මාළිගාවත්තේ උණ්ඩියල් රැජින ඉන්දියාවේදී මෙරට කෝටිපතියන්ට ගේම දුන්න හැටි | සිළුමිණ

මාළිගාවත්තේ උණ්ඩියල් රැජින ඉන්දියාවේදී මෙරට කෝටිපතියන්ට ගේම දුන්න හැටි

- ෆාතිමා මාසයකට දහදොළොස්වතාවක් ඉන්දියා හා ඩුබායි ගිහින්
- ඉෂාඩ්, ෆාතිමා සමඟ පෙමින් වෙළී රැඟූ අනඟ රැඟුම් ෆාතිමා වීඩියෝ කරලා. ඒවා පෙන්නා ඉෂාඩ්ගෙන් ලක්ෂ 70ක කප්පමක් ඉල්ලලා

දූපත් රාජ්‍යයක් වන මැඩගස්කරයේ මැණික් ඉල්ලම් සොයා විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයෝ මේ වන විට බොහෝය. ඒ අයගෙන් වැඩි පිරිසක් ගැවසෙන්නේ ඉලකාකාවලය. රත්නපුරයේ ප්‍රබල මැණික් ව්‍යාපාරිකයන් මෙන්ම අප්‍රකට මැණික් ව්‍යාපාරිකයෝ ද මැඩගස්කරයේ අද රජ කරති. ඒ අතර බේරුවල පැත්තේ සිටින මැණික් ව්‍යාපාරිකයන් ද නැත්තේම නැත.

බේරුවල පැත්තේ සිටින ඇතැම් ව්‍යාපාරිකයන් මැඩගස්කරය පැත්තේ කරක් ගසන්නේ කීයක් හෝ අඩුවට මැණික් ගල් ටිකක් රැගෙන විත් රත්නපුරයේ නිල් කැට යැයි කියා සුද්දන්ට විකුණා කීයක් හරි සොයා ගන්නටය. මේ නිසාම බේරුවල පැත්තේ අප්‍රකට මැණික් ව්‍යාපාරිකයෝ රැසක්ම අද වන විට බිහිවී සිටිති. ඒ අතර මැඩගස්කරයෙන් වගේම රත්නපුරයෙන්ද මැණික් කැට ටිකක් එකතු කරගෙන ඉන්දියානු වෙළදපොළට රැගෙන යන ව්‍යාපාරිකයන්ද නැත්තේම නැත. 

ඉෂාඩ් ද බේරුවල පැත්තේ සිටින එවැනි මැණික් ව්‍යපාරිකයෙකි. නම කියූ සැණින් රටම දන්නා කියන මැණික් ව්‍යාපාරිකයෙක් නොවූවත් ඔහු මැණික් කර්මාන්තය තුළ සිටින ව්‍යාපාරිකයන් අතර නම කියූ සැණින් දන්නා කියන තැනැත්තෙකි. ප්‍රකෝටිපතියෙක් වූවත් ඉෂාඩ් සිය සමාජය තුළ පිළිගැනෙන්නේ සරල ගති පැවතුම් ඇතිව ආගම දහමට මුල්තැන දෙමින් ජීවත් වන්නෙක් ලෙසිනි.

කොවිඩ් වසංගත තත්ත්වය මෙන්ම රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ විදේශිකයන් මෙරටට පැමිණීමේ ප්‍රවණතාව හීන වීමට පටන් ගැනීමත් සමඟ ඉෂාඩ් වැඩි අවධානයක් යොමු කරනු ලැබුවේ ඉන්දියානු වෙළඳපොළට පිවිසෙන්නටය. ඉෂාඩ්ට ඉන්දියාවට නිතර යන්නට එන්නට සිදු වූයේ මේ නිසාමය. නමුත් ඒ ඉන්දියානු ගමන මැණික් ව්‍යාපාරික කටයුතු සඳහාම පමණක් සීමාවූවක් යැයිම කියන්නට බැරිය. ඒ අප්‍රකට ව්‍යාපාරික කටයුතු ද ඒ ගමනේදී සිදු වූ බැවිනි.

මසකට වරක් දෙවරක් ඉන්දියාවට යන එන ඉෂාඩ් පසුගිය ඔක්තෝබර් දෙවැනි සතියේ රැදී සිටියේ ඉන්දියාවේ චෙන්නායි නුවරය. දින කිහිපයක් ව්‍යාපාරික කටයුතු රැසක නිරතවූ ඉෂාඩ්ට චෙන්නායි හීදී ෆාතිමාව මුණගැසෙන්නේ අහඹු ලෙසිනි. ඒ ඔක්තෝබර් 12වෙනිදාය. තිස් තුන් හැවිරිදි ඇය දරුවන් තිදෙනෙකුගේ මවක් වූවාය. මාළිගාවත්තේ ජුම්මා මස්ජිත් පාරේ පදිංචිව සිටි ඇය ඉන්දියාවට පැමිණ තිබුණේ එහෙම් පිටින්ම හොර වැඩ ගොඩකටය. ඇය නම් කියන්නට වූයේ ඉන්දියාවෙන් ලංකාවට රෙදි පිළි රැගෙන යන්නට පැමිණි බවකි.

අපේ රටේ මත්කුඩු ජාවාරම් ඇතුළු නීති විරෝධි ජාවාරම්වලින් උපයා ගන්නා මුදල් වැඩි වශයෙන් පිට රටවලට ඇදී යන්නේ උණ්ඩියල් ක්‍රමයටය. ඊට අමතරව විදේශ මුදල් ජාවාරම්වල නිරතව සිටින පුද්ගලයන් එම මුදල් රටවල් අතර රැගෙන යාමට නියෝජිතයන් පත් කරගෙන සිටිති. ෆාතිමා එවන් ජාවාරම්කරුවන්ගේ නියෝජිතවරියක් යැයි සඳහන් කළහොත් වරදක් නැති තරම්ය.

ඇය කරන්නේ සිය රහස් තැන්වල සහ ගමන් මලුවල සඟවා ගෙන එම නෝට්ටු රටින් පිට කිරීමය. වැඩි හරියක් ඇය එසේ නෝට්ටු තොග පිටින් රටින් රැගෙන යන්නේ ඩුබායි වෙතය. ඇය ඒ යන්නේද ඩුබායි හි සංචාරයේ නිතර වන ගුවන් මගියෙක් ලෙසිනි. ශ්‍රී ලංකාවේ පමණක් නොව, ඩුබායි රේගුවේත් ඇස් වසා ඇය මේ වැඩේ කාලයක් තිස්සේ කරන්නේය.

රට සල්ලි අරගෙන ඩුබායි යන ඇය නැවත ලංකාවට එන්නේ හිස් අතින් නොවේ. ඒ රැගෙන ගිය මුදල් තොගයේ වටිනාකමට නොදැවෙනි ප්‍රමාණයක රන් භාණ්ඩ ගොන්නක් ඇඟලාගෙනය. එකවර ඇය රැගෙන එන රන් භාණ්ඩ ප්‍රමාණය කෝටියකට දෙකකට වැඩිය. ඒ හැරුණු විට රට සිගරට්, ජංගම දුරකතන වැනි බොහෝ දේවල් සමඟ රේගුවේත් ඇස් වසා ගුවන් තොටුපොළින් ඇය එළියට පනින්නීය.

ඇගේ සියලු සෙල්ලම් ඇත්තේ ලංකාවත් ඩුබායිත් අතර පමණක් නොව, මේ සෙල්ලම ඇය ලංකාවත් ඉන්දියාවත් අතරද කරන්නට විය. ඇය මේ රටවල් දෙක අතර කරන්නේ රන් ජාවාරමකි. ඒ හැරුණු විට ඒ අස්සේ නීති විරෝධි තවත් බොහෝ ඡාවාරම්වල ඇය නිරතව සිටියේ පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් සමඟද බද්ධ වෙමිනි.

ඇයට ඩුබායි යනවා කියන්නේත් ඉන්දියාවට යනවා කියන්නේත් උදේවරුවේ ගෙයින් එළියට බැස ඥාති මිත්‍රෙයකුගේ නිවසකට ගොස් නැවත සවසට නිවසට පැමිණෙනවා වැනි තවත් එක් ගමනක් පමණි. ඇතැම් අවස්ථාවෙලදී ඇය පාන්දර ජාමේ ඩුබායි ගොස් මැදියමේ නැවත එන්නේ හිතා ගන්නටවත් බැරි විදිහටය. මසකට වරක් දෙවරක් මෙවැනි දවසේ ගමන් ඇයට වරදින්නේද නැති තරම්ය. ඇය ඒ ගමන් යන්නේ තවත් ගැහැනු දෙතුන් දෙනෙක්වද රැගෙනය. ඇගේ ඒ දවසේ ඩුබායි ගමන අදටත් ඇත්තේ අභිරහසක් ලෙසිනි.

ඇතැම් මාසවල ඇය ඩුබායි හා ඉන්දියාවට යන එන වාර ගණන දහ පහළොස් වතාවකට වැඩිය. ඒ තරමට ඇය මේ ජාවාරම හා බද්ධව සිටියාය. එසේ ඇය වැඩි වාර ගණනක් මේ රටවල් දෙක අතර සැරිසැරුවද ඇයව කිසිදු නීතී විරෝධි කටයුත්තකට හෝ නීති විරෝධි ජාවාරමකට කොටුවී නොතිබුණාය. ඇයව කොටු කර ගැනීමටද රේගුවට හැකියාවක් නොවීය. එය එසේ වූයේ රේගුවේ අල්ලන්නට ඕනේ හැම තැනක්ම ඇයව මෙහෙය වන මහ මොළකරුවන් විසින් අල්ලා ගෙන සිටි නිසා වන්නට පුළුවනි. එසේ නැති නම් මාසයකට දහ දොළොස් වතාවක් ඩුබායි සහ ඉන්දියාවේ යන එන ඇය දෙස රේගු ඇස යොමු විය යුතුමය. එය එසේ නොවන්නේ ඇයි දැයි දන්නෝ දනිති.

ෆාතිමා පිළිබඳ මේ කිසිවක් නොදත් ඉෂාඩ් ඒ මුල්ම හමුවේදී ඇයට වහ වැටුණේය. ඒ ඇගේ රූපයේ සුන්දරත්වයට යැයි කියන්නට බැරිය. ඒ ඇය රූප සුන්දරියක් නොවූ බැවිනි. එහෙත් ඇයට ඉෂාඩ්ගේ සිත බැඳුණේය. ඒ නිසාම සිය අඹු දරුවන් මොහොතකට අමතක කළ ඉෂාඩ් ඇයව තමා නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයට කැඳවාගෙන ගියේ ඇගේ ද කැමැත්ත ඇතිවය. ඒ වරක් දෙවරක් නොව, කිහිප විටක්ම ඇය සමඟ ඔහු පෙමින් වෙළෙමිනි.

ඉන්දියාවට පැමිණි වැඩේ අවසන් කර ෆාතිමා චෙන්නායි නුවරින් පිටත්වන්නට වූයේ පසුගිය 14 වෙනිදාය. ඇයව තවත් දවසක් දෙකක් චෙන්නායි හි රඳවා ගැනීමට ඉෂාඩ් උත්සහ ගත්තත් ඇයට එසේ වැඩි කාලයක් එරට රැදී සිටීමට ඉඩක් නොවූවාය. ඒ ඇය චෙන්නායි නුවර සිට නැවත ලංකාවට ගමන් කරන්නට වූයේ හිස් අතින් නොවූ බැවිනි. ඒ යන විට ඇයට තෑගි බෝගවලින් පමණක් නොව මිල මුදලින්ද සංග්‍රහ කරන්නටද ඉෂාඩ් අමතක නොකළේය. ඒ ඇය සමඟ ඒ ගත කළ කාලය ඔහුට මිහිරිම මතකයන්ගෙන් පිරුණු එකක් වූ නිසා වන්නට ඇත.

ඒ යැයි කියා ෆාතිමා සමඟ දීර්ඝ සම්බන්ධයකට මුල පුරන්නට කිසිසේත්ම ඔහුට සූදානමක් නොවීය. චෙන්නායි නුවරින් සියල්ල අමතක කර දමන්නට ඉෂාඩ් සිතාගත්තත් ඔහුට පෙර ලංකාවට ගිය ෆාතිමා ඉෂාඩ්ගේ ජංගම දුරකතනයට වට්ස් ඇප් මඟින් වීඩියෝවක් එවන්නේ “ වීඩියෝ එක ලස්සනද බලන්න“ යැයි කියාය.

එම වීඩියෝව දුටු ඉෂාඩ්ගේ දෑස් උඩ ගියේය. එහි පටිගත වී තිබුුණේ ෆාතිමා සමඟ ඔහු චෙන්නායි හි හෝටල් කාමරයේ එකිනෙකා සිප වැලඳගනිමින් අමු නිරුවතින් රඟන රැඟුම්ය.

එම දර්ශන පටිගතකර තිබුණේ ෆාතිමාය. ඒ ඇගේ ජංගම දුරකතනයෙනි. හෝටල් කාමරයේ තිබුණු කණ්නාඩි මේසය මත ඇය දුරකතනය තබා එහි කැමරාව නිදන ඇද මතට සමීප කර සියල්ල පටිගත කර තිබුණේ ඉෂාඩ්ට නොදැනෙන්නටය.

“ ඇයි ෆාතිමා ඔයා මේ වගේ දෙයක් කළේ.“ ඉෂාඩ් ඇගෙන් විමසුවේය.

“මේවා ඔයාගේ දුවගේ ෆෝන් එකට ගියොත් කොහොමට හිටීවිද? පුතාගේ ෆෝන් එකට ගියොත්? ඊටත් වඩා නියමයි වයිෆ්ගේ ෆෝන් එකට ගියොත්“ ඇය ඉෂාඩ් ට මෙවැනි දේ කියන්නට ගත්තාය.

“අපි මේ වීඩියෝව ෆේස්බුක් දාමු නේද?“ යැයිද ඇය කියන්නට වූවාය.

ඇය මේ දේවල් කියමින් ඉෂාඩ්ව කලබල කරන විට ඔහුට සිතෙන්නේ ගඟකට මුහුදකට පැන සිය දිවි හානිකර ගන්නටය. එහෙත් ඔහුගේ ආගමට අනුව එය බරපතළ වරදක් වූ බැවින් ඔහු එම සිතුවිලි නැවත යටපත් කර ගත්තේය.

“ඔයා මගෙන් මොනවද ඉල්ලන්නේ“ ඉෂාඩ් ඇගෙන් ඇසුවේ ඇය එන්නේ මොකාටදැයි වටහා ගත් බැවිනි.

“ ඔයාට දැන්නේ තේරුණේ“ යැයි කියමින් වීඩියෝව ප්‍රසිද්ධ නොකර සිටීමට ඇය ඔහුගෙන් ඉල්ලා සිටින්නට වූයේ රුපියල් ලක්ෂ 70 ක මුදලකි.

මේ සිදුවීම වන විට ඉෂාඩ් සිටියේ ඉන්දියාවේය. ෆාතිමා සිටියේ ලංකාවේය. ඇය මෙම තර්ජනය ඉෂාඩ්ට කරන්නේ ඉන්දියාවේ සිට ලංකාවට පැමිණීමත් සමඟිනි. ඉෂාඩ් සමාජයේ හොඳ නරක දොකොට්ඨාසයම ඇසුරු කළේය. ෆාතිමාට වැඩක් දෙන්නට පවා හයියක් ඉෂාඩ්ට තිබුණත් ඊට වඩා ෆාතිමා බලවත් තැනැත්තියක් බව ඇය ගැන කළ සොයා බැලීමේදී ඉෂාඩ්ට වැටහු‍‍ණේය.

ඒ ඉල්ලන මුදල ලබාදී ගැළවෙනවා හැරුණු කොට වෙන කිසිදු විකල්පයක් නොමැති බව ඉෂාඩ්ට වැටහුණේය. ඉන්දියාවේදී ඇයව මුණ ගැසුණු විට ඇය කාගේ කවුරුන්දැයි කියාවත් ඉෂාඩ් සොයා බලන්නට ගියේ නැත. ඉෂාඩ් කළේ ඔහුට ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන තාවකාලික පෙම්වතුන් බවට පත්වී ඇගෙන් සතුටු වීම පමණි. ඉන්දියානු සංචාරවලදී ඉෂාඩ් ට මෙවැනි දේවල් අරුමයක් නොවූවත් මෙම අවස්ථාවේදී මෙවන් දෙයක් සිදු වේවි යැයි ඔහු සිහිනෙකින් වත් සිතුවේ නැත. දැන් ඉතින් වැඩේ කණපිට හැරී හමාරය. කළ යුත්තේ කීයක් හෝ ඇගේ අත මිට මොළවා ගොඩින් සියල්ල විසඳා ගැනීම බව ඉෂාඩ් කල්පනා කළේය. ඔහු ඉකුත් 14 වෙනිදා ඉන්දියාවේ සිටියදීම ලංකාවේ සිටින සිය ව්‍යාපාරික සගයකුට කතා කර ඇය විසින් ලබා දුන් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ 10 ක මුදලක් බැර කළේ ඒ නිසාමය.

“ඔයා හිතුවද මට ලක්ෂ 10ක් දීල වැඩේ ඉවර කරන්න. මම ඉල්ලපු මුළු ගානම ඕනේ. නැති උනොත් හැම දෙයක්ම පවුලේ අයට කියල මේ වීඩියෝ එක එයාලට දෙනවා තමුන්ගේ වැඩ එයාලටත් බලා ගන්නත් එක්කල. “ ඇය එවර ඔහුට ඇමතුවේ තර්ජනාත්මකවය. 

ඇය එසේ ඉෂාඩ්ට තර්ජනය කරන්නට වූයේ අතට අහු වුණු මාළුවා නැවත මුහුදට දමන්නට තරම් ඇය එතරම් කැමැත්තක් නොදැක්වූ බැවිනි. තමා ඉල්ලන ඕනෑම ගාණක් දීමට ඉෂාඩ් සූදානමින් සිටින බව ෆාතිමා දැන සිටියාය. ඉෂාඩ් ගැන ෆාතිමාට හොඳ අවබෝධයක් ලැබෙන්නේ හෝටල් කාමරය තුළ දෙදෙනා එකට තුරුලු වී සිටියදී ඔහු කළ කී දෑ වලිනි. ඉෂාඩ්ගෙන් ලොකු ගාණක් ඉල්ලා සිටින්නට තරම් ඇය පෙලඹෙන්නේ ඒ නිසාමය.

ඇය බේරුවල පැත්තේ කරක් ගසමින් ඉෂාඩ්ගේ පවුලේ විස්තර ද රැස් කරනන්නට පටන් ගත්තේ ඉෂාඩ්ව තව තවත් සිරකර කරන්නටය. ඉෂාඩ්ගේ දියණිය අධ්‍යාපනය ලබන පාසල අසල රැක සිටිමින් ඇය පාසල නිමවී නිවසට එන ඡායාරූපයක්ද නිවසේ ඡායාරූපයක්ද ගත් ෆාතිමා ඒ හැම එකක්ම විටෙන් විට ඉෂාඩ්ගේ ජංගම දුරකතනයට වට්ස් ඇප් මගින් යොමු කළාය. මේ තුළින් ඉෂාඩ්ට ඇය එල්ල කරන්නට වූයේ දැඩි පීඩනයකි.

ඒ නිසාම ඉන්දියාවේ සිට පැමිණි මොහො‍තේ සිටම ඉෂාඩ් දස අතේ කල්පනා කරන්නට වූයේ තමා මේ පැටළුණු උගුලෙන් ගැළවෙන්නේ කෙසේ දැයි කියාය. ලැජ්ජාව නිසා ඔහුට මේ ගැන කියන්නට පවා කිසිවෙක් නොවීය. ලක්ෂ හැටක් නොව, කෝටියක් දුන්නත් ඇගේ කරදරය අවසන් නොවන බව ඉෂාඩ්ට ඒ වන විටත් වැටහී තිබුණේය. පැවැති තත්ත්වය හමුවේ ඇගෙන් ගැලවෙන්නට විකල්පයක් නොවූ තැන තමා දන්නා කියන පොලිස් ප්‍රධානියකුට මේ ගැන කියන්නට ඉෂාඩ් තීරණය කරන්නේ ඒ නිසාමය.

ඉෂාඩ්ගේ කතාව ඇසූ පොලිස් ප්‍රධානියාට වැටහෙන්නේ ඔහු මේ හසුවී සිටින්නේ එසේ මෙසේ අම්මණ්ඩියකුට නොවන බවය. ඒ නිසාම පොලිස් ප්‍රධානියා තීරණය කරනුයේ විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා සැලසුම් සහගත වැටලීමකින් ඇයව කොටු කර ගන්නටය. එම වගකීම පැවරෙන්නේ කළුතර කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාසගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයටය.

එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර ප්‍රමුඛ නිලධාරීන් පසුගිය 17 වෙනිදා බේරුවල පොලිස් ස්ථානය අසල රැකවල් ලාගෙන සිටින්නේ ඉෂාඩ්ගෙන් රුපියල් ලක්ෂ 60ක් රැගෙන යන්නට ෆාතිමා පැමිණෙන තුරුය. ලක්ෂ 10කින් සෑහීමකට පත් නොවූ තමා වැඩි තණ්හාවට ගොස් ඒ වන විට පොලිස් උගුලකට හසුවී ඇති බව ඇයට නොදැණුනාය. කුලියට ගත් මෝටර් රථයකින් මාළිගාවත්තේ සිට එන්නේ ලක්ෂ 60 ක් අතට ගෙන මාරු වන්නට සිතාගෙනය.

පොලිසියේ සැලසුමට අනුව ඉෂාඩ් සල්ලි මල්ලක්ද රැගෙන බේරුවල පොලිස් ස්ථානය කිට්ටුව රැඳී සිටියේ ඇයට දෙන්නටය. මුදල් රැගෙන යන්නට ඇයට බේරුවල පොලිස් ස්ථානය අසලට එන්නට යැයි කියන්නේද ඉෂාඩ්ය. ඒ පොලිසියේ සැලසුමකට අනුවය. මේ කිසිවක් නොදත් ෆාතිමා බේරුවල පොලිස් ස්ථානය අසලට පැමිණ ඉෂාඩ්ගේ අතින් මුදල් පිරවූ බෑගය අතට ගත්තා පමණි. තැන තැන සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් අවි අමෝරා ගෙන මෝටර් රථය වට කර ගන්නේ පළා යාමට කිසිදු ඉඩක් නොතබමිනි. ඇයව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් මුලින්ම සිය භාරයට ගන්නේ ඇගේ ජංගම දුරකතනයි. එහි අගුල් ඇර ගබඩාවී ඇති වීඩියෝ දර්ශන එකින් එක පරීක්ෂා කිරීමේදී එයින් එළියට එන්නේ ඉෂාඩ්ව බිය ගැන්වීමට ෆාතිමා විසින් යොමු කළ විනාඩි දෙක තුනක වීඩියෝව පමණක් නොව පැයක් හමාරක් පුරා දෙදෙනා කාමරයේ කළ කී දෑ ගැන හිතා ගන්නවත් බැරි තරමේ අමුතු දේවල් කරන සම්පූර්ණ වීඩියෝවමය.

ෆාතිමාගේ දුරකතනයෙන් එළියට පනින්නේ එම වීඩියෝව පමණක් නොව, ඇය ඩුබායි සහ ඉන්දියාවට නිතර ගමන් කරමින් කරන ජාවාරම් ගැන හැම දෙයක්ම ඒ එළියට ආවේය. රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල කරමින් සිදු කරන රන් සහ උණ්ඩියල් ජාවාරමක සැඟවුණු රහස් මෙන්ම එම ජාවාරම්වල මහ මොළකරුවන් රැසක් ගැන තොරතුරුද ඒ තුළ ගැබ්වී තිබුණේය. නිරුවත පෙන්වා ඉෂාඩ්ව බිය ගන්වා කප්පම් ගැනීමට ගිය ෆාතිමා දැන් ඉන්නේ හිර ගෙදරය. ඇය එසේ හිර බිත්ති හතර තුළ කොටුවන විට දැන් පොලිස් විමර්ශන පැවැත්වෙමින් ඇත්තේ ෆාතිමාගේ ජංගම දුරකතනයෙන් එළියට ආ එම ජාවාරම් ගැන සහ ඒ පිටුපස සිටින මහ මොළ කොටුකර ගැනීමටය.

ඡායාරූප- විනිතා මානෙල් - හල්තොට සමූහ

Comments