
ඇතැමුන් අතර ඇතිවන බහින්බස් වීම් අවසානයේ ආරවුලක් බවට පත්ව පහර දී පුද්ගල ඝාතනය දක්වා ඒවා වර්ධනය වීමේ සිදුවීම් අපට නිරන්තරයෙන්ම ඇසීමට - දැකීමට ලැබේ. මේ ආරවුල්වලට ප්‍රධානම හේතුව මත්පැන් සහ මත්ද්‍රව්‍යයි. ඇතැම් පුද්ගලයන් තම විනෝදාස්වාදය සඳහා මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ඇති කරගන්නා ආරවුල් දුර දිග යාම නිසා එහිදී ඇති වන සිහි විකල් භාවය නිසා සිදුවන ඇතැම් ආරවුල් වල මනුෂ්‍ය ඝාතනවලින් කෙළවර වීමද කනගාටුවට කරුණකි.
බහින් බස් වීමක් දුරදිග යෑමෙන් ගණේමුල්ල, හොරගොල්ලේ පදිංචි පුද්ගලයකු තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියක් ගණේමුල්ල පොලිස් වසමෙන් වාර්තා වූයේ පසුගියදාය. 28 හැවිරිදි විවාහකයකු වන උදේනිගේ ගනිල් චතුරංග නමැති අයෙකු මෙසේ ඝාතනය කර තිබිණි. ගණේමුල්ල පොලිසියට ලැබුණ දුරකතන ඇමතුමක් මත එම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අදාළ ප්‍රදේශයට ගොස් මූලික විමර්ශන කටයුතු ආරම්භ කර ඇතත් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින්ගේ උපදෙස් මතය.
ඝාතනය කෙරුණු පුද්ගලයාගේ නිවස ආසන්නයේ පදිංචි නිවසක වාසය කරන සැකකරු මෙම සිද්ධිය වූ දා මේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ මාමා කෙනෙකු සමඟ ගනිල් බහින් බස්වීමක් ඇතිකරගෙන ඇත. එහිදී ප්‍රධාන සැකකරුගේ මාමා ත්‍රිරෝද රථයකින් තම නිවසට හැරෙන මාර්ගය අසලට එන විට ගනිල් බීමතින් ඔහුට බැන වැදි ඇති බවට හෙළි වී තිබේ. එහිදී ඒ දෙදෙනා අතර බහින් බස්වීමක් ඇති වී පසුව එය ආරවුලක් බවට පත්ව ඇත.
ගනිල් චතුරංග අනතුරුව මෙම සිද්ධිය වු දින සවස තවත් පුද්ගලයකු සමඟ මෝටර් බයිසිකලයකින් සැකකරුගේ පියාගේ වෙෙළඳ සැල ඉදිරිපිටට පැමිණ ඔහුට බැණ වැදී ඇති අතර පසුව ගනිල් චතුරංග සහ ඔහුගේ මිතුරා සැකකරුගේ පියාට පහරදී එම වෙළඳ සැලේ තිබු භාණ්ඩවලට අලාභහානි සිදු කර ඇත. එම ආරවුල පවතින අතරතුර සැකකරුගේ බිරිය එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී ගනිල් චතුරංග එම කාන්තාවට ද පහරදී ඇති බව හෙළිවී ඇත. සැකකරුගේ 17 හැවිරිදි දියණිය පියාට දුරකතන ඇමතුමක් ලබාගෙන ගනිල් චතුරංග තම නිවසට පැමිණ මවට පහරදී වෙළඳ සැලේ භාණ්ඩවලට ද අලාභ හානි සිදු කරන බවට දැනුම් දී ඇත. පසුව සැකකරුගේ 17 හැවිරිදි දියණිය විසින් මේ පිළිබඳව ගණේමුල්ල පොලිසියට ඇමතුමක් ලබාදී සිද්ධිය සම්බන්ධව පොලිස් නිලධාරීන් දැනුම්වත් කර තිබේ.
පසුව මඳ වේලාවකින් සැකකරු ගනිල් චතුරංග සොයාගෙන පැමිණ ඔහු සමඟ බහින් බස් වී ඇති අතර එහිදී සැකකරු විසින් මරණකරුට පොල්ලකින් පහරදී ඇති බව හෙළි විය. පසුව ගනිල් එම පොලු පහර කාගෙන එම ස්ථානයේ සිට මීටර් 15ක දුර ඉඩමකට දුව ගොස් එම ස්ථානයේ තිබු කළු ගල් ගොඩක් උඩ ඇද වැටී ඇත. එහිදී සැකකරු විසින් ගනිල්ට නැවතත් එම පොල්ලෙන් පහරදී ඇති අතර එම පහරින් ගනිල් ගල් ගොඩ අසල වැටී තිබේ. පසුව සැකකරු පිහියක් ගෙන මරණකරුගේ ගෙලට සහ ශරීරයේ විවිධ ස්ථාන කපා කොටා තුවාල සිදු කර ඇත. එහිදී ගනිල් එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.
පසුව එම ස්ථානයට පැමිණි ගණේමුල්ල පොලිසියේ නිලධාරින් ගම්පහ අපරාධ පරීක්ෂණාගාර (සොකෝ) නිලධාරින් සහ කොළඹ ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නිලධාරීන් ගෙන්වා විමර්ශන කටයුතු සිදු කර තිබේ. පසුව මෙම සිද්ධිය සම්බන්ධව ගම්පහ අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.
මේ ඝාතනය සිදු වූ ස්ථානයට පැමිණි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න ස්ථානීය පරික්ෂණය සිදු කර ගනිල්ගේ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගම්පහ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කර තිබේ. පසුව ගම්පහ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.එම්.ටී.බී. ගුණතිලක මේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ එම ස්ථානය පරීක්ෂා කර මළ සිරුර සම්බන්ධව සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ගනිල්ගේ ගෙල ප්‍රදේශයට සිදු වූ බරපතළ හානි නිසා මරණය සිදු වී ඇති බවට නිගමනය කළේය. ගනිල්ගේ සිරුර ඔහුගේ පවුලේ ඥාතීන් වෙත මුදා හැරීමට නියම කර තිබේ.
පොලිසිය පසුව මෙම සිද්ධිය සම්බන්ධව ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කර තිබේ. අනතුරුව මෙම සිද්ධියට සම්බන්ධ ගණේමුල්ල, හොරගොල්ල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් ලබාගත් ප්‍රකාශයට අනුව ඝාතනයට ලක්වු ගනිල් ළඟ තිබු තියුණු පිහියකින් සැකකරු ගනිල් ඝාතනය සිදු කළ බව හෙළිවී ඇත. එහිදී සැකකරු ගනිල් ඝාතනයට යොදා ගත් පිහිය ඝාතනය සිදු වූ ස්ථානයේ ඇති බවට පැවසුවත් එය සොයා ගැනීමට මෙතෙක් පොලිසියට හැකි වී නොමැත.
ගනිල් චතුරංග විවාහකයෙකි. වසර 8ක පමණ කාලයක සිට බිරිය ඔහුගෙන් වෙන්ව වාසය කර තිබේ. ගනිල්ගේ මව විදේශගතව සිටින්නීය. ගණේමුල්ල, හොරගොල්ල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි සැකකරු සැකපිට අත්අඩංගුවට ගෙන ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් කිරීමට නියම කර තිබේ.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ උපදෙස් මත ගම්පහ සහකාර පොලිස් අධිකාරි (IV) කමල් සේනානායක මෙහෙය වීම මත ගණේමුල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.ඩී.ඒ.කේ. දේවප්‍රිය, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දනුෂ කවිරාජ්, සැරයන්වරුන් වන (18200) සුනිල්, (39171) තිලකරත්න යන නිලධාරිහු මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කළහ.