මාත් එක්ක වැඩ කරන එක ලේසි නෑ | සිළුමිණ

මාත් එක්ක වැඩ කරන එක ලේසි නෑ

 

බලාපොරොත්තු වූ ක්ෂේත්‍රය අහිමි වූ විට තමාට වඩාත් ම ගැළපෙන ක්ෂේත්‍රයට පා තබන්නට වරම් ලැබූ වෘත්තිකයෙක් වෙයි. අනතුරුව හේ තමා යා යුතු දිශාව ගැන කොතෙක් සවිඥානික ද යත් ලංකාවේ අඩුම වයසෙන් ප්‍රධාන විධායක නිලධාරියා වී වාර්තාවක් තබන්නේ ය. එය තවමත් වලංගු වාර්තාවකි. කිෂූ ගෝමස් යනු නෙක ක්ෂේත්‍රවල සුරුව සරන වෘත්තිකයකුගේ නාමයට පර්යාය නාමයක් තරම් ජනතාවට සමීප ය.

වසර 30කට ආසන්න කාලයක් මෙරට බහුජාතික සමාගම්හි ප්‍රධාන විධායක ධුර දරා ඇති කිෂූ ගෝමස්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. විවිධ සමාගම් රාශිකයට සිය කීර්තිමත් සේවය ලබා දුන් ඔහු මේ වන විට ‘ඩ්‍රිම්රෝන් සමූහ ව්‍යාපාරයෙහි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරයි.

 

සම්පූර්ණ නම?

හොන්තරගේ කිෂූ ප්‍රදීප් කුමාර ගෝමස්

උපන්දිනය?

නොවැම්බර් 14

කොහේද ඔබ උපදින්නෙ

මාතර උයන්වත්ත තමයි උපදින්නේ. හැබැයි හැදෙන්නෙ වැඩෙන්නේ මොරටුව කටුබැද්දෙ.

අම්මා තාත්තා මොකද කළේ. මොනවද ඔවුන්ගේ නම්?

තාත්තා මහින්ද බුල්ජන්ස් ගෝමස්. ඔහු ඡායාරූපකරණය හැදෑරූ අයෙක්. තාත්තාට මාතර ඡායාරූප ශාලා තුනක් තිබුණා. අම්මා නන්දා ගෝමස්.

සහෝදර සහෝදරියන්?

මට සහෝදරයන් දෙදෙනකුයි, සහෝදරියන් දෙදෙනකුයි ඉන්නවා.

කොහේද පාසල් යන්නෙ?

මම මුල් කාලයේ අධ්‍යාපනය ලැබුවේ මාතර සර්වේෂස් විද්‍යාලයෙන්. ඒත් මගේ බාප්පා මාව මොරටුවට ගේනවා. ඊට පස්සේ අධ්‍යාපනය ලැබුවෙ මොරටුවේ වේල්ස් කුමර විද්‍යාලයෙන්.

ඔබව වේල්ස් කුමාර විද්‍යාලයට ඇතුළත් කරන්නෙ බාප්පා.

ඔහු ගැන මතකය අවදි කළොත්?

මගේ බාප්පා එච්. එල්. බී. ගෝමස්. ඔහු මනෝවිද්‍යාඥයෙක් වගේම කථිකාචාර්යවරයෙක්. රාජකීය විදුහලේ විදුහල්පති ධුරය වගේ ම ඔහු මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයෙත් විදුහල්පති වෙලා හිටියා. ඒ වගේම ඔහු විශ්වවිද්‍යාල කුලපති ලෙසත් කටයුතු කළ කෙනෙක්. මාව මේ මට්ටමට ගේන්න අවශ්‍ය දේවල් සම්පාදනය කළේ බාප්පා.

පාසලේදී බාහිර වැඩ කළා ද?

මම හිතන්නෙ මම වැඩිපුර කළේ බාහිර වැඩ. මලල ක්‍රීඩා, රගර්, බැඩ්මින්ටන් ඇතුළු ක්‍රීඩාත් සියලු සමිති සමාගම් වැඩත් කළා. පාසල් කාලයේ ක්‍රීඩා සහ නායකත්වය අරගෙන වැඩ කළත් මම ගුරුවරුන්ගේ හිත දිනාගෙන හිටි කෙනෙක්.

ඔබ පාසල් කාලෙත් විවිධ දක්ෂතා පෙන්නපු කෙනෙක්

ඔව්. මට ගීත ගායනා කරන්න, චිත්‍ර අඳින්න එහෙමත් පුළුවන්. ලිවීමේ හැකියාවත් තිබුණා. සාමාන්‍ය පෙළ මම හොඳට සමත් වුණා. උසස් පෙළ කළේ ගණිත අංශයෙන්.

විශ්වවිද්‍යාලෙ යන්න සුදුසුකම් තිබුණද?

නැහැ. ලකුණු මදි වුණා. ඒක මම හිතන්නෙ මගේ වාසනාවට වුණු දෙයක්. ලකුණු ඇති වුණා නම් ඇත්තටම විශ්වවිද්‍යාලෙ යනවනෙ. ඒ කාලෙ ඒක හීනයක්. හැබැයි දැන් හිතද්දි මට ලකුණු මදි වුණු එක ගැන සතුටක් තියෙන්නෙ.

උගන්වන්න මහන්සි වුණු බාප්පට ඒ ගැන දුක හිතෙන්න ඇති?

බාප්පා පදිංචි වෙලා හිටියේ කටුබැද්දේ විශ්වවිද්‍යාලය ළඟපාත තියෙන ගෙදරක. මම ඉගෙන ගන්නවට වැඩිය ක්‍රීඩාවට උනන්දුයි කියලා අපේ බාප්පට තේරුණා. ඊට පස්සේ බාප්පගේ හොඳම යාළුවෙක්ගෙ පුතෙක් මගෙ කාමරේට ගෙනල්ලා නතර කළේ මම එයාගෙන් හොඳට ඉගෙන ගනියි කියලා. ඒත් මම පහුවෙනිදා උදේම නැඟිටලා එයාවත් දුවන්න එක්ක ගෙන ගියා. හැබැයි බාප්පා තේරුම් ගත්තා මට වෙන විදියේ හැකියාවන් තියෙන කෙනෙක් කියලා.

විශ්වවිද්‍යාලයට නොතේරෙන ඔබ, කොහොමද වෘත්තීය ජිවිතේ අතපොත් තියන්නෙ?

මම පළවෙනියෙන් ම අයදුම්පතක් යොමු කළේ කොකා කෝලා සමාගමට. ආයතනය තිබුණෙ නවලෝක රෝහල ගාව. සම්මුඛ පරීක්ෂණයට ගියේ බස් එකේ. බස් එකෙන් බැස්සා විතරයි මහ වැස්සක් කඩන් වැටුණා. පායනකල් ටිකක් වෙලා හිටියට වැස්ස නැවතුණේ ම නෑ. පරක්කු වුණු නිසා මම වැස්සෙම දුවගෙන ගියා. මම තෙමිලා හිටියට ඉන්ටර්විව් එකට ආපු අනෙක් අය නීට් එකට ඉන්නවා. මම ලේන්සුවෙන් වතුර පිහගෙන තමයි ඇතුළට ගියේ. මම ඇතුළට යනකොටම ඒ අය කිව්වා මාව තෝරා ගෙන ඉන්නෙ කියලා. ඒ අය මාව නිරීක්ෂණය කරලා තිබුණා.

මොකද්ද ඔබට ලැබෙන තනතුර?

මම අලෙවි විධායක කෙනෙක් විදියට තමයි බැඳෙන්නෙ. අවුරුදු 11ක් මම කොකා කෝලා එකේ වැඩ කළා. වෙන රටවලටත් සේවය කරන්න ගියා. වියට්නාමය, සිංගප්පූරුව වගේ. අවුරුදු 19 වෙද්දි මම විධායක ශ්‍රේණියටම උසස් වෙනවා. තමන්ගෙ තැන හදාගන්න නම් වැඩ කරලා විතරක් බැහැ. තව දේවල් කරන්න ඕන. ඒක තමයි මම කොකා කෝලා ආයතනයෙන් ලබාගත්තු දේ.

ඉංජිනේරුවෙක් වෙන්න බලන් හිටිය ඔබ අලෙවි විධායකයෙක් වෙන්න බලපාපු හේතුවක් තිබුණද?

මට අවුරුදු දහඅටහමාරක් වගේ වයසෙදි මම හරිම කඩවසම් තරුණයෙක් දැක්කා. එයා කාර් එකකින් ඇවිත් මොරටුව රාවතාවත්ත හන්දියේදී කාර් එකෙන් බැහැලා පිරිසක් එක්ක කතා කළා. ටයි එකක් එහෙම දාලා හිටිය ඔහු ඒ පිරිස අතර කැපී පෙනුණා. ඒ කාලෙ ඒවගේ අය දකින්න නැති තරම්. පස්සෙයි මම දැනගත්තේ ඔහු අලෙවි ප්‍රවර්ධන අංශයේයි වැඩ කරන්නෙ කියලා. ඉතින් එදා මට ආශාවක් ආවා එහෙම ලස්සනට ඉන්න ඕන කියලා. ඒක බලපෑවා මේ වෘත්තිය ක්ෂේත්‍රය තෝරා ගන්න.

කොකා කෝලා එකෙන් ඔබ කැල්ටෙක්ස් එකට එනවා

ඔව්. මම වියට්නාම් ගිහින් එනකොට කැල්ටෙක්ස් එකේ වේකන්සි එක දාලා තිබුණා. මට හිතුණා ඒකට ඉල්ලන්න ඕන කියලා. බිරියත් මාව ඒකට දිරිමත් කළා. මාව සම්මුඛ පරීක්ෂණයට කැඳෙව්වා. ඔක්කොම හිටියේ විදේශිකයන්. හැබැයි ඔවුන් මාව තෝරා ගත්තා.

අභියෝගවලට මුහුණ දෙන්න කොහොමද?

මම අභියෝගවලට කැමැතියි. උදාහරණයක් කියන්නම්. 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධ වෙද්දි මම සංචාරක කර්මාන්තය සම්බන්ධ ප්‍රධාන ආයතන දෙකක ප්‍රධාන විධායක නිලධාරියා විදියට වැඩ කළා. මේ ප්‍රහාරය නිසා කඩන් වැටුණු සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේ අභියෝගයට මට මුහුණ දෙන්න වුණා. ඒක මගේ නායකත්ව කුසලතාව හරියටම පාවිච්චි කරන්න මට ලැබුණු අවස්ථාවක්. කොතැනින්ද මේ දේ ආයිත් පටන්ගන්න ඕනේ කියන අදහසක් කාටවත් නොතිබුණු වෙලාවක මම තමයි රට වෙනුවෙන් ලෝකයට කතා කරලා ඒ නායකත්වය ගත්තේ.

කොහොමද ඒක කළේ. මොකද්ද ක්‍රියාමාර්ගය?

එතැනදී මම රටේ ආරක්ෂක අංශ සාමාජිකයන් සමඟ ඍජු ව වැඩ කරලා, සියලු දෙනාගේම සහයෝගයෙන් රටේ සංචාරක කර්මාන්තයේ ප්‍රධාන ආයතන වුණු සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඇතුළු ආයතන සියල්ල එක තැනකට ගෙනාවා. මේ ගමන අපිට යන්න පුළුවන් ගමනක් කියන දේ හැම දෙනාගෙම හිත්වල ඇති කරන්න මට පුළුවන්කම ලැබුණා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි වැටිච්ච සංචාරක කර්මාන්තය අපි මාස අටක කාලයකදී 85%ක් දක්වා වර්ධනය කර ගත්තේ.

ඔබේ කණ්ඩායම ගැන මොනවගේ හැඟීමක් ද ඔබට තියෙන්නෙ?

මම ටිකක් රළු ප්‍රධානියෙක්. මට කරන වැඩේ හරියට තියෙන්න ඕන. මාත් එක්ක වැඩ කරන එක ලේසි නෑ. හැබැයි වැඩ කරන අයට මම ගොඩක් හොඳ බොස් කෙනෙක්. එයාලට යා යුතු මාර්ගය මම හදා දෙනවා. අවස්ථා දෙනවා. මම සියලු දෙනාට කෙටි කාලීන හා මධ්‍ය කාලීන සැලසුම් ලබා දෙනවා. ඒවායේ සාර්ථකත්වය අධ්‍යයනය කරනවා. කැපවීම තියෙනවා නම් ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපට ශක්තිමත් දෙවැනි පෙළක් ඉන්නවා නම් සාර්ථකත්වය සිහිනයක් නොවෙයි. මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු කවදාවත් පරදින්නෙ නැහැ.

මොනවගේ දේවල් ද තමන්ගෙ කණ්ඩායමෙන් ඔබ බලාපොරොත්තු වෙන්නෙ?

මම කැමැතියි ඇත්තට ම විවිධ හැකියාවන් තියෙන අයට. එකම දෙයක් දන්නවට වඩා වෙනස් අත්දැකීම් වෙනස් හැකියා තියෙන අය ආයතනවලට සම්පත්. අනික අත්හදා බැලීම් කරන්න ඕන. හැමතිස්සෙම තමන් අධ්‍යයනය කරන්න ඕන, අදාළ විෂය ක්ෂේත්‍ර හදාරන්න ඕන. මම උපරිමය බලාපොරොත්තු වෙනවා. රැකියාවෙදී මම ටිකක් තද ප්‍රධානියෙක් වුණාට සාමාන්‍ය ජීවිතයේදී මම ඒ අයට මිතුරෙක්. මා සමඟ තමන්ගෙ දේවල් බෙදා ගන්න ඒ අයට පුළුවන්. අනික මම ගොඩක් වැඩ කරන කෙනෙක්. ඒකට ගැළපෙන අය එක්ක වැඩ කරද්දි මට පහසුයි. ඒ වගේම ප්‍රතිපෝෂණය වැඩියි.

ඔබේ දියුණුවේ රහස විදියට දකින්නෙ මොකද්ද?

මම ගොඩක් වැඩ එකපාර කරන කෙනෙක්. විවිධ කුසලතා තිබීම දියුණුවේ රහසක්. විශේෂයෙන්ම විවිධාකාරයේ මිනිසුන් සමඟ වැඩ කරද්දි ලැබුණු අත්දැකීම් රාශියක් මට තියෙනවා. අභියෝග ජය ගන්න නායකත්ව කුසලතාව තිබීම අත්‍යවශ­්‍යයි. සියලු දෙනාම එක මානසිකත්වයක් යටතට ගෙනැවිත්, ඔවුන් සියල්ලන්ම එක කණ්ඩායමක් ලෙස ඉදිරියට ගෙන යාම අභියෝගයක්. මගේ කළමනාකරණ හැකියාව වගේම නායකත්ව ලක්ෂණත් එකට එක්වීම මට ඉදිරියට යන්න පහසුවක් වුණා. ඕනෑම පීඩනයක් කළමනාකරණය කර ගැනීමයි වැදගත්.

ඔබ ලංකාවේ වයසින් අඩුම ප්‍රථම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වාර්තාවක් තබනවා

ඇත්තටම ඒ රෙකෝඩ් එක අදටත් වලංගුයි. ලංකාවේ පළවෙනි තරුණ ප්‍රධාන විධායක නිලධාරියා මම. එතකොට මට වයස 35යි. බහුජාතික සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා විදිහට ශ්‍රී ලාංකිකයෙක්ට අවස්ථාව ලැබෙන්නේ පළවෙනි වතාවට. කැල්ටෙක්ස් ආයතනයේ ලෝකෙන්ම දෙවැනියා, ලංකාවෙ පළවෙනියා වෙච්ච පුද්ගලයා මාත් එක්ක ලොකු කාලයක් ව්‍යාපාරයේ කටයුවලට එහේ මෙහේ යනවා. එතකොට ඔහු කියන්නෙ “මම දැකපු හොඳම මහජන සම්බන්ධතාව තියෙන කෙනා ඔබ“ කියලා. ඔහු මගේ හැකියාව අඳුරගෙන ඇමරිකානුවො විතරක් හිටපු මේ තැනට පළවෙනි පාරට ශ්‍රී ලාංකිකයෙක් ගේනවා කියලා තීරණය කරනවා. අදටත් ඒ රෙකෝඩ් එක කැඩුණෙ නෑ. එතැනින් එහාට ගිහින් මම ආයතන කිහිපයකම ප්‍රධාන විධායක නිලධාරියා වගේම සභාපති තනතුරත් දැරුවා. මේ වෙනකොට මම ඩිම්රොන් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරනවා.

තරුණ පරපුරට මොකද කියන්න තියෙන්නෙ?

මම තරුණ පරපුරට කියන්නෙ තමන් සතු දක්ෂතාව, හැකියාව සමාජ විරෝධී, නීති විරෝධී නොවන දේවලට යොමු කරලා දියුණු වෙන්න කියලා. හැමතිස්සෙම එකම දේක එල්ලිලා ඉන්න එපා. සීමාවකට කොටු වෙන්න එපා, තමන්ගෙ තියන සියලු ම හැකියා සහ දක්ෂතා පාවිච්චි කරලා තමන්ගෙ අනන්‍යතාව හදාගන්න. මම ඒක ප්‍රායෝගිකව කළා.

විවිධ හැකියාවන්ගේ සංකලනයක් වෙන ඔබ ව්‍යාපාරිකයෙක් නොවුණා නම්?

ව්‍යාපාරිකයෙක් නොවුණා නම් මම ක්‍රීඩා උපදේශකයෙක් හා පුහුණුකරුවෙක් වේවි. මම ජාතික මට්ටමේ ජයග්‍රහණය ලබපු ක්‍රීඩකයෙක්. මගෙ හීනය තිබුණේ මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් වෙන්න. මගෙ ඉසව්ව මීටර 110 කඩුලු පැන දිවීම. ඒකෙන් තමයි මම ජාතික ශූරයා වුණේ. නමුත් මම ව්‍යාපාර ලෝකයට ආවා. ඒ නිසා මට විවිධ අවස්ථා සම්පාදනය වුණා. දැන් මට මම කැමැති බොහෝ දේ කරන්න අවස්ථාව තියෙනවා. මම මුදල් සම්බන්ධව නම් කියන්නෙ හම්බ කරන්න කලින් වියදම් කරන්න දැනගෙන ඉන්න. වියදම් කරන්න දන්නෙ නැත්නම් හම්බ කරන්න එපා කියලා.

‘පාරදිගේ‘ ටෙලි වෘතාන්තයේ ව්‍යාපාරිකයකුගේ භූමිකාව කරමින් ඔබ කලා ක්ෂේත්‍රයටත් යොමු වෙනවා.

රංගනය හරිම වෙනස් අත්දැකීමක්. මේ චරිතය මගේ ජීවිතේට සමීපයි. මම අවුරුදු විසිපහක්ම ප්‍රධාන විධායක නිලධාරියෙක් විදිහට වැඩ කළ කෙනෙක්. විවිධ තනතුරු දැරූ කෙනෙක්. මේ නාට්‍යයේ මම නිරූපණය කළ දේවප්‍රිය අධිකාරී කියන්නෙත් විධායක නිලධාරියකුගේ චරිතයක්. ඒ චරිතය මගේ සැබෑ ජීවිතේට සමීප වුණත් රංගනය කියන්නෙ කිසිසේත්ම පහසු අත්දැකීමක් නොවෙයි. මගෙන් ඇසුවොත් රඟපෑම ලේසිද කියලා; මම කියන්නෙ ඒක විශාල අභියෝගයක් කියලයි.

නිරූපණ ශිල්පියෙක් විදිටයත් කටයුතු කරනවා.

ඒක පටන් ගත්තෙ මෙහෙමයි. 88-89 කාලෙ පොලිස් ක්‍රීඩාංගණයෙදි මම මලල ක්‍රීඩකයෙක් විදියට මගේ ඉවෙන්ට් එක ඉවර කළාම ඡායාරූප ශිල්පීන් ඇවිත් ඡායාරූප ගත්තා. එක ඡායාරූප ශිල්පියෙක් ඇවිත් ඒ ෆොටෝ එකක් දැන්වීමකට ගන්නද ඇහුවා. මමත් කැමති වුණා. මම ඊට පස්සේ විවිධ අවස්ථාවල දැන්වීම්වල පෙනී හිටියා. මම කොහොමත් කැමැතියි විවිධ වෙනස් ක්ෂේත්‍රවල වැඩ කරන්න. ඒක මට සතුටක් වගේම ඒක මගේ හැකියාවක්.

කවුද ඔබේ ජීවන සහකාරිය?

ඇය ෂමී ගෝමස්. අපි විවාහ වෙන්නෙ 1992 මාර්තු 19 දා. අපිට ඉන්නෙ පුතාලා දෙන්නෙක්. ඒ කුෂිල් හා ෂෙහාල්. ලොකු පුතා ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගෙන ඇවිත් දැන් මෙහේ රැකියාවක් කරනවා. පොඩි පුතා තාමත් ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නවා.

සාමාන්‍යයෙන් පොත් කියවනවද?

කියවන්න ආසයි. ඒත් දැන් විෂයයට අදාළ පොත් පමණයි කියවන්නේ. මට විනාඩි 20 ක් 30ක් පොත් කියවන පුරුද්දක් කොහොමත් තියෙනවා. දැන් නම් ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධ පොත් තමයි වැඩිපුර කියවන්නෙ.

චිත්‍රපට බලන්න කැමැතිද?

ඔව්. මම චිත්‍රපට බලන්න හෝල් එකටත් යනවා. කොහොමත් පළමු දර්ශනයට මට ගොඩක් වෙලාවට ආරාධනා ලැබෙනවා. ඒ නැතත් මම චිත්‍රපට බලන්න ගොඩක් කැමැතියි.

සාමාන්‍යයෙන් ඇවිදින්න කැමැති මොන පැතිවලද?

අනුරාධපුර, නුවර, නුවරඑළිය, හික්කඩුව වගේ ප්‍රදේශවලට කැමැතියි.

විවේක වෙලාවට මොකද කරන්නෙ?

මම ගොඩක් ජීවිතේ විඳින්නේ මම කරන ගනුදෙනු එක්ක. රූපවාහිනියෙ මම කැමැති වැඩසටහන් බලනවා; එ් වගේම වැඩසටහන් කරනවා. රගර්, ක්‍රිකට් මැච් බලන එකත් විශේෂයි.

බ්‍රෑන්ඩඩ්ද පාවිච්චි කරන්නෙ?

ඔව්, ඒක පුරුද්දක්. ඇඳුම්, ඔරලෝසු, සපත්තු මේවා නම් මම බ්‍රෑන්ඩඩ් තමයි පාවිච්චි කරන්නෙ. මම ඒවට ගොඩක් වියදම් කරනවා.

අනුකරණය කරන්න කැමැති අය ඉන්නවද?

මට වීරයො කිහිප දෙනෙක් ඉන්නවා. මම මට වඩා දෙයක් හොඳින් කරන හැම කෙනෙක්ගෙන්ම ඉගෙන ගන්නවා. අපිට පාරෙ ඉන්න හිඟන්නන්ගෙන් වුණත් ඉගෙන ගන්න දේවල් තියනවා. ඒ අය උදේට එන විදිය, ඔය ඇඳුමට මාරු වෙන විදිය, ඒ අයගෙ ශරීර භාෂාව, සන්නිවේදන කුසලතා ඔය හැමදේම. මම කියනවා එක පරමාදර්ශී චරිතයක් තියා ගන්න එපා කියලා. ඒක වැරදි මතයක්. මොකද කෙනෙක්ට තවත් කෙනෙක් බවට පත්වෙන්න බැහැ. ඕන සාර්ථක පුද්ගලයෙකුගෙ දුර්වල තැන් තියෙනවා. හැම කෙනෙක්ගෙම තියෙන හරි දේවල් අරගෙන විශේෂ පුද්ගලයෙක් වෙන්න තමයි මම හිතන්නෙ.

Comments