
මේ දිනවල තොරතෝංචියක් නොමැති වැස්සය. වැස්සත් සමඟ ඇතිවන සෞඛ්‍ය තර්ජනද සුළුවෙන් තැකිය හැකි නොවේ. වැස්සත් සමඟ මදුරු වසංගතය වැඩි වැඩියෙන් කල එළි බසින්නේ රෝග රැසකට අත වනාය. කීට විද්‍යා පර්යේෂණයන්ට අනුව බස්නාහිර පළාතේ මදුරු කීට ඝනත්වය 12%-15% අතර ඉහළ අගයක් ගත්තද, යම් ප්‍රදේශවලදී 20% ඉක්මවන අවස්ථා ද වෙයි. රත්නපුර, කෑගල්ල, ගාල්ල, යාපනය, කුරුණෑගල, පුත්තලම, මහනුවර, කළුතර, කොළඹ හා ගම්පහ යන ප්‍රදේශවල වැඩිම කීට ඝනත්වයක් පෙන්නුම් කරන අතර මේ නිසා ඉදිරියේදී ඇතිවිය හැකි සෞඛ්‍ය තර්ජන සුළුපටු නොවේ. මේ තර්ජන මැද පසුගියදා තවත් මදුරු විශේෂ දෙකක් ලංකාවේ පරිසරය තුළදී සොයා ගැනීමට කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යා දෙපාර්තමේන්තුවට හැකි වූයේ මීට වඩා ඉදිරියේ ඇතිවිය හැකි සෞඛ්‍ය තර්ජන පිළිබඳ අනතුරු හඟවමිනි.
පරිසරයේ මදුරු විශේෂ අතරින් අපේ වැඩි අවධානයක් යොමු වූයේ ඩෙංගු මදුරුවාටය. අතීතයේ නම් මැලේරියා, බරවා මදුරුවා ගැන අවධානයෙන් සිටිය ද අද වන විට එහි බරපතළ අනතුරක් නැත. නමුත් කීට විද්‍යාඥයන් පවසන්නේ ලංකාවේ පරිසරය තුළ ගණ 19 කට අයත් මදුරු විශේෂ 153 ක් ජීවත් වන බවය. පසුගියදා කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයෙන් සිදු කළ පර්යේෂණයට අනුව අමතරව නව මදුරු විශේෂ දෙකක් මේ වන විට තහවුරු කර ගෙන ඇති අතර ඉදිරියේදී තවත් නව මදුරු විශේෂ 4 ක් මෙරට සිටින බවට විද්‍යාත්මකව තහවුරු කරන්නට සූදානම්ය.
කීට විද්‍යාඥයන් මදුරු කීටයන් සම්බන්ධ පර්යේෂණයන් සිදු කරන්නේ වසර 100 ක් වැනි ඈත කාලයේ සිටය. අපට එතරම් වැදගත් නොවුණ ද අපේ සෞඛ්‍ය තර්ජන දුරලන්නට මේ සොයා ගැනීම් ගෙනෙන්නේ විශාල පිටිවහලකි. වසර දෙකක සිට කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයෙහි කීට විද්‍යා නිලධාරීන් විසින් ලංකාවේ ප්‍රදේශ කිහිපයකදී සිදු කරන පර්යේෂණයේදී මේ නව මදුරු විශේෂ දෙක සොයා ගැනුණු අතර මේ වන විට ලංකාවේ මදුරු විශේෂ 155 ක් නිල වශයෙන් හඳුනා ගෙන ඇත. එයින් මිනිස් ලේ උරා බොන මදුරු විශේෂ 50 ක් පමණ ඇත.
නව මදුරු විශේෂ දෙකක්
මේ නව මදුරු විශේෂ දෙක වන්නේ Culex(Oculeomyia) near infula හා Culex( Lophoceraomyia) cinctellus ය.
“ Culex(Oculeomyia) near infula කියන්නේ ජැපනීස් එන්සෙපලයිටීස් හෙවත් මොළයේ උණ බෝ කරන Culex infula නමැති මදුරු විශේෂයට බොහෝ සමානකම් දක්වන Cx. near infula ලෙස හඳුන්වන නව මදුරු විශේෂයක්. මොවුන් මිනිසාගේ රුධිර උරා බොනවා වගේම වැඩිපුර ආස කුරුල්ලන්ගෙන් ගේ රුධිරය උරා බොන්න. 1998 දී ඉන්දියාවේ කළ පර්යේෂණවලින් හොයා ගෙන තියෙනවා Culex infula මදුරුවා ජැපනීස් එන්සෙපලයිටීස් වාහකයෙක් බව. ඒක නිසා Cx.sp near infula කියන මදුරුවා ශ්‍රී ලංකාවේ ඉන්න බවට කළ සොයා ගැනීමේ වැදගත්කමක් තියෙනවා. ඌ ඉදිරියේදී රෝග වාහකයෙක් වීමේ සම්භාවිතාවක් තිබෙනවා. දියසෙවල් සහිත ජලජ ශාක සහිත පොකුණු, නාන ළිං, කුඹුරු ආශ්‍රිතව බෝවීම සිදුවෙනවා. මෙම මදුරු විශේෂය පළමු වරට වාර්තා වී ඇත්තේ 1966 වසරේ මධ්‍යම අප්‍රිකාවට අයත් ඇන්ගෝලා රාජ්‍යයෙන්. පසුව තායිලන්තයෙන් සහ ඉන්දියාවෙන් ද වාර්තා වුණා. අප සොයාගත් දෙවැනි මදුරු විශේෂය වන්නේ Culex (Lophoceraomyia) cinctellus. ඌ බරවා මදුරුවාට බාහිර රූපානුකූලව සමානයි. මිනිසුන්ගේ රුධිරය උරා බිවුවත්, රෝග වාහකයෙක් ලෙස ක්‍රියාකාරිත්වය තවම තහවුරු කර නෑ. සවස හයෙන් පස්සේ තමයි මිනිසුන්ගේ රුධිරය උරා බොන්නේ. මීට පෙර ඉන්දියාව ,තායිලන්තය යන රටවල මේ මදුරුවා වාර්තා වෙලා තියෙනවා. නමුත් විශේෂ කාරණය මේ මදුරුවන් බෝ වන ස්ථාන තවමත් අභිරහසක්. නමුත් ඒ පිළිබඳ දිගටම පර්යේෂණ ක්‍රියාත්මක වෙමින් පවතිනවා “ ඒ නව මදුරු විශේෂ සොයාගත් කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයෙහි පර්යේෂණ කණ්ඩායමේ කීට විද්‍යා නිලධාරී ගයන් ශ්‍රි කුමරසිංහය.
ප්‍රමිත රංගන, ගයන් ශ්‍රී කුමරසිංහ , නලින් ජයසිංහ යන සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරී කණ්ඩායම මෙම මදුරු විශේෂ දෙක සොයා ගත්තේ ගම්පහ මීරිගම ප්‍රදේශ ආශ්‍රිතවය. මෙම පර්යේෂණ කාර්යයයේදී මදුරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා උගුල් වර්ග 05ක් යොදා ගැනීමට කටයුතු කර තිබිණි.
ගවයෙකු උගුලක් ලෙස - Cattle baited trap, මිනිසුන් උගුලක් ලෙස - Human baited night collection, සුනඛයකු උගුලක් ලෙස Dog baited trap, කුරුල්ලකු උගුලක් ලෙස - Bird baited trap හා ආලෝක උගුල්, - light trap ය. අඛණ්ඩව දින 07ක් පුරා දිවා සහ රාත්‍රි කාලයේ දී කරන ලද පරීක්ෂණයේ දී විශේෂ 47 කට අයත් මදුරුවන් 4520 ක් උගුල්වලට හසු කරගැනීමට හැකි විය.
කුරුලු උගුලක් මඟින් හසුකර ගත්තද මොවුන් මිනිස් ලේ උරා බොන ප්‍රභේදයකි. අනතුරුව මොවුන්ගේ ජානමය විශ්ලේෂණ තහවුරු කරගැනීම් සඳහා දකුණු කොරියානු රසායනාගාරයකටද යැවූ අතර, අග්නිදිග විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය තාරක රණතුංග, වයඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ලහිරු උදයංග සහාය වී ඇත. මේ කාර්යයට වෛද්‍ය පර්යේෂණායතනයේ නව අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර, කීට විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය වර්ධා රිෆායි, වැ.බ අංශ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස ඊට සහාය දී ඇත.
ඩෙංගු මදුරුවා
කීට විද්‍යාඥයන්ට අනුව මිනිස් ලේ උරා බොන්නේ ගැහැනු මදුරුවා පමණි. එ් බිත්තර දැමීම සඳහා අවශ්‍ය ප්‍රෝටීන් නිෂ්පාදනයටය. කෙසේ වෙතත් ලේ උරා බොන මදුරු විශේෂ අතර ඩෙංගු මදුරුවාට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ඩෙංගු වාහක මදුරුවන් වන්නේ aedes aegypti හා aedes-albopictus ය. කීට විද්‍යාඥයන් හා ඒ පිළිබඳ පර්යේෂණය කරන්නන් පවසන්නේ මේ වන විට ඩෙංගු මදුරුවන්ගේ ජීවන චක්‍රයේ පැහැදිලි වෙනස්වීම් රැසක් සිදු වී ඇති බවයි. අධික වර්ෂාවත් සමඟ මේ වසරේ වැඩිම ඩෙංගු රෝගි ව්‍යාප්තියක් වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි මාසයේදීය.
“ බස්නාහිර පළාතේ වැඩිම මදුරු කීට ඝනත්වයක් පෙන්නුම් කරනවා. ඉදිරියේදි තවත් ඩෙංගු රෝගින්ගේ ව්‍යාප්තියක් පෙන්නුම් කළ හැකියි. එසේම නිවාස තුළ ඇති භාජනවල ඩෙංගු බිත්තර දැමීම ඉදිරියේදී ඉහළ යා හැකි බව අනුමාන කරනවා. මේ වන විට ඇතිවී ඇති අධික වර්ෂා තත්ත්වය මෙන්ම වර්ෂාව අහවර වී සති දෙකක කාලයක් තුළ බිත්තර දැමීම සිදු වෙනවා. මේ නිසා ඩෙංගු රෝග පාලනය ගැන වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු වෙනවා. මේ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් 49,828 වාර්තා වුණා..“ ඒ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරී සංගමයේ සභාපති නජිත් සුමනසේනය.
කීට විද්‍යාඥයන්ගේ නවතම පර්යේෂණයන්ට අනුව ඩෙංගු මදුරුවා බිත්තර දැමීම සිදු කරන්නේ වතුර භාජනයේ වට රවුමේය. ඒ සඳහා හිරු එළිය විනිවිද යන පැහැදිලි වතුර අවශ්‍ය වෙයි. භාජනය අඳුරු වීම, කළුවර ස්ථානයක ඊට කදිම පසුබිමක් සපයයි. ඩෙංගු කීට බිත්තර පිපිරවීම් සිදුවන්නේ මසක් පමණ පරණ වූ පසුය. ඒ සඳහා කාලතරණයට හැඩ ගැසුණු බිත්තර කටුවක් ඇත. වතුර නැතිව වුවද මාසයක් දෙකක් වුවද මේ බිත්තර නොනැසී පවතින අතර යළි කෙදිනක හෝ වතුර ලැබුණු පසු මේ බිත්තර සක්‍රීය වී පිපිරෙන්නට පටන් ගනියි. කීට විද්‍යාඥයන් පවසන්නේ පොල්කටු, ටින් බෙලෙක්කවල කලින් බිත්තර දැමූවද දැන් සුද්ද පවිත්‍ර කරන නිසාවෙන් ඩෙංගු මදුරුවන් සිය බිත්තර දැමීමට ඉහළ ස්ථාන කරා පියාඹා යන බවයි. වැස්ස ඇතිද නැතුවද නිවෙස් තුළ වූ භාජනවල බිත්තර දැමීම සිදු කරන අතර අප කිසිදු අයුරකින් විශ්වාස නොකරන ස්ථානවලද මොවුහු බිත්තර දැමීමට පෙලඹෙති.
බරවා මදුරුවා
මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් නොවන ආකාරයට බරවා ලංකාවෙන් තුරන් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනුම් දුන්නේ 2016 වසරේදීය. බරවා රෝගයේ ප්‍රධාන වාහකයා වන්නේ Culex-quinquefasciatus මදුරුවාය. බරවා රෝගීන්ගේ වාර්තා වීමේ අඩු අගයක් ගත්තද එයින් පවසන්නේ මේ මදුරුවා අපේ පරිසරයේ නොගැවසෙන බව නොවේ. ලංකාවේ බරවා මදුරුවා වාසය කළද රෝගී වාහකයන් අවම වීම මේ බරවා රෝගය අවම වීමට ප්‍රධාන කරුණකි. ජාතික බරවා මර්දන ව්‍යාපාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනි සමරසිංහ පවසන්නේ මේ වසරේ ගත වූ මාස 10 තුළ රෝගීන් 32 ක් වාර්තා වී ඇති බවකි.
“මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස බරවා ලංකාවෙන් තුරන් කර තියෙනවා. නමුත් විදේශිකයන් ලංකාවට පැමිණීමේදී බරවා පරීක්ෂණ (IMO)සිදු කිරීම අත්‍යවශ්‍යයයි. පසුගිය කාලයේ හමුවූ රෝගින්ගෙන් බොහොමයක් විදෙස් සංක්‍රමණිකයන්. මේ වසරේ රෝගීන් 32 ගෙන් 22 ක්ම සංක්‍රමණිකයන්. 2018 වසරේ සිට මේ පරීක්ෂා කිරීම් කරන්නේ යම් ආකාරයක රෝගින් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති වූ නිසා. එවැනි රෝගින් රට තුළට පැමිණියොත් මේ මදුරුවා හරහා යළි ව්‍යාප්තියක් සිදු විය හැකියි. බරවා රෝගයේ මරණීය තත්ත්වයක් දකින්නට නැහැ.
නමුත් වසා පද්ධතිය දක්වා මේ තත්ත්වය ගමන් කර සංකූලතා ඇතිවිය හැකියි. එසේම මේ වන විට අලුතෙන් හඳුනාගෙන ඇති මදුරු විශේෂ දෙක බරවා පතුරු වන බවට තවමත් ඔප්පු කර නැහැ.“ ඒ ජාතික බරවා මර්දන ව්‍යාපාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනි සමරසිංහය.
මැලේරියා මදුරුවා
මැලේරියා ප්‍රධාන වාහකයා වන Anopheles culicifacies මදුරුවාය. නමුත් මෑතකදී Anopheles stephensi නමින් උතුරු පළාතෙන් නව මැලේරියා වාහකයෙක් සොයා ගත්තේය. ලංකාවෙන් මැලේරියා රෝගය තුරන් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධාන සහතිකය ලැබුණේ 2016 වසරේදීය. 2007 න් පසු කිසිදු මැලේරියා මරණයක් වාර්තා නොවීය. එසේම 2012 වසරින් පසු රට තුළ මැලේරියා රෝගයේ පැතිරීමක්ද වාර්තා නොවුණි. කෙසේ වුවත් මැලේරියා අවදානමක්ද ඇති හෙයින් ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය නිරන්තරයෙන් අවධානයෙන් පසුවන්නේ දෙස් විදෙස් සංක්‍රමණිකයන් හරහා රෝග ව්‍යාප්තියක් සිදුවීමේ අවකාශය අඩු කිරීමටය. මේ වන විට ලොව මැලේරියා අවදානම් රජ්‍යයන් 95ක් හඳුනාගෙන ඇත.
“ රට පුරා මේ මදුරුවා ව්‍යාප්තිව ඇති නිසා පරපෝෂිතයකු වූ විදේශිකයකු අපේ ලංකාවට ආවොත් යළි මැලේරියා අවදානමක් ඇතිවිය හැකියි. අපේ ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන කාර්ය වී ඇත්තේ රෝගය නැවත ප්‍රතිෂ්ඨාපනය වීම වැළැක්වීමයි. ඒ නිසා ආවේක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් විය යුතු වෙනවා. යම් ප්‍රදේශයකින් රෝගියකු වාර්තා වුණොත් අපි ඒ ප්‍රදේශය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කීට විද්‍යාත්මක ආවේක්ෂ්‍යා හා ආශ්‍රිතයන්ගේ රුධිර පරීක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කරනවා.
අපේ රට මැලේරියා කලාපයේ එක තුළ ඇති රටක්. ඒ නිසා මැලේරියා අවදානම් රටවලින් පැමිණෙන දේශීය හා විදේශිකයින් ගැන විශේෂ අවධානයකින් පසුවිය යුතුයි. 2021 වසරේ හමුවූ රෝගින් 26 න් 24 ක්ම හා 2022 වසරේ හමු වූ රෝගීන් 32 න් 30 ක්ම අප්‍රිකානු රටවලින් පැමිණි රෝගීන්. මේ නිසා මැලේරියා මර්දන ව්‍යාපාරයේදී අවදානම් ඛාණ්ඩ හඳුනා ගැනීම ඉතා වැදගත්. අප්‍රිකානු රටවලට ව්‍යාපාර කටයුතු සඳහා යන මැණික් ව්‍යාපාරිකයන්, අප්‍රිකානු රටවලට ගිය ත්‍රිවිඩ හමුදා නිලධාරින්, මැලේරියා අවදානම් රටවල රැකියාවට යන අය, ඉන්දීය වන්දනාවේ යන අය, විදේශීය ශ්‍රමිකයන් අවදානම් කාණ්ඩ ලෙස හඳනාගෙන රුධිර පරීක්ෂා කිරීම් කරනවා.“ ඒ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය නිලධාරී ගයානි රණසිංහය. ඔවුන් පවසන පරිදි ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මැලේරියා මර්දන කාර්යාලයක් පැවැති හෙයින් අවදානමක් ඇති අයට එහි පැමිණ පරීක්ෂා කරවා ගත හැකියි. 0117626626 දුරකතන අංකය ඒ සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වෙයි.