දේශ­පා­ලන අර­මු­ණ­කින් තොරව ජන සභා ක්‍රමය ක්‍රියා­වට නඟන්නේ නම් එය ඉතා හොඳයි | සිළුමිණ

දේශ­පා­ලන අර­මු­ණ­කින් තොරව ජන සභා ක්‍රමය ක්‍රියා­වට නඟන්නේ නම් එය ඉතා හොඳයි

න සභා සංකල්පය දේශපාලන තේමාවක් ලෙස ඉදිරිපත් වූයේ 2005 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයාව සිටියදී ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයේදීය. ගම නැඟුම ව්‍යාපෘතියට අදාළව මේ සංකල්පය ඉදිරිපත් කර තිබුණි. ජන සභා සංකල්පය සංකල්පයක් ලෙස ඉදිරිපත් කර තිබුණත් විධිමත් ආකාරයට එය ක්‍රියාත්මක නොවුණි.

ඒ අනුව විධමත්ව මෙය ක්‍රියාවට නැංවීමට 2010 වසරේදී පැවරීම සිදු වන්නේ ජනසභා කාර්යාලයක් පිහිටුවීම මඟිනි. ජන සභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ලෙස මා පත් කරනු ලැබීමෙන් අනතුරුව මෙය ප්‍රායෝගිකව ක්‍රියා මාර්ගයක් බවට පත් විය. ඒ පිළිබඳව විධිමත් හැදෑරීමකින් අනතුරුව එනම් විශේෂයෙන් කේරළයේ පවතින ගම් සභා ක්‍රමය පිළිබඳ හැදැරිමක් සහ ලංකාවේ ඒ දක්වා ක්‍රියාත්මක වූ රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශ වලින් ක්‍රියාත්මක වූ ග්‍රාමීය ජනයාගේ සංවිධානය පිළිබඳව විධිමත් හැදෑරිමක් ද සිදු කරන ලදී.

එසේම ලංකාවේ ගම් සභා ක්‍රමයේ සිට ප්‍රදේශීය ආණ්ඩු පිළිබඳව හැදෑරීමක් සිදුකරන ලදී. අපි විධිමත් වැඩපිළිවෙළක් සකස් කරමින් දේශපාලන ආයතනයක් බවට මෙය පත් නොකිරීමට සිදුකරන ලදී. විශේෂයෙන් ග්‍රාම නිලධාරීන් ඇතුළු ග්‍රාමීය නිලධාරීන් සයදෙනකු සහ වසම්වලට අදාළව ප්‍රදේශීය ලේකම් කාර්යාලවල පනහකට අධික සංඛ්‍යාවක් සිටියි. ග්‍රාමසේවා වසමේ සය දෙනා එකට එකතු කරමින් ඒකාබද්ධතාවක් ඇති කිරීමත්, ගමේ සිටින ප්‍රජා නායකත්වය, සහභාගීත්වය සහ ආගමික නායකත්වය එකතු කරමින් ඒකාබද්ධතාවක් ඇති කිරීමත් මෙහි එක් අරමුණකි. ප්‍රාදේශීය සභාවල නියෝජිතයන්ට ග්‍රාම සේවා වසමට අදාළව මේ තෙපිරිසම එකතු කරමින් ජන සභාව ක්‍රියාත්මක කරන ලදී. මේ ජන සභාව සංකල්පීය මට්ටමින් පැවැති සවිස්තරාත්මකව කමිටු පහක් සකස් කරමින් විශාල ව්‍යාපෘතියක් බවට පත් කෙරිණි. එහෙත් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට එවක සිටි ආණ්ඩු උනන්දුවක් නොදැක්විණි. එහෙත් එවක රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ එකතු වී නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට මා ප්‍රමුඛ පිරිස ක්‍රියා කරන ලදී. මේ නියමු ව්‍යාපෘතිය අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය වසම් හැටක පිහිටු වූ එය ඉතාමත් සාර්ථක ව්‍යාපෘතියක් බවට පත්විය. එහිදී මේ නිලධාරින්ට, ප්‍රජා නායකයන්ට හා ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ට පුහුණුවක් ලබා දීම සිදු විය. එවක පැවති ආණ්ඩුවෙන් ඒ සඳහා පිටුබලයක් නොලැබිණි. මෙවැනි දේවල් ක්‍රියාත්මක නොවීමට ප්‍රධාන හේතුව ප්‍රධාන කණ්ඩායම් තුනක් විරුද්ධ වීමයි. ඒ ප්‍රධාන කණ්ඩායම් තුන දේශපාලනඥයන්, නිලධාරීන් හා ව්‍යාපාරිකයන් වෙයි.

ගම සංවිධානය වූ විට මේ පාර්ශ්වයන්ගේ ව්‍යාපෘති දියත් කිරීමට අපහසු වෙයි. කෝල්බෘෘක්, කැමරන් ආණ්ඩුකාරවරුන්ගේ කාලවලදී ගම් සභා ක්‍රමය නොසලකා හැරීමට ලක්වී තිබිණි. එය ස්වභාවික අභාවයකට යෑම සිදුවූයේත් ඒ නිසයි. ජන සභාවට සිදු වූයේද එයයි. අවංක චේතනාවකින් දේශපාලන අතකොලුවක් නොවී මැදිහත් වුවහොත් සංකල්පයක් ලෙස ජන සභාව යහපත් වෙයි. එහෙත් අපේ අත්දැකීම්වලට අනුව ලංකාවේ ජාතික අරමුණකින් හා සමාජ අරමුණකින් මෙවැනි ව්‍යාපෘති කිරීම ක්‍රියාත්මක කළ යුතුයි. අපි ආරම්භ කළ මේ සංකල්පය මහ පොළොවේ පැළ කිරීමට විශාල පරිශ්‍රමයක් දැරිණි. ඒ උත්සාහය ව්‍යර්ථ නොකර දේශපාලන අරමුණකින් තොරව මේ ව්‍යාපෘතිය පිළිබඳව මැදිහත් වී නැවත එය කිරීමට උත්සාහ කරන්නේ නම් එය වඩා යහපත් වෙයි. එය මෙරටට වඩා ගැළපෙන සංකල්පයකි. මේ වැඩපිළවෙළ සංකල්පයක් ලෙස ලංකාවට ඉතාම ගැළපෙන ක්‍රියාවලියකි. දේශපාලනීකරණය නොවී දේශපාලන අරමුණකින් තොරව මෙය ක්‍රියාවට නඟන්නේ නම් එය ඉතා හොඳයි.

 

Comments