මේ දෛව අංක 8 හිමි ඔබ ගැනයි | සිළුමිණ

මේ දෛව අංක 8 හිමි ඔබ ගැනයි

- මුදල් උපයන්න වගේම ඉතිරි කරන්නත් දක්ෂයි
- හෙට ගැන සිතීම කල් දමා අද කළ යුතු දේ ගැන සිතන අයෙක්

ඒ. ජේ. දීපාලෝක 
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පාඨශාලාචාර්ය 
ඉසිවර සහන ජ්‍යොතිෂ්‍යය සේවය

දෛව අංකය අංක 8 හිමි ඔබ සෙනසුරු ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. ඕනෑම කටයුත්තකදී ප්‍රධානත්වය ගෙන කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි. මුදල් ඉපයීමට ඉතා දක්ෂ වෙන අතර, උපයන දේ ආරක්ෂා කර ගැනීමට ගැනීමට ද සමත් වෙයි.

නොබියව ඕනෑම කටයුත්තකට ඉදිරිපත් වන ඔබ අවදානම් සහගත ක්‍රියාවන්වලට ඉදිරිපත් වීමේදී වඩා පරෙස්සම් වීම හෝ එවැනි දේ ගැන දෙතුන් පාරක් හිතා බැලීම අවශ්‍ය වෙයි. තමන්ට පැවරෙන කටයුතු කෙරෙහි දැඩි වගකීමකින් ක්‍රියා කිරීම පිළිබඳ උනන්දු විය යුතුය.

ජීවිතයේ සාර්ථකත්වය හෝ දියුණුව පිළිබඳ ඉතා දැඩි අපේක්ෂා සහිතව ජීවත් වන ඔබ භෞතිකමය වශයෙන් දියුණුවක් ඇතිකර ගන්නා අතර රැකියා ව්‍යාපාර හා මූල්‍ය කටයුතුවලදී ඉතා දක්ෂ ලෙස කටයුතු කරයි. අනෙකුත් සියලුම දෛව අංක හිමියන්ට වඩා ආර්ථිකමය වශයෙන් ස්ථාවරත්වයක් සහ දියුණුවක් ඇතිකර ගැනීමට ඔබට හැකියාව පවතී. ඔබ අද කළ යුතු දේ ගැන පළමුව සිතයි. හෙට ගැන හිතන්නේ ඊට පසුවයි. සමාජයේ කා අතරත් කැපී පෙනෙන චරිතයක් චරිතයක් ලෙස හැසිරීමට කැමති ඔබ අනිත් අයගේ අවධානයට නිතර ලක් වන අයෙකි. ඔබට නිකන් සිටීමට කාලයක් නොමැති තරම්ය. නිතරම වාගේ වැඩක යෙදී සිටියි. තරමක් කාර්යබහුල ජීවිතයක් ගෙවීමට සිදු වෙයි.

ඔබ මුදල් උපයනවාට වගේම වියදම් වීමට ද හේතු කාරණා යෙදේ. ඒ නිසාම ඉතිරි කර ගැනීමට ද තරමක් අපොහොසත් ගතියක් ඇති බැවින් ජීවිතයේ පසු කාලය වෙනුවෙන් මුදලක් ඉතිරි කර තැන්පත් කර තබා ගැනීමට කටයුතු කළ යුතුය. නැතහොත් පසුකාලීනව පසුතැවිල්ලට එය හේතුවක් වනු ඇත. ඔබට අන් අයගේ උදව් උපකාර පහසුවෙන් හිමි වීමේ වාසනාව ඇත. මිතුරන් සීමිත ප්‍රමාණයක් පමණක් ආශ්‍රය කරයි. එනමුත් අවශ්‍ය ඕනෑම කෙනකුට උදව් උපකාර කිරීමට පසුබට නොවේ. තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ අවධානයක් යොමු කිරීමට ඔබට වෙලාවක් නැත.මැදි වයස පසු වන විට බොහෝ ලෙඩ රෝග අපහසුතා පහසුවෙන් ඇති කිරීමට පුළුවන් නිසා ශාරීරික ව්‍යායාම කෙරෙහි යම් කාලයක් යෙදවීම උචිත වෙයි. කෙසේ නමුත් කුමන බාධක ආවත් ඒ සියලු බාධක අබිබවමින් ඉදිරියට යෑමේ ශක්තිය ඔබට පවතී.

දෛව අංක 9 ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න


දෛව අංකය සොයා ගන්නා අයුරු

 

ඔබේ උපන් අවුරුද්ද, මාසය, දිනය තනි අංකයක් වන ලෙස එකට එකතු කරන්න. මෙම උදාහරණයේ ආකාරයට ඔබටත් ඔබගේ දෛව අංකය පහසුවෙන්ම සොයා ගත හැකිය.

උදාහරණයක් ලෙස ඔබේ උපන්දිනය 1985.03.18 නම්,

1+9+8+5+3+1+8 = 35
3+5 = 8

Comments