වන අලි පර­ඬැල් කරන මින්නේ­රියේ අලි මන්ද­පෝ­ෂණේ | සිළුමිණ

වන අලි පර­ඬැල් කරන මින්නේ­රියේ අලි මන්ද­පෝ­ෂණේ

 

වේදනාවෙන් යුතුව බලාගෙන සිටියෙමි. මින්නේරිය වෑ පිටිය මත පිරී ගිය ජවයෙන් යුත් ඇත් පන්තීන් මැවූ මනරම් දැකුම් දුටු මතක සිහියට නැඟේ. එහෙත් දැන් නෙත් මානයේ මැවෙන දසුන් පෙළ මා පෙළා දමයි.

මේ බිම අසිරියෙන් ආලෝලනය කළ තුමුල ඇත් පන්තිය නැත. ඉළ ඇට වෙත ඇලී ගිය සම සහිත ඇවිදින සැකිලි වැනි දුෂ්පෝෂිත අසරණ සතුන් අල්ප ප්‍රමාණයක් මින්නේරිය වෑ පිටියේ සීමා වූ අවකාශයේ ආයාසයෙන් සරති.

මේ සද්දන්තයන් කුසගින්නේය. උන් පයින් පොළොවට ඇන කෙසඟ තෘණ උදුරාගෙන පස් කැටි පිටින් ගිල දමති. එක් මොහොතක එක තැනක දිස්වන ආසියාවේ මනරම් අලි ගහනය කුසගින්න විසින් විතැන් කර ඇති ඛේදවාචකය අත්දකිමි.

සුපුන් ලහිරු ප්‍රකාශ් විසින් ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය හා කළ සාකච්ඡාව ඇසුරින් සම්පිණ්ඩනය කළ ලේඛනයට අනුව මේ අලි ගහනය විතැන් වී ඇති අයුරුත් පුදුම දනවන සුලුය.

වර්ෂ 2016 සැප්තැම්බර් මස දිනකට මින්නේරිය ජාතික වන උද්‍යානයේ වැව්පිටිවල ගැවසුණු වන අලි ගණන 389කි. 2017 සැප්තැම්බර් මස වන විට අලි 402ක ගහනයක් එම භූමියේ සැරිසැරූහ. 2018 සැප්තැම්බරයේ ගණනය කළ සංඛ්‍යාව 354කි. 2019 සැප්තැම්බරය වන විට එය 223 තෙක් අඩු වී තිබිණි. 2020 දී එය 210කි. ඛේදවාචකය වන්නේ 2021දී මින්නේරිය වෑ පිටියෙන් හමුවන්නේ අලි 20 දෙනෙක් පමණි. මින්නේරිය ආසියානු වන අලින්ගේ ආශ්චර්යවත් භූමියක් කළ අලි ගහනයේ තුන්සිය පනහකට අධික අලි රංචුවක් විතැන් වී සිටියහ.

එහි ප්‍රතිඵලය ඇසුණේ මහව ගල්ගමුව අඹන්පොල වැනි ප්‍රදේශවලිනි. මෙතෙක් නුදුටු සිය ගණන් අලි රංචු ඒ පෙදෙස්වලට වැදුණහ. අලි රංචු පිටින් වගා බිම් විසුණු කරමින් සිටියහ. ඒ කියැවුණේ අලින්ගේ කුසගින්නය. ඒ සමඟම අලි මිනිස් ගැටුම සම්බන්ධව බිහිසුණුම දත්ත ඇසෙමින් තිබිණි.

“මේක මිනිස්සු අලි අතර ප්‍රශ්නයක් නෙමෙයි; මිනිස්සු ඇති කරපු ප්‍රශ්නයක්. වන සංරක්ෂණ ආඥා පනත, වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත රජයේ ඉඩම් ආඥා පනත, රජයේ ඉඩම් ආපසු පවරා ගැනීමේ ආඥා පනත හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේ ප්‍රශ්නය බොහෝ දුරට මගහරවා ගන්න පුළුවන්.“ ජ්‍යේෂ්ඨ පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන අපට කීවේ එසේය. ඔහු මේ විඝටනය අලි මිනිස් ගැටුම ලෙස හඳුන්වනවාටවත් කැමති නැත.

නවතම දත්ත ප්‍රකාරව මේ වසරේ ජනවාරියේ සිට ඔක්තෝබර් 10 වන විට මිය ගොස් ඇති වන අලි ගණන 327කි. දිනපතා එක් අලියකුට වඩා මිය ගොස්ය. ඉන් 47 දෙනෙක් මරා දමා ඇත්තේ වෙඩි තැබීමෙනි. 39ක් හක්කපටස් කන්නට දී හකු පිපිරෙන්නට හැර දස වධ විඳ මැරෙන්නට හැර ඇත. 30 දෙනෙක් විදුලි සැර වද්දවා මරා දමා තිබේ. එක් අලියකුට විෂ ශරීරගත කර මරා ඇත. දුම්රිය සහ මාර්ග අනතුරු නිසා මියගිය අලි ගණන 09කි. වගා ළිංවලට වැටී අලි 08 දෙනෙක් මිය ගොස් තිබේ. දියේ ගිලීම් හා වෙනත් අනතුරුවලින් සිදුවූ අලි මරණ 16කි. මිනිසුන් මැදිහත් වූ ඍජු අලි මරණ සංඛ්‍යාව 151කි. ඉතිරි මරණ ස්වාභාවික මරණය ලෙස නම් කර ඇත. මේ ස්වභාවික මරණ ගොන්නේ මන්දපෝෂණයෙන් මිය ගිය අලි පැටවුන් සහ කෙණෙර සතුන් ගැන ඇසෙන කතා යට ගොස් ඇත.

වමේ සිට,  වන­ජීවී අධ්‍යක්ෂ ජන­රාල් චන්දන සූරි­ය­බ­ණ්ඩාර. ආචාර්ය පෘථි­වි­රාජ් ප්‍රනාන්දු, ආචාර්ය සුමිත් පිල­පි­ටිය, ජ්‍යෙෂ්ඨ පරි­ස­ර­වේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණ­ව­ර්ධන, සංචා­රක සංව­ර්ධන විශේ­ෂ­ඥ­යෙකු සහ පර්යේ­ෂක ශ්‍රී ලාල් මිත්‍ර­පාල.

පරඬැල් වී ඇති මින්නේරියේ දුක්ඛිත වන අලින්ගේ ජීවිතයේ තිගස්වන යථාර්ථයක් ඒ සංඛ්‍යා ලේඛන පසුපස තිබේ. මින්නේරියේ දී අපි දකින ඇත්ත රටටම පොදු ද? ලංකාවේ අලි ඇතුන් දුෂ්පෝෂණයෙන් පෙළෙන්නේ ද? ආසියාවේ වන අලින්ගේ කෙම්බිම වූ ආශ්චර්යවත් භූමියට සිදු වූයේ කුමක් ද? අප මුලින්ම විමසා සිටියේ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරගෙනි.

“ලංකාවෙ වන අලි ගහනය ගැන නිල වශයෙන් සංඛ්‍යාත්මක අගයක් දිය හැකි සංගණනයක් කළේ 2011 අවුරුද්දෙ දී. ඉන් ආපු දත්තය 5879ක්. එයයි දැනට ඉදිරිපත් කර ඇති විද්‍යාත්මක දත්තය. 2019 දී සැලසුම් කරලා තිබූ සංගණන සැලැස්ම කාලගුණයේ හරස්වීම හා ඉන් අනතුරු රටේ පැවති තත්ත්වය එක්ක කල් ගියත් අපි ලැබුණ මුල්ම අවස්ථාවෙ දීම එය සිදු කරනවා.

නිසි පෝෂ­ණ­යක්  නොමැ­තිව මිය ගොස් සිටි  අලි පැටවා

මේ පෝෂණ ගැටලුව මින්නේරිය කවුඩුල්ල ආශ්‍රිතව ජීවත්වන වන අලින් සම්බන්ධව පැන නැඟුණ හදිසි තත්ත්වයක්. මේකට මුල වුණේ ජල කළමනාකරණ ගැටලුවක්. මොරගහකන්ද ව්‍යාපාරයත් එක්ක 2021 අවුරුද්ද පුරාම මින්නේරිය කව­ුඩුල්ල ජලාශ පිරිලා තිබුණා. ඒ හේතුව නිසා වියළි කාලයේදී වන අලින්ට පෝෂණය සැපයපු, ඔවුන්ගේ චර්යා සඳහා සුව පහසුව සලසපු මින්නේරිය කවුඩුල්ල ජලාශවල ජලය අඩුවීමත් සමග ස්වාභාවිකව මතුවන තෘණ බිම් නැති වී ගියා.

මෙම ව්‍යාපෘතිය පටන් ගත් අවධියෙම ඒ කියන්නෙ මීට අවුරුදු 08කට කලින් මෙවැනි තත්ත්වයක් ඇති වුණොත් වන අලින් සම්බන්ධව සිදු වන දේ ගැන පුරෝකථනයක් කර වාර්තාවක් අප ලිඛිතව යොමු කළා. දැන් මේ සිද්ධ වෙන්නෙ අපි අවුරුදු 08කට කලින් සිදු කළ පුරෝකථනයේ යථාර්ථය. එය අප නිවැරැදි කරගන්න උත්සාහ කරනවා. “

අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ වන අලින්ගේ දුෂ්පෝෂණ තත්ත්වය රටටම බලපාන ගැටලුවක් නොවන බවය.

ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු අලි සම්බන්ධව විශාල පරාසයක පරීක්ෂණ කළ විද්වත් වෘත්තිකයෙකි. ඔහු අපට මේ විනාශ වී යන්නට හැරුණු මහා සම්පතත් අලි රැක ගැනීමට වධ විය යුත්තේ කුමක් නිසාද යන්නත් කීවේය.

“ලෝකයේ ආසියානු අලි තිස්පන්දාහක් විතර ඉන්නවා. එයින් හයදාහක් පමණ ඉන්නෙ ලංකාවේ. ඔවුන් ලංකාවට අාවේණික උප විශේෂයක්. අලින්ගේ වැඩිම ජාන විවිධත්වයක් තියෙන්නෙ ලංකාවේ. ඒ අනුව ආසියානු අලි සංරක්ෂණය පැත්තෙන් ලංකාවේ අලින් සංරක්ෂණය කිරීම ඉතාම වැදගත්.

අලි ඉන්න රාජ්‍යයන් 13 න් අලි බලන්න හොඳම අවකාශය තිබෙන්නෙ ලංකාවේ. සංචාරක කර්මාන්තය පැත්තෙනුත් එය විශාල වැදගත්කමක්. ඒත් තවම අපි හරියට ඒ විභවය යොදා ගන්නෙ නෑ. ඒත් අනාගතයේ අපට ඒ අවස්ථාව තිබෙනවා.“ ඔහු කියන්නේය.

සංචාරක මාර්ගෝපදේශන සඟරාවක් වන ‘ලෝන්ලි ප්ලැනට්‘ සඟරාවට අනුව සෑම වසරකම, වියළි කාලයේදී මින්නේරිය ජාතික උද්‍යානයේ 'ලෝකයේ ශ්‍රේෂ්ඨතම වනජීවී ආශ්චර්යයන් 10 න් එකක්' මැවෙන්නේය. එය වාර්ෂික වන අලි එක්වීමකි. අගෝස්තු - සැප්තැම්බර් වන විට, 400 ක් තරම් වන අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් මින්නේරි ජලාශයේ වැව් පිටියේ තණ බිම මතට එක් වන්නෝය. මේ වන අලි ගහනය පෝෂණය කළ මාහැඟී ආහාරය වූයේ ක්‍රමයෙන් සිඳී යන ජලාශයේ මතුවන වැව් පිටියේ වර්ධනය වන නැවුම් තණකොළය. ලෝක ආකර්ෂණය දිනාගත් අසිරිය නිර්මාණය වූයේ එසේය. ඒ ආශ්චර්යට සිදු වූ දේ අපට කියන්නේ වන අලි සංරක්ෂණය පිළිබඳ අන්තර්ජාතික කීර්තියට පත් විද්වතෙක් වූ ආචාර්ය සුමිත් පිලපිටිය ය.

“2019ට පෙර මින්නේරිය කවුඩුල්ල ප්‍රදේශවල වන අලින්ගෙ ශරීර තත්ත්වය වියළි කාලයේ දී ඉතාම හොඳට තිබුණා. සාමාන්‍යයෙන් මෝසම් නිසා නොවැම්බර් - පෙබරවාරි මාසවල මින්නේරිය කවුඩුල්ල ජලාශය පිරෙනවා. යල කන්නයට ජලය පිටකරනවා අප්‍රේල් වෙනකොට. එතකොට වැව් පිටිය පෑදී ඒ මත අලුත් තණකොළ හැදෙනවා. ඒ තණකොළවල ප්‍රෝටීන් වැඩියි. අලුත් තණකොළ කන්න තමයි මින්නේරිය කවුඩුල්ලට අලි එන්නෙ.“

“අවුරුදු සිය ගණනක් තිස්සේ මේක තමයි සිද්ධ වුණේ. ජලය සිඳී තණ පිටි පෑදී නව තණකොළ එන අගෝස්තු- සැප්තැම්බර් කාලේ වෙනකොට අලි 350ක් 400ක් මින්නේරියට එනවා. 2016 - 18 කාලය තුළ අලි 350 – 400ක් මින්නේරිය තණපිටිවල හිටියා.

පෝෂණ ඌන­තා­වෙන් කෘෂ වී යන වන අලීන්

2019 මොරගහකන්ද ආරම්භයේ අරමුණ වුණේ මින්නේරිය කවුඩුල්ලට ජලය යොමු කරන්න නෙමෙයි. කිලෝ මීටර 28ක් දිග උමගකින් හුරුළු වැවට යොමු කරලා එතැනින් වයඹට උතුරට නැගෙනහිර වාරි මාර්ගවලට ජලය යවන්න.

ඒත් ජලාශය නිම කළා 2019දී. උමග ඇරඹුණේ 2021 ජනවාරිවල. තව අවුරුදු 04ක් යනවා උමග වැඩ නිම කරන්න. මේ තත්ත්වය තුළ ජලය මොරගහ කන්දට වැඩිවුණාම මින්නේරියට සහ කවුඩුල්ලට නිකුත් කළා. 2019 -20 මින්නේරිය ජලාශය සියයට 60ක් පිරුණා. 350 -400 වූ අලි ගහනය අගෝස්තුවේදී දෙසීය ගණනකට බැස්සා. 2021 අගෝස්තු, සැප්තැම්බර් වන විට සියයට 88ක් 90ක් ජලාශය පිරුණා. දැන් තණපිටි නෑ. මේ කාලෙදි දවසකට දකින්න පුළුවන් අලිගේ සංඛ්‍යාව විස්සකට විතර අඩු වුණා.

2021 වියළි කාලයෙ දී කෑම අඩු වුණා. 2022 දී එය තවත් උග්‍ර වුණා. 2022 වනවිට අලින්ගෙ ශරීර තත්ත්වය ඉතාම පහළට වැටුණු බව 2022 ජූනිවල නිරීක්ෂණය කරන කොට අලින්ගෙ ස්වරූපයෙන් අපි දැක්කා. සතුන්ගේ ශරීර තත්ත්වය මනින විද්‍යාත්මක පරිමාණයක් තියනවා. නරකම ශරීර තත්ත්වයක් සහිත කෙනාට 1 කියලා නම් කරනවා. ඉතාම හොඳ ශරීර තත්ත්වයක් තියන කොට 09 කියලා නම් කරනවා. මින්නේරිය කවුඩුල්ල අලි ඇත්තු හිටියේ 2018ට පෙර 5 -6 අතරෙ. ඒත් අපි කළ තක්සේරුවෙ ඉතාම නරකම තත්ත්වය වාර්තා වුණේ මේ අවුරුද්දේ ඔවුන්ව නිරීක්ෂණය කරද්දි. ඔවුන්ගේ ශරීර තත්ත්වය තිබුණෙ 2.4ක. ඊළඟ අඩිය මන්දපෝෂිත මරණයට ආසන්නයි. “

“ගැහැනු සතුන් එවැනි තත්ත්වයකට වැටුණට පස්සෙ විද්‍යාත්මක තහවුරුව තමයි අවුරුදු දෙකට පහළ පැටවු මැරෙන එක. මවගෙ ශරීර තත්ත්වය දුර්වල නම් බලපාන්නෙ පැටියට. පැටිය යැපෙන්නෙ අවුරුදු දෙකක් විතර මවගේ කිරිවලින්. “

“2022 දි ජූලිවල මම මින්නේරියෙදි තණපිටියෙ මාස අටක අලි පැටියෙක් මැරිලා ඉන්නවා දැක්කා. වනජීවි එකෙන් ඇවිත් කළ පශ්චාත් මරණ පරීක්ණයෙදි හෙළිවුණේ මරණයට හේතුව මන්දපෝෂණය සහ කුසගින්න කියලා. මීට සති පහකට පෙර මන්දපෝෂණ තත්ත්වයෙන් මිය ගිය ඇතින්නක් ද හමු වුණා.

කැලේ ඇතුළෙ මැරෙන ප්‍රමාණය අපි දන්නෙ නෑ. මට හමුවුණා ගැහැනු සත්තු තනිවම ඉන්න. ගැහැනු සතා රංචුව නැතිව ඉන්නෙ කිසියම් ආතති තත්ත්වයක ඉන්නවා නම් පමණයි. ශරීර තත්ත්වය යහපත් නැති සමහර ගැහැනු සත්තු මා නිරීක්ෂණය කළා. ඔවුන්ගෙ කිරි එරිලා. ඒත් පැටවු නෑ . ඒ කියන්නෙ පැටවු මැරිලා. මේ අගෝස්තු සැප්තැම්බර් වලදි දැක්ක වන අලින්ගෙ ශරීර තත්ත්වය ඉතාම දුර්වලයි. මේ අවුරුද්දෙත් ගිය වසරෙ වගේ වැව තිබුණොත් මැරෙන්න ඉන්න අලි ප්‍රමාණය ඉතාම ඉහළයයි. දුර්වල ශරීර තත්ත්වයක් යටතේ වුණත් මේ භූමියෙ දැන් අලි සීයක් විතර ඉන්නවා. මේ තත්ත්වය තුළ අපට ජලාශයෙ ජලය අඩු කිරීමට යෝජනා කරන්න සිද්ධ වුණා. “

මේ පිළිබඳ ඉතාම සාධනීයව වනජීවි, මහවැලි සහ වාරිමාර්ග බලධාරීහු බලාපොරොත්තු සහගත තැනකට ප්‍රශ්නය රැගෙන විත් තිබිණි. පසුගියදා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් තිබූ රැස්වීමක දී මින්නේරියේ වන අලි ගහනයේ වත්මන් දත්ත අවධානයට යොමු කිරීමෙන් අනතුරු වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ වනජීවි බලධාරීන් සමඟ සාකච්ඡා කොට තීන්දුවක් ගෙන තිබිණි. ඒ අනුව 2023 සිට පෙර තිබූ ජල රාටාවටම පත් කිරීමටය.

ආචාර්ය පිලපිටිය කතා කරන්නේ ඒ ගැන උපන් පහන් හැඟීමෙනි. “ඒක ක්‍රියාත්මක කිරීමට එකඟ වීම මහා ජාතික ව්‍යසනයක් වැළැකී යාමේ අවස්ථාවක්. එය ක්‍රියාත්ම නොවුණොත් බරපතළ ප්‍රශ්න එයි.

මෙය මින්නේරියට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නෙමෙයි. වියළි කාලයේ දි සමහර ජලාශවල මතුවන තණපිටිවලින් තමයි අවට අලි යැපෙන්නෙ. කලා වැව, මාදුරු ඔය, ලුණුගම් වෙහෙර, උඩවලවේ ජලාශ උදාහරණ. මේ ජලාශවල වියළි කාලයේ වතුර රඳවා ගන්න හැදුවොත් මේ ප්‍රශ්නය ඒ වගේ තැන්වලත් ඇතිවීමේ ප්‍රවණතාව ඉහළයි. අප කෘෂිකර්මය කළ යුතුයි. නමුත් හැඩගැසී තියන පාරිසරික සමතුලිතතාව රකිමින්.

සංචාරක සංවර්ධන විශේෂඥයකු සහ පර්යේෂකයකු වන ශ්‍රී ලාල් මිත්‍රපාල යනු අලින්ට ළැදි වෘත්තිකයෙකි. ඔහුගේ තක්සේරුවට අනුව මින්නේරියට විශාල අලි සංඛ්‍යාවක් බලන්න එන සංචාරකයන්ගෙන් අවුරුද්දකට ලැබෙන ආදායම රුපියල් මිලියන 3800 කි.

මේ මිලියන 3800ක ප්‍රතිලාභය කෘෂිකර්මයෙන් උපදවන්න හිතන්නවත් බෑ. ඒ අනුව මේක ආර්ථික වශයෙනුත් සුදුසු තීරණයක් නොවෙයි“

වෘත්තිකයො හැටියට ලබන වසරේ සිට නිවැරැදි තැනට එන්න අපි තීන්දුවක් ගෙන තිබෙනවා. එය නොකරන්න දේශපාලන බලපෑම් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.“ ආචාර්ය පිලපිටිය පවසන්නේය.

යළිත් මේ කේඩෑරි වී වැහැරුණු වන අලි පෙරසේ කෙළිලොල්ව මේ භූමිය සරසනු දැකීමේ අපේක්ෂාව සහිතව සංවාදය නිමා කළෙමි.

 

ඡායාරූප -මාලන් කරුණාරත්න

 

 

Comments