
වාරියපොල කොළඹගම
ශ්‍රී මියුගුණාරාම
රාජමහා විහාරාධිකාරි සම්මානිත ආචාර්ය
පූජ්‍යපාද ගල්ලැහැපිටියේ
පේමරතන ස්වාමීන් වහන්සේ
(කොළඹගම පොඩි හාමුදුරුවෝ)
අනෙකුත් විභාගවලින් සමත් වීමට මෙන්ම ජීවිතයේ බොහෝ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා මේ පූජාවෙන් පිහිට ලැබිය හැකිය
මෙවර පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස 18 වැනි ඉරු දිනය. එම විභාගයට පෙනී සිටින දරුවන්ට මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින දූ දරුවන්ට ද ප්‍රයෝජනවත් මතක ශක්තිය වඩවන පූජා කර්මයක් මෙවර ඉදිරිපත් කෙරේ.
“බොහෝ මවුපියන් විභාගවලට පෙනී සිටින දරුවන් පුද පූජා වත්පිළිවෙත් සඳහා යොමු කරන්නේ විභාගය ආසන්න වන විටයි. බෝධි පූජා, භාරහාර ආදී වශයෙන් ඒ ආකාරයට පුද පූජා සඳහා දරුවන් යොමු කිරීම ඉතා හොඳ දෙයක්. නමුත් ඒවායින් සාර්ථකම ප්‍රතිඵල ලබා ගන්නට නම් විභාගයට මාසයක් දෙකකට පෙරවත් එම දරුවන් ඒ සඳහා යොමු කළ යුතුය.
සමහර දරුවන්ට පාඩම් කරන දේවල් මතක හිටින්නේ නැහැ. ඇතැම් දරුවන් උදාසීන තත්ත්වයන්ට පත් වෙනවා. මේ සඳහා යම් යම් ග්‍රහ පීඩා වැනි දේවල් හේතු වෙන්න පුළුවන්. ඒ සියල්ල සඳහා ඉතා වැදගත් බලගතු පූජාවක් ලෙස මේ පූජාව හැඳින්විය හැකිය.
මීට වසර ගණනාවකට පෙර මෙම පූජාව සිදු කළ පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් එම විභාගය ඉහළින් සමත් වී අ.පො.ස.(සා.පෙළ) සහ උසස් පෙළ විභාගය යන විභාග ද ඉහළින්ම සමත් වී දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා. ඒ දරුවන් අදටත් මේ පූජාව පවත්වනවා.
විභාග සමත් වෙන්න විතරක්ම නෙමෙයි ජීවිතයේ බොහෝ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා මේ පූජාව හේතු වන බව එම දරුවන් පවසනවා. සරල වුවත් ඉතා ප්‍රබල මේ පූජාව ජීවිතය ජය ගන්න ඔබටත් මහා ශක්තියක් වේවි.
මෙම පූජාව පවත්වන්නේ තම නිවෙසේ බුදු පහන තබන ස්ථානයේමයි. මේ සඳහා ඔබ හිමිදිරි පාන්දර අවදි විය යුතුයි. එහෙම අවදි වෙලා නිදි ඇඳේ සිටම දෑස් පියාගෙන,
“ඕං නම: බුද්ධාය (නමහ්)” යන බුද්ධ මන්ත්‍රය හත් වරක් කියන්න. ඉන් පසු එසේ දෑස් පියාගෙනම අද දින මගේ සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. අද දින මා පාඩම් කරන සියලු දේ මගේ මතකයේ රැඳේවා. මගේ ධාරණ ශක්තිය වැඩි දියුණු වේවා. යන ප්‍රාර්ථනය සිදු කර දෑස් හරින්න.
දැන් නිදි ඇදෙන් නැඟිට මුව කට සෝදා පෞද්ගලික ශාරීරික පිරිසුදුවීම් සිදු කර හිමිදිරියේම මිදුලට බැස නිවෙසේ ගෙමිදුලේ මල් ගස් ඇත්නම් ඒවායින් මල් ටිකක් කඩා ගන්න.
බුදු පහන තැබීම සඳහා පැන් බඳුනක්, පහනක්, හඳුන්කූරක් වැනි ඉතා සරල පූජා භාණ්ඩ ටිකක් සූදානම් කර ගන්න.(මේ සඳහා මවුපියන් දරුවන්ට උදවු කරන්න.)
එම පූජාවන් තැන්පත් කර බුදු පහන දල්වා තිසරණ සහිත පංචශීලය සමාදන් වන්න
ඉතිපිසෝ...
ස්වාඛ්‍යාතෝ
සුපටිපන්නෝ යන ගාථා කියා තෙරුවන් වන්දනා කරන්න.
ඉන් පසු පහත සඳහන් ශ්‍රී විෂ්ණු පූජා මන්ත්‍රය ශ්‍රී ගනේෂා පූජා මන්ත්‍රය, සරස්වතී පූජා මන්ත්‍රය,
වෘහස්පති පූජා මන්ත්‍රය (ශාස්ත්‍ර ඥාන වර්ධනය සඳහා) යන ඉතා කෙටි පූජා මන්ත්‍ර හතර එකක් තුන්වර බැගින් කියා නැවතත් නිදි ඇඳේ සිට සිදු කළ ප්‍රාර්ථනය කරන්න.
දැන් ආකාසට්ඨා ච ගාථාවෙන් දෙවියන්ට පින් දී පූජාව හමාර කරන්න.
මෙම පූජාව පාන්දර 5.45 ට පෙර තබන්න.
ශ්‍රී විෂ්ණු පූජා මන්ත්‍රය
ඕම් නමෝ නාරයනාය ශ්‍රී විෂ්ණු වේ නම:
( නමහ්)
ශ්‍රී ගනේෂාපූජා මන්ත්‍රය
ඕම් ගාං ගනේෂාය නම: (නමහ්)
සරස්වතී පූජා මන්ත්‍රය
ඕම් සරස්වත්‍යෛ දෙව්‍යෛ නම: (නමහ්)
වෘහස්පති පූජා මන්ත්‍රය
ඕම් ඖම් ක්ලීං වෘහස්පයේ නම:(නමහ්)
සකස් කළේ, සුනිල් පොරමඬල