මැරෙන්නත් බය හිතෙන මිනී පෙට්ටි මිල | සිළුමිණ

මැරෙන්නත් බය හිතෙන මිනී පෙට්ටි මිල

- හර්ස් විදිහට රෙජිස්ටර් කරපු වාහනවලට වැඩියෙන් ඉන්ධන 
- රුපියල් 70,000 පෙට්ටිය 150,000 ට නගී
- මළගෙවල්වලත් තියෙන සීසන්-ඕෆ් සීසන්
- පෙර ගෙවුම් මිනී පෙට්ටි එයි
- ඩොලර් නැතුව මිනී පෙට්ටියට ගන්න පුළුවන් ලංකාවේ ලෑලි විතරයි
- මල්වඩමක අඩුම මිල රුපියල් 5,500යි

මාතර බත් කඩේ බුදුන්ට දෙවියන්ට උදේට පහන තියා ප්‍රාර්ථනා කරන්නේ බිස්නස් එදාට වැඩිවන්නට කියාය. සැලුන් එකේ බාබර් උදේට බුදුන්ට පහන තියා හඳුන්කූරු ගසා ප්‍රාර්ථනා කරන්නේ අද කොණ්ඩය, රැවුල කපන්න එන ප්‍රමාණය වැඩි වේවා! වැඩි වේවා!! කියාය.

එතකොට මිනී පෙට්ටි සාප්පුවේ?

මිනී පෙට්ටි සාපුවේ මුදලාලි ද උදේට දෙවියන්ට බුදුන්ට පහන තියා කියන්නේ අද වැඩි වැඩියෙන් බිස්නස් වැඩි වේවා, වැඩි වේවා කියා ය. ඒ කියන්නේ අද වැඩි වැඩියෙන් මිනිසුන් ජන්මාන්තරගත වීමට හේතු වාසනා වේවා යැයි නොවේද?

මරණය වූ කලි මේ ලිපිය ලියන මටත් කියවන ඔබටත් වගේම කාටත් අකමැත්තෙන් වුවත් යන්නට සිදු වන අවසන් ගමනය. එළිස‍ෙබත් රැජනට ද මරණය උරුම විය. මහ රැජන මළා යයි කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ ඊට එහා වෙදකමක් නැති බවය. ඇතමකු හාස්‍යයට කියන්නේ “මැරෙනවා කියන්නේ පණ යන වැඩක්” කියාය.

ලබා ගත් සේවය ගැන සේවාදායකයා ගුණ හෝ දොස් නොකියන එකම සේවය අවමංගල සේවයයි. ඒ කියන්නේ මිනී පෙට්ටියේ උඩුකුරුව වැතිර සිටින පුද්ගලයා කවදාවත් තමන්ට ලබා දුන් සේවය ගැන කියන්නට නොයන්නේ ඔහු අවසන් නින්දේ සැතපී ඉන්න නිසාය.

ගෙවීම්වලදී පෙර ගෙවුම් හා පසුගෙවුම් යනුවෙන් ක්‍රම දෙකකි. ඉංගිරිසියෙන් නම් Prepaid හා Post Paid ය. මිනී පෙට්ටි ගැන කතා කරන විට පෙර ගෙවුම් Pre Paid සේවයක් දැන් ඇතැම් ආයතනික මට්ටමින් පවා ක්‍රියාත්මක වෙමින් පවතී. කලකට ඉහත නම් තමා මිය ගිය දිනෙක අවංමගල්‍ය කටයුතුවලට අවශ්‍ය මුදල් කලින්ම ගෙවා හමාර කරන පුද්ගලයන් සිටියේ කලාතුරකිනි. එහෙත් දැන් ඇතැම් අවමංගල සේවා ආයතන විවිධ ආයතනවල සුබසාධක සංගම් සමඟ එක්වී ජීවතුන් අතර සිටින විටම කොටස් වශයෙන් ගෙවා තම අවමංගල කටයුතු පැකේජයකින් එකලාසයක් කර ගන්නා උදවිය ද සිටී.

කොළඹ මහ රෝහල ආශ්‍රිතව එක් මිනී පෙට්ටි සාප්පුවක බෝඩ් ලෑල්ලක් ගසා තිබුණේ 'ජීවතුන් අතර සිටින පුද්ගලයන්ගේ අවමංගල කටයුතු සඳහා මුදල් භාරගනු නොලැබේ' කියායි. ටිකක් කිට්ටු වී බෝඩ් එකේ ඇති කාරණය විමසා බැලුවෙමි.

"සමහර අය පෙට්ටියටයි, එම්බාම් එකටයි සල්ලි ගෙවල අවුරුදු දහය පහළොව ගිහිල්ල මැරෙනවා. ඊට පස්සේ අපි එම්බාම් එක කළාම පෙට්ටි ඩිසයින් එක අවුට් ඩේටඩ් කියනවා, සරම ඇඳපු අයට ටයිකෝට් අන්දන්න කියනවා. සමහරු පොලිසිත් යනවා. අපි දෙන බිලේ පෙට්ටියේ වර්ගය, ඇඳුම් ගැන ඔක්කොම විස්තර තියෙනවා. දෙතුන් දෙනෙක් එහෙම පොලිසි ගියාම අපි වැඩේ නවත්තලා දැම්මා."

අසූව දශකයේ පුවත්පත් බලන විට කොළඹ මහ රෝහල අවට ඇති මිනී පෙට්ටි සාප්පුවලට දැවැන්ත විරෝධයක් එල්ලවී රෝහලට ප්‍රතිකාර ගන්නට එන අසාධ්‍ය රෝගීන් රෝහල අසල මිනී පෙට්ටි සාප්පු දුටු විට මානසිකව වැටෙන බව මතවාදයක් එකල ප්‍රචලිත වී ඇත. අන්තිමට මේ මල් ශාලා ක්‍රමයෙන් කොළඹ මහ රෝහලින් ටිකක් ඈතට යන්නට විය.

ඒ කාලේ නම් දරාපු මිනී පෙට්ටි සාප්පු තිබී ඇත්තේ ඩීන්ස් පාරේය. ඒත් දැන් ඒවා සියල්ල මල්කඩ වී ඇත. ලාල් ෆ්ලෝරා, සුජිත් ෆ්ලෝරා, ඩිලනි ෆ්ලෝරා මෙන්ම ජයරත්න ෆ්ලෝරා ලෙස මල්කඩ 12ක් අපට එහිදී දැකගත හැකි විය. ටිකක් ළඟට කිට්ටු වී මල් වඩමක් ගැන විමසා සිටියෙමි. ඉතාම දිළිඳු මළගෙයක දැක ගත හැකි සවුකොළ මල් වඩම් හා පොලිතින් මල් වඩම් මෙහි දක්නට ඇත.

"සවුකොළ මල් වඩම් තිබ්බේ කුරුණෑගල, අනුරාධපුර පැතිවල. ටයිගර් අයි මල් 2ක් අල්ලපු අඩුම ගානේ මල් වඩම 2,500යි. ඒ ගානේ ඉඳන් ලක්ෂ 5 වෙනකම් වුණත් මල්වල ගාන අනුව මල් වඩම් තියෙනවා.

කනත්තට ගිය වටිනා මල් වඩම් රෙපයාර් කරල විකුණන අයත් ඉන්නවා නේද?

"දැන් නම් ගොඩක් අය සොහොනටම දානවා. සමහරු මළගේ ඉවර වෙලා පොළොවේ ගහල විනාශ කරනවා.”

ඩීන්ස් පාරේ තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ටිකක් එහායින් අවමංගල සේවා ආයතන දැක ගත හැකිය. මේ අවමංගල සේවා ආයතන ගැන නිරීක්ෂණයේදී පුංචි බොරැල්ල ප්‍රදේශය විශේෂත්වයක් ගනී. සම්භාවනීය තත්ත්වයේ අවමංගල්‍ය සේවා සපයන ආයතන පිහිටියේ බොරැල්ල කනත්ත ආසන්නයේය. මේ ලොකු පොඩි සම්භාවනීය කොයි අවංමගල්‍ය ආයතනයේත් කරක් ගසද්දී අපට පැහැදිලිව ඒත්තු ගියේ 'අවමංගල්‍ය සේවා' සැපයීමට අය කරන ගාස්තුව රඳා පවතින්නේ මුළුමනින්ම අවමංගල්‍ය ආයතනයේ ගොඩ නඟාගත් ප්‍රතිරූපය නොහොත් වෙ‍ළෙඳ සන්නාමය මත බවය. මාකටින්වල නම් මෙයට Brand Name එක කියා ද කියනු ලැබේ. පුංචි බොරැල්ල, පුංචි මිනී පෙට්ටි කඩයක රුපියල් 30,000ට අලෙවි වෙන පෙට්ටියක් මේ සම්භාවනීය තැනෙක රුපියල් ලක්ෂ එකහමාරටත් වැඩිය. පොඩි වෙනසකට ඇත්තේ පෙට්ටිය මුහුණ බලන්නට මෙන් පොලිෂ්, වානිෂ් කර තිබීමත් විවිධාකාර පිත්තල පැහැති, නිකල් ප්ලේට් බැජ්, හැඬල් වර්ග එල්ලා තිබීමත්ය. ගාන වැඩි පෙට්ටියේ සුදු සැටින් රෙදිත් ගාණ වැඩිය.

බොහෝ මල්ශාලාවල පෙට්ටි තිබ්බේ පොලිෂ් නොකර ගොඩගසාය.

“පෙට්ටි ඔක්කොම ගෙනල්ල දාන්නේ තොග ගාණට. පෙට්ටි සාම්පල එක විතරයි පොලිෂ් කරල ෂෝ රූම් එකේ තිනේනේ. කොරෝනාවලට කලින් 10,000 ට තිබ්බ පෙට්ටි ඔක්කොම දැන් 50,000ට වැඩියි. අලුත උපන් ළදරුවෙක් දාන ලෑලි පෙට්ටියකුත් 3,000ක් විතර වෙනවා. ඉස්සර ඒවා නිකන් දුන්නේ. නැත්නම් රුපියල් 1,000කට වගේ තමයි වික්කේ.

මල් ශාලා හිමියන් පැවසුවේ මිනී එම්බාම් කටයුතු සඳහා අවශ්‍ය වන සුප්‍රකට ෆෝමලින් දැන් ආනයනය අඩපණවී ඇති නිසා ඒ සඳහා ද අධික මිලක් ගෙවීමට සිදුවී ඇති බවය. ඊටත් වඩා එම්බාම් කටයුතුවලට භාවිත කරන ඉන්ජෙක්ෂන් දැන් ඩොලර් ප්‍රශ්නය නිසා දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇත. රුපියල් 5000ට තිබූ ෆෝමලින් කෑන් එකක මිල දැන් රු. 30,000කි.

මිනියක් එම්බාම් කරන අඩුම කුඩුම ගැන අපට විස්තර කළේ උදේනි මල්ශාලාවේ කළමනාකාරතුමාය. "මිනියක් එම්බාම් කරනකොට පෙට්ටියේ ලෑලි ටික විතරයි ලංකාවේ දෙයකට තියෙන්නේ. අනික් ඔක්කොම එම්බාම් කරන ෆෝමලින්, ඉන්ජෙක්ෂන්,සැටින් රෙදි, පෙට්ටිවල දිලිසෙන බැජ් මේවා පිටරටින් ගේන්නේ."

මිනී එම්බාම් කටයුතු සඳහා අවශ්‍ය ෆෝමලින් හා ඉන්ජෙක්ෂන් ආනයන බලපත්‍රය ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවටය. මේවා ආනයනය කළ පසු රේගුවෙන් නිදහස් කර ගැනීමට ඩොලර් නැති කමින් ගුදම් ගාස්තු පවා ගෙවන්නට වෙන්නේ ද මල් ශාලා හිමියන්ටය. මිනී එම්බාම් කරන මේ බොහෝ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ, පකිස්ථානයේ සහ චීනයේය.

“ මිනියක් එම්බාම් කරන්න ෆෝමලින් කොච්චර විතර යනවාද?” ඇසුවේ නිෂ්පාදනය වියදම ගැන දළ අදහසක් දැන ගැනීමටය.

"හොඳට දන්න බාස් කෙනෙක්ට මිලිලීටර් 300ක් ඇති. නොදන්න කෙනෙක්ට නම් ලීටර් 4 කෑන් එකකුත් මදි. ඒ කියන්නේ මිලිලීටර් 4,000ක්."

“එතකොට පෝස්ට් මෝඩම් කරපු කපල කොටල තියෙන මිනීවලට?”

"සමහර වෙලාවට ෆෝමලින් රෙදිවලින් ඔතනවා. කොහොමත් නහර කපපු තැන් ලීක් වෙන හින්ද වහන්න වෙනවා.”

“එම්බාම් කරන කොට කෑලි අයින් කරල වළලනවද?”

"ඒ පරණ ක්‍රම. එහෙම ශරීර කොටස් අයින් කරපු මිනී මෙඩිකල් කොලේජ් එකෙන් ගන්නෙත් නෑ. හරියට කළොත් කපන්න ඕන නෑ. රුපියල් 5,000 තිබ්බ ෆෝමලින් කෑන් එක දැන් 30,000ක්"

අවමංගල කටයුතු සඳහා වන අය කිරීම් වැඩි කිරීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පෙට්‍රල් QR එකය. ගෑස් හිඟ කාලේ නම් මිනියක් ආදාහනයේදී ගෑස් නැති වීම නිසා ගෙදරින් ගෑස් සිලින්ඩරය ගෙන ගිය අවස්ථා ද ඇසෙන්නට ලැබුණි. ඒත් මළ සිරුරු ප්‍රවාහනය කරන 'හර්ස්' ගැන ඇත්තේ වෙනත් කතාවකි.

"පොත ලියාපදිංචි පොතේ 'හර්ස්' කියලා ඔර්ජිනල් ඒවා කලාතුරකින් තියෙන්නේ. ඒ ඔරිජිනල් හර්ස් එකකට පෙට්‍රල් ලීටර් 50ක් හම්බ වෙනවා. ඒත් දැන් තියෙන ගොඩක් හර්ස් කරපුවා ද්විත්ව කාර්ය. (Dual Purpose) වැගන් තමයි පස්සේ සීට් ගලවල, හර්ස් කරන්නේ. ඒ එකකට හම්බ වෙන්නේ QR එකෙන් ලීටර් 20යි. ඒ හින්ද දැන් දුරක හර්ස් ගෙනියන්න බෑ."

මේ මල්ශාලා හිමියන් කියන්නේ මීනි ගෙනියන හර්ස් එකක් පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 5කට වඩා ධාවනය කළ නොහැකි බවය.

“දැන් මිනියක් එම්බාම් කරල පෙට්ටියට යන වියදමට වඩා මිනියක් දුර ගෙනියන්න හර්ස් එකේ ගාන වැඩියි. පුංචි බොරැල්ලෙන් 75,000කට එම්බාම් කරපු මිනියක් බදුල්ලට ගෙනියන්න වුණොත් රු.75,000කට වැඩිය ගාණක් යනවා. හර්ස් දැන් ගෙන්නන්නෙ නැති නිසා ලක්ෂ 90ක් විතර වෙනවා. බෙන්ස්, අවුඩි වගේ සමහර හර්ස් තියෙනවා කෝටි 8ක් විතර වෙනවා.”

රටේ ප්‍රභූවරුන්ගේ අවසන් කටයුතු කෙරෙන විට හෙලිකොප්ටරයෙන් මල් ඉහිනු අප දැක ඇත. අන්තිම හෙලිකොප්ටර් මල් වැස්ස වැස්සේ මාකඳුරේ මධූෂ්ගේ මළගෙදරයටය. එම කාර්යට යන මුදල අප මල් ශාලා හිමියෙකුගෙන් අසා සිටියෙමු.

"මල් ඔක්කොම අපි එකතු කරල දෙන්න ඕන. ඉස්සර නම් හෙලිකොප්ටරයට ගත්තේ ලක්ෂ 2ක් විතර. දැන් නම් ලක්ෂ 5ක් විතර ගන්නවා."

මධූෂ් වැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම නම් දරාපු චණ්ඩින්ගේ අවමංගල්‍යයන් සිදු වන විට අහසේ සිට මිනී පෙට්ටියට මල් හෙළන්නේ හෙලිකොප්ටරයෙනි. මේ සඳහා වියදම ඇතැම් විට ලක්ෂ 10 ද ඉක්ම වූ අවස්ථා අවමංගල්‍ය ශාලා හිමියෝ පෙන්වා දුන්හ. එම්බාම් එකට අමතරව මෘත දේහයට ඉතා සජීවී පෙනුමක් සහ රන්වන් පැහැයට හුරු දේහ වර්ණයක් පවත්වාගෙන යෑමට අමතර ඉන්ජෙක්ෂන් එකක් ද ඇත. කොරෝනාවට පෙර රුපියල් 50,000කට මිල වූ මේ එන්නත දැන් ලක්ෂ දෙකකට සොයා ගැනීමත් අපහසු කටයුත්තකි. අවමංගල්‍යයකදී මනමාලයා වන්නේ මිනී එම්බාම් කරන තැනැත්තාය. දැන් මිනී එම්බාම් කරන්නන් “ෆුල් ඩිමාන්ඩ්” බව අපට කිව්වේ කනත්ත අසල සුපිරි මල් ශාලා කළමනාකරුවෙකි. "සාමාන්‍යයෙන් එම්බාම් කරන කෙනෙක් රුපියල් 150,000ට වැඩි පඩියක් ගන්නවා. අලුත් පරම්පරාව මේකට එන්නේ නෑ.

මේ අවමංගල සේවා හිමියන් කියන්නේ කොරෝනාවට පෙර රුපියල් 30,000කට පමණ මිල වූ සාමාන්‍ය එම්බාම් එකක් දැන් 75,000ට එහා මිල ඉහළ ගොස් ඇති බවය. ඉස්සර නිකන් දුන්න හර්ස් එක දැන් කිලෝමීටර් 10කට එහා ගියොත් එයටත් රුපියල් 30,000 සිට අය කරන්නට පටන් ගෙන ඇත. පසුගිය කාලයේ කොළඹ අවමංගල සේවාවලට එක් දිනකදී වැඩිම මිනී සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ කොලොන්නාව කුණු කන්ද පිපිරුණු අවස්ථාවේය.

හදිසි අනතුරුවලට ලක්වූවන්ගේ හා දියවැඩියා රෝගීන්ගේ සිරුරු එම්බාම් කරන්නට අය කරන මිල ගණන් සාමාන්‍ය දේහයකට වඩා වැඩිය. මෙම දේහයන්ට රූපලාවණ්‍ය කටයුතු කරන 'කොස්මෙටික්ස්' ද දැන් අහස උසට ඉහළ ගොස් ඇත.

කනත්ත අසල සුපිරි අවමංගල ශාලාවල පෙර අය කර තිබුණේ සාමාන්‍ය දේහයට රු. 150,000 සිට මිල ගණන්ය. ඩොලර් හිඟයත් සමඟම දැන් දැන් සාමාන්‍ය පෙට්ටියක මිනියක් සම්භාවනීය ලෙස නිම කර ගන්නට අතේ ලක්ෂ තුනකට එහා තබා ගත යුතු තත්වයකට මිල ඉහළ ගොස් ඇත. ප්‍රතිශතයක් ලෙස එය 100%කට වඩා වැඩි වීමකි. අවමංගල සේවා මුළුමනින්ම ගනුදෙනු කරන්නේ මුදලින් වන අතර බොහෝවිට ඇඩ්වාන්ස් මුදලක් පවා නොගනී.

"කවදාවත් මිනියක බිලක් ගෙවන් නැතුව ඉන්නේ නෑ. ඒක මළවුන්ට කරන අපහාසයක් නිසා වෙන්නැති" එක් මල්ශාලා හිමියකු අපට පැවසීය.

මේ ෆියුනරල් බිස්නස් එකේ 'බ්‍රෝකර්ලා' ද බොහෝය. ඔවුන් වැඩිපුර ඉන්නේ මෝචරිය අසලය. ඉස්පිරිතාලේ අමාරු ලෙඩ්ඩු ඉන්න වාට්ටු ගැන ඔත්තුව දෙන්නේ ඇටන්ඩන්ස්ලා විසිනි. මරණයක් දුකක් වුණත් බ්‍රෝකර් තමන්ට බිස්නස් එක අල්ලා දුන් ඇටන්ඩන්ට කොමිස් මුදලක් අත මිට මොලවන්නේ 'සන්තෝසයට' තියා ගන්නා ලෙසය.

අවමංගල සේවාවල ‘සීසන්’ හා ‘ඕෆ් සීසන්’ එකක් ද ඇත. කොවිඩ් පැතිරෙන යුගය මල් ශාලාවලට සීසන් එකක් වුණේ මරණ වැඩි වූ නිසාය. වහින කාලෙට හීතලට හාට් ඇටෑක්, හතිය, සෙම නිසා මහලු අය බොහෝ ලෙස මිය යන බැවින් එය ද සීසන් එකකි. මේ සීසන් එකට කොළඹ මල් ශාලාවලට පිටපළාත්වලින් එම්බාම්කරුවන් හා 'හර්ස්' ගෙන එන බව අපට කිව්වේ මල් ශාලා හිමියෙකි. 

"පෙබරවාරි, මැයි, අගෝස්තු, දෙසැම්බර් ඕෆ් සීසන්, මරණ අඩුයි."

මිනී ගෙනියන්න සම්භාවනීය පවුල් පාවිච්චි කරන්නේ හර්ස් එකටත් වඩා රන්සිවි ගෙය ය. ඉස්සර රන්සිවි ගෙයක් පොඩි හයර් එකකට ගත්තේ රුපියල් 30,000ක පමණ මුදලකි. ඒත් දැන් ඒ මල් සම්භාවනීය රන්සිවි ගෙයක අය කිරීම රුපියල් 60,000ටත් එහා ගොස් ඇත. ඒ මල් සැරසිලි නැතුවය. කොරෝනාවට පෙර රුපියල් 10,000කට කළ හැකිව තිබූ රන්සිවි ගෙයක් පිච්චමල්වලින් සැරසීමට දැන් යන වියදම 25,000ටත් වැඩිය. ඒ, රන්සිවිගේ සරසන වටිනා ස්වභාවික මල්වලට වියදම නැතුවය. දැන් හරියට ස්වභාවික මල්වලින් රන්සිවි ගෙයක් සැරසුවොත් ගාස්තුව ලක්ෂ දහයක් පමණ වන බව තේරුම් ගැනීමට අපට හැකි වුණේ ආනයනික පෝර සහ කෘෂි රසායන ද්‍රව්‍ය නැති නිසා මල්වල මිල හතර පස් ගුණයකින් වැඩිවී ඇති නිසාය.

බොහෝ මල්ශාලා හිමියන් කිව්වේ මතක ඇති කාලයට කොළඹ කනත්තේ 'සො‍ෙහාන් ගෙයක්' සඳහා ඕඩරයක් ආවේ නැති බවය. "එදා සොහොන් ගෙයක් හදන්න ලක්ෂයක් ගියා. දැන් ලක්ෂ හතරක් විතර යනවා. ඒ කාලේ සොහොනේ මල් වෙඩිවලට රු. 20,000 ගියේ. දැන් 60,000 විතර යනවා. දැන් ගොඩක් අය ලොකු වියදම් කරන්නේ නැහැ."

කොරෝනාවලින් පසු ගම්වලට ගිය බොහෝ සේවකයන් නැවත මේ මල් ශාලාවල සේවයට පැමිණ නැත.

"සමහර වෙලාවට හර්ස් එක එළවන්න කෙනෙක් නෑ. සමහර ඩ්‍රැයිවර්ලා හර්ස් එළවන්න බයයි. ගමන් වෙලාවට ඩ්‍රැයිවර්ට තුන් ගුණයක් විතර ගෙවනවා. ඒ ගාණ අල්ලන්න වෙන්නෙත් කස්ටර්මර්ගෙන්ම තමයි. හර්ස්වල EA නොම්බරේ සාමාන්‍ය ලයිසන් එකෙන් එළවන්න බෑ."

පුංචිබොරැල්ල උදේනි මල් ශාලාවේ අරුණ පෙරේරා අපට කීවේ කොළඹ කනත්තේ රුපියල් 2,500ට කළ ආදාහන කටයුතුවලට දැන් 5,500ක් අය කරන බවය. රුපියල් 600ට කළ භූමදානයට දැන් 1,500ක් අය කෙරේ.

බොහෝ මළගෙවල්වල බැනර්වල දැකිය හැකි වැකියක් ඇත. එනම් "මරණයේ දුක මිය ගිය අයට නොව ජීවත් වෙන අයට" බවය. අවමංගල්‍යයකට යන වියදම වැඩිවී ඇති අයුරු දුටු විට මේ කියමන වඩාත් අර්ථාන්විත වී ඇත. ඊට හේතුව ගෙදරක මළ ගෙයක් වූ විට අවසන් කටයුතුවලට වැඩිවී ඇති මුදල් සොයා ගැනීම ද පණ යන වැඩක් වී ඇති නිසාය.

ඡායාරූප සමන්ත වීරසිරි

Comments