නව ග්‍රහ අපල නසා සෙත සල­සන නව ග්‍රහ සෙත් ජය­මං­ගල ගාථා | සිළුමිණ

නව ග්‍රහ අපල නසා සෙත සල­සන නව ග්‍රහ සෙත් ජය­මං­ගල ගාථා

වාරි­ය­පොල කොළ­ඹ­ගම ශ්‍රී මියු­ගු­ණා­රාම රාජ­මහා විහා­රා­ධි­කාරි, 
ආචාර්ය පූජ්‍ය­පාද ගල්ලැ­හැ­පි­ටියේ 
පේම­ර­තන ස්වාමීන් වහන්සේ 
(කොළ­ඹ­ගම පොඩි හාමු­දු­රුවෝ)


බුදු දහම හා බැඳුණු නක්ෂ­ත්‍රය පිළි­බඳ බොහෝ අය විවිධ මති­ම­තා­න්තර දැරු­වද අනා­දි­මත් කාල­යක සිට අපි අපේ ජීවි­ත­වල විශේ­ෂිත අවස්ථා සිය­ල්ලේදී නක්ෂ­ත්‍රා­නු­කූ­ලව එම කට­යුතු ඉටු කිරී­මට හුරු පුරු­දුව සිටි­න්නෙමු.

උප­තක් සිදු වූ විට නම් තැබීම, හිසකේ කැපීම, කන් විදීම, ඉඳුල් කට ගෑම, අකුරු කිය­වීම, මල්වර වීම, විවා­හය, නිවෙස් ඉදි කිරීම, ගොවි­තැන් කට­යුතු ව්‍යාපාර ආර­ම්භය ආදී වශ­යෙන් අපේ ජීවි­ත­වල සියලු විශේෂ අවස්ථා සඳහා අපි නක්ෂ­ත්‍රය භාවිත කර­නවා මෙන්ම ග්‍රහ­ය­න්ගෙන් සිදු වන අපල උප­ද්‍ර­ව­ව­ලදී ඉන් මිදීම සඳහා විවිධ ශාන්ති­කර්ම, වත්පි­ළි­වෙත් ඇව­තුම් පැව­තුම් ඉටු කිරී­මට ද කට­යුතු කර­න්නෙමු.

මෙම වත් පිළි­වෙත් අතර ඇති විශේෂ සරල එහෙත් ප්‍රබල පූජා විධි­යක් අද සිළු­මිණ පාඨක ඔබට හඳුන්වා දීමට ගරු ස්වාමී­න්ව­හන්සේ අද­හස් කරති. “සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර ඉටු කර­නවා යනු කළ යුතු, නොකළ යුතු දේ තෝරා බේරා­ගෙන කට­යුතු කිරී­මයි. සිරිත් එහෙම නැත්නම් චාරිත්‍ර කියන්නේ කළ යුතු දේවල්. විරිත් එහෙම නැත්නම් වාරිත්‍ර කියන්නේ නොකළ යුතු දේවල්. කළ යුතු නොකළ යුතු දේ තෝරා බේරා­ගෙන කට­යුතු කිරී­මක් තමයි නක්ෂ­ත්‍ර­යෙන් සිදු වන්නේ.

නව ග්‍රහ­ය­න්ගෙන් සිදු වන ග්‍රහ දෝෂ ඉවත් කර ගැනීම හෝ අවම කර ගැනී­මට යොදා ගත හැකි නව ග්‍රහ සෙත් ජය­මං­ගල කවි තිබෙ­නවා. නක්ෂ­ත්‍ර­යා­නු­කූ­ලව බලන විට එකම නිවෙ­සක එක්කෙ­නෙ­කුට සෙන­සුරු අප­ල­යක් තියෙද්දි එම නිව­සේම තවත් කෙනකු වෙනත් ග්‍රහ­ය­කුගේ බල­පෑ­ම්ව­ලින් පීඩා විඳි­නවා විය හැකියි. මේ නිසා මොන ග්‍රහ­ය­ගෙන් ද මෙහෙම පීඩා විඳින්නේ කියලා නොහිතා නව ග්‍රහ­ය­න්ටම පුද පූජා පැවැත් වීමෙන් විස්මිත විපුල ප්‍රති­ඵල ළඟා කර ගත හැකිය.

මේ සඳහා එදා අපේ වැඩි­හි­ටි­යන් විසින් මනා ලෙස ගණ පිහි­ටුවා බුදු ගුණ ද මුසු වන ආකා­ර­යට සකස් කළ නව ග්‍රහ සෙත් ජය­මං­ගල කවි බුදු පහන තබන ස්ථානයේ සිට දින­පතා උදේ හෝ සවස වෙනදා පුරුදු ලෙස පහන තබා පංච­ශී­ලය සමා­දන් වී අන­තු­රුව මෙම උතුම් බල­ගතු කවි ගායනා කරන්න.

එවිට අපල කරන ග්‍රහ­යන්ගේ වෙන පීඩා අවම වෙන අතර, සුබ පල දෙන ග්‍රහ­ය­න්ගෙන් සිදු වන සුබ පල වැඩි වෙනවා.

නව­ග්‍රහ සෙත් ජය මංගල කවි
1. අරුණ වේලෙහි බුදුව මුණි රජ දහම් දෙසු ජය මංග­ලම්
දරුණු වස­වත් දහම් බල­යෙන් පැරදු පින්සිරි මංග­ලම්
සොබන පර­සතු මධාරා මල් අට මිටක් පිදු මංග­ලම්
හිරුගෙ අපලේ එමුණි බල­යෙන් දුරු වේවා ජය මංග­ලම්

2. පිදුව දෙද­රුන් දෙ අත් බැඳ බමු­ණාට වෙස­තුරු මංග­ලම්
සඳුගෙ විම­නෙහි එමුණි ගුණ­කින් ඇන්ද සඳ මැද මංග­ලම්
හිඳුව යහ­නෙක යශෝ­දර සැම පැවිදි වුණු ජය මංග­ලම්
සඳුගෙ අපලේ එමුනි බල­යෙන් දුරු වේවා ජය මංග­ලම්

3. දරණ ලා සිටි නා රජුන් පිට වැඩ සිටිය ජය මංග­ලම්
දෙ අග සව්වන් සහිත සඟ ගණ පිරි වැරූ ජය මංග­ලම්
සඟුන් දෙදෙනා රහත් පන්සිය සමඟ වැඩ සිටි මංග­ලම්
අඟ­හ­රුගෙ දොස එමුනි බල­යෙන් දුරු වේවා ජය මංග­ලම්

4. නොහැර ඔත්පල දෙනෙත් නැති මව් පියක් රැකි ජය මංග­ලම්
අද­හ­සින් දැඩි කරන මවුපිය නොවිඳ කී ජය මංග­ලම්
බුදුහු ගිරි මේඛලා ඇතු දැක දැපන කළ ජය මංග­ලම්
බුද­හු­ගෙන් වන අපල උව­දුරු දුරු වේවා ජය මංග­ලම්

5.රහස් උම­ගය කැපෙව් මහ ඔසු පඬි­තුමා ජය මංග­ලම්
දහස් සිය­යක් දනෝ එනු­වර යුදෙන් ගැල­වුන මංග­ලම්
දහස් සාවක පාල ධර්මය නිපුන කළ ජය මංග­ලම්
බ්‍රහ­ස්ප­ති­ගෙන් පැමිණි උව­දුරු දුරු වේවා ජය මංග­ලම්

6. එකුරු දහ­මය ලොවට පූජිත කරපු ජය සිරි මංග­ලම්
අකුරු නිපු­නව එවිසි සැට සිල්ප­යක් දැරු ජය මංග­ලම්
අකුරු පළ­මුව නිපැදු මුණි­දුගෙ බෙලෙන් වේ ජය මංග­ලම්
සිකු­රු­ගෙන් වන අපල උව­දුරු දුරු වේවා ජය මංග­ලම්

7. වෙන අයෙක් නැත යුද කර­න්නට පුත්‍ර ලෙළ දුන් මංග­ලම්
වෙන කෙනෙක් මට නැතැයි සිත­මින් දස පෙරුම් පිරු මංග­ලම්
සෙන හඬින් හඬ තලා මර­සෙන් දසත එසවූ මංග­ලම්
සෙන­සු­රා­ගෙන් පැමිණි උව­දුරු දුරු වේවා ජය මංග­ලම්

8. පාද­වත් නැව­තත් නොගත් සිරි පාද විහි­දෙව් මංග­ලම්
රාහු අසු­රිඳු එබල රජු මේ ලොවට වැඩ­මෙව් මංග­ලම්
රාහු­ලත් කුම­රුන් කෙනෙ­ක්වත් නැතැයි සිතු ඒ මංග­ලම්
රාහු­ගෙන් වන අපල උව­දුරු දුරු වේවා ජය මංග­ලම්

9. දාතු දාගැබ් වෙහෙර මහි­යං­ගණේ පිහි­ටෙව් මංග­ලම්
දාතු නාලෝ නා රජුන්ගේ බෙලෙන් වේවා මංග­ලම්
දාතු දළදා තුනු­රු­වන්ගෙ බෙලෙන් වේවා මංග­ලම්
කේතු­ගෙන් වන අපල උව­දුරු දුරු­වේවා ජය මංග­ලම්

මෙම නව ග්‍රහ සෙත් ජය­මං­ගල කවි ඔබට හැකි සෑම අව­ස්ථා­ව­කම ගායනා කර ප්‍රති­ඵල ලබා ගන්න.

සකස් කළේ, සුනිල් පොර­ම­ඬල

Comments