයට ඇතුළු වෙලා රාජ්‍ය නිලධාරින් ලෙස කටයුතු කරන්නේ. ඔවුනුත් විශ්වවිද්‍යාල තුළ වමේ දේශපාලනය කළ අය. නමුත් ඔවුන් රාජ්‍ය සේවයට ආවට පස්සේ ඒ කාලේ තිබුණු ත්‍රස්තවාදී හැඟීම්වලින් මිදිලා ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය අගය කරන නිලධාරින් විදිහට කටයුතු කරනවා. එවැනි තත්ත්වයක් තුළ අපිට හිතන්න තියෙන්නේ විශ්වවිද්‍යාල තුළදී වමේ දේශපාලනය කරන බොහෝ දෙනා එය කරන්නේ ඒ දේශපාලනය ගැන සැබෑ අරමුණකින් නෙවෙයි. වමේ අයට තියෙන කිසියම් බයකට ඒ පෙරහැරේ යනවා මිසක් ඔවුන්ට ඒ පිළිබඳ සැබෑ අරමුණක් නැහැ. මම පාසල් යන කාලෙත් විශ්වවිද්‍යාල තුළ වමේ කණ්ඩායම වැඩියි. බොහොම කලාතුරකින් තමයි වමට විරුද්ධ කෙනෙක් ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති වෙන්නේ. හැමදාම පෙළපාලි යන්නේ, උද්ඝෝෂණ කරන්නෙත් විශ්වවිද්‍යාල සිසු සිසුවියන්. ඔවුන්ම තමයි ඊට අවුරුදු කිහිපයකට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන රාජ්‍ය නිලධාරීන් විදිහට මේ රටේ වැඩ කරන්නේ. මේ උදාහරණයෙන් මම කියන්න උත්සාහ කළේ අපේ තරුණ පරපුර මීට වඩා බුද්ධිමත් විය යුතුයි. කාගෙවත් තර්ජනවලට බය වෙලා වමේ පිළිවෙත අනුගමනය නොකිරීම වගේම මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියාවලට යොමු නොවී සිටීමට පරිස්සම් විය යුතුයි.
ලෝක වසංගතයක් බවට පත්වුණු කොවිඩ් තත්ත්වයත් එක්ක රටට ලැබුණු විදේශ විනිමය හිඟ වුණා. ගෑස්, ඉන්ධන ගෙන්වීම නිසියාකාරව කරගන්න බැරි වුණ නිසා රට පුරා පෝලිම් ඇති වුණා. දවස් ගණන් තෙල් සහ ගෑස් පෝලිම්වල ඉන්න සිදු වෙද්දි ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති වුණා. අවසානයේ ඒක රජයට විරුද්ධ ජනතා කැරැල්ලක් බවට පත් වුණා. නමුත් ඒ කැරැල්ලෙන්, අරගලයෙන් මේ රටට, ජනතාවට සිදු වුණු යහපත මොකක්ද? අරගලයට නායකත්වය දීපු පුද්ගලයන් 100ක් විතර අද මේ රජයේ තනතුරු අරගෙන ඉන්නවා. ඔවුන් මේ අරගලයට නායකත්වය දුන්නත් එය අරමුණක් නැති කැරැල්ලක් බව එයින් පැහැදිලියි. අපි ළඟදීම ඒ නම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කරනවා. ඔවුන්ගේ අරගලයට අරමුණක් තිබුණද? එය සාර්ථක වුණාද? හිටපු ජනාධිපතිතුමා ඉල්ලා අස් වීම පමණයි සිදු වුණේ. නමුත් ඒ සිදුවීම් පෙළින් රටේ පොදු දේපළ විශාල වශයෙන් විනාශ වුණා. රටට අපකීර්තියක් ඇති වුණා. තවත් එවැනි සිදුවීම් සිදු වීමට ඉඩ නොදී ඒ සිදුවීමට සම්බන්ධ පුද්ගලයන්ට යම් දඬුවමක් දිය යුතුයි. නැතිනම් එය අනාගත පරපුරටත් වැරදි පූර්වාදර්ශයක් වන බව මගේ හැඟීමයි.”